රෝගී රටක නිරෝගී සාහිත්‍යයක් නෑ


සිංහල නවකතා අඹරේ 1998 වසරේ සිට අඛණ්ඩව අවුරුදු 20ක් පුරාවට ප්‍රසංසා, ගැරහුම්, අභියෝග මැද්දේ නවකතාකරණයේ නියැලුනු කාන්තාවකි. මැදියම් රැයේ ලියන්නිය ලෙසත්, ජනපද ලියන්නිය ලෙසත් විවිධ අන්වර්ථ නාමයන්ගෙන් ගෞරවාදරය දිනාගත් ඇය මේ වන විට ලක්ෂ සංඛ්‍යාත පාඨක ජනතාවගේ හදවතේ නිදන්ගත වී හමාරය. වරාමල්, අග්නි, ගිරිදේවි, ගිරිකුල වාලුකා, අගාධ ආදී සිංහල නවකතා ක්ෂේත්‍රයට දායාද කළ මාහැඟි නවකතා එකතුවෙන් කිහිපයක් පමණි. ඇය නමින් ශාන්ති දිසානායකය. ඇය රචනා කළ වේතරණි නවකතාවේ නවතම මුද්‍රණය මාධව ප්‍රකාශනයක් ලෙස පසුගියදා එළිදැක්විණි. මේ කතාබහ එය නිමිත්තක් කරගෙනය. 

ඔබ කොලනියේ ජීවත්වෙමින් ඒ මිනිසුන්ගේ ජීවන අන්දරය මුළු රටටම දැනෙන්න සලස්වමින් අකුරු කරන ලේඛිකාවක්. ඔබේ නවකතා මේ තරම් සර්වකාලීන වී තිබෙන්නේ කවර හේතුවක් නිසාද?

ඇත්තටම නවකතාවක් හෝ වෙන මොන යම් කලා නිර්මාණයක් හෝ සර්වකාලීනයි කියා මම හිතනවා. එය මේ මොහොතට පමණක් වලංගු වන්නක් නොවේ. අපි යුගයෙන් යුගයට මුහුණපාන ගැටලු වෙනස් විය හැකියි. එහෙත් මූලික ගැටලු ඒකාකාරයි. එහි ස්වරූපය පමණයි වෙනස් වෙන්නේ. නිදසුනක් විදියට සෝවියට් කෘති දක්වන්න පුළුවන්. සමාජවාදී රුසියාව බිඳ වැටුණට පුරෝගාමී මෙහෙවරක් කළ රුසියන් නවකතාව කල් ඉකුත් වන්නේ නැහැ.

විප්ලවවාදී නිසාම එක්තරා අන්දමකින් ප්‍රචාරක කෘති කියා හංවඩු ගැසුවට මැක්සිම් ගොර්කි වැනි විශිෂ්ට ලේඛකයන් සිය නිර්මාණ තුළින් ඉස්මතු කළ මනුෂ්‍යත්වය, මානව ප්‍රේමය අදටත් හෙටටත් වලංගුයි. එකල මනුෂ්‍ය සංහතිය වෙත දක්වන දයාවට මා ණය ගැති වන්නේ ඒ සෝවියට් සාහිත්‍යයටයි. මගේ නවකතා සියල්ල සර්වකාලීනයි. කියා ඔබ කියනවා නම් ඒ ගෞරවයත් රුසියන් සාහිත්‍යයට හිමිවූවාට කිසි වරදක් නැහැ. මගේ පළමු නවකතාව වරාමල් පළ වෙලා අවුරුදු 20ක් ගත වෙලා. ඒත් ඒ තුළින් මා අවධාරණය කළ ප්‍රතිනිර්මාණය කළ සමාජ ආර්ථිකමය හා සංස්කෘතිකමය ගැටලු තවමත් ඔඩු දුවනවා විනා විසඳී නැහැ. 

ලිංගිකත්වය හා සමාජ සාරධර්ම පිළිබඳව අගයමින් කතා කරන සමහරු ඔබේ නවකතා විවේචනය කරනවා. ඔබව නොබියව නිදහසේ ලියන්නේ පෑන පිළිබඳ විශ්වාස කරන නිසාද?

ලිංගිකත්වය කියන්නේ ජීවිතයෙන් පරිබාහිර යමක් නොවේ. ජීවිතය හා බැඳුණු එහිම අංගයක්. අපි සමාජයක් විදියට නොදියුණු හා යම් ම්ලේච්ඡ ගෝත්‍රික බවක් පළ කරන්නේ ලිංගිකත්වය පිළිබඳ නොදැනුවත්කම හා එය ජීවිතයේම අංගයක් ලෙස පිළිගන්නට මැලිවීම කියා මම හිතනවා සහ දකිනවා. ඇත්තටම සාරධර්ම කියා අපි සුරකින්නේ මොනවාද? පුහු ප්‍රවර්තනවාදය කරපින්නාගෙන අප ගමන් කරන්නේ කොයිබටද? නිරුවතට, ආදරයට, අනුරාගයට අප මේ තරම් භීතියක් දක්වන්නේ ඇයිදැයි මට තේරෙන්නේ නැහැ. සීගිරිය අද නිර්මාණය කළා නම් සීගිරි ලලනාවක් අඳින්නට අපේ සින්තාරුවන්ට සංස්කෘතික පොලිසිය ඉඩ දෙයි ද කියන සැකය ඇතිවෙනවා. සමාජය පතුළේ කැකෑරෙන බොහෝ ඛේදවාචක මා තවමත් මගේ නිර්මාණවලට පාදක කරගෙන නැහැ. ඒ සමහර ඒවා ලියන්න තරම් මට ධෛර්යයක් නැහැ.

ලිංගිකත්වය පිළිබඳ අපේ කුහකකම හා නොදියුණු ආකල්ප නිසාමයි අපේ දියණියන් නිවසේ දී හා මඟ තොටේ දී අතවරයට ලක්වන්නේ. ළමා අතවරවලින් වැඩි කොටසක් සිදු කරන්නේ පියා, මාමා, බාප්පා, සීයා වැනි ළඟම ඥාතීන් බව මාධ්‍ය වාර්තා කරනවා. අප දකිනවාට වඩා බිහිසුණු අඳුරු ජඩ හා නින්දිත සමාජ දේහයක් තමයි නිර්මාණය වී තිබෙන්නේ. අප රටක් විදියට රෝගී වීම තුළ නිරෝගී සාහිත්‍යයක් බලාපොරොත්තු වෙන්න බැහැ. අපි අපේ අසාධ්‍ය තත්ත්වය නොපිළිගනිමින් ශ්‍රේෂ්ඨත්වය ගැන උදම් අනමින් ලෝකෙන් උතුම් රට යැයි සිතමින් ජීවත් වෙනවා.

● ඔබ ලේඛිකාවක් විදියට කටයුතු කරද්දී සමහර මාතෘකා අතහරින බව පැවසුවා. කොතරම් රැඩිකල් කියා පැවසුවත් සමාජ සම්මතයන්ට පිටුපා නිර්මාණ කළ නොහැකි බව නේද එමගින් කියවෙන්නේ.

මම පෑන වගේම මිනිසා විශ්වාස කරනවා. මම ලියන්නියක් වුවත් අන් අය වගේම මමත් සමාජය තුළ ජීවත් විය යුතුයි. ඒ වුණත් සමාජ පෙරළියක් සඳහා වන මිනිස් අභිලාෂය හා අනුරාගය අදහනවා. මම ලිවීමේ දී මගේ නිර්මාණයට අවංක වෙනවා හැරුණු කොට වෙනත් කිසිවක් මම තකන්නේ නැහැ. මට මේ ඝන අන්ධකාරයේ ප්‍රදීපාගාරයක් වගේ මග හසර පෙන්වමින් ආලෝකය විහිදුවන්නේ වඩා යහපත් හා යුක්ති ගරුක රටක් පිළිබඳ නොපෙනෙන අපේක්ෂාව නිසයි. ඒ උදෙසා මම දිගටම ලියනවා. මිනිසා, ජාතිය, ආගම, කාලය හෝ ලිංගය හේතු කොටගෙන පීඩාවට පත්විය යුතු නැහැ. මිනිසා පෙළෙන සකල විද එල්ල වන කවර හෝ චෝදනා අබිබවා මා අධෛර්යවත් වන්නේ නැහැ. 

ඔබ රචනා කළ නවකතා සියල්ලම පාහේ ටෙලි හෝ චිත්‍රපට ආදී කුමන මාධ්‍යයකට හෝ නැගී තිබෙනවා. ඔබේ කෘතිවලට එම නිර්මාණවලින් සාධාරණයක් ඉටු වුණා ද? 

ඇයි මම සාධාරණයක් බලාපොරොත්තුවෙන්නේ. නවකතාව ලියා පළකොට සමාජයට මුදා හැරීමෙන් පසු මගේ කාර්යභාරය හමාරයි. ඉන්පසු එය පාඨකයාට විචාරකයාට හා ඒ අයුරින් වෙනත් කලා නිර්මාණයක් කරන්නට අයිතියි. මම මගේ නිර්මාණය අත් හළ යුතුයි. මට අලුත් නිර්මාණයක් රචනා කළ හැක්කේ අත්හැරීමෙන් පමණයි. නවකතාව සහ රූප මාධ්‍ය කියන්නේ ඉඳුරා වෙනස් මාධ්‍ය දෙකක්. පෑනෙන් කරන සියල්ල කැමරාවකින් කරන්න බැහැ. පුංචි තිරයට හෝ පුළුල් තිරයට ඔබින පරිද්දෙන් වෙනස් කම් සිදු කිරීමට ඉඩදිය යුතුයි. ඒ වගේම එය සාධාරණයි. නිර්මාණයක් ඇසුරින් නිර්මාණයක් කිරීමේ අයිතිය තිබිය යුතුයි කියා මම විශ්වාස කරනවා. 

● නොබෝදා එළිදුටු වේතරණි නවකතාව පිළිබඳ සමාජය තුළ යම් කතා බහක් ඇතිවී තිබෙනවා. මෙය නව මුද්‍රණයක් ලෙස පළ කරන්නට ඔබව පෙළඹ වූ කාරණාව කුමක් ද?

මෙහි පළමු මුද්‍රණය පී.කේ. මීඩියා ප්‍රකාශනයක් ලෙසයි පළ වූයේ. වේතරණි කෘතියේ දෙවන මුද්‍රණය මාධව ප්‍රකාශනයක් ලෙස එළිදැක්වූයේ පාඨකයන්ගෙන් ලැබුණු අසීමිත ඉල්ලීම නිසයි. මෙය නැවත පළ කරන්නට ඉඩ දීම පිළිබඳව මම චන්දන කාරියවසම් ලේඛකයාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එහිදී සුපුරුදු ලෙංගතුකම පෑ අකිලා නදිශානි බණ්ඩාර ලේඛිකාවත් මා අපමණ සෙනෙහසින් සිහිපත් කරනවා.

ඇත්තටම වේතරණි මගින් මා කියන්නට උත්සාහ ගන්නේ බලය හා ප්‍රේමය අභියස මිනිස් සන්තානයේ සංකීර්ණත්වයයි. ප්‍රේමයත් බලයත් උදෙසා මිනිසා නොකරන දෙයක් නැහැ. වේතරණි නවතම මුද්‍රණය වෙනුවෙන් අරුත්බර කංචුකයක් නිර්මාණය කළ නදුන් යසිත දසනායක කවියා ද මනහර නිමාවෙන් වේතරණි ලබා දුන් පාරමී ප්‍රින්ටර්ස්හි රංග හා මිනාලි යන අයද මේ මොහොතේ සිහිපත් කරන්නට කැමැතියි.

ඔබේ නවකතාවක් වූ ‘රංකොල්ලා’ යොවුන් නවකතාවෙන් බිහි වූ ‘රංකොල්ලා’ චිත්‍රපටය මේ මාසේ තිරගත වීමට නියමිතයි.

ලේඛිකාව හැටියට දැනෙන  සතුට කොහොමද?

මෙය මගේ ජීවිතයේ සංධිස්ථානයක්. මගේ රංකොල්ලා නවකතාව ඇසුරින් සුමිත් රත්නායක අධ්‍යක්ෂවරයා තමයි මෙම චිත්‍රපටය නිර්මාණය කළේ. එය මේ මාසේ 18 වැනිදා සිට තිරගත වෙනවා. මීට පෙර සුමිත් මගේ මද්දහන හා මහ පොළොව ටෙලිනාට්‍ය ලෙස නිර්මාණය කළා. මේ දිනවල මම මගේ අලුත්ම නවකතාව රචනා කරමින් සිටින බවත් කියන්න කැමැතියි. ඒ වගේම මගේ නාරි හා කට්ටා යොවුන් නවකතාවටත් පාඨක ප්‍රතිචාර රාශියක් ලැබෙමින් පවතිනවා. ගඟුල ඉදිරියේ දී සරසවි ප්‍රකාශනයක් ලෙස එළි දැක්වීමට නියමිතයි.

ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක

සංවාද සටහන අමිල චින්තක ගමගේ