මැතිවරණ උණුසුම වාන් දමමින් තිබේ. රටේ පොදු මහජනයා වෙතින් බරපතළ උනන්දුවක් ප්‍රදර්ශනය නොවූවද දේශපාලන පක්ෂ නායකකයන් හා ඔවුන්ගේ කාඩර්වරුන් පෙන්නුම් කරමින් සිටින්නේ රට හමුවේ ඇති සියලු ප්‍රශ්නවලට විසඳුම තිබෙන්නේ පළාත් පාලන මැතිවරණය තුළ බවය. කවුරු කවුරුත් අමතක කර තිබෙන්නේ අප සිටින්නේ පුපුරා යාමට ආසන්න ගිනි කන්දක් මුදුනක බවය. ඒ බව සලකුණු කෙරෙන දුම්රොටු පිටවෙමින් තිබේ. මේ සංඥාව නිවැරැදිව කියවා නොගැනීම යනු අනතුරේ පරිමාව පුළුල් කර ගැනීමකි.
අප පුවත්පත ඉකුත් දා වාර්තා කළ පුවතක් සෑම පුරවැසියකුගේම ඇඟ ලොමු ඩැහැ ගන්වන්නකි. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ රට පුරා තවමත් ඖෂධ හිඟයක් දැඩිව පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන බවය.
සෑම පුද්ගලයකුගේම ඒකාන්ත ප්‍රාර්ථනය රෝගී නොවී සිටීමය. එහෙත් රෝගී තත්ත්වයන් අප කරා පැමිණෙන්නේ කලින් දැනුම් දීමකින් තොරවය. එම තත්ත්වයට පිටුපා ජීවත්විය නොහැකිය. එම අනතුරුදායක තත්ත්වයට මුහුණ දීමට බලවත් ආත්ම ශක්තියක් ඇවැසිය. එම ආත්ම ශක්තිය නිර්මාණය කරවන බලවත්ම සාධකය වන්නේ ‘‘ඕනෑම ලෙඩකට බෙහෙත් තියෙනවා’’ යන සිතුවිල්ලය. එම සිතුවිල්ල ඇතිවීමට නම් ඖෂධ හිඟයක් රට තුළ නොමැති විය යුතුය.
එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ රට පුරා තවමත් ඖෂධ හිඟයක් පවතින බවය. එමෙන්ම දිවයිනේ ඈත දුෂ්කර ප්‍රදේශවල පමණක් නොව කොළඹ ජාතික රෝහලේ පවා ඖෂධ හිඟය පවතින බවත් ඒ නිසාම රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.
ඉන්සියුලින්, ප්‍රතිජීවක, නිර්වින්දන ඖෂධ, වේදනා නාශක ඇතුළු ඖෂධ වර්ග රැසක හිඟයක් රෝහල්වල පවතින බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කර තිබිණි.
ඖෂධ හිඟය සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවල මාධ්‍ය මගින් පෙන්වා දුන්විට අදාළ බලධාරීන් ප්‍රකාශ කළේ ‘‘ඖෂධ හිඟයක් නොමැති’’ බවය. මෙම පුවතට අදාළවත් ඔවුන්ගේ ප්‍රතිචාරය එයම විය හැකිය. එහෙත් රජයේ රෝහලකට යන ඕනෑම රෝගියකුට රෝහලේ ඖෂධ නොමැති බව වටහා ගැනීමට අසීරු නැත. නේවාසික රෝගීන්ගේ ඥාතීන්ට සිදුවන්නේ රුපියල් දහස් ගණන් වැය කර පිටතින් ඖෂධ මිලදී ගැනීමටය.
අප රට ඉන්ධන ඇණවුම් කරන්නේ රටේ සෑම ඉන්ධන පිරවුම්හල්වලම අන්තිම ඉන්ධන බිංදුවද සිඳී ගිය පසුවය. එය ඩොලර් සම්බන්ධ ප්‍රශ්නයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කළ ද එම තත්ත්වය ඇතිවන්නේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව නිසා බව රහසක් නොවේ. එහෙත් ඩොලර් හිඟය බලපා නැති බව කිව නොහැක. මුළු රාජ්‍ය සේවක යාන්ත්‍රණයම පිරිපහදුවට ලක් කළ යුතු තරමට රාජ්‍ය දේහයේ සෑම අවයවයකටම මෙම තත්ත්වය බලපා තිබේ. ජනතාවගේ බදු මුදලින් ඉගෙන එම බදු මුදල්වලින්ම වැටුප් සහ අනෙකුත් වරප්‍රසාද ලබා ගන්නා රජයේ සේවකයන් ජනතාව සම්බන්ධයෙන් සංවේදී විය යුතුය. ඒ ජනතාවට සානුකම්පිතව නොව තමන්ගේ වගකීම ලෙස සලකමිනි.
අප මෙම තීරුවෙන් බොහෝ අවස්ථාවල පෙන්වා දුන්නේ අපට තවමත් රට සම්බන්ධයෙන් ප්‍රමුඛතා ලැයිස්තුවක් නොමැති බවය. විශේෂයෙන්ම ඉතිහාසයේ පෙර නොවූ විරූ අර්බුද සුළියකට රට ගොදුරුව තිබෙන මොහොතක එබඳු ප්‍රමුඛතා ලැයිස්තුවක් අත්‍යවශ්‍යම කාරණයකි. ජනතාවගේ ආහාරපාන, ඖෂධ, ඉන්ධන, විදුලිය හා ගෑස් එම ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම තිබිය යුතුය. පාරට තාර දැමීම ආදි සංවර්ධන ව්‍යාපෘති ආපස්සට දැමිය යුතුය. ඒවා ප්‍රමුඛ කරගනිමින් ජීවත්විය හැකි රටක් අපට ඉතිරිව නැත.
එහෙත් කාගෙ කාගෙත් මල්ල පිරෙන්නේ සංවර්ධන ව්‍යාපෘතිවලින් හෙයින් ඒවා ආපස්සට අදිනු ඇතැයි සිතිය නොහැක. එහි ඒකාන්ත ප්‍රතිඵලය වන්නේ ‘‘කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා රෝහල්වල බේත් හිඟය උග්‍ර අතට’’ යනුවෙන් පුවත් සිරස්තල ලිවීමට සිදුවීමය. මේ ඉරණම කවදා වෙනස් වේදැයි ජනතාව පසුවන්නේ බලවත් වේදනාවකිනි.
(***)