රෝහල්වලට විදුලියවත් දෙන්න බැරිනම් ආණ්ඩු කුමකටද?


ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය රෝගාතුරව මරණාසන්නව සිටින බව සෑහෙන කලක් පැරැණි ප්‍රවෘත්තියකි. මෙම අසාධ්‍ය ආතුරයාට ‘‘සේලයින්’’ හෝ ලැබීමේ සුවදායක පුවත අපේක්ෂාවෙන් සිටියද මෙරට ජනයා එතරම් වාසනාවන්ත නොවන බව ඉතා පැහැදිලිය. ඒ බව පසක් කරන පුවතක් අප පුවත් පත ඉකුත්දා වාර්තා කළේය.

‘‘හිඟ විදුලි බිල කෝටි 34යි. ජාතික රෝහලට රතු නිවේදනයක්’’ යන සිරස්තලය යටතේ එම ප්‍රවෘත්තිය වාර්තාකර තිබිණි. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ කොළඹ ජාතික රෝහල විදුලිබල මණ්ඩලයට ගෙවීමට ඇති රුපියල් කෝටි 34ක පමණ හිඟ මුදල් නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමට රතු නිවේදන නිකුත් කර ඇතැයි කොළඹ ජාතික රෝහලේ උසස් නිලධාරියෙක් පවසන බවය. (මෙය මෙම සටහන ලියනවිට තිබූ තත්ත්වයයි.)

මුළු රටටම ඇත්තේ එකම එක ජාතික රෝහලකි. ඒ අනුව එම රෝහල ජාතික දේහයේ ප්‍රධාන රුධිර නාළිකාවකි. එම රෝහලත් මෙබඳු අවාසනාවන්ත ඉරණමකට යටත්වී තිබේනම් රටේ සෙසු රෝහල්වල තත්ත්වය සිතා ගැනීම අසීරු නැත. එමෙන්ම කොළඹ ජාතික රෝහල මෙබඳු ශාපලත් ඉරණමකට යටත් කිරීම යුක්ති සහගත නැත.

අප ප්‍රවෘත්තියේ සඳහන් වන්නේ මාස පහක හිඟ මුදල් මෙසේ නොගෙවීම හේතුවෙන් රෝහලේ කටයුතු අඩාලවීමට දැඩි අවදානමක් මතුවී ඇතැයි රෝහල් ප්‍රකාශකයා ප්‍රකාශ කළ බවය. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගෙවිය යුතු හිඟ මුදල් නොගෙවා සිටියහොත් රෝගීන් දැඩි අසීරුතාවකට පත්වන බවද රෝහල් ප්‍රකාශකයා අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

කොළඹ ජාතික රෝහලේ පමණක් නොව ඕනෑම රෝහලකට විදුලිය විසන්ධිවීම හෝ කිරීම රෝගීන්ට මාරාන්තිකය. විදුලිය විසන්ධි කළ විට සැත්කම් කරන්නේ කෙසේද යන්න අමුතුවෙන් විමසිය යුතු ප්‍රශ්නයක් නොවේ. විෂබීජහරණය සිදුකරන්නේ කෙසේද? ශීතකරණවලම තැන්පත් කළ යුතු ඖෂධ තිබේ. ආහාරපාන කල් තබාගත යුතුය. විදුලිය නොමැතිව මේ කිසිවක් කළ නොහැකිය. වාට්ටුවල විදුලි පංකා අක්‍රියවීම ද බරපතළ ප්‍රශ්නයකි. විදුලිජනන යන්ත්‍ර මගින් මෙම අර්බුදයට යම් විසඳුමක් සපයාගත හැකියැයි පැවසුණද එය අතීසාරයට අමුඩ ගැසීමකින් කිසි ලෙසකින් හෝ වෙනස් නොවන්නකි.

කොළඹ ජාතික රෝහල යනු ආදායම් උපයන ස්ථානයක් නොවේ. එය මුළුමනින්ම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නඩත්තු වන්නකි. එය එම අමාත්‍යාංශයේ වගකීමකි. සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්ෂික අයවැයෙන් මුදල් වෙන් කරන්නේ රටේ රෝහල් පද්ධතියද නඩත්තු කිරීම වෙනුවෙනි.

මැති ඇමතිවරුන් පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කර අතිරේකව මුදල් වෙන්කර ගන්නා අවස්ථා බොහෝය. එසේනම් ජාතික රෝහලේ විදුලිය බිල ගෙවීමට නොහැකිවන්නේ ඇයිද යන්න විමසිය යුතුය. විශේෂයෙන්ම අමාත්‍යාංශවල ඒ ඒ කාර්යයන් සඳහා වෙන වෙනම අංශ තිබේ. අංශ ප්‍රධානියා මෙන්ම කාර්ය මණ්ඩලයද වෙති. රෝහල් නඩත්තුවටද එසේමය. එසේනම් කොළඹ ජාතික රෝහලේ විදුලි බිල නොගෙව්වේ කවුද? එසේ මුදල් නොගෙවා රෝගී ජීවිතවලට මාරාන්තික තර්ජනයක් එල්ල කළෝ කවරහුද?
මේ ප්‍රශ්න සාමාන්‍ය හෝ සරළ නොවේ.

සැබැවින්ම වගකීම් පැහැර හැරීම යනු බරපතළ වැරැද්දකි. විශේෂයෙන්ම රෝහලක් වැනි සංවේදී ස්ථානයක් සම්බන්ධයෙන් මෙසේ වගකීම් විරහිත ලෙස කටයුතු කිරීම බරපතළ වැරැද්දකි. මෙලෙස වගකීම් විරහිත ලෙස කටයුතු කරන්නේ නම් සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා කළ එක් ප්‍රකාශයක් අපට පිළිගැනීමට සිදුවේ. එනම් රෝහල් ඉදිරිපිට මල්ශාලා තිබීම සම්බන්ධයෙනි.

අපගේ නිදහස් සෞඛ්‍ය සේවාව වළපල්ලට යැවීමේ කුමන්ත්‍රණයක් තිබේදැයි අපි නොදනිමු. එවැන්නක් තිබේනම් එය ලත් තැනම ලොප් කළ යුතුය. එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු තීරණාත්මක පැය එළැඹ ඇති බව අවධාරණය කළ යුතුය.

(***)