ලංකාවේ ණය කන්දරාව අඩු කරගන්නේ කවදාද?


චයිනා ඇෆ්රිකා රිසර්ච් ඉනීසියේටිව් (CARI) විසින් ප්‍රසිද්ධියට පත්කොට ඇති වාර්තාවකට අනුව ශ්‍රී ලංකාව, පසුගිය වසර අග වන විට චීනයට ඩොලර් බිලියන 7.4ක් ණය වී ඇති බව කියා ඇතැයි පසුගිය මස 30 වැනිදා රොයිටර් පුවත් සේවය ලොවට කීවේය. මෙය ශ්‍රී ලංකාව මේ වන විට විදේශයන්ට ණය වී ඇති මුළු ණය ප්‍රමාණයෙන් පහෙන් එකක් පමණ වන බව ද එම පුවතේ සඳහන් වේ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් බලාපොරොත්තුවෙන් පසුවන මේ අවස්ථාවේ, චීනයට මෙවන් මුදලක් ණය වී සිටීම දැඩි අවදානම් සහගත වාතාවරණයකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුලෙන් ඉහත කී ණය වාරික වශයෙන් ලැබීම ඇරැඹෙනුයේ ණය හිමි රටවල් මේ දක්වා දී  ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට එකඟ වූ පසුවය. ශ්‍රී ලංකාව මේ දක්වා ඩොලර් බිලියන 80ක් පමණ විදෙස් රටවලට ණය වී සිටිය ද වර්තමාන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනෙන් ආවරණය වන්නේ ඩොලර් බිලියන 33ක් පමණකි. එයිනුත් වැඩි කොටසක් චීනයට ගෙවන්නට ඇති ණයයි. (ප්‍රතිව්‍යුහගත කිරීමට ඇති ණයෙන් සියයට 12ක් පමණ ඉන්දියාවට ගෙවන්නට ඇති ණයයි.) චීනය මෙතෙක් එකී ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වී නැත. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත ලන්ඩන් ක්ලබ් හා පැරිස් ක්ලබ් නමින් හැඳින්වෙන, ලන්ඩනයේ හා පැරීසියේ පැවැත්වෙන සාකච්ඡා උදෙසා චීනය සහභාගි වන්නේ ද නැත.

චීනය එම සාකච්ඡා සභාවල සාමාජිකයකු නොවීම ඊට හේතුවයි. (ඉන්දියාව නිරීක්‍ෂණ මට්ටමින් ඊට හවුල්වන්නට එකඟ වී ඇතත්) චීනය එකඟ වී ඇත්තේ අලුත් ණය මුදලක් ලබා දී, ගත් ණය ගෙවීමට ඉඩ සැලැසීමට පමණි. එය තවදුරටත් ණය උගුලේ වැටීමක් මිස සහනයක් නොවන බව පෙනී යයි.චීනය ප්‍රතිව්‍යුහගත කිරීමකට එකඟ වන තෙක් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලැබෙන්නේ ද නැත. ගෝ හෝම් කියා ණය හිමියා පන්නා දැමීම ද ප්‍රායෝගික නොවන්නේය. එවැනි හඬක් නොබෝදා පාර්ලිමේන්තුව පැත්තෙන් ඇසුණේය. 

රටක් ණය වීම ලෝක ආර්ථිකය දෙස බැලූ විට අභාග්‍යයක් නොවේ. රටක් අවාසනාවන්ත තත්ත්වයට වැටෙන්නේ ගත් ණය ගෙවාගත නොහැකි තත්ත්වයට වැටුණු විටයි. ජාතියක් ලෙස අප ණය කළමනාකරණය කර නොගැනීමේ දුර්විපාක රටේ සියලු ජනතාව මේ වන විට අත්විඳිමින් සිටිති. විදෙස් ණය ගැනීමේදී මූලික වශයෙන් අපට දෙයාකාරයකින් වැරැදී තිබේ. පළමු වරද නම්, පරිභෝජනය උදෙසා ණය ගැනීමයි. අප තවමත් අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන හා ඖෂධ ආනයනය කරනුයේ උපයා ගන්නා විදේශ විනිමය යොදවා නොව, ලෝකයට ණය වෙමිනි. එම තත්ත්වය වෙනස් කරගන්නට භාණ්ඩ හා සේවා අපනයනය හා සංචාරක ව්‍යාපාරය වැනි ව්‍යාපාර ඔස්සේ විදේශ විනිමය උපයාගත යුතුය. 

අප විදේශයන්ගෙන් ණය ගෙන සැලැසුමකින් තොරව යටිතල පහසුකම් ගොඩනගා තිබේ. එකී ඉදිකිරීම් හේතුවෙන් දළ දේශීය නිෂ්පාදිතය පිම්බී පෙනෙන විට රට සංවර්ධනය වෙමින් පවතී යැයි ඇතැම් දේශපාලකයෝ උදම් ඇනූහ. විදෙස් ණය ගෙන යටිතල පහසුකම් ඉදිකරනා විට කෙතරම් කාලයකින් ඒවායේ ප්‍රතිලාභ ජනතාවට ලැබේ ද යන්න පිළිබඳ සැලැසුම් සහගත දුර දැක්මක් අපට තිබුණේ නැත. විශේෂයෙන් රටක යටිතල පහසුකම් ගොඩනැගිය යුත්තේ අපනයන වර්ධනය සමග සමානුපාතිකව බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. 

ඉදිකළ යටිතල පහසුකම්වලින් යම්කිසි නිශ්චිත කාලයක් තුළ ප්‍රතිලාභ නොලැබීම හේතුවෙන් ඒ සඳහා ගත් ණය ගෙවාගත නොහැකිව දැන් ජාතියක් ලෙස බුන්වත් බව ලෝකයට ප්‍රකාශ කොට ඇත්තෙමු.

දැන් කළ යුත්තේ, පැරැණි නුනුවණකම් තවදුරටත් නොකොට දශමයෙන් දශමය හෝ අගාධයෙන් ගොඩට ඒමයි.

ණයට මුදල් ගෙන කරනු ලබන ආයෝජනවලින් ප්‍රතිලාභ ලබන්නේ කෙසේ ද යන්න පිළිබඳ පාඩම් සුද්දා අපට කියා දුන්නේ, 1870 ගණන්වල උඩරට දුම්රිය මාර්ගය ඉදිකරද්දීය. උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා වූ ආයෝජනවලින් සියයට 80ක් පමණ මෙරටට ලබා ගත්තේ බ්‍රිතාන්‍ය බැංකුවකිනි.

වසර පහක් ගත වෙද්දී කෝපි හා තේ අපනයනවලින් එම මුදල උපයා මුළුමනින්ම එම ණය ගෙවා දැමිය හැකි වූයේය. වතු හිමියන්ගෙන් දුම්රිය මාර්ගය පරිහරණය උදෙසා අය කළ බදු මුදල ද එනිසා නවතා දමනු ලැබීය. එසේ කළ හැකි වූයේ නිසි ඉදිරි දැක්මක් ඇතිව ණය මුදල් ලබාගෙන ආයෝජන සිදු කොට ප්‍රතිලාභ ලබාගත් නිසාය. 

කළ යුත්තේ විදෙස් ණය ලබා ඉදිරි පරම්පරා ණයකරුවන් බවට පත් කිරීම නොව, බුද්ධිමත්ව ණය ආයෝජන සිදු කොට මතු පරම්පරාවලට සුවපහසුව ඉන්නට රටක් හැදීමය.

(***)