ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මධුභාෂිණී රත්නායක සම්පාදනය කළ "The Routledge Companion to Sinhala Fiction from Post-war Sri Lanka'' කෘතිය එළිදැක්වීමේ උළෙල මෙම මස 08 වැනිදා ප.ව. 3.00ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ BCIC හිදී පැවැත්වේ.
මහාචාර්ය සසංක පෙරේරා, මහාචාර්ය සුමති ශිවමෝහන්, මහාචාර්ය ලියනගේ අමරකීර්ති, ආචාර්ය ප්‍රභා මනුරත්න යන මහත්වරු මෙහි දෙසුම් පවත්වති. සභාව මෙහෙයවන්නේ මහාචාර්ය සෞම්‍ය ලියනගේ මහතායි. මතු දැක්වෙන්නේ මෙම කෘතිය පදනම් කොටගෙන ආචාර්ය මධුභාෂිණී දිසානායක රත්නායක සමඟ අප කළ සංවාදයක සටහනකි.
• ඔබ ඔබේ නවතම කෘතියේ සිදුකළ පර් යේෂණාත්මක අධ්‍යයන ගැන දැනගන්න කැමතියි?
මා මේ කෘතියේ දී උත්සාහ ගත්තේ 2009න් පස්සේ පශ්චාත් යුද සාහිත්‍යය පිළිබඳ යම් විශ්ලේශනයක් ඉදිරිපත් කිරීමටයි. සාහිත්‍ය නිර්මාණවල දී එය හෙළිවන අන්දම මෙහිදී මගේ නිරීක්‍ෂණයට හසුවුණා, විශේෂයෙන්ම සිංහල ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම විවිධ ලේඛක ලේඛිකාවන් රචනා කළ නිර්මාණ ඒ නිරීක්‍ෂණයට ලක්වුණා. මම හිතන්නෙ එබඳු අධ්‍යයනයක දී නිතරම අපට තුලනාත්මක අධ්‍යයනයක් අවශ්‍යයි.
සිංහල – දෙමළ ලේඛකයන් පශ්චාත් යුද සාහිත්‍යය තුළ කවර මතයක් දැරුවත් එය ලෝකයට විවෘත කළ හැක්කේ ඔවුන්ගේ අදහස් කවරේද යන්න ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කළොත් පමණයි.
එහෙම නොවුණොත් ඔවුන්ගේ මතවාද පමණක් නොව සංස්කෘතික කාරණා ද ලෝකයට විවර වෙන්නේ නෑ. ඒ නිසයි මා මේ උත්සාහය ගත්තේ. සිංහල – ඉංග්‍රීසි භාෂා දෙක පිළිබඳව අවබෝධයක් ලැබීම මේ කටයුත්තට පහසු වුණා.
• යුද්ධය සම්බන්ධයෙන් සහ සාමාන්‍ය ජන ජීවිතය සම්බන්ධයෙන් මෙරට ලේඛකයන් දැරූ මතය කෙබඳුද? එය ඔබේ නිරීක්‍ෂණයට හසුවූයේ කවරාකාරයෙන් ද?
මම හිතන්නෙ එය වැදගත් කාරණයක්. බොහෝ විට යුද පුවත් වාර්තා කළ බොහෝ ජනමාධ්‍යයන්ට මේ වැදගත් නිරීක්‍ෂණය තිබුණේ නැති තරම්. ඔවුන් බොහෝ දෙනා තම තමන්ගේ දෘෂ්ටිවාදවලට පක්‍ෂපාතීව ලියූ බවයි පෙනුණේ. යුද්ධය සම්බන්ධයෙන් පුවත් වාර්තා කළ හැම රටකම මේ ලක්‍ෂණය දක්නට ලැබුණා.
එහෙත් ලේඛකයන්ගේ කෘති විමර්ශනය කිරීමේ දී එහි අන්තවාදී ජාතිවාදී දෘෂ්ටියක් දකින්නට තිබුණේ නැහැ. සාහිත්‍යකරුවන්ට කොන්දක් සහ නුවණක් තිබුණා ඒ දෘෂ්ටිවාදවලට හසු නොවී ඉන්න. ලංකාවේ ලේඛකයන් පිළිබඳ එම නිරීක්‍ෂණය මට මේ කෘතියේ විමර්ශනයට ලක්කිරීමට හැකිවුණා.
• මෙම අධ්‍යයනයේ ඔබේ අවධානයට යොමුවුණ ලේඛකයන් කවුද? ඔවුන්ගේ නිර්මාණවල පැවැති විශේෂතා කවරේද?
ගතවුණ කාලය තුළ ප්‍රධාන දහරාවේ ලේඛකයන් ජාතික වශයෙන් ඇගැයීම්වලට ලක්වූ කෘති සියල්ලම පාහේ මෙහිදී අපගේ අවධානයට යොමු වුණා. මගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් කළ අධ්‍යයනයේ දී අවධානයට ලක්වූ ලේඛකයන්ට අමතරව තවත් ලේඛකයන් පස් දෙනකුගේ නිර්මාණ මේ කෘතිය සඳහා එකතු කළා.
• මේ කෘතිය සඳහා ඔබ යොදාගත් තේමාව සහ එම කෘතිය ඉංග්‍රීසි බසින් පළවීම වැදගත් වන්නේ පශ්චාත් යුද සමයේ නිර්මාණවල දෘෂ්ටිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමු කිරීමට ලැබෙන හැකියාව නිසයි. ශ්‍රී ලංකාවේ පළවන මෙවැනි කෘති ජාත්‍යන්තරයට රැගෙන යාමේ අවශ්‍යතාව ඔබ දකින්නේ කොහොමද?
එය ඉතාම අවශ්‍ය කාරණයක්. නූතනයේ පවා අපට සතුටු විය හැකි ගද්‍ය පද්‍ය සාහිත්‍යයක් තිබෙනවා. එහෙත් ඒ බොහෝ කෘති පළවන්නේ සිංහල බසින්. ඒ නිසාම ජාත්‍යන්තරයට යාමේ හැකියාවක් ලැබෙන්නේ නෑ. සිංහල ලේඛකයන් හා ඔවුන්ගේ නිර්මාණ ගැන ඉංග්‍රීසි බසින් කෙරෙන අධ්‍යයන පර් යේෂණ ආදියත් ඉතා අවමයි. සිංහල නිර්මාණ පවා ඉංග්‍රීසි බසට පළවන්නේ කලාතුරකින්.
ඊට එක් හේතුවක් හැටියට මම දකින්නේ සිංහල – ඉංග්‍රීසි ද්විභාෂික උගතුන් අඩුවීමයි. එබඳු ප්‍රාමාණික දැනුමක් ඇති ද්විභාෂික උගතුන් නූතනයේ අපට සිටින්නේ අතලොස්සයි.
අපි ජාත්‍යන්තර භාෂාව භාවිත කරමින් ලියනවා නම් විදේශීය ග්‍රන්ථ ප්‍රකාශකයන් ඒවා පළ කිරීමට ඉදිරිපත් වේවි. "The Routledge Companion to Sinhala Fiction from Post-war Sri Lanka'' කෘතිය එංගලන්තයේ ප්‍රකාශන ආයතනයක් බාරගත්තේ මේ විශ්වාසය නිසයි.
ඒ නිසා ලෝකයට යන්න ඉංග්‍රීසි ඉතාම වැදගත්. මම හිතන්නේ පෙර පාසලේ සිටම දරුවන්ට ඉංග්‍රීසි භාෂාව හුරු කළ යුතුයි කියලයි.
• එහෙම වුණොත් මාතෘ භාෂා සම්බන්ධයෙන් දරුවන් තුළ ඇති හැඟීම හා අවධානය ගිලිහී යන බවට ඇතැම් විද්වතුන් පෙන්වා දෙනවා නේද?
ඒක අපි වැරැදි විදිහට තේරුම් නොගත යුතුයි. ඉංග්‍රීසි ඉගැන්වීම අවශ්‍ය යැයි කීමෙන් මාතෘ භාෂා අනවශ්‍ය බවක් අවධාරණය වන්නේ නැහැ. මවු භාෂා උගත යුතුයි. ඒකෙ විවාදයක් නෑ. ඒත් අපි ලෝකයට විවෘත වෙන්න නම් සිංහල – දෙමළ පමණක් ප්‍රමාණවත් නැහැ. බටහිර දේම අගය කළ යුතුයි කියලත් එයින් කියැවෙන්නේ නෑ. බටහිර සංකල්ප විවේචනය කරන්නත් අඩුම තරමේ ඉංග්‍රීසි භාෂාව දැනගෙන සිටිය යුතුයි. එදා යටත් විජිත පාලනයේ ඇතැම් කෲරකම් විවේචනය කරන්නට අපේ උගතුන්ට පුළුවන්කම ලැබුණේ ඔවුන් ඉංග්‍රීසි උගත් නිසයි.
ඒ නිසා ඉංග්‍රීසි ඉගැනීම යනු බටහිරට ගැතිවීම නොවෙයි. අපි මොනතරම් සාරවත් දේ සිංහලෙන් ලිව්වත් ලෝකයත් එක්ක බලපුවාම අපි මොනතරම් සුළු පිරිසක් වෙනුවෙන් ද ලියලා තියෙන්නෙ? මේ කෘතිය රචනා කිරීමේදී පවා මට මැනැවින් පැහැදිලි වුණ දෙයක් තමයි මේ රටේ මිනිසුන් සමාජ, දේශපාලන, ආර්ථික වශයෙන් වැටුණු තැන්වල මොනතරම් සහජීවනයෙන් කටයුතු කරලා තියනවද කියන එක.
පශ්චාත් යුද සාහිත්‍යය පිළිබඳව ලියූ අපගේ අවධානයට ලක්වූ සියලු ලේඛක ලේඛිකාවන් අවධාරණය කරන්නේ මනුෂ්‍යත්වයේ අවශ්‍යතාව මිස වෙනෙකක් නොවෙයි. කිසිම ලේඛකයෙක් තමන්ගේ ජාතිය ගැන පමණක් සිතමින් නිර්මාණ කළ බවක් පෙනෙන්නට නැහැ. මේ පණිවුඩය හා ආදර්ශය ජාත්‍යන්තර බසකින් ලෝකයට රැගෙන ගියොත් පමණයි නේද අපට ලෝකය දිනාගත හැකිවන්නේ?
• මේ රටේ ලේඛකයන් අතින් සිංහල – දෙමළ භාෂාවලින් සාර්ථක කෘති නූතනයේ ලියැවෙන බව ඔබ පිළිගන්නවා. මේ කෘති ජාත්‍යන්තරයට රැගෙන යාමට සුදුසු පරිවර්තන වැඩපිළිවෙළක් සැකසීමේ අවශ්‍යතාව ඔබ දකින්නේ කොහොමද?
මේ වැඩපිළිවෙළ අවශ්‍ය එකක්. අපි යම් යම් අවස්ථාවල උත්සාහගත්තා එවැනි වැඩපිළිවෙළක් හදන්න. ඒත් ඒක අඛණ්ඩව ක්‍රියාත්මක වුණේ නැහැ. එතනදී ගැටලුවක් විදිහට මතුවුණොත් එවැනි පුළුල් වැඩසටහනක් සඳහා අවශ්‍ය ද්විභාෂික උගතුන් අවම වීමයි. එහෙම බැලුවාම සිංහලෙන් ලියැවෙන අපූරු නවකතා ආදිය ලෝකයාට නොයාම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්.
• ලංකාවේ තෝරාගත් නිර්මාණකරුවන්ගේ නිර්මාණ එකතුවක් මේ කෘතියෙන් ඔබේ විමර්ශනයට, නිරීක්‍ෂණයට ලක්වුණා. අපේ රටේ සාහිත්‍යයේ වර්ධනයට විචාර කලාව දක්වන දායකත්වය සම්බන්ධයෙන් ඔබේ මතය කුමක්ද?
සාහිත්‍යයේ පෝෂණයට විචාරය අත්‍යවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය පුළුල් පරිසරයක් මීට දශක කීපයකට පෙර මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර වැනි අය ගොඩනැගුවා. මම හිතන්නේ ශාස්ත්‍රීය දැනුමකින් සාහිත්‍ය විචාරයේ යෙදුණොත් තමයි උසස් විචාර කලාවක් බිහිකොටගත හැක්කේ.
යමක් දෙස ගැඹුරින් විමසා බැලීමේ හැකියාව විචාරයේ තිබිය යුතුයි. නිර්මාණයේ සාර්ථක අසාර්ථක තැන් විමසන්න නම් ඒ ශාස්ත්‍රීය පදනම අවශ්‍යයි. ලෝකයේ විවිධ රටවල නිර්මාණ විමසා බැලීමේ හැකියාව, තුලනාත්මක සංසන්දනය ගොඩනැගෙන්නේ මේ ශාස්ත්‍රීය ශික්‍ෂණය මතයි.
කොහොම වුණත් ලංකාව වගේ රටක සාහිත්‍ය විචාරයේ යෙදෙන එක ඉතාම අමාරු වැඩක්. රට කුඩා වීම ඒ සඳහා එක් හේතුවක් විය හැකියි. සාහිත්‍ය ක්ෂේත්‍රයේ එදිනෙදා අපට මුණගැහෙන්නෙ අපි දන්න අඳුනන අය. නිර්මාණයක් දැඩිව විවේචනය කළොත් ඇතැම් නිර්මාණකරුවන් අමනාප වෙනවා. එය සාහිත්‍ය විචාරයේ මැදහත්භාවය වෙනුවෙන් ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්.
සංවාද සටහන ගාමිණි කන්දේපොළ
ආචාර්ය මධුභාෂිණී දිසානායක රත්නායක