ලේඛකයන් පැතූ සමාජය සිහිනයක්


ප්‍රවීණ කවියකු, ගීත පද රචකයකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතා කරුවකු ලෙස පමණක් නොව ග්‍රන්ථ සංස්කාරකවරයකු ලෙසද නිර්මාණ රැසක් මෙරට සාහිත්‍යයට දායා ද කොට ඇති බුද්ධදාස ගලප්පත්ති මහතා සංස්කරණය  කළ අයිස් මෝල හන්දියේ අතුලයාගේ කතා සයුර කෘතිය ද පසුගිය දා එළි දැක්විණි. දශක පහකට වඩා වැඩි කාලයක් විවිධ සාහිත්‍ය කලා ක්ෂේත්‍රවල පෝෂණය සඳහා දායකත්වය සපයා ඇති ගලප්පත්ති මහතාගේ හැත්තෑ පස් වැනි ජන්ම දිනය ද පසු ගිය (18) වැනිදාට යෙදී තිබුණි. මෙවර සංවාදය ගලප්පත්ති මහතා සමගයි.

• දශක කීපයක් පුරා මෙරට සාහිත්‍ය කලා ක්ෂේත්‍රවලට ප්‍රබල දායකත්වයක් සැපයූ ඔබ ඔබේ නිර්මාණ දිවිය පිළිබද ආවර්ජනය කරන්නේ කොහොම ද?

1971 දී සුනිල් ආරියරත්න සහ ජයලත් මනෝරත්න සමග කළ දොළොස් මහේ පහන කෘතිය මගේ නිර්මාණ දිවියේ වැදගත් අවස්ථාවක් වුණා. එතැන් සිට මේ දක්වා මගේ නිර්මාණ ජීවිතේ වසර පනහක් ගත වී තිබෙනවා. කැටපත් පවුර තමයි මගේ මුල්ම කාව්‍ය සංග්‍රහය.

මේ වන විට කාව්‍ය සංග්‍රහ දහයක් පළ කරන්නට  හැකි වෙලා තියනවා. කෙටිකතා පොත් හතරකුත් සංස්කරණ ග්‍රන්ථ රැසකුත්,  තීරු ලිපි ග්‍රන්ථ පෙළකුත් ඇතුළුව සැලකිය යුතු පොත් ගණනක්  ලිවීමේ හැකියාව ලැබුණා. කලා ක්ෂේත්‍රයේත් බොහෝ නිර්මාණ සඳහා දායක වෙන්න ලැබිලා තියෙනවා. ඒවාට බොහෝ ඇගැයීම් ලැබිල තියෙනවා. මගේ මේ පනස් වසරක නිර්මාණ අස්වැන්න දිහා ආපසු හැරී බැලුවාම මට තෘප්තියක් තියෙනවා.

• පවතින සමාජ, දේශපාලන සංස්කෘතික තත්වයන් සඳහා මෙන්ම සමාජ වෙනස්කම් සඳහා ඔබේ නිර්මාණ දායකත්වය බලපෑ බවට සතුටු වෙන්න  පුළුවන් ද?

මගේ ප්‍රධානම ප්‍රකාශන  මාධ්‍ය වුණේ කවිය. මගේ කවිය තුළ හැම තිස්සෙම මං උත්සාහ ගත්තෙ කිසියම් සමාජ ප්‍රගමනයක් උදෙසා මතයක් ගොඩ නගන්නයි. ඒත් ඒක කොයි තරම් දුරට සමාජය කෙරෙහි බලපාල තියනවද කියන එක ගැටලුවක්. මේ ගැටලුව තියෙන්නෙ මට විතරක්  නෙවෙයි. මං හිතන්නෙ හැත්තෑව දශකයේ නිර්මාණ රචනයේ යෙදුණ බොහෝ දෙනෙකුට මේ අදහස තියෙනවා.

මේ නිර්මාණ සමාජයට බලපෑමක් කළානම් අපි අද ගොදුරු වී සිටින දේශපාලන, සමාජ ආර්ථික තත්ත්වක් ඇති වෙන්න විදියක් නෑ. අපේ නිර්මාණවලින් අපි  අපේක්ෂා කළ සමාජය බිහි වෙලා නෑ. මේ වසර පනහ තුළම එවෙනි අපේක්ෂිත මට්ටමක් මම නම් දැකල නෑ. පවතින දේශපාලන ආර්ථික ක්‍රමය වෙනස් වෙන්නෙ නැතිව කලාවෙන් අපේක්ෂිත අරමුණු ඉටුවේවි කියල හිතන්න අමාරුයි. ඉලක්කයක් නැතිව ඔහේ පරණ තැනටම යන සමාජයක් තමයි අපි දකින්නෙ.

• ඔබ කියන්නෙ ලංකාව වගේ  රටක පවතින දේශපාලන සමාජ ක්‍රමය වෙනස් කිරීම වෙනුවෙන් සාහිත්‍ය කලාවට බලපෑමක් කළ නොහැකි බවද ?

කළ නොහැකියි කියල මම කියන්නෙ නෑ. එය කළ හැකි බව ලෝකයේ බොහෝ රටවල් ඔප්පු කරල පෙන්නලා තියනවා. හැබැයි අපේ රටේ කාලයක් තිස්සේ සාහිත්‍යකරුවන්, කලාකරුවන්, විද්වතුන් මීට වඩා යහපත් සමාජයක් බලාපොරොත්තු උණා. ඒත් අපි කොහොමද විශ්වාස කරන්නෙ අද අපට එහෙම සමාජයක් තියනව කියල. කලාවෙන් සමාජ දේශපාලනයට බලපෑමක් වුණානම් අපි අද මේ ඉන්න තත්ත්වයේ නෙවෙයි ඉන්නෙ,.

• ඔබ කියන්නෙ කලාවෙන්  සාහිත්‍යයෙන් කියා දුන් දේවල් ගෝචර කර ගැනීමට තරම් රසවින්දනයෙන් පිරිපුන් සමාජයක් අපේ රටේ නොතිබූ බව ද ?

නෑ නෑ මම එහෙම කියන්නෙ නෑ. නිර්මාණයක් රසවිඳීමේ ඇල්ම උනන්දුව ඇති පිරිසක් අපේ සමාජයේ සිටිනවා. ඒක නෙවෙයි ප්‍රශ්නෙ. සමාජයේ රසවින්දනය තියනව, ඒත් එතනින් එහා ගිහින් තියනවද අපි. රසවින්දනය තිබුණට චින්තනය වෙනස් වුණේ නෑ. එහෙම වුණානම් මේ දේශපාලන ආර්ථික තත්ත්වය වෙනස් වෙලා තියෙන්න එපා යැ. නිර්මාණකරුවො හැමදාම හොඳ නිර්මාණ කළා. ඒ වෙනුවෙන් මහන්සි උණා. පෙනී සිටියා. ඒත් ඒ නිර්මාණ සමාජ ගත   වුණේ නැති බවයි මං කියන්නෙ.

• ඔබේ නිර්මාණ ක්ෂේත්‍රයේ ගත වූ වසර පනහ තුළ වැඩි ඉඩක් ලැබෙන්නෙ කවියට. කවියට මේ තරම් ප්‍රිය කරන්නට හේතුව කුමක්ද,?

පොත් පළ කිරීමට පෙර සිටම විශ්වවිද්‍යාල ශිෂ්‍ය කාලෙ ඉදලම  මම කවි ලිවීමේ යෙදුණා. විශ්වවිද්‍යාල තුළ ඒවා කතාබහට ලක්වුණා. ඒ සිට මේ දක්වා පැමිණි ගමනේ කවිය තුළ යම් සාර්ථකත්වයක් ඇති වුණ බව විචාරක රසික අදහස් අනුව කියන්න පුළුවන්. ඒ ඇතැම් කවි උසස් පෙළ දරුවන්ට කීප වරක්ම නිර්දේශ වෙලා තියනවා. මම විශ්වාස කරනවා වෙනත් කලා  ඉසව්වලට වඩා කවියෙන්  මගේ භාව ප්‍රකාශනය ඉදිරිපත් කරන්න පුළුවන් කියලා. මට හිතෙනවා මගේ ආත්ම  ප්‍රකාශනයට කවිය වඩාත් සමීපයි කියලා.

• කවිය වගේම සිංහල ගීත කලාවේ සුපෝෂණය සඳහාත් ඔබේ දායකත්වය ලැබුණා. ඒත් අද  ගීත කලාවට අත්වී ඇති ඉරණම ගැන බොහෝ දෙනා කතා කරන්නේ කලකිරීමෙන්, ඔබට මේ ගැන මොකද හිතෙන්නේ.?

ගීත කලාවේ අද තියෙන්නේ අමුතුම ප්‍රවනතාවක්. ප්‍රවීණ ගීත රචක රචිකාවියෝ අද ගීත ලියනවනම් ලියන්නෙ ආරාධනාවකට පමණයි. විදේශ ගතවෙලා ඉන්න බොහෝ දෙනා අපේ ප්‍රවීණයන් ලවා ගීතයක් ගායනා කරවා ගැනීම අද අලුත්ම විලාසිතාව වෙලා. ඔවුන් මුදල් වියදම් කරනවා. ගීතය කරල යූ නළයට දමනවා. යූ නළයෙන් එක රැයෙන් ගීත රචකයෙක් බිහි වෙනවා.  එක රැයින් බිහිවන ඒ ගීතවල සුභාවිත ගුණයක් නෑ. මෑත කාලයේ මොන තරම්නම් ගීත ආවද? ඒත් එයින් කීයෙන් කීයද අපේ මතකයේ රැදුණේ? අදටත් තරුණයන්ගේ පවා මුවේ රැදී තිබෙන්නේ හැත්තෑව අසූව කාලෙ ගීත.

එක පැයෙන් එක රැයින් ගීත ලියවෙන තරමට අද ගීත කලාව හෑල්ලුවට ලක් වෙලා. හැම දේම සල්ලිවලට යටවෙලා. ඒත් ඉස්සර ගීත රචනා කලාව හැදෑරිය යුතුඅභ්‍යාස කළයුතු විෂයයක්.  ගීත කලාව විනාශ වුණේ රුපියල් ශත ඉස්සර කරගත්ත නිසයි. ඒත්  ඒ නිර්මාණ දිගුකල් පවතින්නෙ නෑ. සල්ලි බලේට සාහිත්‍ය කලාව දියුණු කරන්න බෑ.

• බොහෝ දෙනා කියන්නෙ තරුණ පරපුරේ නිර්මාණ අසාර්ථක වීමට  හේතුව   ඊට අවශ්‍ය අභ්‍යාස වැඩ බිම ඔවුන්ගෙන් මගහැරුණු නිසා බවයි.

ඒ කාරණය ඇත්තක්.  ඔවුන් ඒක අත් හැර ගත්තත් අද තරුණයන්ට උපරිම මට්ටමෙන් අවස්ථා  හැදිල තියනවා. පුළුල් මාධ්‍ය අවකාශයක් තියනවා. ඒ කාලෙ එහෙම අවස්ථා  තිබුණෙ නෑ. ඒ කාලෙ රචකයන්ට ඔබ ඔය කියන අභ්‍යාස වැඩ බිම සැකසිලා තිබුණා. නිර්මාණවල ප්‍රමිතිය හැදුණෙ ඒ අභ්‍යාස වැඩ බිම නිසයි.

සංවාද සටහන ගාමිණි කන්දේපොළ

ප්‍රවීණ කිවියර බුද්ධදාස ගලප්පත්ති