මතුගම ඉත්තෑපානේ උපන් රුවන් කුකුලේවිතාන මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු උපාධිධාරියෙකි. දෙස් විදෙස්හි ඉදිකිරීම් කර්මාන්තයේ නියුතු ආර්.එච්.ගෝල්ඩින්ස් සමාගමේ නිර්මාතෘවරුන් දෙදෙනාගෙන් තවත් අයකුවන ඔහු කළයුත්තේ කුමක්ද විශේෂාංගයට සම්බන්ධ කර ගත්තේ ඉදිකිරීම් කර්මාන්තය ගැන කතා කිරීමටය. ඉදිකිරීම් කර්මාන්තයේ දියුණුව සඳහා කළ යුතු හා නොකළ යුතු දේවල් ගැන රුවන් මෙසේ කියයි.
ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයට හොඳම කාලය එළඹුණේ සුනාමියෙන් පසුවය. නැවත යුද්ධය නිමවීමෙන් පසු එළඹුණු කාලය ද ඉදිකිරීම් කර්මාන්තයට හොඳම කාලයකි. ඉදිකිරීම් කර්මාන්තයට වැරැදුණේ 2015 බලයට පත් නව රජය ඊට පෙර පැවැති රජයේ වංචා දූෂණ හොයනවාය කියමින් සියලු ඉදිකිරීම් අත්හිටුවීමය. ඒ සොයා බැලීමේ කටයුතුවලට අවුරුදු දෙකක් පමණ ගත වූ අතර අවසානයේ නැවැත්වූ ඉදිකිරීම් සියල්ල යළි ආරම්භ කළේය. ලොකුම වරද්දා ගැනීම පෝට් සිටියේ (වරාය නගරයේ) ඉදිකිරීම් නැවැත්වීමය. දෙවැනි වරද මාර්ග සංවර්ධන ව්‍යාපෘති නැවැත්වීමය.
වරාය නගරයේ ඉදිකිරීම්වලට පැමිණ සිටියේ විදේශ ආයෝජකයන් සහ විදේශ සමාගම්ය. මාර්ග සංවර්ධන ව්‍යාපෘති කරමින් සිටියේ අපේ රටේ මහා පරිමාණ සමාගම්ය. අපේ සමාගම්වල මාසික වියදම ඉතා ඉහළය. එය දරා ගැනීමට නොහැකි තරම් විශාලය. ණය ගෙවා ගැනීමට නොහැකි වූ නිසා අවසානයේ මහ බැංකුව කළේ ඉදිකිරීම් කර්මාන්තය ඉහළ අවදානමක් සහිත කර්මාන්තයක් ලෙස නම් කිරීමය. ඒ නිසා සියලු බැංකු ඉදිකිරීම් කර්මාන්තයට පහසුකම් දීම අත්හිටෙව්වේය. මා දන්නා තරමින් රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත් කළ කොන්ත්‍රාත්කරුවන්ට රජය ගෙවිය යුතුව තිබෙන මුදල රුපියල් බිලියන දෙසීයකට වැඩිය. එක් මහා පරිමාණ සමාගමකට පමණක් ගෙවිය යුතුව තිබෙන මුදල බිලියන 20කි.
රජයේ ඉන්නා දක්ෂයන්ය කියන, සුපිරි කළමනාකරුවන්ය කියන අයට මේවා නොතේරීම බරපතළ කාරණයකි. අනෙක් අතින් මේ කාරණයෙන් හෙළි වෙන්නේ ආණ්ඩුවේ හා රාජ්‍ය යාන්ත්‍රණයේ අකාර්යක්ෂමතාවයි. ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට රජය විසින් ගෙවිය යුතුව තිබෙන මුදල ගෙවීමට ණයක් හෝ ලබාගෙන ඒ මුදල් ගෙවා දැමුවහොත් ඉදිකිරීම් කර්මාන්තයේ යළි ඇතිවන්නේ පිබිදීමකි. රජයේ ඉදිකිරීම් කළ කොන්ත්‍රාත්කරුවන්ට රජය විසින්ම පොලු තැබීමෙන් සිදුවූයේ ඉදිකිරීම් කර්මාන්තයේ කඩා වැටීමකි. ගෙවිය යුතුව තිබෙන බිලියන 200න් එකසිය පනහක්ම (150) ගෙවීමට තිබෙන්නේ මහා පරිමාණ දේශීය කොන්ත්‍රාත්කරුවන්ටය. ඉතිරි බිලියන 50 ගෙවීමට තිබෙන්නේ සුළු පරිමාණ කොන්ත්‍රාත්කරුවන් දහස් ගණනකටය. ඒ දහස් ගණන අතර මම ද සිටිමි.
මේ රජය මට ද මිලියන 150ක පොල්ලක් තබා තිබේ. බිලියන 200ක් ණයට ගැනීමට නොහැකිනම් බිලියන 50ක් ණයට ගෙන අමාරුවේ වැටී සිටින කොන්ත්‍රාත්කරුවන් දහස් ගණනකට ගෙවා දැමුවහොත් බත් පැකට් විකුණනා පුද්ගලයා දක්වා ඒ මුදල් ගලා යයි.
රජයෙන් රුපියල් මිලියන 10ක් ගෙවීමට තිබෙන ඇතැම් කොන්ත්‍රාත්කරුවන් දැන් සිටින්නේ සිය දිවි නසා ගන්නා තත්ත්වයකය. ණය ගැනීමට උගසට තැබූ තම නිවෙස, ඉඩම හෝ වාහනය ඒ ඇතැමුන්ට දැන් අහිමි වී ගොසිනි. මේ ණය නොගෙවීම දැන් අවුරුදු තුනක් පමණ එක දිගට ඇදි ඇදී යයි. මේ කාලයේදී අදාළ ඇමැතිවරයා නඩත්තු කිරීමට මිලියන දහයකට වඩා වැය වී ඇතිවා නිසැකය. මැති ඇමැතින් නඩත්තුවට එසේ මුදල් වැය කළත්, ප්‍රමුඛතාව දුන්නත් රටේ සංවර්ධනයට දායක වූ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට තිබෙන ණය ගෙවා නිදහස්වීමට ආණ්ඩුව උත්සාහ නොකරන්නේ දේශීය කොන්ත්‍රාත්කරුවන් වළපල්ලට යැවීමට දැයි ඇත්තේ සැකයකි. එසේම මේ ප්‍රශ්නත් ඊළඟ ආණ්ඩුවේ කරමත තැබීමේ උත්සාහයක් තිබෙනවාද විය හැකිය.
ආණ්ඩුවලට සේම අපට ද මුදල් ප්‍රශ්න ඇතිවෙයි. ඒ අවස්ථාවලදී අප කරන්නේ පොඩි ගණන් ගෙවීමට තිබෙන අයට පළමුව ඒ මුදල් ගෙවා දැමීමය. මධ්‍යම හා මහා පරිමාණ සමාගම්වලට දරා ගැනීමේ යම් හැකියාවක් තිබුණ ද සුළු පරිමාණ සමාගම්වලට, පුද්ගලයන්ට හා සැපයුම්කරුවන්ට දරා ගැනීමේ කිසිම හැකියාවක් නැති බව අපි දනිමු. ඔවුනට ප්‍රමුඛ තැන දෙන්නේ ඔවුනට මියයාමට නොදී රැක ගැනීමටය. ව්‍යවසායකයන් ලෙස අපට එලෙස සිතුණත් සුපිරි කළමනාකරුවන්ය කියන ආණ්ඩු කරන පුද්ගලයන්ට එලෙස නොසිතෙන්නේ ඇයිද යන්න බරපතළ ප්‍රශ්නයකි. සුළු පරිමාණ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට හෝ ගෙවිය යුතුව තිබෙන මුදල් නොගෙවන්නේ යම් අරමුණකින් යැයි කෙනෙකුට සිතෙන්නේ එහෙයිනි.
ඉදිකිරීම් කර්මාන්තයේ අද තිබෙන දැවෙන ප්‍රශ්නය ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ඔවුන් බාරගත් ඉදිකිරීම් අවසාන කළ පසුවත් මුදල් නොගෙවීමය. බලයේ සිටින හෝ බලයට පත්වන කිසිම රජයකට මේ ප්‍රශ්නය නොවිසඳා ඉදිකිරීම් කර්මාන්තයේ යළි පිබිදීමක් ඇතිකළ නොහැකිය. ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට තිබෙන දෙවැනි බරපතළ ප්‍රශ්නය ඉදිකිරීම් කර්මාන්තයට කිසිම සීමාවකින් හෝ කොන්දේසි රහිතව විදේශීය සමාගම් පැමිණීමය. විශේෂයෙන් මෙරටට පැමිණෙන්නේ චීන සමාගම්ය. මේ යුගයේ අපේ රටේ ප්‍රමුඛ ආයෝජකයා චීනය වන හෙයින් එන්නට එපායි චීන සමාගම්වලට කීමට අපට නොහැකිය. එහෙත් ඕනෑම ආණ්ඩුවකට කොන්දක් තිබිය යුතුය. ලෝකයේ ඕනෑම රටකට වෙනත් රටක සමාගමක් යන්නේ නම් තමන් යන රටේ සමාගම් සමඟ හවුල් විය යුතුමය. දේශීය සමාගමට සියයට 51ක අයිතියකුත් විදේශීය සමාගමට සියයට 49ක අයිතියකුත් තිබිය යුතුය. ලෝකයේ අනෙක් රටවල ක්‍රියාත්මක වන්නේ ඒ ප්‍රතිපත්තියයි. එහෙත් අපේ රටේ ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොවෙයි. එය අපේ රටේ ආණ්ඩුවේ කොන්ද පිළිබඳ ප්‍රශ්නයක් මිස වෙන කුමක්ද?
චීනයේ මහා පරිමාණ සමාගම් නිදැල්ලේ මෙරටට පැමිණිවිට පළමුව වදින්නේ අපේ රටේ මහා පරිමාණ සමාගම්වලටය. එවිට අපේ මහා සමාගම් දෙවැනි පෙළට වැටෙයි. මහා සමාගම් දෙවැනි පෙළට වැටුණු විට දෙවැනි තැන සිටි සමාගම් තෙවැනි පෙළට වැටෙයි. අවසානයේ තෙවැනි පෙළ සිටි සමාගම් යන්නේ වළපල්ලටය. සුපිරි කළමනාකරුවන්ට මෙය නොතේරීම මහා කරුමයකි. ලොව අන් රටවල ක්‍රියාත්මක වන දේශීය සමාගමට 51% ක් සහ විදේශීය සමාගමට 49% ක් යන ප්‍රතිපත්තිය හා නීතිය මෙරටෙහි ක්‍රියාත්මක කළ යුත්තේ දේශීය සමාගම් රැක ගැනීමටය. පුංචි සමාගම් රැක ගැනීමටය. පුංචි සමාගම්, පුංචි මිනිසුන් හා පුංචි සැපයුම්කරුවන් මරා දමා කිසිම කර්මාන්තයකට පැවැතිය නොහැකිය. විදෙස් සමාගම් පැමිණිය යුතුමය. ඒ රටවල තියෙන තාක්ෂණය හා ඔවුන්ගේ දැනුම අපට ද අවශ්‍යයය. කොළඹ වරාය නගරයේ අවුරුදු 50කට ඉදිකිරීම් තිබේ. එහෙයින් ඉදිකිරීම් කර්මාන්තයට විදේශීය සමාගම් පැමිණිය යුතුමය. එහෙත් එය විය යුත්තේ අප ඉහත කී සියයට 51 සහ සියයට 49 ප්‍රතිපත්තිය මතය. එය අපේ රටේ නීතියෙන් සම්මත විය යුතු ප්‍රතිපත්තියකි.
ලංකාවේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට තිබෙන තෙවැනි ප්‍රශ්නය මුල්‍යමය පහසුකම්ය. චීන සමාගම්වලට එරට රජයෙන් මුල්‍යමය පහසුකම් සලසයි. සමාගමට පාඩුවක් වුවහොත් එය දරා ගැනීමට එරට රජයත් එකතු වෙයි, දායකවෙයි. එවැනි සමාගම්වලට ණය දෙන බැංකු ද එරට තිබේ. අපේ රටෙත් ඒ අරමුණෙන් බැංකු දෙකක් (D.F.C.C හා N.D.B) ආරම්භ කළේය. එහෙත් ඒ බැංකු දෙකට ආණ්ඩුවෙන් මුදල් දුන්නේ නැත. ඒ නිසා ඒ බැංකු දෙකට ද අනෙක් බැංකු යන මාවතටම යාමට සිදුවිය.
ඒ බැංකු දෙක ආරම්භ කළේම දේශීය ව්‍යවසායකයන් හා කර්මාන්තකරුවන් බිහි කිරීමේ අරමුණෙනි. එහෙත් ආණ්ඩුවල හා නායකයන්ගේ දුප්පත් දැක්ම නිසා ඒ අරමුණ ද ලත් තැනම ලොප් විය. ඒ බැංකු ආරම්භ කළේ ‘සංවර්ධන බැංකු’ ප්‍රතිපත්තියෙන් නම් අඛණ්ඩව ඒ ප්‍රතිපත්තියේම සිටිය යුතුය. ඒ බැංකුවලට වාණිජ මෙහෙයුම්වලට යාමට ඉඩ නොදිය යුතුය. එය එසේ වන බවට වගබලා ගැනීම ආණ්ඩුවල වගකීමකි. ඒ බැංකු යළි මූලික අරමුණු කරා රැගෙන යා නොහැකි නම් අලුතින් සංවර්ධන බැංකුවක් ආරම්භ කළ යුතුය. ඉදිකිරීම් සඳහාම වෙන්වූ බැංකුවක් ආරම්භ කිරීම වඩාත් යහපත්ය. නව රජයකින් හෝ එය විය යුත්තකි.
ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට තිබෙන තවත් බරපතළ ප්‍රශ්නයක් වන්නේ ණය දීම සඳහා උගසක් ඉල්ලීමය. ඉදිකිරීම් ව්‍යාපෘතිවල වටිනාකම ඉතා විශාලය. අපේ ඇතැම් ව්‍යාපෘතිවල වටිනාකම රුපියල් බිලියන 20ක් 30කි. ඒ ව්‍යාපෘතියට ණයක් ගැනීමට ගියවිට බැංකුව උගසක් ඉල්ලයි. එතැනදී බැංකුව කරන්නේ ද පොලී මුදලාලි කරන දේමය. එනම් යමක් උගසට තබාගෙන ණයක් දීමය. මේ සම්බන්ධයෙන් දැක්විය හැකි සුන්දර කතාවක් අපේ ගැමි වහරේ තිබේ. ගව පට්ටියක් තිබෙන ගොවියකු ණයක් ගැනීමට බැංකුවට ගිය විට බැංකුවේ කළමනාකරුවා කියා ඇත්තේ ණය දිය හැකි බවය. එහෙත් ණය දීමට උගසක් අවශ්‍ය බවය. එවිට ගොවියා කියා ඇත්තේ තමාට ගව පට්ටිය හැර වෙනත් කිසිම දේපළක් නොමැති බවය. ගව පට්ටිය උගසක් ලෙස ගත නොහැකි බැවින් ණය දිය නොහැකි බව බැංකු කළමනාකරු පවසා තිබේ. ඒ නිසා ගොවියා ගෙදර පැමිණ තිබෙන්නේ හිස් අතිනි. ටික දිනක් යන විට මේ ගොවියාට ලක්ෂ ගණනක ලොතරැයියක් ඇදී තිබේ. එහිදී බැංකු කළමනාකරු ගොවියා ළඟට ගොස් ඉල්ලා ඇත්තේ සල්ලි තම බැංකුවේ තැන්පත් කරන ලෙසය. එහිදී ගොවියා ද බැංකු කළමනාකරුගෙන් උගසක් ඉල්ලා තිබේ. බැංකුව සතු දේපළක් තමා ළඟ උගසට තැබිය හැකි නම් තම මුදල් ද බැංකුවේ තැන්පත් කළ හැකි බව ගොවියා පැවසූ හෙයින් බැංකු කළමනාකරු ද පැමිණ තිබෙන්නේ හිස් අතිනි.
එලෙසින් යම් දේපළක් උගසට ගෙන ණය දීමෙන් ව්‍යාපාරිකයින් බිහිකළ නොහැකිය. එය ආණ්ඩු සේම බැංකු ද තේරුම්ගත යුතුය. ව්‍යාපෘතිවල වටිනාකම මත ණය දීමේ ක්‍රමයක් රටට අවශ්‍යව තිබෙන්නේ එහෙයිනි. එහිදී බැංකු තම සේවා ගාස්තු අයකිරීම ප්‍රශ්නයක් නොවේ. එසේ අය කළ යුත්තේද සියයට එකක් වැනි සාධාරණ ගාස්තුවකි. එහෙත් දැන් බැංකු අය කරන්නේ සියයට තුනක් (3% ක්) වැනි ඉහළ සේවා ගාස්තුවකි. අය කරන ණය පොලිය සියයට 38 කි. ලංකාවේ එක්තරා සඟරාවක නමින් කෙරෙන සම්මාන ප්‍රදානයේදී දෙන සම්මානවලින් තුනෙන් දෙකක්ම දෙන්නේ බැංකු හා මූල්‍ය ආයතනවලටය. දියුණු වන රටක දිරිගැන්විය යුත්තේ බැංකු හා මූල්‍ය ආයතනදැයි මට ඇත්තේ උභතෝකෝටික ප්‍රශ්නයකි. ඇත්තෙන්ම අද අපේ රටේ තිබෙන්නේ ආර්ථිකයක් නොවේ. මුදල් සංසරණයකි. ඉදිකිරීම් කර්මාන්තයේ පිබිදීමකින් පමණක් රට දුවන්නේ එහෙයිනි. ඉදිකිරීම් කර්මාන්තය සේවාවකි. එමගින් සිදුවන්නේ මුදල් සංසරණයකි. ඉදිකිරීම් සමාගම් දියුණු වන බව සත්‍යයකි. මෙතැනට ගලා එන්නේ තැන්පත්කරුවන්ගේ සල්ලිය. උපයන්නේ නැතිව වියදම් කළ විට රටට සිදුවන්නේ කුමක්ද? රට දියුණු වීමට නම් අපනයන කර්මාන්ත බිහිවිය යුතුය. අපනයන කර්මාන්ත දියුණු වුණොත් ඉදිකිරීම් කර්මාන්තය නිරායාසයෙන් දියුණු වෙයි.
ඉදිකිරීම් කර්මාන්තයට අදාළ බදු විටින් විට වෙනස් කිරීම තවත් ප්‍රශ්නයකි. ස්ථාවර බදු ප්‍රතිපත්තියක් දිගු කලක් ක්‍රියාත්මක නොවෙයි. වැට්, පැල්, එන්.බී.ටී. යනාදී ලෙස බදු රාශියකි. සරල ක්‍රමවේදයකට එක බද්දක් හඳුන්වා දිය නොහැක්කේ ඇයි? ඇතැම් විට එකම බද්ද දෙවරක් අය කෙරේ. මා කියන්නේ මා ගැන නොවෙයි. මා කතා කරන්නේ සියලු දෙනා වෙනුවෙනි. අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය කිසිම දෙයකට ජාතික ප්‍රතිපත්තියක් නැතිකමය. තියෙන එකම ජාතික ප්‍රතිපත්තිය අකුල් හෙලීමය. මැති ඇමැතිවරුන් සමඟ රාජ්‍ය නිලධරයෝත් අකුල් හෙළීමේ ප්‍රතිපත්තිය අඛණ්ඩව අධිවේගයෙන් ක්‍රියාත්මක කරති. ඒ නිසාම ඇතැම් ව්‍යවසායකයෝ හා ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෝ දැන් ලංකාව හැර ගොස් සිටිති. අපේ සමාගමත් මියන්මාරයට ගියේ එවැනි හේතු මතය. බංග්ලාදේශය හා මාලදිවයින දෙසට ද අපි හැරී සිටිමු. ඒ රටවල් තුනම ලංකාවට වඩා වේගයෙන් ඉදිරියට යයි. වියට්නාමය අපට හිතාගැනීමටවත් බැරිතරම් වේගයකින් ඉදිරියට ගොසිනි. දකුණු ආසියාවේ පසුපසම සිටින්නේ ලංකාවය. දේශපාලකයින් රට වෙනස් නොකරන්නේ නම් ඒ දේශපාලකයන් වෙනස් කිරීම ජනතාවගේ වගකීමකි. නැතහොත් රටක් නැතිවන්නේ ජනතාවටය.
සාකච්ඡා සටහන:
ගුණසිංහ හේරත්