වන්දිභට්ට සාහිත්‍යයෙන් තරුණ පරපුර අනාථ වෙලා


වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා නිර්මාණාත්මක සාහිත්‍යය මෙන්ම විවිධ විෂය ක්ෂේත්‍ර සම්බන්ධ කෘති රැසක් ලියා පළ කොට ඇති ලේඛකයෙකි. ලොව හැඳිනිය යුතු හෙයින්ම, රාජ්‍ය, මාධ්‍ය හා සෞඛ්‍ය, ආදරයේ සැබෑ කතා, රට කට හා හෙට, තාරුණ්‍යය දැකීම හා රැකීම, යොවුන් වියට ලිංගික අධ්‍යාපනය, ජීවිතෙත් වැව වගේ වැනි කෘති ඔහු සම්පාදනය කළ ග්‍රන්ථ අතර කිහිපයකි.

වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතාගේ නවතම කෘතිය පාලකවරු සහ පාලක හොරු නමින් පසුගියදා මුද්‍රණයෙන් පිටවිය. ඒ සුරස ප්‍රකාශනයක් ලෙසිනි. මතු දැක්වෙන්නේ ඒ සම්බන්ධයෙන් වෛද්‍ය හෙට්ටිආරච්චි මහතා සමඟ අප කළ සංවාදයක සටහනකි.

පාලකවරු සහ පාලක හොරු කෘතියෙන් පසුගිය දහක පහකට වැඩි කාලය තුළ ලංකාවේ බලයට පත්වූ ආණ්ඩු කටයුතු කළ ආකාරයත් එයින් රටට සිදුවූ හිතකර හා අහිතකර ප්‍රතිඵල ආදියත් තුලනාත්මකව ඔබ විග්‍රහ කරනවා. මේ කාලයේ මෙබඳු කෘතියක් පළ කිරීමට කල්පනා කළේ ඇයි?

ඇතැම් මාධ්‍යවල විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල පසුගිය කාලයේ අසන්නට, දකින්නට කියවන්නට ලැබුණු තොරතුරු හොඳින් අධ්‍යයනය කරන්න අපට අවස්ථාව ලැබුණා. එයින් පැහැදිලි වූ එක් කාරණයක් වන්නේ මේ ලේඛන බොහොමයක් අපේ රටේ මෑත කාලයේ සමාජ–දේශපාලන ඉතිහාසය පිළිබඳව හරියාකාර අවබෝධයක් නොමැතිව ලියූ ඒවා බවයි.

සමාජ මාධ්‍යවල පළවූ එවැනි සාවද්‍ය දේශපාලන තොරතුරු විශේෂයෙන් තරුණ පරපුර විවිධ අන්දමින් සංවාදයට ගන්නා සැටිත් ඒ හේතුවෙන් වැරැදි මතයක් සමාජ ගතවන සැටිත් දැකගත හැකියි. මේක බරපතළ තත්ත්වයක්.

මේ සාවද්‍ය මත වෙනුවට වඩාත් නිවැරැදි මතය සහ තොරතුරු මොනවාද යන්න අවධාරණය කිරීම සඳහායි මම ‘පාලකවරු සහ පාලක හොරු’ කෘතිය සම්පාදනය කළේ. මෙරට දේශපාලකයන් ගත් ඇතැම් තීන්දු තීරණ රටේ යහපතට අයහපතට හේතු වුණේ කොහොමද කියන කාරණයත් මේ කෘතියේ අවධාරණය කෙරෙනවා.

මෑත කාලයේ සමාජ–දේශපාලන ඉතිහාසය අපේ තරුණ පරපුර නිවැරැදිව දැනසිටීම වැදගත් කරුණක්. එවැනි සමාජ-දේශපාලන කියැවීම් සහිත කෘති අපේ සාහිත්‍යයේ බහුල කළ යුත්තේ ඇයි?

මේක බරපතළ තත්ත්වයක්, මුලින් කිව්වා වගේ අද බොහෝ විට වැඩිපුර තොරතුරු ලබාගන්නේ වගකීමක් ඇතිව නොවෙයි. කිසියම් විෂය ක්ෂේත්‍රයක් ගැන නිවැරැදි දැනුම් තේරුම් ලබාගැනීමට නම් ඒ සම්බන්ධ යම් කියැවීමක් අවශ්‍යයි. අධ්‍යයනයක් අවශ්‍යයි. ඒත් දැන් අපට තියෙන්නේ පොතපත කියැවීම මඟහැරුණු සමාජයක්. තරුණ පරපුර පමණක් නොවෙයි වැඩිහිටියන්ද පොතපතින් ඈත් වෙලා. මුළුමහත් සමාජයම රුපවාහිනියේත් ජංගම දුරකතනයේත් සිරගතවෙලා. ඔවුන් බුද්ධිමත්ව වැදගත්ව යමක් සිතන, විමසන බවක් පෙනෙන්නට නැහැ. එය බරපතළ වන්නේ යම් පෞද්ගලික තීන්දුවකදීත් රටේ පොදු තීරණයකදීත් ඔවුන් ක්‍රියාකරන අන්දම නිරීක්ෂණය කළ විටයි.

කෘතියක් පරිශීලනය කිරීමෙන් ලබන දැනුමට හා එයින් ගොඩනැගෙන චින්තනයට මේ එකම කාරණයක්වත් සමපාත කරන්න බැ. ඒ නිසා රටක සමාජයක වගකීම් දරණ පුරවැසියන් ඒ රටේ දේශපාලන සමාජ ඉතිහාසය පොතපත හරහා හොඳින් කියවා තේරුම් ගෙන තිබිය යුතුබව මම අවධාරණය කරන්න කැමැතියි.

අනෙක් පැත්තෙන් වැදගත් විමර්ශනයෙන් යුක්ත එබඳු කෘති අපේ සාහිත්‍යය තුළ බහුල කිරීමත් අත්‍යවශ්‍ය කරුණක්. ඒත් එවැනි කෘති අපේ සාහිත්‍යයේ මෑතකාලීනව සුලබ නොවන බවයි මගේ හැඟීම. පළවෙන පොත් බැලුවත් ඉන් වැඩි කොටසක් ඒ ඒ ලේඛකයාගේ හෝ දේශපාලනඥයාගේ පෞද්ගලික අරමුණු සාධනය කොටගැනීම වෙනුවෙන් ලියැවුණු ඒවා බවයි පෙනෙන්නේ.

දේශපාලන ඉතිහාසය නිවැරැදිව අධ්‍යයනය නොකිරීමෙන් අවසානයේ අපේ රටේ තරුණ තරුණියන් විවිධ කල්ලි කණ්ඩායම්වල ගොදුරු බවට පත් වෙනවා වගේම ක්ෂණික අදුරදර්ශී තීන්දු තීරණ ගන්නා දුරදිග නොබලන පිරිසක් බවට පත් වෙනවා.

අපේ රටේ විද්වතුන්ගේ කලාකරුවන්ගේ සාහිත්‍යකරුවන්ගේ වැදගත් මතවාද හා නිර්මාණාත්මක ප්‍රයත්නයන් රටක සමාජ දේශපාලන දැක්ම නිවැරැදි කිරීම සඳහා භාවිතයට ගතයුතු යැයි ඔබ විශ්වාස කරනවාද?

ඇතැම් ලේඛකයන්, කලාකරුවන් මේ සම්බන්ධව යම් සාධනීය අදහස් දක්වන බවක් පෙනෙනවා. එහෙත් පොදුවේ ගත්තාම කිසියම් පක්ෂ දේශපාලනයකට හේත්තු වී ඒ වෙනුවෙන් මත පළ කිරීම නොවෙයි කලාකරුවාගේ දේශපාලන මැදිහත්වීම ලෙස සැලකිය යුත්තේ.

දේශපාලනයේ වැරැද්ද වැරැද්ද ලෙසම දකින්නත් හරි දේ හරි දේ හැටියටම දකින්නත් සාහිත්‍යකරුවාට අභිමානයක් තිබිය යුතුයි. ඔහු රටේ පොදු යහපත, ජනතාවගේ සාධාරණය ප්‍රාර්ථනා කරන්නෙකු සහ ඒ වෙනුවෙන් ක්‍රියාකරන්නෙකු විය යුතුයි. එහෙම නොවුණහොත් වෙන්නේ දේශපාලකයා ජනතාව රවටන විදිහටම ලේඛකයා විසිනුත් පාඨකයා රවටනු ලැබීමයි. දැන් සිදුව ඇත්තේ එබදු වන්දි භට්ට සාහිත්‍යයෙන් තරුණ පරපුර අනාථ වීමයි.

සාහිත්‍යය, ඉතිහාසය වැනි විෂයයන්ට අවප්‍රමාණ ලෙස සැලකීමෙන් මෙරට පරම්පරා කීපයක නිවැරැදි සමාජ දේශපාලනික දෘෂ්ටියත් නිර්මාණාත්මක චින්තනයත් මොටවූ බව විද්වතුන්ගේ මතයයි. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

එය ඉතාම නිවැරදි කාරණයක්. එහි ප්‍රතිඵල තමයි අද අපි මේ භුක්ති විඳිමින් සිටින්නේ. මේ සති කීපය ගත්තොත් අපි මාධ්‍යයෙන් නිතර නිතර අහන්නේ දකින්නේ ඝාතන, අපරාධ, ලිංගික හිංසා. මේක ඛේදවාචකයක්, ඇතැම් විද්‍යුත් මාධ්‍ය මේවා වමාරමින් ඉන්නවා. මේ වගේ තැනකට අපේ සමාජය තල්ලු වුණේ ඇයි? මුළු රටම කරන්නේ සල්ලි හොයන එක විතරයි. මිනිස්සු හොයන්නෙ නෑ. සැබෑ මිනිස්සු නැති රටකට සල්ලි මොකටද?

අනික් පැත්තෙන් දැනුම පුරවගත්ත මිනිස්සු විතරක් හිටියත් වැඩක් නැ. ඒ අයගේ සිත්වල තෙත් ගතියක් තියෙන්න ඕනෑ. අනුන්ගේ ප්‍රශ්නෙකදී සංවේදී වෙන්න බැරිනම්, ගහකට, වැලකට, ඇළකට දොළකට සංවේදී නැත්නම් එහෙම මිනිසෙකුගෙන් සමාජයට වැඩක්ද?

ඇතැම් විද්‍යුත් මාධ්‍ය හැසිරෙන විදිය දැක්කාම ඔවුන් මේ රටේ ජනතාවටද අමතන්නෙ කියල සැක හිතෙනවා. වැරදි පැත්තට පාර හදනවා. ඔවුන්ට ඕනෙ රේටින්ස් පමණයි. ජංගම දුරකතථයක් දරුවන්ගෙ අතට දීලා එවුන්ගේ ලෝකෙ විකෘති කරල තියෙනවා දැන්. මානසිකව ඔවුන් විවිධ විකෘතිතාවලට ලක්වෙලා. නිවැරැදි ලිංගික අධ්‍යාපනයක් නැති කමෙන් එහෙන් මෙහෙන් හොයාගත් බාල දේවල්වලින් අන්ධවෙලා.

ඩිජිටල් ලෝකෙක තනිවුණ දරුවන්ගෙ පොත්පත් පෙරලලා බලන්න. අත්අකුරු කෑලි තියෙන්නෙ. ව්‍යාකරණ අමු අමුවේම බිඳිනවා. වාක්‍යයක් හරියට ලියාගන්න බෑ. පොතක්පතක් කියවන්නේ නෑ. එහෙම දරුවෙක් කොහොමද සමාජයක් දිහා අලුතින් බලල හිතලා මතලා තීරණ ගන්නේ?

මේ අපි ගෙවන්නේ සාහිත්‍යයට කලාවට, ඉතිහාසයට තැනක් නොදී ඒවා පැත්තකට විසි කිරීමේ ප්‍රතිඵල. පොත්පත් නොකියවන වර්තමාන සමාජය හීන ලෝකයක අතරමං වෙලයි ඉන්නෙ.


වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි

සංවාද සටහන - ගාමිණී කන්දේපොල