වරදට පෙළැඹී සමාජය ගඳ ගස්වන ප්‍රභූවරු


මහනුවර මහ නගර සභාවේ මුදල් දෙපාර්තමේන්තුවේ සරප් අංශයට ලැබී තිබූ රුපියල් ලක්ෂ 51කට ආසන්න මුදලක් නගර සභා ගිණුමට බැර නොකර, තම පෞද්ගලික කටයුත්තක් සඳහා යොදාගත් බව කියන නිලධාරිනියකට එරෙහිව නාගරික කොමසාරිස්වරයාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

නගර සභාව, මහජනතාවගෙන් අය කරගන්නා වරිපනම් බදු, ජල බිලපත් ගාස්තු ඇතුළු සියලු අය කරගැනීම් නගර සභාවේ සරප් අංශය මගින් කරන අතර, එම මුදල් දෛනිකව නගර සභා ගිණුමට බැර කළ යුතුව තිබුණත්, එම මුදල් භාරව සිටින ඉහළ නිලධාරිනියක එම මුදල් නගර සභා ගිණුමට බැර නොකර, ඇයගේ පවුලේ විවාහ මංගල උත්සවයක ගෙවීම් කටයුතු කිරීම සඳහා රැගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද එම ප්‍රවෘත්තියේ සඳහන්ය.

ඒ, එක ප්‍රවෘත්තියකි.

තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ, මහනුවර මහ නගර සභාව සතු කඩ කාමර පැවැරීමේදී අය කරන ගාස්තු මුදල් නගර සභා ගිණුමට බැර නොකර, රුපියල් එක් කෝටි තිස්පන් ලක්ෂ අනූහත් දහස් හත්සිය අනූවක මුදලක් වංචා කළ බව පැවැසෙන කළමනාකාර සහකාරවරියකට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

නගර සභාව සතු වෙළෙඳ සංකීර්ණ 14ක කඩ කාමර 18ක බදු අයිතිය එක් බදුකරුවකුගෙන් තවත් බදුකරුවකුට පත්කිරීමේදී බදු ගාස්තු ලෙස අය කරගත් මුදල් එසේ වංචා කර ඇති බව ද වාර්තා කරන එම ප්‍රවෘත්තිය, එම කළමනාකාර සහකාරවරිය වෙනත් දෙපාර්තමේන්තුවකට මාරු වී ගොස් ඇති බව ද වාර්තා කරයි.

හෘද සාක්ෂියේ ගරුත්වය ආරක්ෂා කරගනිමින්, රාජකාරිය දේවකාරියක් සේ සලකා ඉමහත් වගකීමෙන් ඉටු කරන රාජ්‍ය නිලධාරීහු හා සේවකයෝ බහුතරයක් අප රටේ සිටිති. එමෙන්ම, ජනතා මුදල් ගසාකන, හොරකම රාජකාරිය බවට පත් කරගත් චෞර කප්පිත්තෝ ද සිටිති. මුළු රාජ්‍ය දේහයම ගඳ ගස්වන්නේ ඔවුහු වෙති. පෙර කී නිලධාරිනියන් දෙදෙනා වුව ද එයට කදිම නිදසුනකි.

ලජ්ජාව සහ භය යනු විශිෂ්ට මානවයා නිර්මාණය කරන මූලික පදනම වේ. වැරැදි නොකර සිටීමේ හැකියාව, කුසලතාව මතු කරනු ලබන්නේ ලජ්ජාව හා භය මගිනි. එම ලජ්ජාව හා භය තුරන් වී ගිය පසු ඕනෑම පන්නයේ අපරාධයක්, වරදක්, සොරකමක් කිරීමේ නිර්භය බව ඇති වේ. විශිෂ්ට මිනිසකු වෙනුවට අශිෂ්ට, අතාත්වික හා අසංස්කෘතික සතකු එමගින් බිහි වීම වැළැක්විය නොහැක. අප සමාජයක් වශයෙන් ගමන් කරමින් සිටින්නේ එබඳු සංස්කෘතික කාන්තාරයකට ද යන්න විමසිය යුතුවම තිබේ.

වරදක් කළ විට දඬුවම් ලැබෙන බව දැනගැනීමට අමුතු නුවණක් ඇවැසි නැත. රාජ්‍ය සේවකයකු යනු, කිසියම් ආකාරයක අධ්‍යාපනයක් ලැබූවකු විය යුතුය. ඇතැම් විට, තරග විභාග ආදියෙන් ද සමත් විය යුතුය. එබඳු අයකුගෙන් මළ පොතේ අකුරක් නොදන්නා නූගතකුගෙන් පහළ වන ගති ලක්ෂණ පහළ විය නොහැකිය. එහෙත්, අධ්‍යාපනය යනු, කඩදාසි සුදුසුකමක් පමණක් යැයි සිතන අයකුගෙන් එබඳු දුර්ගුණ මතු විය හැකිය.

අධ්‍යාපනයේ අරමුණ මිනිසා තුළ විනය හැදීමය. ‘විද්‍යා දදාති විනයං’ යනුවෙන් දක්වන්නේ එයයි. එම විනය නිර්මාණය නොවේ නම්, කෙතරම් ඉහළට ඉගෙන ගත්ත ද පලක් නැත. ඉගෙන ගෙන ඉහළ රැකියාවලට ගිය ද ඉතා වේගයෙන් අපකීර්තිය ළඟා කරගනිමින් පිරිහීමට ලක් වේ.

මහජන ධනය කෝටි ප්‍රකෝටි ගණනින් සොරකම් කළ පුද්ගලයන් පාර්ලිමේන්තුව තුළ යෙහෙන් වැජඹෙන හෙයින්, ‘අප ද සොච්චමක් සොරකම් කළාට කම් නැතැයි’ ඇතැමෙක් සිතති. එහෙත්, මහ පාරේ බැස යන්න බැරි වන්නේ එසේ සිතන්නන්ගේ දූ පුතුන්ටය. එම දූ පුතුන් ගැන අපට ඇත්තේ ඉමහත් සංවේගයකි.

(***)