(සාරා කන්දේගොඩ)
යහපත් හෙට දවසක් ගැන බලාපොරොත්තු ගොඩනැගෙමින් පවතින වකවානුවකි. බලාපොරොත්තු අභිබවමින් අභියෝග එල්ලවෙමින් පවතී. ජීවත්වීම අපහසු බව ප්‍රකාශ කරන වැඩ කරන ජනතාව පීඩාවට පත් කරමින්, තවත් බදු වැඩි කිරීම හැර වෙනත් උපායකට සූදානම් නැති බව ආණ්ඩුව ඔප්පු කරමින් සිටී. ප්‍රතිසංස්කරණවලින් අලුත් ක්‍රියාමාර්ග ඇති කිරීමේ සැලැසුම්වලට මහජනතාව ද කැමැත්තක් නැත.
ශ්‍රී ලංකාවට සපයන ලද විස්තීරණ ණය පහසුකම අනුව පැවැත්ම පරීක්ෂා කරන්නට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම දූෂණ මර්දනය කරන හා කලු ආර්ථිකය පාලනය කරන ලෙස දක්වා ඇති අතර ආණ්ඩුකරණයේ දී විනිවිද පෙනෙන ක්‍රියාමාර්ග ගැනීම කෙරෙහි යොමුවන සේ බලකරන බව පෙනේ.
මෙම කරුණු සලකා බලන මිත්‍ර රටවල් හා ආයෝජකයන් ශ්‍රී ලංකාවටසැපයිය හැකි සහන ගැන අතීරණයක පසුවන බව සඳහන් කළ යුතුය.
ආර්ථිකය ස්ථාවර කිරීමෙන් පසු වර්ධනය අරමුණු කරගත් ක්‍රියාමාර්ග වේගවත් නොකළහොත් ගැටලු ඇති විය හැකිය. එම වේගවත්භාවය සඳහා අවශ්‍ය ජවය ආණ්ඩුවට තිබේද යන්න ප්‍රශ්න කළ යුතුය. කැබිනට් සංශෝධන සමග ආණ්ඩුව හා ආණ්ඩුවට සහය දක්වන දේශපාලන පක්ෂවල හොඳහිත පළුදු වී ඇත. අලුත් අණපනත් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ගැනීම, පෞද්ගලිකරණය සහ රට එකතු කරන සැලැසුම්වලට ද බාධා පැමිණෙන්නට ඉඩ තිබේ. අතිශය දුෂ්කර කාලපරිච්ඡේදයකට පසු, වසරක පමණ කාලය තුළ අත්පත්කරගත් වාසි අහිමිකරගැනීමට සුදුසු තත්ත්වයක් රට තුළ නිර්මාණයවීම සුදුසු නැති බව පැහැදිලිය.
වැටුප් වැඩි කරන යෝජනා නැවත පාරාවළල්ලකි
මාසයකට රුපියල් විසි දහසක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටින රජයේ වෘත්තීය සමිති ආණ්ඩුවට බලකිරීම් අරඹා තිබේ. රජයේ සේවකයන්ට පමණක් නොව සෑම ජන කොටසකටම ප්‍රශ්න ඇත. ජීවන වියදම උහුලා ගත නොහැක. රජයේ වැටුප් වියදම අඩු කරන තීරණයක් වශයෙන් අවුරුදු හැට සම්පූර්ණ වන පිරිස විශ්‍රාම යැවීමට 2022 අය වැය තීරණය කළ නමුත් එයට විරුද්ධව අධිකරණයට ගිය වෘත්තීය අංශ ජයග්‍රහණ ලබා ඇත. එය නැවතත් වැටුප් බර වැඩි කරනු ඇත.
රජයේ දත්ත දක්වන පරිදි ජාතික ආදායමෙන් සියයට අනූවක් ජනතාවට පටවන ලද බදු වන අතර වැටුප් හා විශ්‍රාම වැටුප් සඳහා පමණක් එයින් සියයට හැත්තෑ දෙකක ප්‍රතිශතයක් වෙන්කරන්නට සිදුවී ඇත. 2015 වසරේ දී රජයේ සේවක වැටුපට රුපියල් දස දහසක දීමනාවක් එකතු කරන ලදී.
ආදායමට නොගැළපෙන වැටුප් ව්‍යුහ වෙනුවෙන් ගෙවන්නට සිදුවීමේ විපාක අද අප හමුවේ පවතී. ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට ඔරොත්තු නොදෙන රජයේ සේවක පිරිස සහ රාජ්‍ය සේවය නඩත්තුවට වැය වන ධනයට අමතරව තවත් වටයකින් වැටුප් වැඩි කළහොත් අත්පත්විය හැකි ඉරණම සලකා බැලිය යුතුය. වැඩ කරන ජනතාවගේ ආදායම වැඩි කරන අවශ්‍යතාව පිළිගත හැකි නමුත් ආර්ථිකය අනතුරකට පත් කර ලබන වාසිය නැවත වටයකින් දැවැන්ත අවදානමක්, ඇති කරනු ඇත.
උද්ධමනය අවම කරන පියවරක් වශයෙන් දේශීය ණය ගැනීම පාලනය කර ඇති අතර විදේශීය ණය ආපසු ගෙවීම නතර කර තිබේ. ණය නොගෙවීම හේතු කොටගෙන අලුත් ආයෝජන සඳහා ප්‍රාග්ධනය සීමා වී ඇත. දේශීය හා විදේශීය වශයෙන් ධනය ලැබෙන මාර්ග අවහිර වී ඇති අවස්ථාවක සංවර්ධන ඉලක්ක පසෙකින් තබන්නට සිදුවී තිබේ.
ස්ථායීකරණයට පසු ප්‍රතිසංස්කරණයක්
ආදායම හා වියදම පාලනය කිරීම, ණය ස්ථායීකරණය සහ ආර්ථික අර්බුදය හේතු කොටගෙන ඉතාම දිළිඳු භාවයට නැවත පත් වූ ජනකොටස හඳුනාගෙන ඔවුන් සඳහා ආධාර සපයන සැලැස්ම තුළ වියදම ඉහළ නැග ඇත. වසරක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය තද පාලනයක ප්‍රතිඵල වශයෙන් උද්ධමනය අඩු කරගන්නට සමත්ව තිබේ.
විනිමය අනුපාතය යම් ප්‍රමාණයක ස්ථාවර බවක් දක්වයි. බැංකු පොලී අනුපාත පහත මට්ටමකට පැමිණ ඇත. දේශීය ණය ප්‍රශස්ථකරණ සැලැස්මක් ප්‍රකාශයට පත් වූ අතර තවත් නොබෝ දිනකින් ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ද ප්‍රකාශයට පත් කරන්නට ඉඩ තිබේ. අත්පත්කරගෙන සිටින අස්වැසිල්ල ආපසු හැරවීම අවදානමකි.
ආණ්ඩුවේ වියදම් පාලනය කර ජනතාව නගාසිටුවීමේ ප්‍රයත්නය සඳහා ආයෝජනය කළ යුතුවේ. රජයේ ආයෝජන ශක්තිය දුබලය. උද්ගතව තිබුණ ආර්ථික අර්බුදය පාලනය කරගන්නට සමත්ව ඇත. ඉන්දියානු රජයෙන් ලැබුණ ආධාර සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම එහිලා මහත් පිටිවහලක් වූ බව සැලකිය යුතුය. ආධාර හෝ ණය තව තවත් අපේක්ෂා කළ නොහැක. රට තුළින් උත්පාදනය කරගත යුතුව තිබේ.
අලුත් කර්මාන්ත හා ව්‍යාපාර සඳහා ඉඩදෙන සැලැස්මකට ගියහොත් ආර්ථිකය වේගයෙන් වර්ධනය කළ හැකිය. වර්ධනය ඇති කරන ක්‍රියාමාර්ගවලට කළ යුතු ප්‍රතිසංස්කරණ ගණනාවකි. ගෝලීය තරගකාරීත්වයට මුහුණ දිය හැකි පරිදි නිෂ්පාදන හා සේවා අංශ දියුණු කිරීම අවශ්‍යය.
රජයේ පාලනය යටතේ පවතින අසාර්ථක ව්‍යවසාය ගැන තීරණ ගත යුතු අතර තාක්ෂණය හා නවීන ක්‍රමවේද සහිතව යල්පැන ගිය අංශ වැඩි දියුණු කළ යුතුව ඇත. විදුලිය, ඛණිජතෙල්, ගුවන් සේවා, දුරකතන හා සන්නිවේදනය සහ මගී ප්‍රවාහනය වැනි අංශවල පරිවර්තන කළ යුතු නමුත් ඒවායෙන් යැපෙන සුළුකොටසක් සාම්ප්‍රදායික රාමුව හැර අලුත් දෙයකට ඉඩනොදෙන බව පෙනේ. ආර්ථික ප්‍රතිසංස්කරණ පසෙකින් තබන ආණ්ඩුවට බදු වැඩි කිරීම හැර අනාගතය ගොඩනගන නවීන ක්‍රමෝපායකට උත්සාහ කරන්නේ නැත.
ජාත්‍යන්තරයේ ගැටුම් අවාසියකට හේතුවකි
රුසියාව හා යුක්රේනය අතර ආරම්භ වූ ගැටුම තවමත් අවසන් නැත. ගාසා තීරයේ යුද උණුසුම ද එයට එකතු වී තිබේ. හමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර යුද්ධය ජාත්‍යන්තරය මහත් කැළඹීමකට පත් කර ඇත. යුක්රේනය හා රුසියාව යන රටවල් ඛනිජ තෙල්, ගෑස්, පොහොර නිෂ්පාදනය හා බෙදාහරින ප්‍රධාන අංශ වන අතර කෘෂි නිෂ්පාදන අපනයනයට ද දායකවේ.
කොවිඩ් තර්ජනය අවසන් වන වහා උද්ගත වූ මෙම ගැටුම ලෝකය පුරා බලශක්තිය හා පොහොර මිල නංවන්නට හේතු විය. හමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර යුද්ධය හේතු කොටගෙන නැවත වතාවක් බොරතෙල් මිල වැඩිවෙමින් පවතී. ඊශ්‍රායලය තෙල් නිපදවන රටක් නොවන නමුත් කලාපයේ බෙදාහැරීම්වලට බාධා ඇති කරවයි. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට තියුණු බලපෑමක් එල්ලවීමට ඉඩ තිබේ.
මැද පෙරදිග රටවලින් ශ්‍රී ලංකාවට ලැබෙන රැකියා අවස්ථා අඩුවීම හා රැකියාවල නිරත පිරිස මෙරටට එවන විනිමය ප්‍රමාණය අඩුවීම අපේක්ෂා කළ හැකිය. සීමිත විදේශ සම්පත් ප්‍රමාණයකින් ආර්ථිකය හසුරුවන්නට ගන්නා පියවර තවත් සංකීර්ණ පැතිවලට යොමු කරනු ඇති බව විශ්වාස කළ හැක.
පසුගිය සතියේ අනාවරණය වූ කරුණු අනුව ලෝකයේ ප්‍රමුඛ අරමුදල් කළමනාකරණ අංශ ඛනිජ තෙල් සඳහා කරන ආයෝජනය හරි අඩකින් කපා හැර ඇත. යුද ගැටුම් හේතු කොටගෙන ලෝක ආර්ථිකයේ සංකෝචනය ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක් වනු ඇති බව බ්ලූම්බර්ග් ආර්ථික දර්ශකය දක්වයි. බලශක්ති හා සංචාරක අංශ වැඩිම බලපෑමකට පත්වන ක්ෂේත්‍ර වශයෙන් හඳුනාගෙන තිබේ.
අපනයන ආදායම පහත වැටීම ගැන අවධානය
ජාත්‍යන්තරයේ අයහපත් ආර්ථික සලකුණු ශ්‍රී ලංකාවට දැනෙන තරම සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන වාර්තා දක්වයි. අලුත් වාර්තා දක්වන පරිදි අපනයන අංශවලින් එම මාසයේ දී උපයන ලද මුදල ඇමරිකානු ඩොලර් මිලියන 950 කි. පසුගිය මාස පහක කාලය තුළ අඩුම අපනයන ආදායම අගය බව දැක්වේ. සැප්තැම්බර් මාසය තුළ ඇඟලුම් අපනයන ආදායම අඩුවී ඇති අතර එහි පහත වැටීම සියයට 19.4 කි. රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන අංශය ද සියයට 12.15 කින් අඩු වී තිබේ. සුබවාදී පැත්තක් ද ඇත. තේ, කුළුබඩු, මැණික් හා ස්වර්ණාභරණ හා විද්‍යුත් උපාංග අපනයනය සියයට සාමාන්‍යයෙන් සියයට පහක පමණ වර්ධනයක් පෙන්නුම් කරයි. පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ද අඩුවී ඇති අංශයකි.
රටට අවශ්‍ය දේ ගෙන්වීම සඳහා විදේශ විනිමය අවශ්‍යය. ආනයනය පාලනය කර තිබුණ රථ වාහන හැර අනෙක් සියලුම දේ ගෙන්වීමට ඉඩ දී තිබේ. මේ සඳහා විදේශ විනිමය ඉල්ලුම වැඩිවිය හැකි අතර එය තවත් වටයකින් රුපියලේ අගය අවප්‍රමාණය කරන හේතුවක් විය හැකිය. අපනයනවලින් බදු සැලකිය යුතු ප්‍රමාණයක් ලැබේ. අපනයන ආදායම අඩුවීම ගැන ප්‍රතිපත්ති සම්පාදකයන් කරුණු සොයා බැලිය යුතුය. විදේශ විනිමය හිඟය ඉදිරියේ තවදුරටත් ආර්ථික ව්‍යාකූලතා ඇතිවිය හැක.
ණය නොගෙවන හෙයින් විනිමය සංචිතය රටට ප්‍රමාණවත් වන පරිදි හසුරුවාගත හැක. ජාත්‍යන්තර ණය ආපසුගෙවීම ආරම්භ කළහොත් ඇමරිකානු ඩොලර් බිලියන හතක් පමණ ඒ සඳහා පමණක් අවශ්‍ය වෙතැයි සැලකේ.
මැතිවරණ උණුසුම ද ආර්ථිකය නංවන පියවරට බාධාවකි
පළාත් සභා ඡන්දය අණපනත්වල දුබලතා හේතුවෙන් කල්දමා ඇති අතර මැතිවරණයක් පවත්වන්නට තරම් ආර්ථිකයක් නැති බව දක්වා පළාත් පාලන ඡන්ද පැවැත්වීම කල්දමා තිබේ. කෙසේ නමුත් ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ඉදිරි මාස දොළහක කාලය තුළ ප්‍රකාශයට පත්විය හැකිය. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති හා දේශපාලන ස්ථාවරත්වය ගැන අධ්‍යයනය කරන දෙස් විදෙස් ව්‍යවසායකයෝ අලුත් ආයෝජන ගැන අවධානයක් යොමු නොකරති. දැනට ප්‍රකාශයට පත්ව ඇති සමීක්ෂණ වාර්තා අනුව ප්‍රධාන දේශපාලන පක්ෂවල ජනප්‍රියතාව අඩුය. දේශපාලනඥයන් ගැන විශ්වාසය පිරිහී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තා නැවත නැවතත් පෙන්වා දෙන පරිදි දූෂිත තත්ත්වය හා නීති විරෝධී මුදල් සංසරණය පාලනය කළ යුතුය. කෙසේ නමුත් මැතිවරණයක් ප්‍රකාශයට පත්වුවහොත් කලු සල්ලි ආර්ථිකයට එකතුවීම වැළැක්විය නොහැකිය. ක්‍රමය ගැන විශ්වාසය අඩු හා දූෂිත මුදල් මැතිවරණයකට ඇතුළුවීම ඉදිරියට ද අනතුරුදායකය. ඉදිරි මැතිවරණයකින් බලයට පත්වන ඕනෑම ආණ්ඩුවකට ඡන්දය වෙනුවෙන් මුදල් යොදවන ලද බලවේග සමග සටනක් කරන්නට සිදුවේ.
2024 වසරේ සියයට 1.7 ක සංවර්ධන වේගයක් ලබාගත හැකි වනු ඇති බව ලෝක බැංකුවේ පුරෝකථනය වී ඇත. 2022-23 අවුරුදුවල සියයට දහයකින් පමණ සංකෝචනය වූ ආර්ථිකයක් ලබන අවුරුද්ද අවසන් වන විට සුළු පිබිදීමක් අපේක්ෂා කළ හැකි බව පෙනේ. මෙම වර්ධනය පවා ජන ජීවිතයට දැනෙන වාසියක් අත්පත් කර දෙන්නේ නැත.
දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති හා සමාජ නායකයන්ට රට පත්ව ඇති ස්ථානය ගැන නිවැරදි වැටහීමක් අවශ්‍යය. අතීතයට දොස් තැබීමෙන් අනාගතය ගොඩනැගෙන්නේ නැත. වංචා, දූෂණ හා අක්‍රමිකතා ගැන පුන පුනා කතා කිරීම ආර්ථික දියුණුවට හේතුවක් නොවේ.
ශ්‍රී ලංකාව දශක ගණනාවක් තිස්සේ පාඩම් ඉගෙන ගෙන ඇති රටකි. එකමුතුව කටයුතු කළහොත් රට ගොඩනැගිය හැකිය. මැතිවරණයක දී ආණ්ඩු වෙනස් කරන තීරණ ගන්නා ඡන්ද දායකයන් ක්‍රමය වෙනස් කර නවෝත්පාදනයකට ඉඩ නොදෙන්නේ ඇයි. රටට අවශ්‍ය සිස්ටම් චේන්ජ් කිරීම බව අවධාරණය වන නමුත් දැනට පවතින දූෂිත රාමුවෙන් යැපෙන කණ්ඩායම් වෙනස්කම් සඳහා ඉඩ දෙන්නේ නැත.
වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සහ නිස්සාර මත වපුරන සමාජ හා ප්‍රසිද්ධ ජනමාධ්‍ය ද මෙම තත්ත්වයට වගකිව යුතුය. අද තීරණ නොගැනීමෙන් ගැටලු තවත් සංකීර්ණ වනු ඇති අතර අනාගතයේ බලයට පත්වන ආණ්ඩුවකට පවා විප්ලකාරී තීරණ වලින් ක්‍රමය වෙනස් කිරීම හැර වෙනත් මගක් නැති බව සඳහන් කිරීම අවශ්‍යය.