(ගුරු සුහද සංගමයේ සභාපති එච්.එම්.ජේ. සරත් කුමාරසිංහ)
19 වැනි සියවසේ බෞද්ධ පුනර්ජීවනයේ අග්‍රතම ඵලයක් වන කොළඹ ආනන්ද විද්‍යාලයට අදට (1) වසර 137ක් සම්පූර්ණ වෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
දේශ දේශාන්තරයන්හි පතළ මහා කීර්තියක් සහිත ආනන්දය ජාතික අධ්‍යාපනයේත් ජනවාර්ගික සංහිඳියාවේත් උරුම සලකුණකි. කොළඹ 10 කුලරත්න මාවතේ අක්කර 15කට වැඩි භූ වපසරියක විහිදී තිබෙන මෙම විද්‍යාලයේ වර්තමානයේ සිසුහු 6714ක් ඉගෙනුම ලබති.
පාසලක් සතුව තිබිය යුතු සියලු භෞතික සම්පත්වලින් ආනන්දය ආඪ්‍යය.
සෑම ක්ෂේත්‍රයකම විශිෂ්ට විද්වතුන් රැසක් බිහි කොට ඇති ආනන්දය ජනාධිපතිවරයෙකු, අග්‍රාමාත්‍යවරයකු ඇතුළු දේශපාලන නායකයන් රැසක් ද බිහි කොට ඇත. ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර දුන් නායකයා ඇතුළු විශිෂ්ට ක්‍රීඩකයන් රැසක් ආනන්දය බිහිකොට ඇත.
19 වැනි සියවසේ මෙරට සිදු වූ බෞද්ධ පුනරුදයට උපස්ථම්බක වූ වැදගත් සිදුවීම පානදුරාවාදයයි. එහි දෘශ්‍යමාන නායකත්වය මොහොට්ටිවත්තේ ගුණානන්ද නාහිමියන් වුවත් අදෘශ්‍යමාන නායකත්වය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සමකාලීන වියත් යතිවරයන් වහන්සේලා කීප නමකැයි සිතිය හැකිය.
කෙසේ වෙතත් පානදුරාවාදයේ කීර්ති රාවය නිසා ඇමරිකානු පුරවැසියකු වූ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන්ගේ ලංකාගමනය සිදු වීමත් එය මිෂනාරී බලවේගයන්ට එරෙහි මෙරට බෞද්ධ බලවේගයන්ට ප්‍රාණය පිඹින සිදුවීමක් වීමත් වැදගත් කරුණකි.
ඕල්කට්තුමාගේ මූලිකත්වයෙන් බුද්ධාගම ව්‍යාප්ත කිරීමට යොදා ගත් එක් උපක්‍රමයක් වූයේ ඉරිදා දහම්පාසල් ආරම්භ කිරීමය. 1881 වන විට කොළඹ ප්‍රදේශයේ එසේ ඇරඹූ දහම් පාසල් නවයක් පමණ තිබූ බව වාර්තා වෙයි.
ආනන්ද විද්‍යාලයේ මුල් අවස්ථාව ලෙස සලකන පිටකොටුවේ බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව බවට පරිවර්තනය වූයේ පිටකොටුවේ ඉරිදා දහම් පාසල යැයි මතයක් වෙයි. 1886 නොවැම්බර් මස 5 වැනිදා “සරසවි සඳරැස” පුවත්පතේ වාර්තාවකින් කියැවෙන පරිදි 1886 නොවැම්බර් මස පළමුවැනි දා මෙම පාසල පිටකොටුවේ බෞද්ධ ඉංග්‍රීසි පාසල නමින් විවෘත කර තිබේ. හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, පරම විඥානාර්ථවාදී ඉංග්‍රීසි ජාතිකයකු වූ සී.ඩබ්. ලෙඩ් බීටර් සහ කොළඹ පරමවිඥානාර්ථ සමාගමේ සභාපති රිචඩ් ඒඩ්‍රියන් මිරැන්ඩෝ යන අය එහිලා පුරෝගාමී වූහ. පාසල ආරම්භ කළ උත්සවයේ දී ගුණානන්ද හිමියන් චිත්තාකර්ෂණීය දේශනයක් ද පවත්වා ඇත.
පරම විඥානාර්ථ සමාගමේ කාර්යාලයක් පවත්වාගෙන යාම සඳහා මිලට ගත් පිටකොටුවේ මැලිබන් වීදියේ අංක 65 දරන ස්ථානයේ ආරම්භ කළ ඉංග්‍රීසි බෞද්ධ පාඨශාලාව කෙටි කලක් ඇතුළත ජනප්‍රිය වීම නිසා වඩා ඉඩකඩ ඇති සුදුසු ස්ථානයකට ගෙන යාමේ අවශ්‍යතාව මතු විය.
මේ අතර බෞද්ධ සහ හින්දු දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා උසස් ශාස්ත්‍ර ශාලාවක් ආරම්භ කිරීම පිළිබඳ වැදගත් සාකච්ඡාවක් 1889 දෙසැම්බර් 07 වැනි දා කොළඹ සූරිය කොටුචේ කුසුම ශාලාවේදී පවත්වා ඇත. ඒ සඳහා ජාතික ආගමික නායකයින් විශාල පිරිසක් සහභාගී වූහ.
හික්කඩුවේ ශ්‍රී සුමංගල, වැලිගම ශ්‍රී සුමංගල, වස්කඩුවේ සුභූති, වැලිතර ඥානතිලක යන ස්වාමීන්වහන්සේලා ද පී. රාමනාදන්, බටුවන්තුඩාවේ ශ්‍රී දේවරක්ෂිත, හොරේකැලේ සීමන් ප්‍රනාන්දු, තිරුචෙල්වම්, සී දොන් බස්තියන් යන බෞද්ධ හා හින්දු ප්‍රභූහු ද ඊට සහභාගි වූහ. එහි දී රුපියල් 25000 බැගින් දෙපසින් රුපියල් 50000ක අරමුදලක් යොදවා ඉංග්‍රීසි විද්‍යාලයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
මේ සාකච්ඡාවට දැඩි ගිලන්බව නිසා මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් සහභාගී නොවුණත් උන්වහන්සේ නියෝජනය කරමින් සහභාගී වූ වස්කඩුවේ සුභූති හිමියෝ එහි දී සාකච්ඡා කළ දේ දිපදුත්තමාරාමයට පැමිණ ගුණානන්ද හිමියන්ට සැල කළහ. ඒ මොහොතේ වැලිතොට මහාකප්පින වලව්වේ සැම්සන් රාජපක්ෂ වාසලමුදලිතුමා ගුණානන්ද හිමියන්ගේ සුවදුක් විමසීමට පැමිණ සිටි බැවින් යට කී බෞද්ධ සහ හින්දු පාඨශාලාව සඳහා එතුමා සතු මරදානේ පරණවාඩිය කුරුඳු ඉඩම පරිත්‍යාග කරන මෙන් ගුණානන්ද හිමියෝ ඉල්ලා සිටියහ. ඒ ඉල්ලීම මල් පල ගන්වමින් ටියුඩර් රාජපක්ෂ වාසල මුදලිතුමා අතින් මුල්ගල් තබන ලද ගොඩනැගිලි තනා අවසන් කොට 1895 අගෝස්තු 17 වැනිදා පිටකොටුවේ බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව මරදානට ගෙන එන ලදී.
විද්‍යාලයට නමක් යෙදීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදී ගුණානන්ද විද්‍යාලය යන නම යෝග්‍ය බව යෝජනා කෙරුණු නමුත් ගුණානන්ද හිමියෝ ඊට එකඟ නොවී ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ තෙරුන්ගේ නම යෝජනා කළහ.
ආනන්ද විද්‍යාලය යනුවෙන් එතැන් සිට මේ විදුහල හැඳින් වෙයි.
ආනන්ද විද්‍යාලයේ ආරම්භය පිළිබඳ කළුකොඳයාවේ පඤ්ඤාසේකර නාහිමි පළ කළ අදහසක් මෙසේ ය. “රටේ කාගෙත් පාහේ හැඟීම ආනන්ද විද්‍යාලය පරම විඥානාර්ථ බෞද්ධ සමාගම විසින් ආරම්භ කරන ලද බව ය. එය සත්‍යය නො වේ. ආරම්භයෙන් පසුව සමාගමේ පාලනයට පත් වූ නමුත් ආරම්භ කරන ලද්දේ එම සමාගම විසින් නොවේ. බෞද්ධ හින්දු දෙපක්ෂයටම අයත් ප්‍රභූන් කිහිප දෙනෙකුගේ දෘඪ උත්සාහයෙනි”
ආනන්දයේ හින්දු දරුවන්ට අධ්‍යාපනය නොදුන්නත් එදා ආනන්දයේ ඇදුරු මඬුල්ලෙහි ඉංග්‍රීසි, සිංහල, දෙමළ හා මුස්ලිම් මහත්වරු සිටියහ. සෙල්ලප්පා සුන්දරලිංගම්, තනබාලසිංහම්, ටී.බී. ජායා යන මහත්වරු ඒ අතර වෙති. අදත් ආනන්දය හා යාපනයේ හින්දු විද්‍යාලය අතර ඇත්තේ සමීප මිතු දමකි. පාසල් දෙක අතර සෑම වර්ෂයකම සුහද හමුවක් හා තරග මාලාවක් පැවැත් වේ. මෙසේ ගත් විට ආනන්දය මෙරට ජනවාර්ගික සංහිඳියාවේ උරුම සලකුණක් ලෙස සැලකීම අනුචිත නොවෙයි. ආනන්දයේ ගුරුවරුන් ලෙස සේවය කළ කීර්තිමත් පුද්ගලයන් අතර ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි, පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි, බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමි, කොටගම වාචිස්සර නාහිමි, මහාචාර්ය ගුණපාල මලලසේකර හා සාගර පලන්සූරිය වැනි අය වූහ.
ආනන්දයේ ප්‍රථම විද්‍යාලයාධිපතිවරයා සී.ඩබ්. ලෙඩ් බීටර් මහතා ය. මුල් අවස්ථාවේ එහි විදුහල්පතිවරුන් වූයේ විදේශික මහතුන් ය. ආනන්දයේ ප්‍රථම සිංහල විදුහල්පතිවරයා වූයේ මෙරට නිදහස් සටනේ පුරෝගාමි චරිතයක් වූ සර් ඩී.බී. ජයතිලක ශ්‍රීමතුන්ය. අවස්ථා දෙකක ආනන්දයේ මුල් පුටුව හොබවා ඇති මේ ජාතික වීරයා නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා නො වූයේ මන්ද යන්න තවමත් නොවිසඳුණු පැනයකි. සර් ඩී.බී. ජයතිලකයන්ට පසුව ආනන්දයට සුවිසල් මෙහෙයක් ඉටු කළ විද්‍යාලයාධිපතිවරුන් අතර පී. ද එස්. කුලරත්න හා ජී.ඩබ්. රාජපක්ෂ යන මහත්වරු කැපී පෙනෙති.
වර්තමානයේ ආනන්දයට නායකත්වය ලබා දෙන්නේ එහි 26 වැනි විදුහල්පතිවරයා ලෙස පත්ව ආ ඩී.එම්.එල්.පී. දිසානායක මහතායි. මීට පෙර නියෝජ්‍ය විදුහල්පතිවරයකු හා වැඩබලන විදුහල්පතිවරයකු වශයෙන් කටයුතු කොට ඇති ඔහුට ආනන්දය හා එහි සම්ප්‍රදායන් පිළිබඳ මනා දැනුමක් ඇත. ඔහුගේ නායකත්වයෙන් විද්‍යාලයේ අභිවෘද්ධිය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග රාශියකි.
මෙරට ජාතික උරුමයක් වන විද්‍යාලය සතු කුලරත්න ශාලාව නවීකරණය කොට නවීන පහසුකම් සහිත රංග ශාලාවක් බවට පත් කරමින් තිබේ. පෞද්ගලික ආයතනයක් මගින් පවත්වාගෙන යමින් තිබූ පිහිනුම් තටාකය යළි පාසලට පවරා ගෙන වැඩි දියුණු කිරීමේ කටයුතු අරඹා ඇති අතර පාසලට ලබා දී තිබූ රාජගිරියේ බිම් කඩක් සංවර්ධනය කොට ඉහළ මට්ටමේ රගර් ක්‍රීඩාංගණයක් බවට පත් කරනු ලැබිණි.
ඊට අමතරව පාසලේ ප්‍රධාන ක්‍රීඩාංගණය සංවර්ධනය සඳහා ජාතික ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගතව තිබේ. අධ්‍යාපන ක්‍රීඩා හා විෂය සමගාමී විෂය බාහිර ක්‍රියාකාරකම් නැංවීම සඳහා මේ කෙටි කාලය තුළ ඔහු විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල දැන් විද්‍යාලයට අත්වෙමින් පවතී.
විදුහල්පතිවරයාගේ උපදෙස් අනුව විද්‍යාලයීය කළමනාකරණ මණ්ඩලය, බෞද්ධ සංගමය හා ආදි ශිෂ්‍ය සංගමය එක්ව දරුවන් හා දෙමාපියන් සම්බන්ධ කර ගනිමින් 137 වැනි ආදි කර්තෘ දින සැමරුම වෙනුවෙන් විද්‍යාලයීය ඕල්කට් ශාලාව තුළ ඊයේ 31 සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් අද (1) පළමුවැනිදා ශතාධික සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමේ. වසර 137ක් සපුරන ආනන්ද විද්‍යාලයට තවත් කප් සුවහස් කලක් දැයේ දරුවන්ගේ නැණ නුවණ පාදමින් විරාජමානව වැජඹීමට වාසනාව උදාවේවායි සත් සිතින් පතමු.