ශ්‍රී ලංකාව තම ඉතිහාසයේ ඉතාමත් අවුල් සහගත හා නොසන්සුන් වසරක් අවසන් කොට අලුත් වසරකට පා තබා ඇත. ගත වූ වසර ශ්‍රී ලංකා ඉතිහාසයේ පෙර නොවූ විරූ සිදුවීම් රාශියක් සිදු වූ වසරක් ලෙස මෙරට බොහෝ දෙනාගේ මතකයේ බොහෝ කාලයක් රැඳෙනු ඇත.
නිසි වයසට පැමිණ විශ්‍රාම නොයා, තම නිල කාලය අවසන්වීම නිසා නීතියෙන් ඉවත් වීමට බල කරනු ලැබීමකින් තොරව, පෙර නොවූ විරූ ආර්ථික හා දේශපාලන හැලහැප්පීම් නිසා ජනාධිපතිවරයකු, අගමැතිවරයකු, මහබැංකු අධිපතිවරයකු අකැමැත්තෙන් ඉල්ලා අස්වීමට සැලැස්වූ වසරක් ලෙස ද ගත වූ මෙම වසර ඉතිහාස ගතවනු ඇත.
වඩාත් වැදගත් කරුණක් නම් ගත වූ වසරේ දී නිලධාරියකු වශයෙන් සිටිය දී දැඩි තීරණවලට හා මර්දනයට නම් දරා සිටි අයකු නිරායුධ ලක්ෂ ගණනක් ජනතාවගේ මහා නැගී සිටිමක් හමුවේ මහා බලැති විධායක ජනාධිපතිධුරය අත්හැර රටින් පලා යාමයි.
ඒ ලක්ෂ ගණන් ජනතාව ජුලි 9 වැනිදා සියලු ආරක්ෂක මුර කපොලු කඩා බිඳ දමමින් රටේ ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත් කාර්යාල හා නිල නිවාසවලට කඩා වැදී ඒවා අත්පත් කරගෙන දින දහයකට වැඩි කාලයක් ඒවායේ රැඳී සිටියහ. මේ දේශපාලන පෙරළිය සිදු වූයේ කිසිදු දේශපාලන පක්ෂයක මෙහෙයවීමකින් හෝ අනුදැනුමකින් තොරව, ආර්ථික පීඩනය විසින් මෙම නිරායුධ ජනතාව පෙළඹවීම හේතුකොට ගෙනය.
ආර්ථික අර්බුදය උත්සන්න වූ විට එය දේශපාලන අර්බුදයක් බවට පත් වේ යැයි මාක්ස්වාදීහු පවසති. මෙහිදී ද සිදුවූයේ එයයි. පළමුව මෙම දේශපාලන නැගිටීමට වැරැදි විසඳුමක් දෙන්නට ගොස් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට මැයි 9 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නට සිදුවිය. මෙය ආර්ථික අර්බුදයක් විසින් අගමැතිවරයකුට සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නට සිදුවූ දෙවැනි අවස්ථාවයි.
පළමු වරට එම තත්ත්වයට පත්වූයේ 1953 දී හිටපු අගමැති (මෙරට දෙවැනි අගමැති) ඩඩ්ලි සේනානායක මහතායි. එම වසරේ අගෝස්තු මාසයේ රට පුරා පැතිර ගිය දේශපාලන කුණාටුව වූ හර්තාලයෙන් මාස දෙකකට පසු පවතින තත්ත්වයට විසඳුම් දිය නොහැකි නිසාත් සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසාත් ඩඩ්ලි සේනානායක මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය.
2022 වසරට තවත් වැදගත් කමක් ලැබුණේ නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් දුෂ්කරම ආර්ථික අර්බුදය හමුවේ ඩොලර් බිලියන 51 ක් පමණ වන රටේ විදේශ ණය ප්‍රමාණයෙන් වාර්ෂිකව ගෙවිය යුතු ඩොලර් බිලියන 6 සොයා ගැනීමට නොහැකි වීම නිසා විදේශ ණය පියවීම තාවකාලිකව අත්හිටුවීමට ආණ්ඩුව තීරණය කිරීම නිසාය.
මෙය සැලකෙන්නේ ශ්‍රී ලංකාව තමන් බංකොලොත් බව ලෝකයට ප්‍රකාශ කිරීමක් ලෙසය. මේ බව නිල වශයෙන් ප්‍රකාශ කෙරුණේ ජුලි මස 5 වැනිදා එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්වේ දී කළ ප්‍රකාශයකිනි. ‘ශ්‍රී ලංකාව බංකොලොත් වී ඇති අතර පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයේ දැඩි වේදනාව අඩු කරමින් ලබන වසරේ අවසානය දක්වා පවතිනු ඇත’ යි ඔහු එහිදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ සැමදාම අගමැතිධුරයට හා ජනාධිපතිධුරයට පත් වූයේ රටේ ප්‍රබලම හෝ දෙවැනි ප්‍රබලම පක්ෂයේ නායකයායි. එහෙත් ඉතිහාසයේ සරදමක් විලසින් 2022 වසර ඉතිහාස ගත වන්නේ ඍජු මැතිවරණයකින් එනම් ඍජුව මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ එකම ආසනයක් හෝ ලබා ගැනීමට නොහැකි වූ පක්ෂයක, එනම් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පළමුව අගමැති ධුරයටත්, දෙවැනිව ජනාධිපති ධුරයටත් පත් වීමෙනි. ඔහුගේ පක්ෂයට ඇත්තේ ජාතික ලැයිස්තුවෙන් ලැබුණු ආසනයක් පමණි. ඔහුගේ පත්වීම් නීත්‍යානුකූල වුව ද එය පැහැදිලිවම මහජන මතය විකෘති ලෙස අගමැති ධුරය මගිනුත් ජනාධිපති ධුරය මගිනුත් ප්‍රකාශයට පත් වීමකි.
එපමණක් නොව ඉතිහාසයේ කිසිදා නොවූ පරිදි ආණ්ඩු පක්ෂ සන්ධානයේ ප්‍රධාන පක්ෂයේ කෙනකු නොවන කුඩාම පක්ෂයක කෙනකු ද අගමැති ධුරයට පත් වූයේ මේ වසරේදීය. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් වූ සන්ධානයේ කුඩාම පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාය. වික්‍රමසිංහ මහතාත් ගුණවර්ධන මහතාත් ජනාධිපති හා අගමැති ධුරවලට පත්වූයේ ආර්ථික අර්බුදයේ පීතෘත්වයෙන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතෘත්වයෙනි.
දේශපාලන දෘෂ්ටිමය වශයෙන් සලකා බලන කල මෙමගින් ඇති වූයේ එක්තරා ආකාරයකට ජනතාවගේ බුද්ධියට අපහාස කරන විකාරරූපී පාලනයකි. අප එසේ පවසන්නේ මැයි මාසයේ ආරම්භයේ දී පවා රටේ ආර්ථිකය විකෘති කිරීම සම්බන්ධයෙන් හා දේශපාලන වශයෙන් රටේ ස්වාධීනත්වය විදේශීකයන්ට පාවාදීම සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටි පක්ෂ දෙකක් රට පාලනය කිරීම සඳහා අත්වැල් බැඳ ගැනීම නිසාය.
මෙය නම් අලුත් තත්ත්වයක් නොවේ. 2015 දී ද මෙවැනි තත්ත්වයක් ඇති විය. එහෙත් එදා එක්ව පාලනය භාර ගැනීමට පෙර එජාප හා මෛත්‍රිපාල සිරිසේන මහතා අතර යම් යම් ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති වී තිබිණි. 2022 දී එවැනි එකඟතාවක් නැති වුව ද දෙපාර්ශ්වය අපූරුවට පෑහී කටයුතු කරනු පෙනේ. මෙය දේශපාලනඥයන් කතා කරන ප්‍රතිපත්ති හා ප්‍රතිපත්තිගරුක භාවය ගැන වටහා ගැනීමට ජනතාවට ලැබුණු තවත් අපූරු අවස්ථාවකි.
මහජන අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් පත් වූ අගමැතිවරයා අරගලයට සහාය පළ කොට මාස දෙකකට පසු ජනාධිපතිධුරයට පත්ව එම අරගලයම ත්‍රස්තවාදයක් ලෙස හඳුන්වමින් එය මර්දනය කිරීම ද මේ වසර තුළ සිදු වූ විශේෂ සිදුවීමකි.
මේ සියලු සිදුවීම් පසුබිම් කොටගත් තත්ත්වයක් තුළ උදා වූ නව වසරේ ජනතාව මුහුණ දෙන්නට නියමිත සමාජ, ආර්ථික හා දේශපාලන තත්ත්වය කෙබඳු වේද? මෙරට දේශපාලනඥයන් ඉදිරියේ දී හෝ රට නිවැරදි මාවතකට යොමු කිරීම සඳහා මෙම වියවුල්කාරී තත්ත්වයන්ගෙන් පාඩම් උගත්තේ ද? එමෙන්ම දේශපාලනය පිළිබඳ තම අනවබෝධය නිසා හා ජරාජීරණ වූ දේශපාලන සංස්කෘතියකින් ඇස් අන්ධව තමන්ගේ හා තම දරුවන්ගේ අනාගතය තමන්ම විනාශ කර ගත් බව ජනතාව තේරුම් ගෙන තිබේද? තමන්ගේ ඉරණම තමන්ගේම අතට ගන්නටත් ඊනියා ගැළවුම්කරුවන් පසුපස යාමේ මානසිකත්වයෙන් ගැළවී කටයුතු කරන්නටත් ඔවුන් තුළ අවබෝධයක් හා අධිෂ්ඨානයක් ඇතිවී තිබේ ද?
රටේ පවතින සියලු සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රශ්න විසඳීම් එකම උපාය මාර්ගය ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙහෙයවන වැඩ පිළිවෙළ තෝරා ගෙන ඇති බව පෙනේ. එම වැඩ පිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවට වසර හතරක දී ඩොලර් බිලියන 2.9 ක ණයක් දීමට එම අරමුදල ශ්‍රී ලංකාව සමඟ වූ කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡාවල දී එකඟවී තිබේ.
එම එකඟතාව ක්‍රියාත්මක වන්නට නම් එය එම අරමුදලේ කළමනාකාරිත්වය හා විධායක සභාව විසින් අනුමත කරනු ලැබීය යුතුය. එම අනුමැතිය 2022 වසරේ අවසානයේදී ලැබෙනු ඇතැයි මුලදී පැවැසුණ ද දැන් ඇසෙන්නේ එය මේ වසරේ පළමු කාර්තුව තුළ දී ලැබෙනු ඇතැයි කියාය. විපක්ෂය විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි යැයි හඳුන්වනු ලබන ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඉටු කරනු ලැබිය යුතු වගකීම් සම්භාරයක් හා ශ්‍රී ලංකාවට ණය දී ඇති රටවල් එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැත්ත පළකිරීම මත ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය රැඳී පවතී.
මෙම ප්‍රශ්නයේ දී ශ්‍රී ලංකාව මුහුණ දී සිටින දුෂ්කරම ගැටලුව වී ඇත්තේ ශ්‍රී ලංකාව තමන්ට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වූ චීනයේ ස්ථාවර යයි. එහෙත් කලින් දැරූ දැඩි ස්ථාවරය චීනය දැන් තරමක් ලිහිල් කොට ඇති බවක් ද පෙනේ. එසේ වුව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සම්බන්ධ වැඩපිළිවෙළෙන් මේ රට දැන් වැටී ඇති ආගාධයෙන් ගොඩ එන්නේ කෙසේද? යන්න උගත් අයට පවා පැහැදිලි නැත. දස කෙනකුගෙන් ඒ ගැන විමසුවහොත් දස දෙනා දෙන්නේ පිළිතුරු දහයකි.
2025 දී ශ්‍රී ලංකාවේ අයවැය ප්‍රාථමික අතිරික්තයක් අත්කර ගනු ඇතැයි ද 2048 දී ශ්‍රී ලංකාව සිය සියවැනි නිදහස් සමරුව පවත්වන විට මේ රට පූර්ණ සංවර්ධිත රටක් වනු ඇතැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය අයවැයෙන් කියා සිටිය ද එම විශිෂ්ට ඉලක්ක වෙත යාමේ මාර්ග සිතියමක් හා වැඩපිළිවෙළක් පෙනෙන්නට නැත. මේ නිසා විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු එම අයවැය හැඳින් වූයේ සංකල්ප පත්‍රිකාවක් ලෙසය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පූර්ණ අනුමැතිය ලැබෙතොත් එයින් ලැබෙන්නට නියමිතව ඇත්තේ වසරකට ඩොලර් මිලියන 750 ක් බැගිනි. 2022 වසරේ මැදභාගය වන විට ඉන්දියාව පමණක් ශ්‍රී ලංකාවට එමෙන් සිව් ගුණයක් නම් ඩොලර් බිලියන 3 ක් ණය වශයෙන් දී ඇත. ඒ අනුව මුල්‍ය අරමුදලේ ණය ආධාරය ඉතා කුඩා එකකි.
මූල්‍ය අරමුදලේ උපදෙස් මත බදු වැඩිකොට, මිල හා ගාස්තු වැඩි කොට, රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීම වැනි වියදම් කප්පාදු කිරීමෙන් ආණ්ඩුවට ලැබෙන්නේ ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා වූ දේශීය මුදල්ය. රාජ්‍ය ආයතන ‘ප්‍රතිව්‍යුහ ගත කිරීමෙන්’ ඩොලර් බිලියන 3 ක් පමණ අපේක්ෂා කරන බව විදේශ ඇමැති අලි සබ්රි මහතා රොයිටර් ප්‍රවෘත්ති සේවයට පවසා තිබිණි.
ශ්‍රී ලංකාවේ වත්මන් ගැටලුව මූලික වශයෙන් විදේශ විනිමය අර්බුදයකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල් හා එම අරමුදලේ සහායෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම වැනි ක්‍රියාමාර්ගවලින් ලැබෙන සහන කාලය උපයෝගී කරගෙන විදේශ මුදල් උත්පාදනය කර ගැනීමේ වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මෙරට නායකයන්ගේ වගකීමකි. ප්‍රශ්නය විසඳෙන්නේ එවැනි වැඩසටහනක් හා ව්‍යාපෘති ඇත්නම් පමණි. එම ව්‍යපෘතිය ද සාර්ථක කර ගත යුතුව ඇත්තේ අතිශයින්ම දූෂිත දේශපාලන යාන්ත්‍රණයක් විසින් එතරම්ම දූෂිත වූ නිලධාරී තන්ත්‍රයක් උපයෝගී කරගෙනය.
සමගි ජන බලවේගය වැනි පක්ෂයක් බලයට පත්වුව ද මේ ගැටලුවලට මුහුණ දීමට සිදු වේ. පළමුව ආර්ථිකය ගොඩ ගැනීමේ සංවාදයක් පක්ෂය තුළ තිබිය යුතුය. එමෙන්ම එම සංවාදය තුළින් ක්‍රියාත්මක කරන වැඩසටහන්වලට දූෂණයෙන් තොර දේශපාලන නායකත්වයක් දිය යුතුය.
කෙසේ වෙතත් මැතිවරණයක් සඳහා වූ සජබ ඉල්ලීම සාධාරණය. ඒ රට ප්‍රපාතයට හෙළීම මගින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවදුරටත් රට පාලනය කිරීමේ ජනවරම අහිමි කරගෙන සිටින නිසාය. ඉකුත් අප්‍රේල් මාසයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ඇමැති මණ්ඩලයට ඉල්ලා අස්වන්නට කියා වෙනත් ඕනෑම කණ්ඩායමකට රට භාර ගන්නා ලෙස කියා සිටීමෙන් ඔහු ද මෙම කාරණය පිළිගත් බව පෙනේ.
එහෙත් සමගි ජන බලවේගයට රට ගොඩ නැගිමේ වැඩපිළිවෙළක් තිබේ ද? ජනාධිපතිවරයා ක්‍රියාත්මක කරන්නේ තමන්ගේ ආර්ථික සැලසුමම යැයි සජබ නායකයෝ මෑත දී කීහ. එහෙත් ඒ සමඟම බදු වැඩි කිරීම් හා මිල වැඩි කිරීම්වලට ද එරෙහි වෙති.
ප්‍රායෝගික වුවද නොවුවද දේශීය ස්වභාවික හා මානව සම්පත්වලින් ආර්ථිකය ශක්තිමත් කිරීම ගැන පක්ෂ අභ්‍යන්තරයේ සංවාදයක් ජනතා විමුක්ති පෙරමුණ තුළ පමණක් ඉතා සුළුවෙන් හෝ කෙරෙන බව පෙනේ.
එහෙත් ලෝකයේ හොඳම ආර්ථික සැලැස්ම සකස් කළද එය ක්‍රියාත්මක කළ යුත්තේ අතිශයින්ම දූෂිත නිලධාරී තන්ත්‍රයක් හා අතිශයින්ම අකාර්යක්ෂම වූ රාජ්‍ය යන්ත්‍රණයක් මගිනි. මෙම නිලධාරී තන්ත්‍රය හා රාජ්‍ය යන්ත්‍රය නිසි පරිදි හසුරුවා ගන්නට නම් දේශපාලන වශයෙන් සවිඥානක වූ පුළුල් වෘත්තිකයන්ගේ ජාලයක් ජවිපෙ සතුව තිබිය යුතුය. එවැන්නක් තිබේදැයි නොදනිමු.
මෙරට ජනතාව 2023 වසරට මුහුණ දෙන්නට යන්නේ මෙවන් අභියෝග රැසක් මතය. ඔවුන් ඊට සාර්ථකව මුහුණ දෙන්නට නම් ඔවුන් ද අවංකවම ඉතිහාසයෙන්, විශේෂයෙන්ම මෑත ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන තිබිය යුතුය. එසේ නොවන්නේ නම් රට තවදුරටත් අගාධයට ඇදී යාම වැළැක්විය නොහැකිය.
එම්.එස්.එම්. අයුබ්
(***)