විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ ඡන්දයට ඉදිරිපත් කරන්නට ආණ්ඩුව තීරණය කර තිබුණේ සති කීපයකට කලින්ය. එහෙත් එය ටිකෙන් ටික කල් දැමුණු අතර මේ සතියේ සිකුරාදාට (එනම් අද දිනට) ඒ ඡන්ද විමසීම සිදුකරන බව මේ වනවිට ප්‍රකාශයට පත්කර ඇත. ආණ්ඩුව එහෙම කීවාට මෙම සංශෝධනය පාර්ලිමේන්තුවේ ඡන්දය සඳහා මෙදිනටම ගන්නවාද යන්න ස්ථිරවම කිව නොහැකිය. එසේ වන්නේ මේ පිළිබඳව ආණ්ඩුව අභ්‍යන්තරයේම අදහස් කීපයක් තිබෙන බව පෙනෙන නිසාය.
මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් ඇතුළත් ව්‍යවස්ථා සංශෝධන දේශපාලනය පිළිබඳවය. 1994 න් පසුව කාලයේ අපේ රටේ මැතිවරණ දේශපාලනයේ ප්‍රධානම මාතෘකාවක් වූයේ එක්කෝ ‘‘අලුත් ව්‍යවස්ථාවක් ගේනවා’’ කියන එකය.
නැත්නම් ‘‘තියෙන ව්‍යවස්ථාවට සංශෝධන ගේනවා’’ කියන එකය. ඒ කිසිම ආණ්ඩුවක් මේ වැඩේ හරියට කළා යැයි කිසිවෙක් සිතන්නේ නැත. හැමෝම කළේ ඊළඟ මැතිවරණයේදීත් ඒ සටන් පාඨයම යළිත් ඉදිරිපත් කිරීමය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු රටක පැවැත්මට බලපාන මූලික නීතිය වන අතර ජනතාවගේ අනෙකුත් සියලුම පැවැත්මේ ආකෘතිය නිර්මාණය වන්නේ මේ පනත මතය.
1948 න් පසුව අපේ රටේ පවතින එක් ගැටලුවක් වන්නේ හැමෝම කැමති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නැතිකමේ අවුලය. 1948 සම්මත කරගත් සෝල්බරි ව්‍යවස්ථාවට උතුරේ ජනතාවගේ එකඟතාවක් ලැබුණේ නැත. ඒ ව්‍යවස්ථාව යටතේ 1949 සම්මත කරගත් පුරවැසි පනත 1956 සම්මත කරගත් භාෂා පනත වැනි නීති දකුණේ නායකයන් පිළිගත්තද උතුරේ අය පිළිගත්තේ නැත. 1972 දෙවැනි ව්‍යවස්ථාව නිර්මාණය කරන සාකච්ඡාවලින් දෙමළ පක්ෂ නැගිට ගිය අතර 1978 සම්මත කරගත් ව්‍යවස්ථාවට සිංහල සමාජයවත් හරියට එකඟ වූයේ නැත.
ජයවර්ධන රජයේ හයෙන් පහක (5/6) බලයෙන් ආණ්ඩු පක්ෂයේ කණ්ඩායමක් විසින් ලියු එකක් මිස මහජන අදහස් නියෝජය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොවු බව ඉතාමත් පැහැදිලිය.
1994 සිට ඒ ඒ පක්ෂ විසින් ඡන්දයට ඉදිරිපත් කරන සාම්ප්‍රදායක දේශපාලන සටන් පාඨයක් බවට පත්වී ඇත්තේ මේ කියන 78 ව්‍යවස්ථාව වෙනස් කරන බවය. නැත්නම් ඒ ව්‍යවස්ථාවේ කොටසක් සංශෝධනය කරන බවය. මෙවර 22 වැනි සංශෝධනයෙන් කෙරෙන්නේ ද එයමය.
78 ව්‍යවස්ථාව කුමක්ද?
ජයවර්ධන ආණ්ඩුව විසින් 1978 හඳුන්වා දුන්නේ විධායක බලය සහ ව්‍යවස්ථාදායක බලය යන ආයතන දෙක වෙන් වූ ආණ්ඩුක්‍රමයක් සහිත ව්‍යවස්ථාවක්ය. ඒ විතරක් නොවේ. මේ බල කේන්ද්‍ර 02 සඳහා පුද්ගලයන් තෝරා ගැනීමට මැතිවරණ වර්ග 02ක් ද හඳුන්වා දුන්නේය. එකක් මහ මැතිවරණය වන අතර අනෙක ජනාධිපතිවරණයයි. 1978 පෙර මේ බලයන් දෙක (විධායක සහ ව්‍යවස්ථාදායක) සඳහා තිබුණේ එක ඡන්ද පත්‍රිකාවක්ය. එහෙත් 1978 පසුව ඒ සඳහා ඡන්ද පත්‍රිකා 02ක් තිබෙන නිසා මේ ක්‍රමයට කියන්නේ ද්විත්ව ඡන්ද පත්‍රිකා ක්‍රමය හෙවත් Two ballat papers system කියාය. ඒ නිසා 78 පෙර අගමැතිවරයා සහ 78 පසු අගමැතිවරයා යනු තනතුරු නාමයෙන් එක වගේ වූවාට බලයෙන් එක සමාන අය නොවේ.
මෙතන තේරුම් ගත යුතු වැදගත්තම කාරණය වන්නේ විධායක බලය පාර්ලිමේන්තුවෙන් පිටත සිටින ජනාධිපතිවරයකුට ලබාදී තිබීම පමණක් නොව ඒ බලය ලබාදී ඇත්තේ පාර්ලිමේන්තුව තෝරා ගැනීමට පාවිච්චි කළ ඡන්දය මගින් නොව වෙනමම ඡන්දයකින් බවයි. එසේම ව්‍යවස්ථාවේ 30 සිට 41 වගන්ති දක්වා ජනාධිපති තනතුර මගින් සහ 42 සිට 53 වගන්ති දක්වා කැබිනට් මණ්ඩලය මගින් රටේ විධායක බලය ක්‍රියාත්මක කළ යුත්තේ ඒ ජනාධිපතිවරයා විසින්ය.
මේ ව්‍යවස්ථාවට අනුව කැබිනට් මණ්ඩලයට තේරී පත්විය යුත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතරින් 30ක් වූවාට ඒ ඇමතිධුර 30 යනු විධායකත්වයේ බල කොටස් 30ක් මිස ව්‍යවස්ථාදායකත්වයේ කොටසක් නොවේ. මගේ තේරුම් ගැනීමට අනුව 1978 ව්‍යවස්ථාවේ තිබෙන මේ කාරණය බොහෝ අය තේරුම් ගන්නේ වැරදියට බවයි. ජනාධිපතිවරයාට කිසිම ඇමතිධුරයක් නොදිය යුතු යැයි සමහරුන් කියන්නේ මේ ව්‍යවස්ථාවේ පදනම ගැන කිසිදු විචාරශීලි දැකීමකින් නොව තමන්ගේ කටට එන නිසාය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පසුපස තිබු බරපතළම මිථ්‍යා දෘෂ්ටිය වූයේ මේ කාරණයය. ඒ කියන්නේ ව්‍යවස්ථාවෙන් 42 වන වගන්තියේ සිට 53 වගන්තිය දක්වා නිෂ්චිතවම දක්වා තිබෙන රටේ කැබිනට් මණ්ඩලය යනු විධායකයේ දිගුවක්ය යන අදහස නොසලකා හැරීමයි. 22වන සංශෝධනය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ දැක්වීම තුළ මේ අදහස නිශ්චිතව ඉදිරිපත් වෙන බව මාගේ පිළිගැනීමයි.
1978 ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් වෙනස් කිරීමක් ජනමත විචාරණයක් හරහා සිදුකිරීමෙන් මිස වෙනත් ආකාරයකින් ජනාධිපති ආණ්ඩු ක්‍රමයෙන් අපට මිදෙන්නට හැකියාවක් නැත. ජනාධිපති ආණ්ඩුක්‍රමයක් යනු වෙනමම ඡන්ද පත්‍රිකාවක්. විධායකය තෝරන ඒ විධායක බලය තුළට ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය සේවය (ව්‍යවස්ථාවේ 7,8,9 පරිච්ඡේද) යන බලය ඇතුල් කර ඇති ක්‍රමයකි.
1994 සිට සිදුවන ව්‍යවස්ථා සංශෝධන දේශපාලනයේ හැම විටම ‘‘ආපසු හැරී එන’’ තැන තිබෙන තාප්පය වන්නේ ව්‍යවස්ථාවෙන්ම ගොඩ නගා ඇති ජනාධිපති ආණ්ඩුක්‍රමයේ පදනම නිසාය.
මේ කාලයේ රටේ සිටින්නේ ජනතාව විසින් තෝරා ගනු ලැබූ ජනාධිපතිවරයකු නොව අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු බව සැබෑවක්ය. එහෙත් ව්‍යවස්ථාවේ නෛතික පදනම තුළ පවතින ජනාධිපති බල ආකෘතිය තේරුම් ගැනීමකින් තොරව ආණ්ඩුක්‍රම වෙනසක් සිදු කිරීමේ ශක්තිමත් හැකියාවක් නැත.
ක්‍රීඩාව පසෙකලා-පිටිය හැදීම
මා මුලින් සඳහන් කළ ව්‍යවස්ථා සංශෝධන දේශපාලනය නිසා 1994 පසුව මේ රටේ සිදු වුණේ ප්‍රධාන දේශපාලන මාතෘකා පසෙකට තල්ලුවීම්ය. සෑම මැතිවරණයකම පාහේ සාකච්ඡා කරන මාතෘකාව වූයේ රට හදන ආකාරය හෝ ආර්ථිකය සම්බන්ධ කාරණා නොව ව්‍යවස්ථාව හදන ආකාරය ගැනය. මෙය හරියට සමාන වන්නේ ක්‍රිකට් ක්‍රීඩා කරන්නට සිටින අය මුළු කාලයම පිටිය හදන්නට වෙහෙස වෙනවා වැනි දෙයකටය. හැමදාම පිටිය හදන්නට කථා කරනවා හැර කරපු ක්‍රීඩාවක් නැති ගානය. සෑම මැතිවරණයකම උත්සාහ ගන්නේ එක්කෝ ව්‍යවස්ථාවක් හදන්නටය. නැත්නම් තියෙන ව්‍යවස්ථාව සංශෝධනය කරන්නටය.
17, 18, 19, 20 සංශෝධන
අපි හමුවේ තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17, 18, 19, 20 යන සංශෝධන සියල්ලම පැමිණියේ මා මුලින් කියු කාරණාව ලෙසින්ය. මේ සංශෝධන 04 තුළම මහා පොදු සාධකය ලොසින් පවතින මිථ්‍යා දෘෂ්ටියක් (වැරදි හැඟීමක්) තිබෙන බව මාගේ අදහසය. එනම් මේ ව්‍යවස්ථාව තුළම කැබිනට් මණ්ඩලය ජනාධිපතිගේ බලයෙන් ඉවතට ගත හැකිය, යන කල්පනාවය. මේ ව්‍යවස්ථාව තුළ සිටිමින් මේ වැඩේ කිරීමේ කිසිදු ඉඩක් නැත. එහෙත් මේ සඳහා උත්සාහ කරන්නට මේ ව්‍යවස්ථා සංශෝධන හතරට දරන ලද මහන්සිය හැමෝම දන්නා කරුණක්ය. ඒ මහන්සිය වතුරේ ගියා මිස වෙන දෙයක් සිදුවූයේ නැත.
මෙහිදී මා කියන දේ වැරදියට තේරුම් නොගත යුතුය. මා කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය මෙරටට ගැළපෙන එකම ක්‍රමය කියා නොවේ. එසේම මෙවැනි බලසම්පන්න ක්‍රමයක් තුළ පාලනය ගෙන යා හැකි ශක්තිමත් හා බුද්ධිමත් පාලකයන් මෙරට ජනාධිපතිවරුන් ලෙසින් සිටියා කියා නොවේ.
මේ ජනාධිපති ක්‍රමය මෙරටට නොගැළපෙන්නේ ඒ ක්‍රමයේ තිබෙන වැරැද්දකට වඩා ඒ ක්‍රමය හරියට ක්‍රියාත්මක කරන්නට ශක්තියක් හා බුද්ධියක් ඇති අයෙක් මහජන ඡන්දයෙන් අපේ රටේ තෝරා ගත නොහැකි නිසාය. ඒ කෙසේ වෙතත් ජනාධිපති ආණ්ඩුක්‍රමයෙන් ඉවතට යාමේ ඉඩ තිබෙන්නේ මෙවැනි සංශෝධන තුළ නොවන බව 17, 18, 19, 20 යන සංශෝධනවලින් පෙන්නුම් කළ කාරණය බව මගේ අදහසයි.
22 වැනි සංශෝධනය
22 වැනි සංශෝධනයෙන් යෝජනා කරන්නේ 20 වැනි සංශෝධනයෙන් සිදුකළ සමහර වෙනස්කම් යළිත් පෙර තිබූ තත්ත්වයට පත් කිරීමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යළි පිහිටුවීමත් ද්විත්ව පුරවැසියන් රටේ තීන්දු තීරණ ගන්නා පාර්ලිමේන්තුවට පැමිණීම නිමා කිරීමත් මේ සංශෝධනය මගින් සිදු කෙරෙන නව වෙනස්කම් අතර මූලිකත්වය ගන්නා බව පැහැදිලිය.
මේ ව්‍යවස්ථාමය කාරණයට එහා ගිය බල දේශපාලනමය සම්බන්ධයක් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමග ගැට ගැසී ඇත. එනම් රටේ දේශපාලන බලයේ (විධායකත්වය සහ පාර්ලිමේන්තුවේ) තිබෙන විකෘතිභාවය නිමා කිරීමට හා ජනතාවගේ අභාලාෂය නියෝජනය වන පාලනයක් ගොඩ නැගීමට යම් ඉදිරි පියවරක් මේ සංශෝධනයේ දේශපාලන සංසිද්ධිය හරහා මතුවීමේ ඉඩක් ඇති බවය.
මගේ තේරුම් ගැනීමට අනුව 22 වැනි සංශෝධනයේ එක ධනාත්මක දෙයක් වන්නේ ඒ ප්‍රජාතන්ත්‍රීය අවකාශය විවර කර ගැනීමය.
මහාචාර්ය චරිත හේරත්
(***)