ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍යද?


දහ තුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා බලය බෙදීම ගැන ජනාධිපතිවරයා ඉකුත් දිනෙක පාර්ලිමේන්තුවේ දී කළ විශේෂ ප්‍රකාශය විමසීමේ දී පැහැදිලි වන්නේ ආණ්ඩුවේ අරමුණ හුදෙක් මේ ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම නොවන බවය. ඊට එහා ගිය දෙයක් කිරීමට ආණ්ඩුව සැරසෙන බවක් පෙනේ.

2017 සැප්තැම්බර් මස 21 වැනිදා එම්.ඒ. සුමන්තිරන් හා ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සකස් කරන ලද මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවේ (The Interim Report of the Steering Committee) නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සූදානම් වෙමින් සිටින බව පැහැදිලිය.

එම මෙහෙයුම් අතුරු කමිටු වාර්තාවේ ඇතුළත් නිර්දේශ හිතකර ඒවා නොවේ. ඒ වාර්තාව පදනම් කරගත් බලය බෙදීමකට ආණ්ඩුව ගමන් කළ හොත් ශ්‍රී ලංකාවේ ඒකීය භාවය අහිමි විය හැකිය. අදාළ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවට අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු හා දෙවැනි වගන්ති සංශෝධනය වන්නේ පහත ආකාරයටය.

“ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරී සහ ස්වාධීන ජනරජයක් වනු ඇති අතර ව්‍යවස්ථාවෙන් නියම කර ඇති බලතල ක්‍රියාත්මක කරන මධ්‍යම හා පළාත්බද ආයතනවලින් සමන්විත වන ඒකීය රාජ්‍යයක් / ඔරුමිත්ත නාඩු වනු ඇත” යනුවෙන් එහි සිංහල පිටපතෙහි දැක් වේ. එහිම ඉංග්‍රීසි පිටපතෙහි ද මේ වගන්තිය ඇතුළත් වන අතර “යුනිටරි” (ඒකීය රාජ්‍යය හැඳින්වීමට යෙදෙන ඉංග්‍රීසි වචනය) යන වචනය වෙනුවට “ඒකීය” යන වචන යොදා තිබේ. එයින් පැහැදිලි වන්නේ එම කමිටු වාර්තාවේ අරමුණ වූයේ යුනිටරි යන වචනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙමළ පිටපතේ යුනිටරි නැතිනම් ඒකීය රාජ්‍යය යන අර්ථය දීමට යොදා තිබෙන්නේ “ඔට්රියච්චි” යන වචනයයි. එහි අර්ථය ඒකීය රාජ්‍යය යන්නයි. එහෙත් අදාළ මෙහෙයුම් කමිටු වාර්තාවෙන් එම වචනය ඉවත් කර ඒ වෙනුවට එක්සත් යන අර්ථය ලබා දෙන “ඔරුමිත්ත නාඩු” යන වචනය භාවිත කර තිබේ.

මේ මගින් උත්සාහ කර තිබෙන්නේ දෙමළ භාෂාවෙන් ඒකීය යන අර්ථය ලබා දෙන ඔට්රියච්චි යන වචනය ව්‍යවස්ථාවෙන් ඉවත් කර ඒ වෙනුවට එක්සත් යන අර්ථය ලබා දෙන ඔරුමිත්ත නාඩු යන වදන නීතිගත කරන්නටය. එසේම එය අර්ථනිරූපණය කිරීමේදී ඔරුමිත්ත නාඩු යන වචනය යොදා තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එක්සත් එකක්ය යන අර්ථය ලබා දීමට මිස සාම්ප්‍රදායික අර්ථයෙන් ඒකීය ව්‍යවස්ථාවක්ය යන අදහස ලබා දීමට නොවන බවත් පැහැදිලිය.

සිංහල මහ ජාතියේ ඇස් වසා ආණ්ඩුක්‍රමයේ ව්‍යුහය වෙනස් කිරීමට දරන උත්සාහයක් හැටියට මම මෙය දකිමි. මේ මෙහෙයුම් කමිටු වාර්තාව අප අමතක කර තිබුණ ද ජනාධිපතිවරයා ඉකුත්දා පාර්ලිමේන්තුවේ දී කළ විශේෂ ප්‍රකාශයෙන් එම යෝජනාවලියෙහි ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ සඳහන් වේ. එහෙත් ජනාධිපතිවරයා ඔහුගේ එකී ප්‍රකාශයේදී අදාළ වාර්තාවේ අඩංගු දෙවැනි වගන්තිය ගැන සඳහන් කරන්නේ නැත. එය සැබෑවකි. එසේ වුවද එම මෙහෙයුම් කමිටු වාර්තාවෙහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාව ෆෙඩරල් නොහොත් සන්ධීය රාජ්‍යයක් කිරීමය.

ආණ්ඩුව කළේ පළමුව මුට්ටිය එළියට දා බැලීමකි. ජනාධිපතිවරයා පළමුව පාර්ලිමේන්තුව අමතමින් කීවේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් වන හෙයින් එය ක්‍රියාත්මක කළ යුතු බවය. එහෙත් එම ප්‍රකාශය පසුපස ඉතා වංචනික අරමුණක් ගැබ්ව ඇති බව තේරුම් ගත යුතුය.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීමට හැකි වූයේ අදාළ මෙහෙයුම් කමිටු වාර්තාවට එරෙහිව කටයුතු කළ නිසාය. ගිහි පැවිදි විශාල පිරිසක් එම වාර්තාවට විරුද්ධ වූහ. එයින් නොනැවතී ජාතික ඒකාබද්ධ කමිටුවෙන් “යෝජිත ව්‍යවස්ථාවෙන් හඳුන්වා දෙන ශ්‍රී ලංකා ඔරුමිත්ත නාඩුව” නමින් ප්‍රකාශනයක් ද නිකුත් කෙරිණි. ඒ වෙනුවෙන් පැවැති උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූයේත් ගෝඨාභය රාජපක්ෂ මහතාය.

ඉන්පසු රාජපක්ෂ මහතා විසින් “එළිය” නමින් සංවිධානයක් පිහිටුවනු ලැබූ අතර එහි අරමුණ වූයේ අදාළ ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාව මගින් රටේ ව්‍යුහය වෙනස් කිරීමට දරන ලද උත්සාහයටත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමේ උත්සාහයටත් විරෝධය පළ කිරීමටය. එළිය සංවිධානය මගින් රට පුරා දැනුම්වත් කිරීමේ හමු පවත්වමින් 2017 දී රටේ ව්‍යුහය වෙනස් කිරීම සඳහා එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගත් උත්සාහය පරාජය කළේය.

එයින් නොනැවතී ගෝඨාභය රාජපක්ෂ මහතාට බලයට පැමිණීමට ද හැකි විය. එහෙත් අවසානයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ ප්‍රතිවාදියා වූ රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති තනතුරට පත් කිරීමට අදාළ පරිසරය නිර්මාණය කළේය. රාජපක්ෂ මහතාගෙන් පුරප්පාඩු වූ ජනාධිපති තනතුරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා අදාළ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව ක්‍රියාත්මක කරන බව දැන් කියයි. ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කිසිදු විරෝධයක් පළ නොකරයි. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ද නිහඬව සිටියි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී කීවේ දහ තුන ප්ලස් (13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය බලය බෙදීමකට කැමති බව) ක්‍රියාත්මක කිරීමට එකඟ බවය. එහි අර්ථය වන්නේ රටේ ව්‍යුහය වෙනස් කිරීම සඳහා 2017 දී ගෙනා යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එකඟ බවය. මීට ඉහත දී මහින්ද රාජපක්ෂ මහතා ද දහ තුනෙන් ඔබ්බට ගිය බලය බෙදීමකට එකඟ බව ප්‍රකාශ කළේය. ඔහු ඒ සම්බන්ධ සිය ස්ථාවරය ගැන යළිත් ප්‍රකාශයක් කළ යුතු බව මගේ අදහසයි.

ජනාධිපතිවරයා සිය ප්‍රකාශයේ දී පැවසුවේ පොලිස් බලතල වැනි සංවේ දී බලතලවලට අත නොතියා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන යා යුතු බවය. මගේ ප්‍රශ්නය වන්නේ පොලිස් බලතලවලට අත නොතියන්නේ නම් එය අවලංගු නොකරන්නේ ඇයි ද යන්නය. පොලිස් බලතල පළාත් සභාවලට ලබා නොදීමට ජනාධිපතිවරයා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නේ නම්, එම බලතල 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කරන බවට ඔහු පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුය. පොලිස් බලතල පළාත් සභාවලට නොදෙන්නේ නම් යහපත්ය. 

පොලිස් බලතල ලබා දුන හොත් මහත් කලබැගෑනියක් ඇති යවි හැකි හෙයින් පළමුව සෙසු බලතල ලබා දී පසුව පොලිස් බලතල ලබා දීමේ අරමුණක් තිබේ ද යන්න ගැන අපට සැකයක් තිබේ. එස්.ජේ.වී. චෙල්වනායගම් මහතාගේ ප්‍රතිපත්තිය වූයේ දැනට ටිකක් පසුවට සියල්ල යන්නයි. එයත් අපේ සැකයට හේතුවකි.

මෙහිදී විමසා බැලිය යුතු වැදගත් කාරණය වන්නේ පොලිස් බලතල පළාත් සභාවලට ලබා දීම වැළැක්වීමට වත්මන් ජනාධිපතිවරයාට හැකි ද යන්නය. මීට පෙර බලයේ සිටි ජනාධිපතිවරුන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වූයේ නැත. එහෙත් වික්‍රමසිංහ මහතා කියන්නේ දහ තුන ක්‍රියාත්මක කරන බවය.

වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වූ පසු උතුරු නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාර ධුර දැරූ අය එම තනතුරුවලින් ඉවත් කර ඒ වෙනුවට වෙනත් අය පත් කළේය. නැගෙනහිර ආණ්ඩුකාරවරයා වශයෙන් පත් කරනු ලැබූ සෙන්තිල් තොණ්ඩමන් මහතා වැඩ පටන් ගෙන තිබේ. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පන්සලක සංවර්ධන කටයුත්තක් කිරීමට සැරසුණු අවස්ථාවේ නැගෙනහිර පළාත් ආණ්ඩුවේ මැදිහත් වීමෙන් එය නතර කෙරිණි.

ජනාධිපතිවරයාගේ නියෝගයක් අනුව කුරුන්දි විහාරය අවට පිහිටි ඉඩම් ප්‍රදේශයේ ජනතාව වෙත බෙදා දීම ආරම්භ වී තිබේ. මේ සියල්ල කරන්නේ මධ්‍යම ආණ්ඩුවේ පොලිස් බලතල පාවිච්චි කරමිනි. එයින් පෙනෙන්නේ පළාත් සභාව භාවිත කරනවාට වඩා හොඳින් මධ්‍යම ආණ්ඩුව පොලිස් බලතල භාවිත කරන බවය. පොලිස් බලතල පළාත් සභාවලට ලබා නොදෙන බව ප්‍රකාශ කළ ද ටිකෙන් ටික එය ලබා දීමේ උත්සාහයක් තිබෙන බව පෙනේ.

මේ පළාත් සභා ක්‍රමයත් සමග රටට ඉදිරියට යා නොහැකිය. ජනාධිපතිවරයා ඔහුගේ ප්‍රකාශයේ එක් තැනක දී සඳහන් කරන්නේ පළාත් සභා ක්‍රමය වෙනුවෙන් වසරකට රුපියල් බිලියන 550 ක් වැය කරන බවය. ඒත් සමගම ඔහු ප්‍රශ්න කරන්නේ මෙතරම් විශාල මුදලක් වැය කළ ද පළාත් සභාවලින් රටට සෙතක් වුණිද කියාය. ජනාධිපතිවරයා එම ප්‍රශ්නය ඇසිය යුත්තේ ජනතාවගෙන් නොව ඔහුගෙන්මය. මන්ද, පළාත් සභා ක්‍රමය ගෙනාවේ ඔහු නියෝජනය කළ එජාප ආණ්ඩුවක් යටතේ නිසාය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි උපලේඛනයේ පළමු පරිශිෂ්ටයේ 11.1 වගන්තියේ දැක්වෙන්නේ පළාත් පොලිසිය පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ පාලනයේ තිබිය යුතු බවය. පොලිසිය ජනාධිපතිවරයාගේ පාලනය යටතේ තිබිය යුතු බවට ව්‍යවස්ථාවේ කොතැනකවත් සඳහන් වන්නේ නැත. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙහි පරමාර්ථය පොලිසියේ පාලනය සහිත මහ අමාත්‍යවරුන් බිහි කිරීම නම්, මේ රටට සිදු වන්නේ කුමක්ද යන ප්‍රශ්නය මම නගමි.

එම පරිශිෂ්ටයේම දෙවැනි උපලේඛනයේ 1.3 වගන්තියට අනුව පළාත් සභාවේ අනුමැතියකින් තොරව කිසිදු පුද්ගලයකුට හෝ ආයතනයකට හෝ ඉඩම් ලබා දිය නොහැකිය. ඒ‘ අනුව, උතුර නැගෙනහිර පළාත්වල ජීවත්වන සිංහල සහ මුස්ලිම් ප්‍රජාවට ඉඩමක අයිතිය ලබා ගැනීමට නම් අදාළ පළාත් සභාවෙහි අනුමතිය අවශ්‍ය වේ. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙහි පළමු වගන්තියෙහි දැක්වෙන්නේ පළාත් දෙකක් ඒකාබද්ධ කළ හැකි බවය. උතුර නැගෙනහිර පළාත් ඒකාබද්ධ නොකරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ ද නැත. 

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටිය දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කළේය. මමත් එහි සාමාජිකයකු වශයෙන් කටයුතු කළෙමි. අපි වසර දෙකක් වැය කර අලුත් ව්‍යවස්ථාවක් සකස් කළෙමු. ඒ ගැන කිසිදු සාකච්ඡාවක්වත් සිදු වන්නේ නැත. වර්තමාන ජනාධිපතිවරයාට අවශ්‍ය වී තිබෙන්නේ මුලදී සඳහන් කළ සුමන්තිරන් හා ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන් සකස් කරන ලද ව්‍යවස්ථා කෙටුම්පත ක්‍රියාත්මක කිරීමටය. ප්‍රශ්නය තිබෙන්නේ එතැනය.

ජනාධිපති නීතිඥ  මනෝහර ද සිල්වා

සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ