ව්‍යවස්ථා සංශෝධනය කාහටද?


මෙරට තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2023 ඔක්තොම්බරයේ දී වයස අවුරුදු 45 සපුරන්නේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකුත් තුරුලු කරගෙනය. රාජ්‍යයක ව්‍යවස්ථා සංශෝධන අරුමයක් නොවේ. වෙනස්වන සමාජ ආර්ථික දේශපාලන සාධක නිසාත් ඒවාට ප්‍රතිචාර දක්වමින් රටේ ජනයාගේ යහපැවැත්ම සහ යහජීවනය වඩ වඩාත් වැඩිදියුණු කරගැනීම සඳහා එවැනි සංශෝධන ගෙන ඒම එක් අරමුණකි. එහි ඇත්තේ දේශපාලන සදාචාරයකි.

ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමේ තවත් අරමුණක් වනුයේ පාලකයන්ගේ බල දේශපාලන අරමුණු ඉටුකරගැනීම ය. එය ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියකට එරෙහිව සිදුවන දේශපාලන වශයෙන් සදාචාර විරෝධී කටයුත්තකි. හැබැයි ඒ, ජනයාගේ පැත්තෙන් බලන විටය. 

පාලකයන්ට අනුව ඒවා සදාචාරාත්මකය, ජනතාවාදී ය. ලංකාවේ ව්‍යවස්ථා සංශෝධන බොහොමයක් අදාළ වන්නේ දෙවැනි අරමුණට ය. එනම් ලංකාවේ ව්‍යවස්ථා සංශෝධන බොහොමයක් පාලක අරමුණු වෙනුවෙන් සිදුකොට තිබෙනවාය යන්න ජගත් ලියනආරච්චි වැනි නීති විශාරදයන්ගේ ද මතයයි.

දහනවයට පක්ෂව සහ පසුව ඊට විපක්ෂව විස්සට කැමැත්ත ලබා දුන් අය ම විස්සට විරුද්ධව විසි එකට කැමැත්ත දීමෙන් පෙන්නුම් කරන්නේ කුමන දේශපාලන සදාචාරයක් දැයි අපේ පාඨකයන් සිතත් වා. එසේම දහනවයට පක්ෂව විස්සට විපක්ෂව සහ විසි එකට පක්ෂව කැමැත්ත දුන් අය අප තක්සේරු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් අප පාඨකයන් සිතනු ඇතැයි මා සිතමි.

එහෙත් එවැනි දේවල් ගැන අපට සිතන්නට වී ඇත්තේ අති දරුණු කායික මානසික පීඩනයක් අසරණකමක් ඇති මොහොතකය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ජන ජීවිතයේ සෑම අහුමුල්ලක්ම හිර කරද්දී ඒ හිරවෙන ජනයා හඬන හඬ, නගන සුසුම් භාරගන්නේ වා තලය පමණක් වීම කියාපානුයේ ජන දුක දැනෙන පාලකයන් අතුරුදන් වී ඇති බවය.

අරමුදල දෙන නියෝග ඒ අයුරින්ම ජන සමාජයට අතහරින පාලකයනුත් ඒවාට සැලසුම් හදන සහ අඳින බලධාරිනුත් යුක්තිසහගත බවේ සහ සාධාරණත්වයේ මූලධර්මය ගැන නම් දශමයකින් හෝ සිතන බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට බදු අයකිරීම් සහ ගාස්තු වැඩිකිරීම් සිදුකරන්නේත් සහන කප්පාදු කරන්නේත් මාරාන්තික භාවය සහ අයුක්ති සහගත භාවය මත පදනම්ව බව පෙනේ. 

මූල්‍ය අරමුදලේ උදව් ලැබෙන මොහොත වනවිට පීඩිත ජනයාගෙන් සැලකිය යුතු ප්‍රමාණයක ජීවිත පමණක් නොව පණ පවා එක්කෝ අහිමි වී තිබිය හැක. නැතහොත් සහන ලෙස සහන මිලකට කාඩ්බෝඩ් මිනී පෙට්ටි වසම් මට්ටමින් බෙදන තත්ත්වයක් උදා වී තිබිය හැක.

මේ ව්‍යසනයට මේ රටේ කවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින්වත් පිළිතුරු හෝ විසඳුම් නොලැබීම කියාපාන්නේ මේ ව්‍යවස්ථා හෝ සංශෝධන ජන දුක නිවීම හෝ ජන ජීවිතවල යහ ජීවනය සහ යහ පැවැත්ම අරමුණු කරගත් ඒවා නොවන බව ද? පාලකයන් ජනයාගෙන් ලබාගන්නා පාලන බලය තම තමන් අතර බෙදාගන්නා සහ භාවිතා කරන ආකාරය පිළිබඳව විනා ජනයා මුහුණ දෙන අනේක විධ පීඩා සමනය කිරීම සඳහා ව්‍යවස්ථා සම්පාදනය කරන්නේ හෝ සංශෝධනය කරන්නේ කවදා ද? කවදා පායද්ද අප පුන් සඳාණෝ?   

යහ පැවැත්ම නොව ඉහත සඳහන් කළ යහජීවනය තරමක නුහුරු සංකල්පයක් ලෙස දැනීමට ඉඩ ඇති නිසා ඒ ගැන ඉතාම කෙටි පැහැදිලි කිරීමක් අවශ්‍ය ය. යහජීවනය මූලික වශයෙන් ආකාර අටකි. එනම් චිත්තවේගීය, වෘත්තීයමය, බුද්ධිමය, පාරිසරික, මුල්‍යමය, භෞතික, සමාජයීය සහ අධ්‍යාත්මික යහජීවනය යනා දී වශයෙනි. මේ රටේ අති බහුතර ජනකායකට ඒ කිසිවක් වෙත ළඟා වීමට නොහැකි පසුබිමක් නිර්මාණය වී ඇත්තේ මෙරට දේශපාලනය සහ ආණ්ඩුකරණය කල්ලි, රංචු, හවුල් සහ පවුල්වල අණසකට යටත්ව සහ ඒවායේ සුබසෙතට පමණක් නඩත්තු කළ සහ කරන නිසා ය යන්න මගේ අදහසය. 

මෙවැනි අතීත සහ වර්තමාන පසුබිමක පසුගිය ලංකාදීපවල ‘කිවි දා දැක්ම’ ලිපි තුළ මා මතුකළ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපගේ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට ගෙන යන ලෙස අපේ පාඨකයන් කීප දෙනකුම දුරකථන ඇමතුම් ලබා දීම මගේ සතුටට කරුණකි. ඒ හේතු දෙකක් නිසාය. රටේ යහපත් දේශපාලන සංස්කෘතියක් අපේක්ෂා කරන ජනයා සිටිනවාය යන කරුණ පළමු වැන්නය. දේශපාලනිකව අතිශයින්ම පාරිශුද්ධ ඇතැමුන්ගේ නින්දා අපහස සහ තර්ජන ලබමින් මා ලියන දෑ පලක් ඇති සහ ජනයාගේ අවධානයට ලක්වන ඒවාය යන්න එම ඉල්ලීම් නිසා දැනෙන එක දෙවැනි කරුණය. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ මෙවර අවධානය ව්‍යවස්ථානුකූලවාදය වෙත යොමු කිරීමට මම කැමතිය.

ආණ්ඩුවක අධිකාරිය තීරණය කරනු ලබන්නේ නීති පද්ධතියක් හෝ ව්‍යවස්ථාවක් මගිනි. වඩාත් සාමාන්‍යයෙන් ව්‍යවස්ථානුකූලවාදය යන්නෙන් අදහස් කරන්නේ අත්තනෝමතික එනම් පාලකයන්ගේ හිතුවක්කාර පාලනය වැළැක්වීමට දරන ප්‍රයත්නයෝය. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලවාදය ආණ්ඩුවේ ක්‍රියාවල යුක්තියුක්තභාවය පාලනය කරන මූලධර්මය ය. රටකට හොඳ ව්‍යවස්ථාවක් මෙන්ම හොඳ ව්‍යවස්ථානුකූලවාදයකුත් අවශ්‍යය ය. එනම් හොඳ ව්‍යවස්ථාවක් පමණක් තිබුණාට වැඩක් නැත. දේශපාලන සමාජය ඊට අවනතව ක්‍රියා නොකරන්නේ නම් එරට ඇත්තේ දූෂිත පාලනයකි.

එසේම ව්‍යවස්ථාවේ සිදුරු හෝ දුර්වල තැන් පාවිච්චි කරමින් අප ව්‍යවස්ථාවට අනුව වැඩකරන්නෝය කියමින් කටයුතු කිරීම ව්‍යවස්ථානුකූලවාදය නොවේ. හැබැයි එවැනි සිදුරු සමාජ ප්‍රගතිය වෙනුවෙන් වසා දැමීමට ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම නම්  ව්‍යවස්ථානුකූලවාදයේ ගති ලකෂණවලින් එකක් ය. ඉතාම සරලව පැහැදිලි කරන්නේ නම් සමාජ ප්‍රගතිය වර්ධනය කරන සහ තහවුරු කරන හොඳ ව්‍යවස්ථාවකට අවනතව අනුකූලව දේශපාලන සහ ආණ්ඩුකරණ කටයුතු පවත්වාගෙන යාම ව්‍යවස්ථානුකූලවාදය ය. එය ප්‍රජාතන්ත්‍රවාදී ඇගැයුම් වටිනාකම් සහිත සමාජයකට අත්‍යවශ්‍ය කොන්දේසියක් ය. එවැනි සමාජයක ව්‍යවස්ථාව ජනතාවගේ මිසක පාලකයන්ගේ නොවේ ය. 

මේ සාකච්ඡාව වඩාත් පොහොසත් කිරීම සඳහා ව්‍යවස්ථානුකූලවාදයේ මූලධර්ම කෙරෙහි අපගේ අවධානය යොමු කරමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලවාදය පිළිබඳ සංකල්පය නීත්‍යානුකූලභාවයට (legality) වඩා  ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩුවකට යුක්තියුක්තභාවය (legitimacy) සපයන යාන්ත්‍රණයකි, මෙවලමකි. ව්‍යවස්ථාවක් ලියන ලද හෝ නොලියන ලද ද යන්නට වඩා වැදගත් වන්නේ  ව්‍යවස්ථානුකූලවාදය ය. බොහෝ රාජ්‍යවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තිබුණාට ඉන් කියවෙන්නේ ඒවා  ව්‍යවස්ථානුකූලවාදය අනුගමනය කරන බව නම් නොවේය.

ව්‍යවස්ථානුකූලවාදයේ පළමු මූලධර්මය වනුයේ බලතල වෙන් කිරීම ය. එනම් බලතල වෙන්කිරීම මගින් පාලන යාන්ත්‍රනය ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යනුවෙන් අංශ තුනකට බෙදා දැක්වීම ය. මෙමගින් බලයේ ඒකාධිකාරයක් ඇතිවීම වැළැක්වීම සිදුවේ. ඒ අනුව එක අංශයක් යටපත් කිරීමට හෝ එක අංශයක් ඉහළට යාමට හෝ තිබෙන ඉඩ ඇහිරෙනු ඇත. බලය වෙන්කිරීම පමණක් නොව අංශ තුන අතර බලයේ සමානකමක් එනම් බල තුලනයක් ඇති කිරීමට ද මෙහි දී වග බලාගත යුතුය. 

ව්‍යවස්ථානුකූලවාදයේ දෙවැනි මූලධර්මය වනුයේ වගකිවයුතු සහ වගඋත්තර බඳින ආණ්ඩුවක් පැවතීමය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සැකැස්මක් තුළ ආණ්ඩුවක් තේරී පත්වන්නේ එය තෝරා පත්කරගන්නා ජනතාවට සේවය කිරීමට හැකිවන පරිදි ය. තම ආණ්ඩුවෙන් වගඋත්තර බැඳීම සහ පිළිතුරු ඉල්ලා සිටීමට පුරවැසියන්ට අයිතියක් ඇත්තේ මේ අර්ථයෙන් ය.

ව්‍යවස්ථානුකූලවාදයේ තුන්වැනි මූලධර්මය ජනතා පරමාධිපත්‍යය යන්න ය. ජනතා පරමාධිපත්‍ය සංකල්පයෙන් කියැවෙන්නේ ආණ්ඩුව එහි යුක්තියුක්තතාව ලබාගන්නේ ජනතාවගෙන්ය යන්නය. කිසිම ආයතනයකට, කිසිම පුද්ගලයකුට ජනතා පරමාධිපත්‍යයෙන් ප්‍රකාශිතව නිකුත් නොවන අධිකාරියක් ක්‍රියාත්මක කළ නොහැක.

මන්ද පරමාධිපත්‍ය ජනතාව සතුය. ඊට ඉහළින් ව්‍යවස්ථාවක් සහ ව්‍යවස්ථාදායකයක්වත් විධායකයක්වත් අධිකරණයක්වත් නැත. අපේ ජනයා මෙය හරි හැටි දන්නෙත් නැත. එකී පරමාධිපත්‍ය සමාජ ප්‍රගතියට මෙහෙයවීම සඳහා වූ හරිහමන් අවබෝධයක් ඇත්තේ ද නැත. අප වැඩිදියුණු කරගත යුත්තේ ඒ අවබෝධය ය.

නීතියේ ආධිපත්‍යය යනු ව්‍යවස්ථානුකූලවාදයේ හතරවැනි මූලධර්මය ය. නීතියේ ආධිපත්‍යය, නීතිය ඉදිරියේ සියලු‍ පුරවැසියන්ගේ සමානාත්මතාවට සහාය වන්නකි. කිසිවෙක් නීතියට ඉහළින් නැත. එනම් නීතිය ඉදිරියේ සැම දෙනාම සමානවන තත්ත්වයකි. සමාජය අත්තනෝමතික රාජ්‍ය ආකෘතිවලින් ගලවා ගැනීම නීතියේ ආධිපත්‍යයේ කාර්යක් සහ වගකීමක් ය.

මෙමගින් පොදුවේ බලය අත්තනෝමතික ලෙස භාවිතා කිරීම වළක්වයි. ඒ අනුව දඬුවම් කළ හැක්කේ නීති කඩ කළ අයට පමණි. එසේම දඬුවම් කළ හැක්කේ නීතියට අනුකූලව පමණි. පුද්ගලයකුගේ සමාජ සහ විශ්ව සම්මත අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කිරීම සඳහා අධිකරණය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ යුතුය. 

ඒ සඳහා අධිකරණය ස්වාධීන විය යුතු ය. එසේම අධිකරණය සහ නීති යුක්තිසහගත බවේ සහ සාධාරණත්වයේ මූලධර්ම මත ක්‍රියාත්මක විය යුතු ම ය. ස්වාධීනත්වයට හරයක් වටිනාකමක් වනුයේ එවිට ය. ස්වාධීන අධිකරණයක් පැවතීම යනු ව්‍යවස්ථානුකූලවාදයේ පස්වැනි මූලධර්මය ය. ඕනෑම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් සමාජයක හරය සහ පදනම අධිකරණයේ ස්වාධීනත්වයයි. අධිකරණය යනු නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන්නා වන අතර යුක්තිසහගත බව සහ සාධාරණත්වයේ මූලධර්ම සහිත එහි ස්වාධීනත්වය උදුරා ගතහොත් එය සමස්ත නීතියේ ආධිපත්‍යය අනතුරේ හෙළනු ඇත. 

පුද්ගල අයිතිවාසිකම් යනු ව්‍යවස්ථානුකූලවාදයේ හයවැනි මූලධර්මය ය. ව්‍යවස්ථානුකූලවාදයේ දියුණුව සඳහා පුද්ගලයාගේ අයිතිවාසිකම්වලට ඉහළම වටිනාකමක් සහ ආරක්ෂාවක් හිමිවිය යුතුමය. මෙම පුද්ගල අයිතීන් අධිකරණය විසින් ආරක්ෂා කරනවා පමණක් නොව ඒවායේ බලපෑම සහ ක්‍රියාත්මක කිරීම පුළුල් වන ආකාරයෙන් අර්ථකථනය කිරීම ද සිදුවිය යුතුය. 

හමුදාව මත සිවිල් පාලනය, නැතහොත් ආරක්ෂක අංශ මත සිවිල් ආණ්ඩුවක පාලනය යනු ව්‍යවස්ථානුකූලවාදයේ හත්වැනි මූලධර්මයය. ව්‍යවස්ථානුකූලවාදය ඉන් බලාපොරොත්තු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සහ ආණ්ඩුවක තීරණ ගැනීමේදී හමුදාව මැදිහත් නොවන ලෙස හෝ හමුදා කුමන්ත්‍රණයකට ඉඩ නොලැබෙන ලෙසට හමුදාවේ පාලනය සිවිල් ආණ්ඩුවක් අතේ තිබිය යුතු බව ය.

ව්‍යවස්ථානුකූලවාදය පිළිබඳ මෙම පැහැදිලි කිරීමේ දී  මා සඳහන් කරන අවසාන මූලධර්මය වන්නේ පොලිසියේ  වගවීම නැතහොත් වගඋත්තර බැඳීම ය. එම මූලධර්මයට අනුව පොලිසිය සිය රාජකාරිය ඉටුකරන අතරම පුද්ගලයන්ගේ අයිතිවාසිකම්, නිදහස සහ අභිමානය ආරක්ෂා කළ යුතු ය. එසේම පොලිසිය නීතිවල සහ උසාවි පාලනය යටතට පත් කිරීමෙන් පුද්ගලයන්ගේ අයිතිවාසිකම්, නිදහස සහ අභිමානය ආරක්ෂා කොට සහතික කළ හැකි බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලවාදය අපේක්ෂා කරයි.

ව්‍යවස්ථානුකූලවාදය යන්න එසේ වෙතත්, වසර ගණනාවක් පුරා ආණ්ඩු සහ පාලකයන් ඉගෙනගෙන ඇත්තේ පුරවැසියන්ට ප්‍රතිලාභ ලබා දීම වෙනුවට පාලකයන්ගේම ප්‍රතිලාභ සඳහා රාජ්‍ය උපකරණ භාවිතා කිරීමට ය. ප්‍රතිපත්ති සම්පාදනයේදී ආයතනික සහ පාලක අවශ්‍යතා සහ නඩත්තුව වෙනුවෙන් උපරිම ප්‍රතිපාදන ලබාදෙන ආණ්ඩු, අති විශාල බහුතර ජනගහනයේ සුබසාධනය සඳහා වන ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය වාගාලංකාර පමණක් බවට පත්කොට එහි සැබෑ අරමුණු විනාශ කර ඇත. (තේරුම් ගැනීමේ පහසුව සඳහා ලකාවේ රාජ්‍ය ඇමතීන් පත් කිරීම ගැන හිතන්න). 

පුද්ගල අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා සම්මත කරගත් දේවල් ම ජනයා යටපත් කිරීමට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් අහිමි කිරීමට යොදා ගනිමින් සිටී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලවාදයේ බලකොටු වූ ආයතන එක්කෝ ගරාවැටෙමින් හෝ ඵලදායි ලෙස දුර්වල හා අකාර්යක්ෂම බවට පත්කර ඇත.

සංවරණ සහ තුලන මූලධර්මවල වැදගත්කම හුදෙක් ශාස්ත්‍රීය මට්ටමකට පටුකර ඇත. සීමා කර ඇත. දේශපාලනයේ සහ ආණ්ඩුකරණයේ  කොරිඩෝවට මුදල් බලය සහ සාපරාධීකරණය ලෝක මට්ටමින් ඇතුල්වෙනු පෙනේ. ගොඩනැගෙමින් පවතින කලකිරීම් අතිශය භයානක වන අතර එය සමාජ නායයාමක් දක්වා වර්ධනය වීම නතර කළ යුතුව ඇත. ඒ සඳහා  ව්‍යවස්ථා හරඹ නොව පොදුජන සුබසාධනය යහපැවැත්ම යහජීවනය අරමුණු කරගත් දේශපාලන සහ ආණ්ඩුකරණ සංවාදයක් අවශ්‍යමය.

 


කොළඹ විශ්වවිද්‍යාලයේ  දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ,ධම්ම දිසානායක