ව්‍යවස්ථාවේ පදනම දෙදරලාද?


අපේ රටේ විධායක ජනාධිපති ධුරයක් ඇති කළේ 1978 දීය. ඒ කියන්නේ මීට වසර 45 කට ඉහතදීය. මේ දක්වා විධායක ජනාධිපතිවරු 08 දෙනෙක් පත්වී ඇති අතර ඒ අය අතරින් හය දෙනකු ජනතාව විසින් සෘජුවම පත්කරනු ලැබූ අය වෙති. දෙදෙනකු පත් කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් විසින්ය. මා මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ජනාධිපතිවරුන්ගේ පත්වීම ගැන නොවේ.

මගේ අවධානය යොමුවන්නේ ජනාධිපති ධුරය අපේ රටේ දේශපාලනයට කරමින් තිබෙන බලපෑම පිළිබඳවයමේ ලිපියට ආරම්භයක් ලෙසින් සඳහන් කළ යුතු විධායක ජනාධිපතිධුරයට සම්බන්ධ සිදුවීම් දෙකක් මෙහි සටහන් කිරීම ඉතාමත් වැදගත්ය.

එයින් එකක් වන්නේ පසුගිය සතියේ පැවැති සර්ව පාක්ෂික නායක රැස්වීමේ දී ගෙවිඳු කුමාරතුංග සහ ජනාධිපතිවරයා අතර පැවැති සංවාදයයි. අනෙක් කාරණය වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට කළ ප්‍රකාශයයි.

ගෙවිඳු ජනාධිපතිවරයාගෙන් ඇසූ ප්‍රශ්නය වන්නේ ‘‘ජනතාවගේ ජනමතය ප්‍රකාශ කළ මැතිවරණ ප්‍රකාශයට එරෙහිව එම ජනමතයම නියෝජනය කරන අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට ක්‍රියා කළ හැකි ද?’’ යන්නය. ඒ කියන්නේ 2019 ගෝඨාභය රාජපක්ෂ බලය ඉල්ලමින් ජනතාව හමුවේ තැබූ එකඟතාව (Social Contracts) හෙවත් සමාජ සම්මුතිය වන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙන බවය. එවැනි ජනමතයක් නියෝජනය කරන ජනාධිපතිධුරයක ඉතිරි කොටස ක්‍රියාත්මක කරන හෙයින් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට 13 වැනි ව්‍යවස්ථාව බලාත්මක කිරීමේ සදාචාරාත්මක ඉඩක් පවතී ද? යන්න ගෙවිඳු අසන ප්‍රශ්නයයි. මගේ අදහස වන්නේ මෙය ඉතාමත් වැදගත් සහ නිශ්චිත ප්‍රශ්නයක් බවයි.

මේ සඳහා ජනාධිපතිවරයා දුන් පිළිතුරෙත් නෛතික වැරැද්දක් නැත. ජනාධිපතිවරයාගේ අදහස වූයේ තමන් විධායක ජනාධිපති බැවින් පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ නීති  ක්‍රියාත්මක කිරීම තමන්ගේ වගකීම බවත් ඒ අනුව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය එසේ සම්මත කළ නීතියක් බැවින් තමන් එය ක්‍රියාත්මක කරන බවත්ය.

මේ ප්‍රශ්නය ඉදිරියේදී විසඳෙන්නේ කෙසේදැයි මා දන්නේ නැත. එක්කෝ ජනාධිපතිවරයා කියන ආකාරයෙන් 13 බලාත්මක කර ක්‍රියාත්මක විය හැකිය. නැතහොත් ජාතික සංවිධාන කියන ආකාරයෙන් එය පෙර පරිදිම සීමිත ආකාරයෙන් ක්‍රියාත්මක විය හැකිය. එය කෙසේ වුවත් රටේ විධායක ජනාධිපතිධුරය සම්බන්ධ වැදගත් ගැටලුවක් මේ මගින් පෙන්නුම් කරන බව මගේ අදහසය.

ඒ ගැටලුව වන්නේ විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ආයතන දෙක ඡන්ද  පත්‍රිකා දෙකකින් (ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය) තෝරා පත්කර ගැනීමේදී ඒ ඒ ආයතන වග කියන්නේ කුමන ජනමතයට ද යන කාරණයයි. ජනාධිපතිවරයා පත්කළ ජනමතයට පටහැනි මතයක් පාර්ලිමේන්තුව සම්මත කළ විට හෝ පාර්ලිමේන්තු ජනමතයට පටහැනි මතයක් ජනාධිපතිවරයා ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ විට සිදුවන්නේ කුමක්ද? යන ගැටලුව මෙහිදී තීරණාත්මකව මතුවන බව මගේ අදහසය. විධායක ජනාධිපතිධුරය සම්බන්ධව මෙතෙක් මතු වූ ගැටලුවලට වඩා බරපතළ අවුලක් මේ මගින් පෙන්නුම් කරන බව ඉතාමත් පැහැදිලිය.

මේ සතියේ මතු වූ දෙවැනි නිරීක්ෂණය වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතත් ජනාධිපතිධුරයට ඉදිරිපත් වන බවට ප්‍රකාශ කිරීමය. මේ කතාව සැබෑවක් වන්නේ දැයි දන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමේ නෛතික ඉඩක් ඔහුට ඇති බව ඉතාමත් පැහැදිලිය. එහෙත් ඔහු මේ ප්‍රකාශයෙන් කරන්නේ මෙරට විධායක ජනාධිපති ධුරය යනු ජනතාවගේ අභිලාෂය මත ගොඩ නැගෙන දෙයක් නොව හුදු දේශපාලන පැලැන්තියක ‘රිප්ලේස්මන්ට්’ (replacement)  එකක් බව ප්‍රකාශ කිරීමය.

තමන් ජනාධිපති ධුරය හොබවන කාලයේ සිදුවූ කිසිවක් අදාළ නැති, තමන් කැමැති නිසා යළි ඉදිරිපත් විය හැකි දෙයක් ලෙසින් විධායක ජනාධිපතිධුරය තේරුම් ගැනීමෙන්ම පෙනෙන්නේ රටේ විධායක බලය වෙනමම පිහිටුවීමේ උත්සාහය අතිශයෙන් අසාර්ථක වී තිබීම පමණක් නොව එය ඉතාමත් පසුගාමී අන්තයකට තල්ලු වී ඇති බවය.

1978 ව්‍යවස්ථාවේ ජනාධිපතිධුරය

ජයවර්ධන මහතා 1977 මැතිවරණයේදී ජනවරමක් ඉල්ලුවේ ඔහු පත් වුවහොත් විධායක ජනාධිපති ධුරයක් ඇතිකරන බව කියමින්ය. ඒ අනුව 1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙන ලද බව හැමෝම දන්නා කරුණකි. මේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඊට පෙර තිබූ ව්‍යවස්ථාවට වඩා මූලධාර්මික වශයෙන් වෙනස් බව සමහරුන්ට පසුගිය වසර 45 පුරාවටම තේරුම් ගැනීමට නොහැකි වී ඇති බව මගේ අදහසය. විශේෂයෙන්ම 17, 18, 19, 20, 21 යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙස බලන විට පෙනී යන එක් කාරණයක් වන්නේ 1978 ව්‍යවස්ථාවේ ඇති මූලධාර්මික පදනම තේරුම් නොගෙන කරන්නට උත්සාහ ගත් සංශෝධන මාලාවක් බවයි. මේ සංශෝධන අතරින් 04 ක්ම දැනටමත් අසාර්ථක වී ඇති අතර පස්වැනි එක වන 21 වැනි සංශෝධනය ද ඉදිරියේ දී අසාර්ථක වීමට නියමිත බව මගේ අදහසයි.

මේ ව්‍යවස්ථා සංශෝධන 05 ක්ම උත්සාහ ගත්තේ රටේ විධායක බලය ජනාධිපතිවරයා වෙතින් නැවතත් පාර්ලිමේන්තු කාරක සභාවක් වෙතට ලබා ගැනීමට හෝ නැතහොත් ආපසු ලබා දීමටය. 17, 19, 21 යන ව්‍යවස්ථා සංශෝධන උත්සාහ දරන්නේ විධායක බලය පාර්ලිමේන්තුව වෙත ලබා දීමට වන අතර 18, 20 යන ව්‍යවස්ථා සංශෝධන උත්සාහ දැරුවේ එම බලය ආපසු විධායකය වෙත ලබා දීමටය.

මෙවැනි තත්ත්වයක් මතු වී තිබෙන්නේ 1978 ව්‍යවස්ථාවේ ඇති මූලධාර්මික කාරණයක් අමතක කිරීම හේතුවෙන්ය. 78 ව්‍යවස්ථාවේ පදනම වන්නේ රටේ ප්‍රධාන දේශපාලන බල ව්‍යූහය ආයතන 02 කට කැඩීමය. එකක් වන්නේ විධායකයයි. අනෙක ව්‍යවස්ථාදායකයයි. මේ දේශපාලන බල ව්‍යූහ දෙක ආයතන 02 කට (ජනාධිපති ධුරයට හා පාර්ලිමේන්තුවට) වෙන්කර ඇත්තේ හුදු නාමිකව නොව ජනතාවගේ ඡන්ද බල 02 ක් ලෙසින්ය. ඒ කියන්නේ බැලට් පේපර් 02 ක් මත මේ ආයතන දෙක පිහිටුවීමෙන්ය.

ජනාධිපති ධුරයේ හා පාර්ලිමේන්තුවේ බලය එකිනෙකා අතර හුවමාරු කරගත නොහැකි බලයක් බවට පත්වී වී ඇති මේ ඡන්ද පත්‍රිකා දෙකේ පදනම මතය. මේ පදනම නොසලකා හරිමින් කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වැනි දේවල්වලින් කරන්නේ ආණ්ඩුක්‍රම විකෘතියක් බව මගේ අදහසය.

78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන විධායක හා ව්‍යවස්ථාදායකය වෙන වෙනමම ජනතාව වෙතින්ම ව්‍යුත්පන්ත වීමට එරෙහි විය හැක්කේ අලුත් ඡන්ද ක්‍රමයක් සහිත ව්‍යවස්ථාවකින් මිස ව්‍යවස්ථා සංශෝධනයකින් නොවන බව මගේ යෝජනාවාය. මේ සත්‍යය තේරුම් නොගැනීම හේතුවෙන් සිදුවන්නේ එන එන ජනාධිපතිවරයාට හා පත්වෙන හැම පාර්ලිමේන්තුවකම එකම කාරණයක් ගැන ව්‍යවස්ථාව එහාට මෙහාට සංශෝධනය කරන්නට  සිදුවීමය. චන්ද්‍රිකා 17 ගෙනාවාය. 18 මගින් මහින්ද එය ආපසු හැරවූයේය. මෛත්‍රී 19 ගෙනාවේය.

20 මගින් ගෝඨාභය එය ආපසු හැරවූයේය. රනිල්  21 ගෙනාවේය. 22 මගින් එය හරවන්නේ කවුරුදැයි මා දන්නේ නැත. එහෙත් එය නැවත හැරවෙන්නට ඉඩ ඇති බව නම් පැහැදිලිය.

ගෙවිඳුගේ ප්‍රශ්නයේත් රනිල්ගේ උත්තරයේත් යටින් දිවෙන්නේ මා ඉහතින් සඳහන් කළ මූලධාර්මික ගැටලුව විසඳා ගන්නේ නැතිව වටේ යන්නට සිදු වූ විට සිදුවන දෑය.

94 න් පසු තත්ත්වය

විධායක ජනාධිපතිධුරය සම්බන්ධයෙන් අද පවතින ගැටලුව නිර්මාණය වූයේ 1994 ජනාධිපතිවරණයත් සමගය. 1990 සිට එජාපයේ ඇති වූ බල අරගලය එළියට ආවේ ප්‍රේමදාස - ලලිත් + ගාමිණී අරගලයක් ලෙසින් නොව විධායක ජනාධිපතිධුරයට එරෙහිව මතු වූවක් ලෙසින්ය. 94 ජනාධිපතිවරණයේ සිට සියලුම ජනාධිපතිවරුන් පෙනී සිටියේ ජනාධිපතිධුරය වෙනුවෙන් නොව එය වෙනස් කිරීම වෙනුවෙන්ය. එහෙත් එය කරන්නට තරම් හැකියාවක් කාටවත් තිබුණේ නැත.

විධායක ජනාධිපති ධුරය සම්බන්ධව රටේ තිබෙන දුර්මතවල සීමාවක් නැතිවා මෙන්ම පාර්ලිමේන්තුවේ ද ඒ පිළිබඳව තිබෙන්නේ ඉතාමත් වැරදි සහගත පිළිගැනීමක්ය. පාර්ලිමේන්තුව යනු විධායක බලයට යටින් හෝ උඩින් තිබෙන​ දෙයක් නොව විධායකය වගේම වෙනමම ඡන්ද පත්‍රිකාවකින් ජනතාව විසින් පත් කරනු ලැබූ ආයතනයක්ය. ඒ අනුව පාර්ලිමේන්තුව විධායකයට යටත් වීමේ හෝ එය යටත් කර ගැනීමට උත්සාහ කිරීමේ හෝ නැකතට යා යුතු නැත.

පාර්ලිමේන්තුව සතු 225 න් 30 දෙනකුට විධායක තනතුරක් වන ඇමැති ධුර 30 ලබා දීමට ව්‍යවස්ථාවෙන් ඉඩ දී තිබෙන බව සැබෑවක්ය. එහෙත් ඒ තිස් දෙනා පාර්ලිමේන්තු කාර්ය භාරයේ ප්‍රධානීන් 30 දෙනා බවට පත් කිරීමේ කිසිදු පදනමක් 78 ව්‍යවස්ථාවට අනුව නැත. 78 ට පෙර තිබුණේ එක් ඡන්ද පත්‍රිකා පදනමක් නිසා විධායක ඇමැතිවරු කියා වෙනමම බලයක් නිර්මාණය කර තිබුණේ නැත. එහෙත් 78 ව්‍යවස්ථාවෙන් පසුව තත්ත්වය එසේ නොවේ.

වර්තමාන ඇමැති මණ්ඩලය යනු පාර්ලිමේන්තු වරප්‍රසාදයෙන් ඈත් වී විධායක බලය (පිටතින් ඇති බලයක් ලෙසින්) භාරගෙන ක්‍රියාත්මක කරන පිරිසක් බැවින් ඔවුන් පාර්ලිමේන්තු කාර්ය භාරයේ ප්‍රමුඛයන් බවට පත් කිරීම ඉතාමත් විකෘති තත්ත්වයක් බව මගේ අදහසය. මේ තත්ත්වය ගොඩ නැගී තිබෙන්නේ 78 ව්‍යවස්ථාව ගෙන ඒමට පෙර තිබූ පාර්ලිමේන්තු ස්ථාවර නියෝගම සුළු සංශෝධන සහිතව යළිත් ගෙන ඒම නිසාය. මගේ යෝජනාව වන්නේ මේ විකෘතිය ද නිවැරදි කළ යුතු බවය.

 විධායක ජනාධිපති ධුරය සම්බන්ධව රටේ තිබෙන සාකච්ඡාව තවත් පැත්තකින් මතු වන්නට පටන් ගත්තේ 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමේ කතා සමගය. ඒ පිළිබඳව ඉදිරි ලිපියකින් සාකච්ඡා කරන්නට අදහස් කරමි.

මහාචාර්ය චරිත හේරත්