ව්‍යාපාර : ආණ්ඩුවේ පාලනය සාර්ථකද?


“ඕව තියාගෙන ඉඳල වැඩක් නෑ, සේරම විකුණල දාන්න ඕන” යන වාක්‍ය මේ දිනවල සෑම දෙසකින් ම ඇසෙන එකකි. ආර්ථික අර්බුදය හා ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂ හා මධ්‍යම පාන්තික වෘත්තීය කොටස් විසින් යොදාගත් “අරගල” දේශපාලනය විසින් ලංකාවේ රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය පිළිබඳ කතිකාව එහි තාර්කික අවසානයට රැගෙන විත් තිබෙන සෙයකි.

සාමාන්‍ය පොදු ජනතාව පවා රාජ්‍ය සම්පත් පිළිබඳ අදහසෙහි සුසමාදර්ශී තැන් මාරුවකට පැමිණ ඇත. මීට වසර තුන හතරකට කලින් පවා මෙම මාතෘකාව මහජන මනසෙහි මතු වූයේ ඉතා විවාදාපන්න එකක් ලෙස ය. එහෙත් මේ වන විට පෞද්ගලීකරණයට විරුද්ධ මනෝභාවය විවෘත මනෝභාවයක් වී ඇත. මෙහි උත්ප්‍රාසය නම් අරගලය දේශපාලන පක්ෂ විසින් දැන් පෞද්ගලීකරණයට එරෙහි වන සෙයක් ද දක්නට ලැබීමයි.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහි වන පිරිස්වලට මතක් කර දිය යුත්තේ, වත්මන් පාලනය එම තැනට තල්ලු‍ කළේ තමන් බවයි. වසංගතය නිසා පැමිණි විනිමය අර්බුදය, දැවැන්ත දේශපාලන හා ආර්ථික අර්බුදයක් බවට පත් කළේ අරගලය දේශපාලනයයි. එම අරගලයෙන් නැගුණු ප්‍රධානතම ඉල්ලීම වූයේ ලංකාවේ ආර්ථිකය ගොඩ ගැනීම සඳහා වහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීමයි. මූල්‍ය අරමුදල වෙත නොයාම ආර්ථික අර්බුදයට හේතු වූ බව ද කියවුණි. විදේශ ණය ගෙවීම් පැහැර හැර ඉන්ධන හා ගෑස් ලබාදෙන ලෙසට ද අරගලයෙන්ම ඉල්ලා සිටි අතර, ඒ ඉල්ලු‍ම මත රට බංකොලොත් බව ප්‍රකාශ කෙරුණි. 

රටක් බංකොලොත් බව ප්‍රකාශ කිරීමෙන් පසුව ණය දෙන එකම ආයතනය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. මෙම තීරුවෙහි මීට කලින් ද ලියා ඇති ලෙස, දැන් අපට මූල්‍ය අරමුදල හැර අන් විකල්පයක් නැත. කෙසේ වෙතත්, මූල්‍ය අරමුදලට යාම යනු අපට අමාරු වෙන විට හුදු අතමාරුවක් ලබා ගැනීමක් නොව, එමගින් දෙන ණයට සාපේක්ෂව දැඩි කොන්දේසිවලට අනුගත වීමක් බව ද අප අමතක නොකළ යුතුය. එහෙත්, අරගලය විසින් සමාජගත කළේ සුවපහසු රෝසමල් ඇතිරූ මාවතක් ලෙසයි. 

පුද්ගලීකරණය පිළිබඳ වත්මන් කතිකාව පැන නැගීමට තුඩු දුන් තාක්ෂණික සාධකය නම් ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස ආණ්ඩුව අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ සහාය පැතීම ය. ඒ අනුව, ආණ්ඩුව මෙන්ම විරුද්ධ පාර්ශව ද සමාජගත කරමින් සිටින්නේ රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය කිරීමට සිදුව ඇත්තේ මූල්‍ය අරමුදලේ කොන්දේසි නිසා බවයි. එම කොන්දේසි මොනවාද යන්න තාමත් අප නිශ්චිතව නොදන්නාමුත්, පැන නැගී ඇති අර්බුදයේ ස්වභාවය අනුව සිතිය හැක්කේ, දිගින් දිගටම පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය රජය විසින් අඩක් හෝ අතහැර තරඟකාරී වෙළඳපොළ යාන්ත්‍රණයක් මතින් ක්‍රියාත්මක වන සැකැස්මකට යාම සඳහා මූල්‍ය අරමුදල බලපෑම් කරන්නට ඇති බවය.

මූල්‍ය අර්බුදයට වග වෙන ආයතනය ලෙස එවන් කොන්දේසියක් දැමීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැත්තෙන් සාධාරණ එකකි. පාඩු ලබන ආයතන දිගින් දිගටම මහජන බදු මුදලින් නඩත්තු කරමින් මූල්‍ය විනයක් නැති පරිසරයක ක්‍රියාත්මක වන වැඩපිළිවෙළකට කර ගැසීමට කිසිදු ණය දෙන්නෙක් සූදානම් නැත.

අප ග්‍රාමීය බැංකුවෙන් ණයක් ලබා ගැනීමට ගිය ද බැංකුව මුලින්ම විමසා සිටින්නේ ණය නැවත ගෙවීමේ හැකියාව පිළිබඳවයි. විශ්වසනීය නැවත ණය ගෙවන වැඩපිළිවෙළක් නොමැතිව අපට ණය ලබා දෙන්නේ නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන ද මූලික වශයෙන් ම බලන්නේ තමන් ලංකාවට ලබා දෙන ණය හා ලංකාවට ණය දෙන සෙසු ජාත්‍යන්තර පෞද්ගලික ණයකරුවන් වෙනුවෙන් දෙන තම ඇපකරය සපුරාලීමට අප සමත් ද යන්නයි. එම සහතිකය ගැන බරපතළ සැක උපදවන පාඩු ලබන ආයතන නඩත්තුව පිළිබඳ කාරණය ඔවුන්ට අනිවාර්යයෙන් විසඳාගත යුතු එකකි. එම යථාර්ථය මත සිට බලන විට පෞද්ගලීකරණ ක්‍රියාවලිය මූල්‍ය අරමුදලේ කොන්දේසියක් බව පැහැදිලිය.

අපි දැන් රාජ්‍ය ව්‍යවසාය යනු කුමක්දැයි බලමු. මුලින් ම කිව යුත්තේ රටක රාජ්‍ය ව්‍යවසාය යනු උරුමයක් මිස කරුමයක් නොවන බවයි. බොහෝ රටවල එම ව්‍යවසාය ඉතා හොඳින් ක්‍රියාත්මක වේ. ලාභ ද ලබයි. එහෙත් කුමන හෝ හේතුවකට ලංකාවේ මෙම ආයතන අසාර්ථක වී තිබේ. 

රාජ්‍ය ව්‍යවසායක ස්වභාවය නම් රජය රටතේ බහුතර පාලනය ඇති වෙළඳාම අභිලාෂ සහිත හෝ රහිත ආයතනයකි. ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය 527ක් පමණ තිබේ. ඉන් ආයතන 55ක් පමණ මූලෝපායික ව වැදගත් අයතන ලෙස සැලකේ. ආයතන 287ක් වාණිජමය අභිලාෂ සහිත වන අතර ආයතන 185 වෙළඳ නොවන අභිලාෂ සහිත ඒවාය. ඉහත සියලු‍ ආයතන ව්‍යවස්ථාපිත මණ්ඩල, නියාමන ආයතන, ප්‍රවර්ධන, අධ්‍යාපන ආයතන හෝ සීමාසහිත සමාගම් ලෙස වර්ග කළ හැකි ය. මේ අතර මූලෝපායිකව වැදගත් ලෙස සලකන ආයතන 55 විසින් පමණක් රාජ්‍ය අංශයේ රැකියාවලින් සියයට 10ක පමණ ප්‍රමාණයක් නියුක්ත කර ඇත.  

ප්‍රකාශිත දත්තවලට අනුව 2022 පළමු මාස 8 තුළ පමණක් ලංකාවේ ප්‍රමුඛ රාජ්‍ය ව්‍යවසාය 55 විසින් ලබා ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 726කි. ඉන් අයතන 31 ක් පමණ පෙර බදු ලාභ ලෙස බිලියන 134ක් වාර්තා කර ඇත. ඉතිරි ආයතන 21 වාර්තා කර ඇති ශුද්ධ අලාභය රුපියල් බිලියන 861කි.

එහෙත් එකී වසර තුළ ලැබූ පාඩුව අති සුවිශේෂී එකක් බව ද කිව යුතුය. එනම්, 2022 වසරේ මුල් කාර්තුවේ සිදු වූ රුපියල අවප්‍රමාණය වීම මීට ප්‍රධාන හේතුවයි. එම අවප්‍රමාණය වීමට සාපේක්ෂව අදාළ ව්‍යවසායවල පාඩුව ද දෙගුණ තෙගුණ වී තිබේ. එම පාඩුවට විශාලතම දායකත්වය සපයා ඇත්තේ රුපියල් බිලියන 628ක් පාඩු ලබා ඇති ලංකා ඛනිජ තෙල් සංස්ථාවයි.

ඛනිජ තෙල් සංස්ථාවේ ණය සංචිත විදේශ මුදලින් තිබීම හේතුකොට ගෙන රුපියල අවප්‍රමාණය වීමට සාපේක්ෂව මෙම දැවැන්ත පාඩුව වාර්තා වී තිබේ. මේ අතර, 2018 අවසන් වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සමුච්චිත ශුද්ධ අලාභාය රු. බිලියන 326ක් ලෙස වාර්තා වී තිබුණි. කෙසේ වෙතත්, ආයතනයට සාධාරණයක් වෙමින් කිව යුත්තේ ඉහත අලාභ සඳහා තනිව ආයතනය වගකිව යුතු නැති බවයි.

2013 වසරේ සිට සංස්ථාව සෑම වසරකම දළ ලාභයක් ලබා තිබීමෙන් එය සනාථ වේ. ප්‍රධාන වශයෙන් මෙම ආයතනය පාඩු ලබන්නේ ආයතනය සතු විදේශ මුදල් ආශ්‍රිත ණය නිසා ය. දෙවැනි ව ඊට හේතුව නම් සුබ සාධන මිලට ඉන්ධන අලෙවි කිරීමයි. කෙසේ වෙතත්, ණය නිසා අලාභය සිදුවනවා යන ප්‍රස්තුතයෙන් පවා පැහැදිලි වන්නේ සමස්ත රාජ්‍ය චිත්‍රය තුළ මෙම ආයතන කළමානාකරණ පිළිබඳ දැඩි ගැටලු තිබෙන බවයි. පිළියම් යෙදිය යුත්තේ එම ගැටලුවලටයි.  

රාජ්‍ය ව්‍යවසාය හා රජය අතර පවතින සමීප සම්බන්ධය නිසා, ව්‍යාපාරික මනසකින් ක්‍රියා කිරීමට ඒවාට නොහැකි වී ඇත. මෙම ආයතන සම්බන්ධ ප්‍රධාන කළමනාකරණ ගැටලුව එයයි. ඒ අනුව, රජය හා මෙම ආයතන අතර පවතින සබඳතාව අයතනවල ව්‍යාපාරික මොඩලයට හානියක් නොවන ලෙස ස්ථානගත කිරීමේ අවශ්‍යතාව ඇත. එසේ කිරීම මෙකී ව්‍යවසායවල වර්ධනය සඳහා බෙහෙවින් බලපානු ඇත. උදාහරණයක් ලෙස, විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ලෙස පැවති රජයේ සන්නිවේදන සැපයුම්කරු, ශ්‍රී ලංකා ටෙලිකොම් ලෙස පරිණාමය වෙමින්, ව්‍යාපාරයක් බවට පත්වීමෙන් පසු එහි සේවා, ව්‍යාප්තිය හා ආදායම්ල දැවැන්ත වෙනසක් සිදුවිය.

වෙනදා දුරකතන සබඳතාවක් ලබා ගැනීමට මාස ගණනාවක් පොරොත්තු ලේඛනයේ සිටීමට සිදු වුණ අතර, දැන් දින කිහිපයක් තුළ රැහැන් ඇඳ සබඳතා ලබා දේ. එම වෙනස ආවේ මෙම ආයතනය ව්‍යාපාරිභිමුඛ කිරීම හරහා ය. රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව සැකැස්මක් යටතේ නූතනකරණය වූ සේවා සපයන්නකු පිළිබඳ ටෙලිකොම් ආයතනය පැහැදිලි ආදර්ශකයකි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන් එයාලයින්ස් වැනි ආයතන සඳහා ඉතා පහසුවෙන් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව මොඩලය හඳුන්වා දීමේ හැකියාව ඇත. එම ආයතන කොටස් වෙළඳපොළ තුළ ලැයිස්තුගත කළ විනයවත් ව්‍යාපාරික ආයතන බවට පත් කළ හැකිය. ඊට සමගාමීව, අදාළ සේවා සපයන විදේශීය සමාගම්වලට ද වෙළඳපොළ තුළ ක්‍රියාත්මක වීමට ඉඩ ලබාදීම තුළ තරඟකාරිත්වය වැඩි කිරීම හරහා ගුණාත්මක සේවයක්ද ලබාගත හැකි වේ.     

පෞද්ගලික හවුල්කාරිත්වයෙන් තවත් වාසියක් රටට ලැබේ. ඒ නව දැනුම හා තාක්ෂණය උකගා ගැනීමයි. උදාහරණයක් ලෙස, ඉන්දියාවේ වාහන නිෂ්පාදන කර්මාන්තය ගොඩ නැගුණේ  ජපාන සමාගම් සමග ඒකාබද්ධ ක්‍රියාන්විතයක් දශක ගණනාවක් තිස්සේ කරගෙන ඒමෙනි. මරුති වාහනය මරුති සුසුකි වූයේ ඒ නිසා ය. කෙසේ වෙතත්, අද වන විට ඉන්දියාව තනිව මෝටර් රථ නිෂ්පාදනය කොට අපනයනය කරයි. විදේශ තාක්ෂණය හා දැනුම ලබාගත හැකි පහසුම ක්‍රමය මෙයයි.  

ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය බොහොමයකට ගැළපෙන මොඩලය ඉහත සඳහන් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයයි. ඒ හරහා මෙම ආයතන ව්‍යාපාරිභිමුඛ කළ හැකි අතර, නව දැනුම, නව තාක්ෂණය හා කළමනාකරණය පිළිබඳ අදහස් ද රට තුළට එන්නත් කළ හැකි ය. රටක් තුළ නව ව්‍යවසාය බිහි වන්නේ ද, පවතින ව්‍යවසාය තරඟකාරි වෙමින් පුළුල් වන්නේ ද ඒ ඔස්සේ ය.

සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ