ව්‍යාපාරිකයන්ගේ කළගුණ සැලකීම


හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රටෙන් පළාගියේ සිය ජීවිතාරක්ෂාව තකා, ජීවිත බියෙන් මිස කිසිවෙකුගේවත් ඉල්ලීමට නොවේ. එහෙත් විරෝධතාකරුවන්ට අවශ්‍ය වූයේ ඔහුගේ ඉල්ලා අස්වීම පමණකි.

බියපත්ව රටෙන් පළායෑම සම්පූර්ණයෙන්ම ඔහුගේ තීරණයකි. විරෝධතා සම්බන්ධව ලැබුණු උපදෙස් සහ බුද්ධි අංශ අනතුරු ඇඟවීම් ඔහු සම්පූර්ණයෙන්ම බැහැර කළ බවත් ආරක්ෂක අංශයේ ඉහළම තලවල කතාබහට ලක්වන කරුණකි.

කෙසේ වෙතත්, හිටපු ජනපති සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට නාවික හමුදාපතිවරයාගේ ත්‍රිකුණාමලයේ සුඛෝපභෝගී බංගලාවේ නැවතී ආරක්ෂාව සළසා ගැනීමට හැකිවූවා නම්, හිටපු ජනපති ගෝඨාභයටත් එසේ කිරීමට නොහැකි වූයේ මන්ද? ඔහුට ආරක්ෂාව සැළකීමට ගණනින් මහත් වන ඔහුගේ සමීපතමයන්ට-ඔහුට ආරක්ෂාව සළසන අයවලුන්ට නොහැකි ද? එපමණක් නොව, ඔහු වෙනුවෙන් ආරක්ෂිත ස්ථානයක් සොයාගැනීම ද අපහසු දෙයක් නොවේ.

රටේ ආර්ථිකය මේ ආකාරයට කඩා වැටීම මුල් කරගෙන නැගෙමින් තිබෙණ ප්‍රශ්න වලට පිළිතුරු දීමට ඔහු කොළඹට පැමිණිය යුතු වනු ඇත. රටෙන් පළායාමට ඔහුට උදව් කිරීම අනෙකක් නොව, හිටපු ජනාධිපතිවරයාගේ උරමත පැටවී තිබෙන වගවීම් සහ වගකීම් සියල්ලෙන්ම ඔහුව නිදහස් කිරීමකට සමානය. එසේ නොකර සිටියේ නම්, දැන් ලොවක් ඉදිරියේ රඟදැක්වෙමින් තිබෙන ගෝඨාභය නාටකය ඉක්මනින්ම අවසන් කරන්නට ශ්‍රී ලංකා රජයට හැකියාව තිබිණ.

තායිලන්තයේ රැඳී සිටීමට අවසරය ඇති සම්පූර්ණ දින 90 ක කාලයම හිටපු ජනපතිවරයා එහි ගතකරනු නැතැයි දැනගන්නට තිබේ. ගතවන දිනයක් පාසා ඔහු ඉදිරියට ගත හැකි ක්‍රියාමාර්ග ගැන වඩ වඩාත් කරදර වනු සහ ක්‍රියාත්මක වනු ඇතිය යන්න එහි අදහසයි.

මේ සම්බන්ධයෙන් නැඟෙන තවත් ප්‍රශ්න කිහිපයකි. හිටපු ජනපතිවරයාට තවමත් උපරිම සුඛෝපභෝගී දිවියක් ගතකිරීමට හැකියාව ලැබෙන්නේ කෙසේද? ; ඔහුට සම්පත් සැපයෙන්නේ කෙසේද ? ; ව්‍යාපාරික වුවමනාවන් සතර්පණය කරගැනීම අරමුණු කරගනිමින් ඔහු එසේ සැළකුම් ලැබෙන්නේ නම්, එයම ප්‍රශ්නකාරී නොවන්නේ ද?

මෙහිලා අවධානයට ලක්වන කාරණයක් වන්නේ පළමුව අගමැතිවරයා ලෙසත්, අනතුරුව රටේ ජනපතිවරයා ලෙසත් පත්වීම් ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ නියමය අනුව ගොඩනැගුණු ආරක්ෂක අංශයකුත්, පොලිස් දෙපාර්තමේන්තුවකුත් උරුම කරගත් බවය. මෙම අංශවල මුල් පුටුවල සිටින බහුතරයක් ගෝඨාභය රාජපක්ෂ හිතවාදීන්ය.

විරෝධතාකරුවන් මර්දනය කිරීමට ජනපති වික්‍රමසිංහ මහතා බලය දී තිබෙන්නේ ඔවුන්ටය.

ගෙවුණු සතියේ අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යංශ මූලස්ථානයට ගිය ජනපති වික්‍රමසිංහ මහතා,  පාර්ලිමේන්තුව ආරක්ෂා කරගැනීම හරහා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගලවා ගත්තේ යැයි එහි සිටි ආරක්ෂක අංශ සාමාජිකයන්ට ස්තූති කළේය. හදවත් සහ සිත් දිනාගැනීමේ මෙහෙයුම ආපස්සට ක්‍රියාත්මක වෙමින්, ඔහුට බලවත් සහ මේ අවස්ථාවේ ඉතාමත් වැදගත් වන නව මිතුරන් දිනාදීමට සමත්ව ඇත.

“මෙම ව්‍යුහයන්ට වෙනස්කම් කිරීමට අවශ්‍යව ඇති බව පිළිගත්ත ද, ඒවා ප්‍රමුඛත්වයේ ලා සැළකීමට තරම් වුවමනාවක් ජනපතිවරයාට නැත” යැයි ඔහුට සමීප ආරංචි මාර්ගයක් පෙන්වා දුන්නේය.

“ජනපතිවරයාගේ වැඩ පිළිවෙල හරියට ක්‍රියාත්මක වෙනවා. හිතාගන්වත් බැරි තරමේ සහායක් ඔහුට ලැබෙනවා” යැයි වැඩිදුරටත් සඳහන් කළ එම ආරංචි මාර්ගය, ඒ අය ජනපතිවරයාට සහාය දෙන්න එන්නේ පොර කාගෙන යැයි කීවේ සිනහමුසුවය.

හිටපු ජනපතිට උදව් කරන ව්‍යාපාරික සබඳතා

වෙන්කළ ගුවන් යානයකින් පැමිණි ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පිරිවර තායිලන්තයේ ඩොන් මුයින්ග් අන්තර්ජාතික ගුවන්තොටුපලට ගොඩබසින විට වේලාව එදින රාත්‍රී 8.10 විය. ඔවුන් පැමිණි ගුවන් යානය, සිංගප්පූරුවේ ඊසාන දිගට වන්නට පිහිටි කලාපයේ සිට ක්‍රියාත්මක වන අන්තර්ජාතික සිවිල් ගුවන්සේවා සමාගමකට අයත් වූවක් විය.

ඔවුන් සිංගප්පූරුවෙන් පිටත්වූ ගුවන්තොටුපළ පිහිටා තිබුණේ එරට ප්‍රධාන ගුවන්තොටුපළ වන චන්ගි ගුවන් තොටුපළෙන් කිලෝමීටර 25 ක් පමණ දුරකින්, සිංගප්පූරුවේ ප්‍රධාන වානිජ නගර මධ්‍යයේ සිට උතුරු දෙසට වන්නටය. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු හා සම්බන්ධ සමූහ ව්‍යාපාරයක් මෙම ගුවන් යානය හිටපු ජනපතිවරයා වෙනුවෙන් වෙන්කර දී තිබිණ.

සිංගප්පූරුවේ රැඳී සිටි සමයේ හිටපු ජනපතිවරයාට ආධාර උපකාර කළෝ, විදේශ මෙන්ම දේශීය ව්‍යාපාරික වුවමනාවන් පෙරදැරිව කටයුතු කළෝ වූහ. මෙම පුද්ගලයෝ, ගෝඨාභය රාජපක්ෂ ජනපතිව සිටි සමයේ ඔහුගෙන් අතදිගහැර සැළකුම් ලැබූවෝය. තායිලන්තයේ ද ඔහුට සැළකුම් කරන්නේ මෙම පුද්ගලයින්ම බව අදාළ කටයුතු සම්බන්ධයෙන් දැනුවත් අය කියති.

තායිලන්තයට ගොඩබට ගෝඨාභය රාජපක්ෂ සහ පිරිවර බැංකොක්හි ලන්සුවාන්ග් කලාපයේ පිහිටි සුඛෝපභෝගී හෝටලයකට රැගෙන යනු ලැබුණේ ආරක්ෂක රථ පෙළක ආරක්ෂාව මධ්‍යයේය. තායිලන්තයේ ප්‍රමුඛ පෙලේ ජාතික පුවත්පතක් වන ද බැංකොක් පෝස්ට් පුවත්පත පසුගිය සිකුරාදා වාර්තා කළේ, ආරක්ෂක හේතු මත හෝටලයෙන් බැහැර යාම සුදුසු නොවේ යැයි තායිලන්ත පොලිසිය ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිවරයාට නිර්දේශ කර ඇති බවය.

ගෝඨාභය රාජපක්ෂ රැගත් ගුවන්යානය මුලින්ම ගොඩබෑමට නියමිතව තිබී ඇත්තේ පුකෙට් දිවයිනේ බව ද, එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් විය. පුකෙට් යනු කදු පන්තිවලින් ආවරණය වූ, අන්දමන් මුහුදු කලාපයේ පිහිටි දිවයිනක් වන අතර, සංචාරකයන් අතර එය ප්‍රකටය. මේ සම්බන්ධයෙන් වූ තොරතුරු නිදහස් වීමක් සම්බන්ධයෙන් ඇතිවූ බියක් නිසා පසුව හිටපු ජනපතිවරයා පැමිණි ගුවන්යානය බැංකොක් බලා යොමුකැරුණු බව, බැංකොක් පොස්ට් පුවත්පත වාර්තා කර තිබිණ.

තායිලන්තයට පැමිණි පසුව ඔහුව හෝටලයට රැගෙන යනු ලැබුවේ තායි පොලිසිය සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ය. ඔහු නවාතැන් ගත් හෝටලය කුමක්දැයි අනාවරණය නොකෙරුණු අතර, හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ බියුරෝවට අයත් පොලිස් නිලධාරීන් යොදවා තිබෙන අතර, ඔවුන් සිටින්නේ සිවිල් ඇඳුමින් සැරසීය. තායිලන්තයේ ගෙවන කාලය පුරාවට හෝටල් පරිශ්‍රයේම රැඳී සිටින්නැයි ශ්‍රී ලංකාවේ හිටපු නායකයාට තායිලන්ත බලධරයින් දැනුම් දී ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් විය.

තමන්ම තනිවීම

මෙවන් නින්දා සහගත ඉරණමක් ගෝඨාභය රාජපක්ෂට උරුමවේයැයි ඔහුගේ එදිරිවාදීන් පවා කිසිඳු අවස්ථාවක නොසිතන්නට ඇත.

ආරක්ෂක ලේකම්වරයා ලෙස සම්පූර්ණ අධිකාරිය සහ පෞරුෂය සහිතව ගැටළු විසඳීමට මෙන්ම ඇති කිරීමටත් මැදිහත් වෙමින්, ඇතැම් අවස්ථාවල කරදරකාරී තත්ත්වයන් නිර්මාණය කරමින් ගෙවූ කාලයට ඉඳුරාම වෙනස් ස්වභාවයක් ශ්‍රී ලංකාවේ ජනපතිවරයා ලෙස ඔහු ගෙවූ කාලයේ දී, දැකගත හැකිවිය. ආපසු හැරී බැලීමේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා, ක්‍රම ක්‍රමයෙන් තමාම අනෙක් අයගෙන් හුදෙකලා කරගත් බව පෙනී යයි.

රාජ්‍ය නිලධාරීන් නොසළකා හළ ඔහු, ඔවුන් වෙනුවට පත්කළේ අත්දැකීම් නොමැති විශ්‍රාමික හමුදා නිලධාරීන්වය. රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා සබඳතා පැවැත්වීම අත්හළ ඔහු, ඔවුන්ගෙන් දුරස්ව, ඔවුන්ගේ දුරකතන ඇමතුම් පවා මගහැරීමට කටයුතු කළේය. ඔහු නිර්මාණය කළ වියත්මග සංවිධානයේ සාමාජිකයෝ, ඔහුගේ ආනුභාවයෙන් රටේ විදේශ සේවයේ තනතුරු පිරවූහ.

බිම් මට්ටමේ ජනතාව හමුවට යෑම අදහස් කරගෙන නිර්මාණය වූ ගම සමග පිළිසඳර වැඩසටහන ඔහු අතරමග අත්හැර දැම්මේය. ඔහු අල්ලස හා දූෂණය වර්ධනය වන්නට ඉඩ හැරියේය. ඔහුගේම පවුලේ සාමාජිකයන් රුපියල් බිලියන ගණනින් මුදල් විදෙස් රටවල ගොඩගසමින් සිටින බවට චෝදනා නැගිණ.

ශ්‍රී ලංකා යුද්ද හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙක් වූ ගෝඨාභය රාජපක්ෂ යුද්දය දරුණු ලෙසම ඇවිලෙමින් තිබූ සමයේ වේලාසනින්ම හමුදාවෙන් ඉල්ලා අස්වීමට දේශපාලන නායකයන්ගේ පිහිට පැතූවේය. එය සාර්ථක කරගෙන එක්සත් ජනපදය බලා ගොස් එරට පුරවැසියෙක් බවට ද, ඔහු පත්විය. 2019 ජනපතිවරණයට තරග කිරීමට ඔහු එම පුරවැසිභාවය ද, අත්හළේය. තරගයෙන් ඔහු ජයගත්තේ ලක්ෂ 69ක දැවැන්ත මනාප ප්‍රමාණයක් ලබා ගනිමිනි. අසාර්ථක ජනපතිවරයෙක් ලෙස ධූරයෙන් නික්ම නොයන්නෙමැයි කී හිටපු ජනපතිවරයාගේ අතීතය මෙවැනිය.

ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජීවිතාරක්ෂාව තකා තැනින් තැනට යමින් සිටින බව පැහැදිලිය. ජූලි මස 12 වැනිදා මාලදිවයිනට පැමිණි පසුව, කොළඹ සිට මාලේ වෙත පැමිණෙමින් තිබූ ගුවන්යානයක නැගී සිංගප්පූරුව බලා යෑම ඔහු ප්‍රතික්ෂේප කළේ ඒ නිසාය. ඒ වෙනුවට වන්දනාකරුවන් පිරිසක් රැගෙන සෞදි අරාබියේ සිට පැමිණෙමින් සිටි සෞදියා ගුවන් යානයක් පැමිණෙන තෙක්ම ඔහු සිටියේ ඒ නිසාය.

මෙම ගුවන් යානයට නැගුණු හිටපු ජනපතිවරයාට අමතර පෞද්ගලික ආරක්ෂාවක් සැපයීමට එයාර් මාර්ෂල්වරුන් සිව්දෙනෙක්ම අනුයුක්ත කිරීමට පියවර ගැනුණු බව මේ වන විට අනාවරණයවී තිබේ. ඔවුන් පැමිණ ඇත්තේ ගුවන්යානය අහසට නැගුණු රියාද් ගුවන්තොටුපලේ සිටමය. මාලදිවයිනේ අති විශේෂ දේශපාලඥයකු මේ සඳහා මැදිහත්ව තිබෙණ අතර, ඔහු හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගෙන් සැළකුම් රැසක් ලැබූ අයෙක් බව ද වාර්තාවේ.

ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිවරයා, ගෝඨාභය රාජපක්ෂගේ කතාන්දරයේ තවත් පරිච්ඡේදයන් ඉදිරියට දිගහැරෙණු ඇති බව නම් මේ යන ආකාරය අනුව බැලූ විට නිසැකය.

යුවාන් වැන්ග් 5 ආන්දෝලනය

හිටපු ජනපතිවරයා සම්බන්ධ සිදුවීම්වල පැටලෙනවාට අමතරව තවත් බරපතල මට්ටමේ ගැටළු කිහිපයකටමත් මැදි වීමට ගෙවුණු සතියේ දී, ශ්‍රී ලංකා රජයට සිදුවිය. ඉන් එකක් වන්නේ අදටත් ඇදෙමින් යන යුවාන් වැන්ග් 5 නම් ඉහළම තාක්ෂණයෙන් නිර්මාණිත චීන පර්යේෂණ නෞකාවක ශ්‍රී ලංකා ගමනයි.

ගෙවුණු බ්‍රහස්පතින්දා (11) වන විට එම නෞකාව හම්බන්තොට වරායට ළගාවීමට නියමිතව තිබූ අතර ඒ සඳහා අවසරය ලබා දී තිබුණේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාය.

එම අවසරයේ සඳහන්ව තිබුණේ මෙවැන්නකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යංශය චීන ජනතා සමූහාණ්ඩුව වෙත සිය සුභාශිංසන පිරිනමයි. ඒ සමගම, එෆ්.පී.ඕ.-ඩබ්ලියු. 033 2022 දාතමින් ඔබ එවන ලද, යුවාන් වැන්ග් 5 චීන පර්යේෂණ නෞකාවට අවැසි අවසරය ලබාගැනීම වෙනුවෙන් වූ සටහන මෙය හා බැඳේ.

අනතුරුව එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාව මෙම චීන පර්යේෂණ නෞකාවට හම්බන්තොට වරායේ නැංගුරම් ලෑම සඳහා අවසරය ලබාදුන් බවය. ඒ අගෝස්තු මස 11 වැනිදා සිට අගෝස්තු මස 17 වැනිදා දක්වාය. නෞකාවට ඉන්ධන පිරවීමට සහ වෙනත් ද්‍රව්‍ය නැවත පැටවීම වෙනුවෙන් ද, කෝවිඩ්-19 මර්දනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර අනුගමනය කිරීම වෙනුවෙන් ද පැය 72ක සහන කාලයක් වෙන් කෙරෙන බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ. එමෙන්ම, ශ්‍රී ලංකාවේ නැංගුරම් ලා තබණ කාලයේ පහත කොන්දේසි අදාළ වන බවත් එහි දැක්වේ.

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ආර්ථික කලාපය ඇතුළත (එක්ස්ටෙන්ඩට් ඉකොනොමික් සෝන්) ඒයිඑස් පද්ධතිය (ඔටෝමැටික් අයිඩෙන්ටිෆිකේෂන් සිස්ටම්) ක්‍රියාත්මක කර තබා ගැනීම.

ශ්‍රී ලංකාවේ ජල සීමාව ඇතුළත කිසිදු ආකාරයක විද්‍යාත්මක පර්යේෂණයක් හෝ සමීක්ෂණයක් සිදු නොකිරීම.

රටේ අනෙක් කටයුතුවලට බාධාවක් නොවන ආකාරයට, ඉහත සඳහන් කාලය ඇතුළත පර්යේෂණ නෞකාවේ ඇති සන්නිවේදන උපකරණ භාවිතා කිරීම.

ඒවායේ සංඛ්‍යාත සම්බන්ධව ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ගැටලුවක් නොමැත
යැයි ද, යුවාන් වැන්ග් 5 නෞකාවට ලබා දී, ඇති අවසරයේ සඳහන් වේ.

ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි

පරිවර්තනය  - කෝවිද ගුණසේකර