වාහන 42 ක් අතුරුදන්වීමේ අරුම පුදුම සිද්ධිය


තැපැල්පති නමින් ලියාපදිංචි කෙරුණු වාහන 42 ක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ කිසිම තොරතුරක් නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වන බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 

මේ රටේ කාර්යක්‍ෂම රාජ්‍ය ආයතනය ජාතික විගණන කාර්යාලය විය යුතුය. මේ රටේ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් නොමැලිව, කල් පමා නොකර සිදු කරන පරීක්‍ෂණ හරහා එක පෙළට නිකුත් කරන විගණන වාර්තාවලින් ඒ බව මනාව පැහැදිලි වේ.

තමන්ට පැවරුණු වගකීම මෙලෙස කාර්යක්‍ෂමව ඉටු නොකරන්නේනම් මෙරට රාජ්‍ය අයතනවල ඇත්ත තත්ත්වය මෙරට ජනයාට දැන ගැනීමට ලැබෙනු ඇත්තේ එම රාජ්‍ය ආයතන සුන්නත් ධූලි වී ගියාට පසුවය. ඒ වනවිට රටක් නැත. රාජ්‍යත් නැත. 

රාජ්‍ය දේපොළ එනම් මහජන දේපොළ සඟසතු වස්තු ලෙස සැලකූ ඉපැරැණි රාජ්‍ය සේවයක් පැවතිණි. ගිහියන් සඟ සතු දේපොළ භුක්ති විඳීම ඊළඟ භවයේ දී පෙරේතයන්, පිසාචයන් වී ඉපදෙන බව ඉපැරැණි සමාජය සිතුවේය. කවර අර්ථයකින් ගත්ත ද එම සිතීම සමාජ සංරක්‍ෂණයට හේතු බල සම්පන්න වේ. 

වර්තමාන තත්ත්වය එයට ඉඳුරාම වෙනස්ය. ‘‘කල දුටු කල වළ ඉහගෙන කෑම’’ ජාතික සිරිතක්ව වරනගන සෙයකි. නොඑසේනම් රාජ්‍ය දේපොළවලට මෙබඳු ඉරණමක් අත්වීමට ඉඩක් නැත. තැපැල්පති නමින් ලියාපදිංචි කර ඇති වාහන 42ක් ආගිය අතක් සොයා ගැනීමට නොහැකි වීමෙන් පැහැදිලි වන්නේ එයය. 

ඇමැතිවරයකු වෙනත් අමාත්‍යංශයකට මාරු වී යන විට තමන් හිටපු අමාත්‍යංශයේ නිල රථ, වාහන රැගෙන යාම මෙරට දේශපාලනයට ආවේණික වූවකි. රාජ්‍ය දේපොළ තම නින්දගම් ලෙස සලකා පරිහරණය කරන ලජ්ජා විරහිත ක්‍රියාදාමය මෙම වාහන ආගිය අතක් සොයා ගැනීමට නොහැකිවීමට එක් ප්‍රධාන හේතුවකි. මෙම දේපොළ සඟසතු දේපොළ මෙන් සලකන්නේ නම් එබඳු වැරැදි සිදුවීමට ඉඩක් නැත. 

තම අමාත්‍යංශයේ දේපොළ සම්බන්ධ වගකීමක් අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය සතුය. අමාත්‍යංශයක මූල්‍ය බලය තිබෙන්නේ අමාත්‍යංශයේ ලේකම්වරයාටය. එබඳු යාන්ත්‍රණයක් තිබියදීත් මෙබඳු දේ සිදුවන්නේ කෙසේද යන්න වෙසෙසින් විමසා බැලිය යුත්තකි. මෙහිදී සිදුවන්නේ තම රාජකාරියට අවශ්‍ය මට්ටමින් වග නොවීමය. හෘදය සාක්‍ෂිය ගලවා පසෙකින් තැබීමය. 75 වසර ශාපය සම්බන්ධයෙන් නන් දොඩවන සෑම අයකුම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය. 

තැපැල්පති රුවන් සත්කුමාර මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ මෙම වාහන වසර 30ත් 50ත් අතර පැරැණි ඒවා බවයි. මෙම වාහන පිළිබඳ තොරතුරු මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තාවල අඩංගුව තිබුණත් තැපැල් දෙපාර්තමේන්තුවේ භාණ්ඩ ලැයිස්තුවේ නොමැති බවද තැපැල්පතිවරයා ප්‍රකාශ කර තිබිණි. එමෙන්ම එම වාහන රටේ කොහේ හෝ ධාවනය වනවා නම් හෝ කිසිවකු හෝ ඒවාට ආදායම් බලත්‍ර ගන්නේ නම් හෝ ඒ පිළිබඳ තොරතුරු වහාම දෙන ලෙස එම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවද තැපැල්පතිවරයා ප්‍රකාශ කර තිබිණි.

අප රටේ ‘‘රාජ්‍ය’’ ඇතුළතින් දිරා ගොස් තිබෙන්නේ එසේය. වාහනයක් දෙකක් අස්ථානගත විය හැකි යැයි උපකල්පනය කළ ද වාහන 42 ක් ආගිය අතක් සොයාගත නොහැකිවීම සරළව ගත හැකි නොවේ. තැපැල්පතිවරයාම පවසන පරිදි මෙම වාහන වසර 30 ක් 50ක් අතර කාලය තුළ අතුරුදන්වී තිබියදීත් මෙපමණ කලක් සිටි බල‌ධාරීන් මර නින්දේ සිටියේ ඇයි දැයි විමසීම ද සාධාරණය. 

විගණන වාර්තාවලින් අනාවරණය කෙරෙන වංචා, දූෂණ, අක්‍රමිකතා හා අකාර්යක්‍ෂමතා සම්බන්ධයෙන් නීතිය බලගැන්විය හැකි යාන්ත්‍රණයක් ද සකස් කළ යුතුය යන්න අපගේ ඉල්ලීමකි.

(***)