වාහන විදුලි බලයට හැරවීම සාර්ථක කර ගනිමු


මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයට විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහන හඳුන්වාදීමේ නියමු ව්‍යාපෘතියකට පසුගියදා ආරම්භක පියවර තබනු ලැබීය. ඒ යටතේ පෙට්‍රල් භාවිතයෙන් ක්‍රියා කරන ත්‍රිරෝද රථ 200ක් විදුලි බලයෙන් ක්‍රියා කරන වාහන බවට පරිවර්තනය කිරීමට නියමිතය. ඒ සඳහා මූලික පියවරේදී බස්නාහිර පළාත තුළ මාකුඹුර සහ පිටකොටුව යන කලාප දෙකෙන් ත්‍රිරෝද රථ 100ක් බැගින් තෝරාගනු ඇත. 

වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නොබෝදා ආරම්භ කෙරුණු මේ ව්‍යාපෘතියට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, ප්‍රවාහන අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය,  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඇතුළු ආයතන ගණනාවක සහාය ලැබෙනු ඇත.

රාජ්‍ය ආයතන ගණනාවක සහභාගිත්වයෙන් ඇරඹුණු මේ ව්‍යාපෘති මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් සඳහා තැබූ යෝධ පියවරක් වශයෙන් අපි දකිමු. එම යෝධ පියවර රටේ ආර්ථිකයට සවිමත් අත්වැලක් සපයන ඵලදායී ව්‍යාපෘතියක් බවට පත්කර ගැනීමේ වගකීම ඇත්තේ ඊට සම්බන්ධ වන රාජ්‍ය ආයතන මත බව සඳහන් කිරීමද වැදගත් යැයි අපි සිතමු. 

මෝටර් රථ ධාවනය සඳහා බලශක්තිය වෙනුවට විදුලි බලය යොදා ගැනීම අපේ රටට අලුත් අත්දැකීමක් වුවද ආසියාවේ පවා බොහොමයක් රටවල මේ වනවිට එය ක්‍රියාත්මකය. ඉන්දියාව වැනි ආසියානු රටවල මෙවැනි නියමු ව්‍යාපෘති ක්‍රියාවට නංවා දැන් බොහෝ කාලයක් ගතවී තිබේ. ඒ රටවල  ඉදිරි දශකය තුළදී විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහන සංඛ්‍යාවේ ප්‍රතිශතය අදට සාපේක්ෂව ඉහල මට්ටමක තබාගෙන ඇති බව සංඛ්‍යාලේඛන ඇතුළත් තොරතුරු වලින් පෙනී යයි.

එහි අවසන් වාසිය සෘජුවම බැඳී ඇත්තේ රටේ ආර්ථික තත්ත්වය සමගිනි. ඒ අර්ථයෙන් ගත් කල පෙට්‍රල් වාහන විදුලි බලයට හැරවීමේ ලංකාවේ නියමු ව්‍යාපෘතිය මෙරට ආර්ථිකයේ සුවිශාල හැරවුමක වේදිකාවක් බවට පත්කර ගැනීමට ද අවස්ථාව තිබේ. එම අවස්ථාව උදාකර ගැනීමට නම් ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම ප්‍රධානම කොන්දේසියයි. 

අප එසේ සඳහන් කරන්නේ රාජ්‍ය ආයතන සහ අමාත්‍යාශ ගණනාවක් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ඇතැම් ව්‍යාපෘතිවලට අත්වෙන ඉරණම ගැන ඇති අත්දැකීම් ඇසුරෙනි. තීන්දු තීරණ ගැනීමේදී එක් එක් අමාත්‍යාංශවලත් රජයේ ආයතන සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් අතරත් විවිධ මත ගැටුම් ඇතිවනු අපි දැක ඇත්තෙමු. ඒ හේතුවෙන් සිදුවන්නේ එම ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍යම වන හරි තීන්දුව නිසි අවස්ථාවේදී ගැනීම ඇනහිටීමය. විශේෂයෙන් අවසන් අනුමැතිය අවශ්‍ය වන අවස්ථාවේදී යළිත් ඊට කලින් ගනු ලැබූ තීරණවල වාර්තා කැඳවීම හෝ එම තීන්දු පිළිබඳ සොය බැලීමට හෝ කමිටු පත් කිරීම අපේ රටේ ජාතික දේහය තුළ කිඳා බැස ඇති පොදු දුර්වලතාවකි.

එවැනි තත්ත්වයකට ප්‍රධාන හේතුව ලයිට් කණුවේ සිට ගුවන් යානය මිලදී ගැනීම දක්වා සියලු තීරණ ගැනීම් දේශපාලන බූවල්ලන්ගේ ග්‍රහණයට හසුවීමය. මේ තත්ත්වය වෙනස් කිරීමට ඇතැම් දේශපාලන නායකයන් වරින් වර ගත් උත්සාහය සියල්ල ගඟට ඉනි කැපීමක් වී තිබේ. එසේ නොවන්න අඩුම තරමින් ත්‍රිරෝද රථ  විදුලි බලයට හැරවීම හෝ කාලයකට පෙර ඇරඹීමට ඕනෑ තරම් අවස්ථාව තිබිණි. එහෙත් අපේ රටට ඒ තරම් වාසනාවක් නැත. 

මේ රටේ දෛනික වියදමෙන් ඉහළ ප්‍රතිශතයක් වෙන්වී තිබෙන්නේ බලශක්ති පිරිවැය වෙනුවෙනි. එයින්ද ප්‍රධානම වියදම වාහන සඳහා වැයවන ඉන්ධන මත පැටවී තිබේ. ලොවේ බොහෝමයක් රටවල් කාලයකට පෙර සිටම ඒ සඳහා විකල්ප සොයා ගැනීමට විශාල මුදලක් සහ කාලයක් වැයකළ අතර අද ඔවුහු ඒවායේ ප්‍රතිඵල ඉහළ මට්ටමින් භුක්ති විඳිමින් සිටිති. 

මෝටර් රථ පමණක් නොව බස්, වෑන් සහ ලොරිද දුම්රිය ද විදුලි බලය උපයෝගී කර ගනිමින් ධාවනයට එකතු කිරීමට ඔවුහු සමත්ව සිටිති. මේ ඇතැම් රටවල් 2030 සහ 2040 වනවිට සියයට සීයයක්ම විදුලි බලයෙන් ධාවනය වන වාහන පමණක් තම ප්‍රවාහන කටයුතු වලට යොදවා ගත යුතු බවට නීති පවා කෙටුම්පත් කර තිබේ. ඉන්දියාවේ පවා සමහර ප්‍රධාන නගරවල මීළඟ දශකය තුළදී විදුලි බලයෙන් ක්‍රියාත්මක වාහන පමණක් ඇතුළු කිරීමට අවසර ලබාදෙන මට්ටම දක්වා විදුලි වාහන නිෂ්පාදනය කිරීමට ඉලක්ක කරගෙන තිබෙන බවද ප්‍රකාශයට පත් වී තිබේ.  

මේ පසුබිම යටතේ ත්‍රිරෝද රථ 200කින් ආරම්භ වන වාහන විදුලි බලයට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගනිමින් අනාගතයේදී එය තවදුරටත් ව්‍යාප්ත කර ගැනීමට මංපෙත් විවර කර වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මේ නියමු ව්‍යාපෘතිය සඳහා සියලු වියදම් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් දරණු ලබන බව ප්‍රකාශිතය. ඔවුන්ගේ අරමුදල් සැපයීම අත්හිටවූ පමණින් මේ වැඩසටහන නතර නොකළ යුතු බවද සඳහන් කරනු කැමැත්තෙමු.

(***)