ඩොලරය ඉදිරියේ දණින් වැටෙමින් තිබූ රුපියලට යළිත් පණ ලැබෙමින් එයට වටිනාකමක් එක්වෙමින් තිබේ. පෙබරවාරි මාසයේ තුන්වැනි සතිය වනවිට ද ඩොලරයක ගැනුම් මිල රුපියල් 349ක මට්ටමේද විකිණුම් මිල රුපියල් 359ක මට්ටමේද පැවති අතර පසුගිය සිකුරාදා (03) වනවිට එය රුපියල් 334.50ක් සහ 348.03ක් වශයෙන් සටහන් වී තිබිණි. ඉදිරි දින කිහිපය තුළදී රුපියල තවදුරටත් ශක්තිමත් වනු ඇති බවද පුරෝකථනය වී තිබේ.
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙසේ ශක්තිමත් වීම ගිලෙමින් තිබෙන ආර්ථිකයේ යහපත් හැරවුමක් පෙන්නුම් කරයි. දිගින් දිගටම මේ තත්ත්වය රැක ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුවහොත් එය රටේ අපනයන ක්ෂේත්‍රයේ වර්ධනයට සහ ආයෝජකයන් ආකර්ශනය කර ගැනීමට මහඟු අවස්ථාවක් වනු ඇත.
ශ්‍රී ලංකාව මුහුණදී සිටින අධික ණය බර රුපියල යන්තම් ශක්තිමත් වීමෙන් සැහැල්ලු නොවූවද අඩුම තරමින් යම් බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට මේ හරහා හැකි වෙයි. එම තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා මේ මොහොතේ ඉහළම ප්‍රමුඛත්වය හිමි විය යුතුය.
රුපියල බරපතළ ලෙස කඩා වැටීමට හේතු වූයේ කොවිඩ් වසංගතය හේතුවෙන් මුළු රටම වැසී ගොස් තිබුණු අවස්ථාවේ රටේ ආර්ථිකය එක තැන නැවතීමෙනි. ලොව පුරාවටම බලපෑ එම තත්ත්වය හේතුවෙන් මෙරට ප්‍රධානම ඩොලර් උල්පතක් වූ සංචාරක කර්මාන්තය බින්දුවටම බැස්සේය.
රටේ අපනයන ක්ෂේත්‍රයද කඩා වැටිණි. හරිහමං ඩොලර් සංචිතයක් නොතිබීම හේතුවෙන් කොවිඩ් වසංගතය වසර දෙකක් දක්වා ඇදෙන විට රටේ ආර්ථිකයද අගාධයටම වැටුණි. විදෙස් රැකියාලාභීන් විසින් එවන ලද ඩොලර් ද නැවතීමෙන් ඩොලර් හිඟය තවදුරටත් ව්‍යාකූල තත්ත්වයකට පත් විය. බලා සිටියදීම රුපියල අවප්‍රමාණය වීම එම ක්‍රියාදාමයේ එක් නිශ්චිත ප්‍රතිඵලයකි.
අපේ රට බොහෝ කාලයක සිට නැවෙන් කටට ප්‍රතිපත්තියට තල්ලු වී සිටීම හේතුවෙන් ඩොලර් සංචිතය හිඳී ගියවිට රුපියලේ අගය කෘත්‍රිමව අල්ලාගෙන සිටීම තවදුරටත් කළ නොහැකි විය. ආර්ථිකය කඩා වැටෙන විට රුපියලේ අගය ද පාවෙන්නට ඉඩ දෙනු හැර වෙනත් විකල්පයක් නැති තැනකට ඒ වනවිට රට තල්ලු වී තිබිණි. රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව රුපියල් 400ක ආසන්නයටම ගියේය. පසුව එය රුපියල් 370 ආසන්නයේ දිගටම රැඳී තිබිණි. එම තත්ත්වය මාස කිහිපයක්ම එසේ පැවතුණේය.
ආර්ථික සහ දේශපාලන කුණාටු අතරින් ශ්‍රී ලංකාව යන්තම් හිස ඔසවන විට ලංකාවට ඩොලර් උපයන මාර්ග දෙකක් යළි විවෘත විය. විදෙස් රැකියාලාභීන් එවන ඩොලර් සහ සංචාරකයන්ගේ පැමිණීම යළිත් ඉහළ යාම හේතුවෙන් එම මාර්ග දෙක පෑදී තිබිණි. පසුගිය පෙබරවාරි මාසයේදී සංචාරකයන්ගේ පැමිණීම වසර 03කට පසු මාසයක් තුළදී පැමිණි උපරිම සංඛ්‍යාව වාර්තා කළේය. එය සංඛ්‍යාත්මකව ලක්ෂයක් ඉක්මවා තිබිණි. එයද ලංකාවට ඩොලර් ලැබීමක් වශයෙන් සටහන් වෙයි. එය දිගටම වර්ධනය කර ගැනීම රජයේ වගකීමය.
කෙසේ වුවද සංචාරකයන්ගේ පැමිණීමත් විදෙස් රැකියාලාභීන්ගේ ප්‍රේෂණ වැඩිවීමත් හරහා ඩොලර් ලැබීම පිළිබඳ බලාපොරොත්තු තබාගැනීම පමණක් ප්‍රමාණවත් නැත. ලංකාවට ඩොලර් ආයෝජන ආකර්ශනය කර ගැනීමත් අපනයනය දිරිගැන්වීමත් ඒ සමඟ සිදුවිය යුතුය. රුපියලේ ශක්තිමත් වීම දිගටම රඳවා තබාගත හැක්කේ එවැනි පියවර ගැනීමෙන් පමණි.
අයි.එම්.එෆ්. ණය සහනයේ ප්‍රථම කොටස ද ඉදිරි කාල සීමාව තුළදී ලැබීමට නියමිතව තිබීමද මේ තත්ත්වය තවදුරටත් ඉහළ යාමට හේතු වනු ඇත. ශ්‍රී ලංකාව ඇතුළු දැඩි ලෙස ණය බරින් පීඩිත රාජ්‍ය වෙත සහාය වීම සඳහා වන බහු පාර්ශ්වික ප්‍රයත්නයකට ඵලදායී අයුරින් දායකත්වය ලබා දීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට චීනය පසුගියදා දැනුම් දුන්නේය. එය ශ්‍රී ලංකාවට ණය ආධාර පහසුකම ලබාගැනීමේ අවස්ථාව වැඩි කිරීමකි.
කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ඩොලර් හිඟය පහසුවෙන් විසඳාගත හැකි ගැටලුවක් නොවන බවද තේරුම් ගත යුතුය. දහ අතේ ණය වී සිටින අපේ රට විසින් ගෙවිය යුතු ඩොලර් ණය ප්‍රමාණය ඉතා අධිකය. එම ණය බර අඩුකර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමෙන් තොරව රුපියල තවදුරටත් ශක්තිමත් කර ගැනීම සිහිනයක් පමණි.
රුපියල යම් ප්‍රමාණයකට ශක්තිමත් වීමෙන් ශ්‍රී ලංකාවට ආර්ථිකය යළි ගොඩනංවා ගැනීමට හැකියාව තිබෙන බවට පුංචි බලාපොරොත්තුවක් ඇති කර තිබේ. එම බලාපොරොත්තුව යථාර්ථයක් කර ගැනීමට යා යුතුව ඇත්තේ අතිදුෂ්කර මාර්ගයක බව සිහි තබාගැනීම වැදගත් වනු ඇත.
(***)