වැඩෙන තරුණ ප්‍රචණ්ඩත්වය සුළුකොට තකන්න එපා


ටී 56 උණ්ඩ 15ක් සමග පාසල් සිසුවකු අත්අඩංගුවට පත් වූ පුවත ඉකුත් සෙනසුරාදා වාර්තා  වූයේය. පාසල් සිසුන් ඇතුළු තරුණ ප්‍රජාව දැඩි ලෙස මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවට තොරතුරු කලෙක පටන් වාර්තා වේ. සිරිලක සෑම ප්‍රදේශයකම කිසිදු හිඟයක් නොමැතිව අයිස් මත් ද්‍රව්‍ය අලෙවි වන බව ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී.

මත් ද්‍රව්‍ය මැඩලීමට යම්  යම් මට්ටමේ වැඩ පිළිවෙළවල් මෙරට ක්‍රියාත්මක වන්නේ දශක කිහිපයක පටන් ය. අන්තරායකාරී ඖෂධ පාලන මණ්ඩලය පිහිටුවා මේ වන විට දශක හතරකට ආසන්න කාලයක් ගතවී තිබේ.

තිස් අවුරුදු යුද්ධයක් ඇතුළුව මෙරට තරුණ සන්නද්ධ කැරලි දෙකක් සිදු වුවද ඉන් බැහැර තරුණ ප්‍රචණ්ඩතාව පිළිබඳ සමාජ උවදුරක් ගැන මෙරට කතිකාවක් ගොඩ නැගුණේ නැති තරම්ය.

විශේෂයෙන් අහිතකර ගෝලීය ප්‍රවණතා මෙරටට එන්නට වැඩිකල් ගත් වුණේ නැත. විස මත්ද්‍රව්‍ය පිළිබඳ උවදුර එයට හොඳම උදාහරණයකි. විස මත්ද්‍රව්‍ය භාවිතය හා තරුණ  ප්‍රචණ්ඩතාව අතර වැඩි පරතරයක් නැත. ඒ උවදුරු දෙකම අත්වැල් බැඳගෙන පැමිණෙන දුර්භාග්‍යයෝය. 

තරුණ ප්‍රචණ්ඩතාව යනු ගෝලීය වශයෙන් විසඳුම් සොයන්නට යොමුවන සමාජ උවදුරකි. මෙම උවදුර අපට තවමත් යම් තරමින් හෝ ආගන්තුක වීම සතුටට කරුණකි. කැරැල්ලක් නැති අවධියක පාසල් සිසුවකු ළඟ තිබී ටී 56 උණ්ඩ හමුවීම ඉදිරියේදී මීට වඩා තීව්‍ර භාවයකින් මතුවිය හැකි තරුණ ප්‍රචණ්ඩතාව ගැන කල්තියා අවධානය යොමු කළ යුතු අනතුරු ඇඟවීමකි.

මත්ද්‍රව්‍ය උවදුර මෙරට වෙලාගෙන ඇති මෙවන් අවධියක ඒ හා අත්වැල් බැඳගෙන ආ හැකි තරුණ ප්‍රචණ්ඩතාව යන උවදුර වළක්වා ගැනීමට අදාල පියවර කල් තියා ගැනීම වඩාත් යෝග්‍ය වේ. 

ගෝලීය මට්ටමෙන් තරුණ ප්‍රචණ්ඩතාව කෙතරම් බලවත් අන්දමින් සිදුවන්නේ ද කිවහොත් ලෝක සෞඛ්‍ය සංවිධානය එහි තීව්‍රතාව පවසන වාර්තා ගණනාවක් මේ වන විට අන්තර්ජාල ගත කොට තිබේ. ඊට අමතරව පාසල් මට්ටමෙන් ප්‍රචණ්ඩතාව වළක්වා ගැනීමේ ප්‍රායෝගික ක්‍රියාකරකම් සහිත අත් පොතක් ලෝක සෞඛ්‍ය සංවිධානය 2019දී  අන්තර්ජාලයට එක් කොට තිබේ. 

මේ වන විට තරුණ ප්‍රචණ්ඩතාව නිසා (කැරලි තත්ත්වයකින් තොරව) ගෝලීය වශයෙන් වයස 10- 29 අතර වයසේ පසුවන තරුණයෝ ලක්ෂ දෙක බැගින් වාර්ෂිකව ඝාතනයට ලක් වෙති. 2000-2016 කාලය තුළ ප්‍රචණ්ඩතාව නිසා සිදුවන තරුණ ඝාතන ඉහළ ආදායම් ලබන රටවල අඩු වුවත්, (අප වැනි) පහළ ආදායම් ලබන රටවල එසේ වූයේ නැත. සංවර්ධනය වෙමින් පවතින රටවල් 40 ක් ඇසුරින් කළ සමීක්ෂණයකින් අනාවරණය වූයේ එම රටවල තරුණයන්ගෙන් සියයට 42ක් හා තරුණියන්ගෙන් සියයට 37ක් ප්‍රචණ්ඩතා නිසා හිරිහැරවලට ලක්ව ඇති බවයි. මෙම ප්‍රවණතාව අප රටට එන්නට නොදී මෙතැනින්ම නවතා ගත යුතුවේ.

දරුවන් හා දෙමාපියන් අතර සබඳතා අඩුවීම, දෙමාපියන් දරුවන් ගැන විපරමෙන් පසු නොවීම, දෙමාපියන් විශාදයට ලක්ව සිටීම, පවුලේ විරැකියාව, පවුලේ ආදායම් අඩුවීම තරුණ ප්‍රචණ්ඩතාව නම් උවදුරට මූලික වූ බව එම රටවල දත්තවලින් පෙන්වයි.

දරුවන් බාල වියේදීම මද්‍යසාර, අන්තරායකරී ඖෂධ, දුම්වැටි, දුම්කොළවලට පුරුදු වීම පොදුවේ මෙම රටවල තරුණ ප්‍රචණ්ඩතාවට හේතු වූ බව සමීක්ෂණවලින් පෙනේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය යුනිසෙෆ් ආයතනය සමග එක්ව පාසල් උදෙසා නිකුත්කර ඇති ක්‍රියාකාරකම් සහිත පොතේ, නායකත්ව වර්ධනය, පාසල් ප්‍රතිපත්ති හා සම්බන්ධීකාරක ක්‍රම ඔස්සේ මෙම උවදුර මැඩලීමට ආරම්භක පියවර ගන්නා අයුරුත්, ඊට අදාල දත්ත ඒකරාශී කිරීම, හර පද්ධතී හා විශ්වාස සම්බන්ධයෙන් ගුරුවරුන් හා කටයුතුකොට ධනාත්මක හැසිරීම උදෙසා පුහුණු කිරීම ආදී ප්‍රචණ්ඩතා වැළක්වීමේ ප්‍රජා කටයුතු ප්‍රායෝගිකව කරන ඇයුරුත් මෙහි විස්තර කෙරේ.

මේ වන විට දරුවෝ බිලියනයක් ලෝ පුරා ශාරීරික හා මානසික පීඩා, තරුණ ප්‍රචණ්ඩතා නිසා පීඩා  විඳිති. අපේ දරුවන් මෙම ගෝලීය ප්‍රචණ්ඩතාවට ගොදුරු වීමට පෙරාතුව ඔවුන් බේරාගත යුතුය. පාසල් දරුවකු ළඟ තිබී උණ්ඩ අසුවීම ඒ සඳහා සූදානම් විය යුතු බවට අපට අනතුරු අඟවයි.

(***)