නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පෙරේදා වසා දැමීමට සිදුවිය. ඒ ගොවීන් එළවළු සැපයීම ප්‍රතික්ෂේප කළ හෙයිනි. වගා බිම් මතින් පිටතට පැමිණි ගොවීහු උද්ඝෝෂණ බිම් වෙත පැමිණියහ. ඔවුන්ගේ උද්ඝෝෂණයට නිමිත්ත වගාවට සුදුසු පොහොර නොලැබීමය. පොහොර ප්‍රශ්නය මුළු රටේම ජන ජීවිතය උඩුයටිකුරු කිරීමට හේතුවී තිබේ. නොපමාව පිළිතුරු ලබාදිය යුතු තරමට තත්ත්වය උග්‍රවී තිබේ.
රසායනික පොහොරින් බැහැරවී කාබනික පොහොරට යොමුවීමත් සමග ඇතැමෙක් සාගතයක් සම්බන්ධ අනතුරු ඇඟවීම් කළහ. එහෙත් එම අනතුරු ඇඟවීම් ‘‘කඩප්පුලි කතා’’ යැයි කියා බැහැර කළහ. එහෙත් කල් නොයවාම එම අනතුරු ඇඟවීම් යථාර්ථයක් බවට පත්වන ලකුණු පෙනේ. අප පුවත්පත ඊයේ වාර්තා කළේ ‘‘අමු අඹයි - පොළොසුයි හැර සියලු එළවළු මිල උඩු ගුවනේ’’ බවය.
එම ප්‍රවෘත්තියට අනුව පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ පොළට පිට පළාත්වල සිට එළවළු ලැබීම සියයට 60කින් පමණ අඩුවී ඇති බව සඳහන්ය. මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති එච්.එම්. උපසේන මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ‘‘පොහොර නොමැතිකම හේතුවෙන් ඇතැම් ගොවීන් එළවළු වගාව අතහැර දමා ඇති අතර වගා කරන එළවළු අස්වැන්න අඩුවීමත් නිසා එළවළු සැපයීම අඩුවී ඇති බවය’’.
පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළෙහි ඊයේ තත්ත්වය බෙහෙවින්ම දුක්ඛිතය. උඩරටින් කිසිදු එළවළුවක් එහි පැමිණ තිබුණේ නැත. එළවළු මිල පෙරදා තිබූ තත්ත්වයේමය. එළවළු තොග නොලැබීම නිසා කඩ බොහෝ ප්‍රමාණයක් වැසී ගොසිනි. මිල නිසාම පාරිභෝගිකයන්ගේ පැමිණීමද ඉතා අඩු මට්ටමක වූ බව වාර්තා විය.
වෙළෙඳ පොළෙහි භාණ්ඩ හිඟයක් ඇති වූ විට මිල ඉහළ යන බව වටහා ගැනීමට ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් අවශ්‍ය නැත. මෙරටෙහි සාතිශය බහුතරයක් මධ්‍යම පාන්තිකයෝ සහ අඩු ආදායම්ලාභීහු වෙති. දෛනික කුලී වැඩෙන් දරු පවුල් රක්ෂා කරන්නෝද බොහෝ වෙති. මෙම ජන කොටස්වලට සිදුවී තිබෙන්නේ ගුවන්ගත බඩු මිල ඉදිරිපිට දිවන්ගත වීමටය.
අප ප්‍රවෘත්තියට අනුව පෑලියගොඩ මැනිං වෙෙළඳපොළේ 21 වැනිදා පැවැති මිල ගණන්වලට බෝංචි කිලෝවක් රුපියල් 550ත් 600ත් අතරය. කැරට් කිලෝවක් රුපියල් 360 ත් 400ත් අතරය. රාබු කිලෝවක මිල රුපියල් 200ත් 250ත් අතරද ලීක්ස් කිලෝව රුපියල් 330 ත් 360ත් අතරද තකාක්ලි කිලෝවක් රුපියල් 500 ත් 600ත් අතරද රැඳී තිබේ. මැනිං පොදු වෙෙළඳ සමිතියේ සභාපති එච්.එම්. උපසේන මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ අඹ සහ පොළොස් හැර අනෙකුත් සියලුම එළවළු මිල අහස උසට ඉහළ නැග තිබෙන බවය.
කොරෝනා මාරාන්තික වයිරසය හමුවේ බොහෝ දෙනකුට රැකියා අහිමිය. ඇතැමෙකුගේ ආදායම් අඩු විය. තවත් විශාල පිරිසකගේ ආදායම් මාර්ග නැත්තටම නැතිවී ගොස් ඇත. එබඳු ශාපලත් ඉරණමකට මුහුණ දී සිටින එම ජනයාට ගුවන්ගත බඩු මිල ගහෙන් වැටිච්ච මිනිසාට ගොනා ඇනීමක් බඳුය.
ඉහළ මිල ගණන්වලට හෝ මිලදී ගැනීමට මේ මොහොතේ වෙෙළඳ පොළෙහි එළවළු තිබේ. එහෙත් ඊළඟ මොහොතේ කුමන ඉරණමක් අත්වේද යන්න සම්බන්ධයෙන් තිබෙන්නේ ප්‍රශ්නාර්ථයකි. වගා කිරීමට පොහොර ඇවැසිය. එය යළි යළිත් අවධාරණය විය යුතු නැත. පොහොර නොලැබුණ විට වගාවෙන් ඉවත්වීම හැර වෙනත් කිරීමට දෙයක් ගොවියාට ඇත්තේද නැත. වගා නොකිරීම තුළ සිදුවන්නේ අස්වැන්න නොලැබීමය. සාගතය සම්බන්ධ අනතුරු ඇඟවීම යථාර්ථයක් වන්නේ එම පසුබිම තුළය.
රට තුළ නිර්මාණය වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් අවබෝධයක් පාලක පංතිය සතුව වේදැයි ප්‍රශ්නයකි. පාලක පංතියේ එකිනෙකා ‘‘කටට ආවක්’’ කියමින් සිටින සෙයකි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා ප්‍රකාශ කරනු ලැබුවේ මහ කන්නයේ වී වගාව ඇතුළු බඩ ඉරිඟු, එළවළු හා වැවිලි කර්මාන්තයට අවශ්‍ය ශාක පෝෂක හා ශාක ආරක්ෂක පොහොර ආනයනය කිරීමට රජයෙන් අවසර ලැබී ඇති බවය. ඒ අනුව නිසි ප්‍රමිතියකින් යුත් අවසරලත් ශාක පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා එසේ ප්‍රකාශ කළද විෂය බාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියන්නේ වෙනත් කතාවකි. අමාත්‍යවරයා පවසන්නේ වී සහ එළවළු වගාව සඳහා රසායනික පොහොර ගෙන්වීමට රජය මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නැති බවය. අප මෙයින් පිළිගත යුත්තේ අමාත්‍යවරයාගේ ප්‍රකාශයද අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රකාශයදැයි ප්‍රශ්නයකි. රටේ ජනතාව එසේ ප්‍රශ්නවලට කොටු කිරීම යහපත් නැත.
එළැඹෙන්නේ නත්තල් සමයයි. ඒ පසුපසින් අලුත් අවුරුද්ද උදාවේ. එතැන මෙතැන රංචු නොගසා ගෙදරට වී බඩපිරෙන්න කා සතුටින් සිටීමට ජනයා අපේක්ෂා කරති. ඒ සිහින බොඳ නොකරන්නැයි අපි ඉල්ලා සිටිමු.
(***)