විකල්පයක් රහිත ශ්‍රී ලාංකිකයා


(ඩලස් අලහප්පෙරුම)

මේ දිනවල, සෑම නාලිකාවකම මධ්‍ය ලක්ෂ්‍යය වී ඇත්තේ ඔහු ය. සෑම පුවත්පතකම, කතානායකයා වී ඇත්තේ ද ඔහු ය. ඔහු පිළිබඳ දැක්වෙන සියලු‍ අර්ථකථන වචන හතරකට සම්පිණ්ඩනය කොට පෙළගස්වන්නේ නම්, ”ඔහු විකල්පයක් රහිත ශ්‍රී ලාංකිකයෙකි.”‍

රංගනය, ගායනය, ලේඛනය, භාෂණය, දේශනය, ගවේෂණය, චිත්‍රණය සහ සන්නිවේදනය යන සෑම කොදෙව්වක් ම එක හා සමානව ම අතික්‍රමණය කළ නැතිනම් දිග්විජය කළ කිසිවකු මගේ ජීවිත කාලය තුළ හෝ මෑත ඉතිහාසය තුළ ශ්‍රී ලාංකේය නාමයෙන්  මට  හමුවී නැත.  හමුවූයේ ඔහු ම පමණි. හේ අන් කවරෙකුත් නොව මා මිත්‍ර, පනාපුත්‍ර “ජැකා”‍ ය.

“ජැකා”‍ පිළිබඳ ඉතා සමීප වූ දිගු මතකයට වඩා, මට මේ මොහොතේ ස්මරණය වන්නේ, ලියෝ ටොල්ස්ටෝයි විසින් ඇන්ටන් චෙකොෆ් පිළිබඳව තැබූ සටහනයි.

මන්ද, එය අපේ කතානායකයාට ද එලෙසින්ම වලංගු වන බැවිනි.

”ජැකා”‍ වූ කලී; ඔබේ හදවත පිරී ඉතිරී යන තෙක්, ශත වර්ෂ ගණනාවක් පුරා නැවත නැවතත් කියවිය හැකි පුස්තකයකි. නැවත නැවතත් රස විඳිය හැකි නාට්‍යයකි. නැවත නැවතත් නැරඹිය හැකි චිත්‍රපටියකි. එසේ ම, නැවත නැවතත් මිමිණිය හැකි අපූරු ගීතයකි. අවසන, ”සැබවින්ම ඔහු ජීවිතය පිළිබඳ කලාකරුවෙකි.”‍

වර්තමාන මාධ්‍ය භාවිතයන් තුළ සමාජ පරිකල්පනයට හා රසවින්දනයට සිදුවන බලපෑම නිසා සංස්කෘතික අනන්‍යතාව ගිලිහෙන බව වරෙක, ඔහු ලියුවේ ය.

සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම යනු  අතීතකාමය නොවේ යැයි වරෙක, ඔහු කියුවේ ය.

සංස්කෘතික අනන්‍යතාව අනාගත පරපුර වෙත සම්ප්‍රේෂණය කිරීමේ වගකීම, ගුරුවරුන් හා කලාකරුවන් තම දෙඋර මතට ගත යුතු යැයි වරෙක, ඔහු දිවුලේ ය.

එහෙත්, හස්ති ප්‍රහාරයෙන් බරපතළ ලෙස ගිලන් වූ අස්ථි සහිතව ඇඳට සීමාවී, පණ සමඟ පොරබදන අවසන් යාමයේ පවා, ‘අශිෂ්ටත්වය‘ ඉතා කුරිරු ලෙස ඔහුට ආමන්ත්‍රණය කිරීම සරදම්කාරී සංස්කෘතික ඛේදවාචකයක් නොවන්නේ ද..?

ආවඩා .. ආයුබෝ වේවා යි සියලු‍ ශ්‍රී ලාංකිකයන්ට හදවතේ ගැඹුරුම පත්ලෙන් ආශිර්වාද කළ ඔහුට, ධම්ම පදය, බයිබලය, භගවත්ගීතාව සහ  කුරාණය දෝතින් ගත් මිලියන සංඛ්‍යාත මිනිසුන් එකාවන්ව, එසේම වේවා! යි පෙරළා ප්‍රාර්ථනා කරද්දී ම ඔහු අවසන් නින්ද තෝරා ගත්තේය.

දුරින් සිට හෝ ඔහු බලන්නට තිබූ ආශාව ගැන ප්‍රදීපා සහ ම’විසින් කුමාරිට කීවේ මීට සති දෙකකට පෙරයි. එම අවස්ථාව පමණක් නොව, අවසන් හෝරාවේ හෝ ඔහුට සමු දෙන්නට තිබූ නිමේෂය පවා මට අහිමිව ඇත.

සමාවෙයන් ”‍ජැකා”‍..!

උඹට සුව නින්දක්..!!