”විජයදාස රාජපක්ෂ ඉල්ලා අස්විය යුතුය. නැතහොත් අස්කළ යුතුය. කැබිනෙට්ටුවෙන් පන්නා දැමිය යුතුය. ලැජ්ජාවක් තියනවානම් ඉල්ලා අස්විය යුතුය. පසුගිය ආණ්ඩු සමයට අදාළ නඩු විභාග පරක්කු වෙන්නේ ඔහු නිසාය. කෘත්‍යාධිකාරී මණ්ඩලයම ඔහුට විරුද්ධය. ඔහු දන්නා නීතියක් නැත. නඩු ඉක්මන් කරන්නට ඔහු මැදිහත් වෙන්නේ නැත. ඔහු හිතාමතාම පසුගිය ආණ්ඩුවේ හොරුන්ට එරෙහි නඩු කටයුතු පමා කරනවා. විජයදාස අයින් වුණොත් 2025 දක්වා ආණ්ඩු කරනවා”. පසු ගිය දිනවල ආණ්ඩුවේ එජාප මැති ඇමතීන් තරගයට මෙන් වර නැඟූ පාඨ කීපයකි ඒ.
එහෙත් ඒ සියල්ල යටගසමින් නෙරපා දැමීමට ආසන්න දින කීපයේ දී විජයදාස රාජපක්ෂට එරෙහි මෙහෙයුමේ ප‍්‍රධාන සටන් පාඨය බවට පත්කර තිබුණේ ඔහු ‘‘කැබිනට් සාමූහික වගකීම කඩකර ඇත’’ යන චෝදනාවය. ඒ, ඊට පෙර පෙරමුණේම තිබූ ‘‘පසුගිය ආණ්ඩුවේ නඩු පමා කරන නිසා ඔහු ඉල්ලා අස්විය යුතුයි’’ යන සටන් පාඨය තරමකින් සඟවා තබමිනි. එහෙත් මේ වනවිට ඔහු ඉල්ලා අස්විය යුතුය නැතහොත් නෙරපා දැමිය යුතුය යන තෙරපුම පිටුපස ඒ හේතුවටත් වඩා තවත් බොහෝ හේතු තිබූ බව වෙනත් අය විසින් කල් ඇතුවත් නෙරපා දැමූ පසු විජයදාස විසිනුත් හෙළිදරවු කර අවසානය. දැන් විජයදාස මන්ත‍්‍රීවරයකු පමණි. ඒ කොයි හැටි වෙතත් මෙම ලිපිය හරහා මා උත්සාහ කරන්නේ ‘‘විජයදාස-රාජපක්ෂ මෙහෙයුම’’ නිමිති කොටගෙන මෙරට දේශපාලනයේ නග්න බල අරගලය පිළිබඳ සටහනක් තැබීමට ය.
කලක් මගේ සමීප මිතුරකුව සිටි රාජිත දිසානායකගේ රාජ්‍ය සම්මාන දිනාගත් වේදිකා නාට්‍යයකවත් දකින්නට නැති මට්ටමේ නාට්‍යමය ගති ලක්ෂණ මේ ආණ්ඩුවේ දේශපාලන වේදිකාව තුළ මතුවෙන්නේ පේ‍්‍රක්ෂක ජන සමාජය ඒ පැත්තට හැරීමේ පැත්තට හැරෙන සුනංගුවට ය. කලෙක එකිනෙකා බදා වැළඳගත් මැති ඇමැතීන් මුරුගසන් වර්ෂාවට තෙමුණු වුන්සේ තම පිලේම ඒ එකිනෙකාට එරෙහිව අවි අමෝරා සටනට වැද එකෙකුගේ ගෙලකපා ඒ ලෙයින් තම අනාගත පැවැත්මේ ආයුෂ දික්කර ගැනීමට වෙර දරණ අයුරු විස්මය ජනකය. මේ ආකාර බිහිසුණු සහ විකාර රූපී දේශපාලන නාටකවලින් කියැවෙන්නේ, එජාප ධනේශ්වර දේශපාලනයේ කාසාවකණ්ඨක මොහොත එළඹ ඇති බවද? නැතහොත් පිරිහීමේ කෙළවරටම පැමිණ ඇති බවද? එසේත් නැත්නම් ලංකාවට තේරෙන්නේ නැති ධනේශ්වර පාර්ලිමේන්තු ආයිත්තමේ සකලාකාර අලංකාරික බඩජහරි දේශපාලනය විසින් උලා කා අවසාන බවද?
විජයදාසට එරෙහි අය, ඔවුන්ම කියන දේවල්වලින් පෙනෙන ආකාරයට උග‍්‍ර පාර්ලිමේන්තුවාදීහුය. එසේම ඔවුහු පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පක්ෂ දැඩි මතධාරියෝ ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුලධර්මවාදියෝ ය. එංගලන්තයේ වෙස්ට්මින්ස්ටර් ආණ්ඩුක‍්‍රමය ආකෘතිමය වශයෙන් කෙසේ වුවත් මතවාදීමය වශයෙන් මෙරට භාවිතවනු දැකීමට කැමැති සහ ඒ වෙනුවෙන් දිවි හිමියෙන් කැපවන ප‍්‍රජාතාන්ත‍්‍රවාදියෝ ය. මන්ද මේ මැති ඇමැතීන් කියන ආකාරයට ඔවුන් විජයදාසට එරෙහි වීමට ප‍්‍රධාන හේතුව ‘‘කැබිනට් සාමූහික වගකීම’’ කඩ කරමින් හම්බන්තොට වරාය ගනුදෙනුව විවේචනය කිරීම සහ ප‍්‍රසිද්ධියේ ඊට විරෝධය පළකිරීම ය.
මේ ආකාරයේ ‘‘කැබිනට් සාමූහික වගකීම’’ ඔය වරායම සහ තවත් දෑ සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේම ඇමැතීන් කීප දෙනෙකුම කඩා ඇතිමුත් ඔවුන්ට එරෙහිව මේ ආකාරයෙන් මහා විරෝධයක් මතු නොවුණේ ඇයි? මහා කලබලයක් ඇති නොවුණේ ඇයි? එහෙම නොකර විජයදාසට එලව එලවා පහර දීමට හේතුව කුමක්ද? ඊට හේතු කීපයක්ම ඇති බව විජයදාස සහ විපක්ෂයේ මන්ත‍්‍රීන් මේ වනවිට මාධ්‍යය හරහා රට හමුවේ තබා ඇත. ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කරන අතරම මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ විෂය ක්ෂේත‍්‍රයට අදාළව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයකු වන බෙන් එමර්සන් මෙරටට එරෙහිව කරුණු දක්වන විට ඊට විරුද්ධව ප‍්‍රබල කරුණු දැක්වීමක් විජයදාස විසින් සිදු කර තිබීම ඉන් එක හේතුවකි. ඒ අනුව විජයදාස ඉවත් කිරීම යනු විදේශීය බලවතුන් සතුටු කිරීමට කළ වැඩකි. මේ ආණ්ඩුව හැදීමේ සිට මේ දක්වා වූ විදේශ මෙහෙයවීම් ගැන සිතන විට එහි ඇත්තක් ද තිබේ.
රාජපක්ෂලාට සහ පසුගිය ආණ්ඩුවේ සිටි, මේ ආණ්ඩුවේ පැවැත්මට උපකාර නොකරන සහ ඊට එරෙහිව කටයුතු කරන පිරිසට එරෙහිව ඉදිරිපත්කොට ඇති පැමිණිලිි ඉක්මනින් විභාගකොට දඬුවම් ලබාදීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය මෙහෙයවන්නේ නැතැයි යනුවෙන් වූ විජයදාසට එරෙහිව එජාප මැති ඇමැතීන් නඟන චෝදනාව තවත් හේතුවකි. රවී කරුණානායකගේ ඉල්ලා අස්වීම හරහා ආණ්ඩුවට ඇතිවූ අපකීර්තිය මකා දමා ගැනීමට නම් විපක්ෂයේ කීප දෙනකුම මහා දඬුවමකට යටත් කළ යුතුම යැයි ඔවුන් සිතන සෙයකි. විජයදාසම කියන ආකාරයට පසුගිය ආණ්ඩුවට එජාපය චෝදනා කළේ රටේ නීතියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරනවා කියා ය. එහෙත් විජයදාසට එරෙහි චෝදනාව වනාහී රටේ නීතියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් නොකරනවාය යන්නය. යහපාලනයක ප‍්‍රධාන කුලූනු හතරෙන් එකක් වන්නේ නීතියේ ආධිපත්‍යය ය. අනිත් තුන වන්නේ සහභාගිත්වය, සාධාරණත්වය සහ විනිවිදභාවයයි. නීතියට ඉහළින් සිටින ඇමැතිවරුන්, අගමැතිවරුන් හෝ ජනාධිපතිවරුන් යහපාලනයක සිටිය නොහැක. සියල්ලෝම නීතියේ නායකත්වයට ගරුකොට අවනත විය යුතුය. එවැනි ගෞරවයක් සහ අවනතභාවයක් ලැබීමට නම් නීතිය සහ අධිකරණය හැම විටම ස්වාධීන විය යුතුමය. අනිසි මැදිහත්වීම්වලින් තොර විය යුතුමය. එය එසේ නම් විජයදාසට කරන චෝදනාව සාධාරණ ද?
අනෙක් හේතුව සමාජගතවී තිබෙන්නේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළවය. විජයදාස කියන ආකාරයට නම් පණ්ඩුකාභය රජුගේ කාලයේ සිට මේ දක්වා කාලය තුළ සිදුවූ ලොකුම කොල්ලයට අදාළ මහ මොළකාරයන් හෙළිදරවුවීම වැළැක්වීම සඳහා වූ අධිකරණ ඇතුළු අනෙකුත් ක‍්‍රියා මාර්ග සඳහා ඔහු ඉවත් කිරීමට බැඳුම්කර ආධාර ලැබූ ‘‘පුට්නෝට් කල්ලිය’’ ඇතුළු එජාප ප‍්‍රබලයන්ට අවශ්‍ය වී ඇත. එනම් ඒ හෙළිදරවු වීම්වලින් පසු ගතයුතු අධිකරණ ක‍්‍රියාමාර්ග, ජාවාරම්කාරයන්ට ගැලවීමට උපකාරීවන අයුරින් ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය මෙහෙයවීම සඳහා තමා බාධාවක් නිසා ඔහු ඉවත් කිරීමට කටයුතු කළ බව විජයදාසගේ අදහසය. බැඳුම්කර සිද්ධියට අදාළව හෙළිවන කරුණු අනුව ඔහුගේ මතය ප‍්‍රතික්ෂේප කළ නොහැක්කකි.
ඒ සියල්ලටම වඩා හම්බන්තොට වරාය චීනයට විකිණීම සහ මත්තල ඉන්දියාවට විකිණීමට යෑම පිළිබඳව අදහස් ආණ්ඩුව කලබල වීමට ප‍්‍රධාන හේතුවක් විය. රාජ්‍ය දේපළ විදේශීය රටවලට විකිණීම පිටුපස ඇති ආර්ථික හේතුවලට වඩා දේශපාලන සහ ආරක්ෂක හේතු දන්නා බොහෝ ජනයා ඊට විරුද්ධව නැඟූ හඬට විජයදාසගේ විරෝධාකල්පය විසින් ගෙන ආවේ දැවැන්ත ශක්තියකි. එමෙන්ම එසේ විකුණා ලැබෙන මුදලින්ම ආණ්ඩුකිරීම සහ යම් යම් ආර්ථික සහන ජනයාට ලබාදීම මගින් ආණ්ඩුව පරිස්සම් කරගැනීමට උත්සාහ කරන පාලකයන්ට විජයදාසගේ විරෝධතා හඬ හෙණ හඬක් වුවාට සැක නැත. ආනන්තරිය පාපයක් කළාසේ ‘‘මෙන්න කැබිනට් සාමූහික වගකීම කඩකළා’’ යන දෝෂාරෝපණය එල්ල වෙන්නේ ඒ නිසාය. මේ අනුව සහචර දේශපාලනයේ සහ දේශපාලකයන්ගේ අවසාන නවාතැන්පොළ ‘‘කැබිනට් සාමූහික වගකීම’’ය යනුවෙන් කෙනෙකු කීවාට එහි වරදක් නැත.
එහෙත් විජයදාස පෙන්වා දී ඇති ආකාරයට හම්බන්තොට වරාය චීනයට විකිණීමෙදී කැබිනට්ටුව සාමූහිකව රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කොට ඇත. පාර්ලිමේන්තුව අවතක්සේරුකොට ඇත. එවැන්නක් සඳහා ගතයුතු, නොපැමිණි මන්ත‍්‍රීන්ද සහිත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ලබාගෙන නැත. එය එසේ නම් සාමූහිකව රටේ ‘‘උත්තරීතර’’ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ රටේ ‘‘උත්තරීතර’’ පාර්ලිමේන්තුව නොතකා හැරි අයට විජයදාස කැබිනට් සාමූහික වගකීම කඩ කළා යනුවෙන් පරිභවකොට ඔහු පන්නා දැමීමට ඇති සදාචාරාත්මක අයිතිය කුමක් ද?
ඒ සියල්ල කෙසේ වෙතත් විජයදාස නෙරපීමේ ඇත්ත හේතුව වසන් කිරීම සඳහා යොදාගත් ‘‘කැබිනට් සාමූහික වගකීම කඩ කිරීම’’ යන්න මෙරට අති මහත් බහුතරයකට නොතේරෙන නිසා ඒ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් අවශ්‍යය යැයි සිතමි. ‘‘කැබිනට් සාමූහික වගකීම’’ යන්න ‘‘සාමූහික අමාත්‍ය වගකීම’’ යනුවෙන්ද භාවිතා කෙරෙන්නකි. එය වෙස්ට්මින්ස්ටර් ක‍්‍රමය අනුගමනය කරන ආණ්ඩුවල ව්‍යවස්ථාමය සම්ප‍්‍රදායකි. යම් ඇමැතිවරයකු යම්කිසි ආණ්ඩු තීරණයක් සම්බන්ධයෙන් කැබිනට්ටුව තුළ දී විරුද්ධ වුවද ඒ තීරණය වැඩි දෙනෙකුගෙන් අනුමත වුවහොත් ඒ විරුද්ධ වූ කෙනා පවා ප‍්‍රසිද්ධියේ ඊට සහයෝගය පළ කළ යුතුය. පාර්ලිමේන්තුවේ දී ඊට සහය පළ කරමින් ඡන්දය දිය යුතුය. යම්කිසි කැබිනට් ඇමැතිවරයකු විවෘතව කැබිනට් තීරණයකට විරුද්ධ වුවහොත් තම කැබිනට් සාමාජික ධුරයෙන් ඉල්ලා අස්විය යුතුය. කැබිනට් සාමූහික වගකීම යන්න ‘‘කැබිනට් රහස්‍යභාවය’’ සහ ‘‘කැබිනට් සමගිය’’ මත පදනම් වුවකි.
එහෙත් ගැටලූව වන්නේ ජනවාරියේ සිට පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය සහ නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම එක දිගටම උල්ලංඝනය කළ ආණ්ඩුවක් මේ හිටි හැටියේ වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායක් කරා වේගයෙන් ගමන් කළ හේතුව කුමක්ද යන්නය. ඒ තත්ත්වය හදිසියේ මතුවූවක් යැයි පෙනෙන්නේ මේ අය මීට පෙර මේ ආකාරයෙන් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් මෙවැනි කැපකිරීමක් නොකළ බවට උදාහරණ මාලාවක් පෙළ ගැස්සවිය හැකි නිසා ය. ඒ හදිස්සිය වනාහී ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායක් තම සහචර දේශපාලනය සඳහා අශීලාචාර ලෙස පාවිච්චි කිරීමේ හපන්කම සහ වුවමනාව ය. නියම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක කැබිනට් සාමූහික වගකීම යනු ජනසමාජයට වින කිරීම හෝ පොදු දේපළ සහ සම්පත් කොල්ල කෑම හෝ හොරකම් කිරීම ආවරණය කරන සුදු පිරුවටයක් නම් නොවේ. කළ යුත්තේ කුමක්ද?
කෙසේ වෙතත් ජනාධිපතිවරයාට අවසාන තීන්දුව ගැනීමට සිදුවුණේ ‘‘යහපාලනය ඉවරයි. දැන් ඕනි මෛත‍්‍රී පාලනයක්’’ යැයි කියූ විජයදාස රාජපක්ෂට එරෙහිව ය. ඔරිජිනල් ශ‍්‍රීලනිපකාරයකුට සමානවන අයුරින් රටේ සම්පත් සහ දේපළ වෙනුවෙන් හඬක් නැගූ විජයදාස ගේ ඉරණම විසඳීම පිළිබඳ අවසාන තීරණය ජනාධිපතිවරයා වෙතම පැවරීම එක අතකට ඇහැලේපොළ කුමාරිහාමිට තම දරුවන් වංගෙඩියේ දමා කෙටීමට සැලැස්සූ ආකාරයේ දඬුවමක් ද?