විදුලි බිලෙන් ජනතාවට සහනයක් ලැබේද?


මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පාර්ලිමේන්තුවේ සරළ බහුතරයෙන් නෙරපා හරිනු ලැබුවේ මේ නොබෝදාය. සභාපතිවරයා හා ආණ්ඩුව අතර ගැටුමට මුල වූයේ විදුලිය බිලය. ‘‘ලයිට් බිල’’ අතට පත්වීම ‘‘කරන්ට්’’ වදින මාදිලියේ මිල සූත්‍රයක් ක්‍රියාත්මක වන රටක ඉදිරියේ දී විදුලිය බිලට කුමක් වනු ඇද්දැයි ජනතාව තුළ ඇත්තේ දෙගිඩියාවකි. මෙම පරිසරය තුළ වසරේ දින තුන්සිය හැට පහම ආතතියෙන් කල් ගෙවීමට ජනතාවට සිදුවීම වැළැක්විය නොහැක. මෙම රෝගී තත්ත්වයෙන් ජනයා මුදාලීම බලධාරීන්ගේ වගකීමය.

විදුලිය බිලට සහනයක් ලැබෙනු ඇතැයි යන ආරංචිය පවා සිත් නිවී සැනසීම බවට පත් කරන්නකි. දුලබ වුවත් එබඳු පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ විදුලිය බිලට ජූලි මාසයේ දී සහනයක් ලැබෙන බවය. ඒ අනුව ඒකක බිංඳුවේ සිට 30 දක්වා විදුලිය පරිභෝජනය කරන ලක්‍ෂ දාහතකට වැඩි පිරිසකගේ විදුලිය බිල ලබන ජූලි මාසයේ සිට සියයට 23 කින් අඩු කිරීමට යෝජනා කර ඇත. 

විදුලි ඒකක 31 සිට 60 දක්වා පාවිච්චි කරන පාරිභෝගිකයන්ගේ බිල සියයට නවයකින් අඩු කිරීමට ද යෝජනා කර ඇතැයි කංචන විජේසේකර ඇමතිවරයා ප්‍රකාශ කර ඇති අතර ස්ථාවර ගාස්තුව රුපියල් 400 සිට 250 දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව ද ප්‍රකාශ කර ඇත. 

ජනතාව ජීවත්වන්නේ දැඩි ආර්ථික පීඩනයකය. එය වසන් කළ නොහැකි සත්‍යයකි. මෙම ආර්ථීක පීඩනය ධනපති - නිර්ධන පංති බේදයකින් තොරව සමාජයේ සෑම තරාතිරමකම කොටස්වලට බලපා තිබේ. විදුලිය බිල ඉහළ යාම එම ආර්ථික පීඩනය දෙගුණ, තෙගුණ කරන්නකි. 

විදුලිය අත්‍යවශ්‍යම නොවේ යැයි යමකුට තර්ක කළ හැකිය. විදුලිය නොමැති ගම්මාන තවමත් මේ රටේ තිබේ. එහෙත් අතිශය බහුතරයක් ජනයා විදුලිය පාරිභෝගිකයෝ වෙති. ජන ජීවිතය පහසු කරවන ජන ජීවිතයට වඩාත් සමීපතම දෙයක් බවට විදුලිය පත්ව තිබේ. ‘‘ගෙදරට කරන්ට් එක ගත්තා’’ යැයි මිනිසුන් කියන්නේ බොහෝ ආඩම්බරයෙන්ය. එය තම ජීවිතයේ විශාල දියුණු ඉදිරි පිම්ම් ලෙස ජනයා සලකති. එහෙත් වර්තමානය වන විට විදුලිය බිල යනු ‘‘දවල් තරු’’ පෙන්වන්නක් බවට පත්වී තිබේ. 

විදුලිය බිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම නිසා ජනතාව විදුලිය පරිභෝජනය කිරීමෙන් වැළකීමේ ප්‍රවණතාවක් ද නිර්මාණය වී තිබේ. ඒ  අනුව පෙනෙන්නේ මෙරට වැඩි පිරිසක් ජනතාවට සියවස් ගණනාවක් ආපස්සට යාමට සිදුවී ඇති බවය. මෙය සමාජයේ ප්‍රගමනයට අතිශයින්ම බාධාකාරීය. ජූලි මාසයේදී විදුලිය බිලට සහනයක් ලබා දෙන බව විදුලි බල හා බලශක්ති ඇමතිවරයා කළ ප්‍රකාශය ජනතාවට ජීවත්වීම සඳහා අලුත් බලාපොරොත්තුවක් රැගෙන ඒමට සමත් වන්නේ මෙම පරිසරය තුළය. 

අමාත්‍යවරයා කළ තවත් ප්‍රකාශයක සඳහන් වන්නේ හෝටල් ක්ෂේත්‍රයේ විදුලිය බිල අවමය සියයට 29ත් 40ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමට යෝජනා කර ඇති බවය. එය ඉතා කදිම මෙන්ම ප්‍රායෝගික යෝජනාවකි. මෙරට රැකගත යුතුම ක්ෂේත්‍ර අතර හෝටල් ක්ෂේත්‍රය ඉදිරියෙන්ම වේ. පුරා වසර හතරක් මුළුල්ලේ මෙම හෝටල් ක්ෂේත්‍රයට හෙනහුරා ලබා තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස හෝටල් ක්ෂේත්‍රය බිමටම ඇද වැටුණි.

මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධානම මාර්ගයක්වන සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමටනම් හෝටල් ක්ෂේත්‍රයට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුය. එහෙයින් පොදු මහජනයාට සහන සලසන අතරම හෝටල් ක්ෂේත්‍රය වැනි ක්ෂේත්‍රවලටද සහන සැලසිය යුතුය. එය එක් අතකින් වියදමක් නොව ආයෝජනයකි. 

අවධාරණය කළ යුතු වැදගත් කාරණයක් තිබේ. රජය මහජනතාවට ප්‍රදානය කරනු ලබන සහන එලෙසින්ම ජනතාව අතට පත් නොවන තත්ත්වයක් තිබේ. ඉන්ධන මිල ඉහළ දැමූ සැණින් සෑම ක්ෂේත්‍රයකම මිල ඉහළ යයි. එය ස්වභාවිකය. එහෙත් ඉන්ධන මිල පහත දැමූ විට එසැණින්ම අනෙකුත් ක්ෂේත්‍රවල මිල පහළ වැටීම සිදු නොවේ. ත්‍රීරෝද රථ ගාස්තුවෙන් හා බස් ගාස්තුවෙන් වුව එය වටහා ගත හැකිය. මෙම තත්ත්වය වෙනස් විය යුතුය. 

විදුලිය ගාස්තුව අනෙකුත් සේවා හා භාණ්ඩ සමග ගැට ගැසී තිබේ. මාළු ලෑල්ලේ මාළු කිලෝවක මිල තීරණය කිරීමේ දී විදුලිය බිලද ගණනය කරනු ලබයි. එළවළු තට්ටුවේ සිට මහා සාප්පු සංකීර්ණ දක්වා මෙය පොදු තත්ත්වයකි. එය එසේනම් විදුලිය බිලට ලබාදෙන සහනය අනෙකුත් සේවා හා භාණ්ඩවලට ද එසැණින්ම දැනිය යුතුය. මහජනතාවට සාධාරණය ඉටු වන්නේ එමගිනි.

(***)