කැබිනට් මණ්ඩලයේ තීරණය පරිදි ඇඹිලිපිටියේ ඒස් පවර් පෞද්ගලික බලාගාරය මිලදී නොගැනීමෙන් රජයට පාඩු සිදුවීමේ පුවත අප පුවත්පත පසුගිය දිනෙක වාර්තා කළේය.
විදුලිබල මණ්ඩලයේ කළමනාකරණ දුර්වලතා, අකාර්යක්ෂමතා, අක්‍රමිකතා හෝ හිතුවක්කාරකම් නිසා රජයට සිදුවන පාඩුව පාරිභෝගිකයන් වන අපගේ මුදල් පසුම්බියේ මුදල් ක්ෂය වන තැනටම දිග්ගැස්සී ඇති බව අවසාන වරට විදුලි බිල වැඩි කිරීමේදී පැහැදිලිවම පෙනී ගියේය.
එය එතැනින් නො නැවතී සියයට 66 කින් ගාස්තු ඉහළ නැංවූ පසු විදුලි බිල ලෙස එන සංවේගදායක සංදේශය හෙට අනිද්දා අප අතට පත්වීමට නියමිතය. එම සෝචනීය සංදේශය තුළ පාරිභෝගික වූ අපටත් රජයටත් වචනයෙන් නොකියා මුදලින් කියන්නා වූ ප්‍රබල පණිවිඩයක්ද ඇත. එම පණිවිඩය නම් මින් මතු ලංකා විදුලිබල මණ්ඩලයේ සෑම ගනුදෙනුවක් කෙරෙහිම දැඩි විපරමෙන් පසුවිය යුතුය යන්නයි.
එසේ විපරමෙන් නොසිටියහොත් පාඩු වන්නේ රජයටයි. එහි අරුත එම පාඩුව අනෙක් අතට පාරිභෝගිකයා පිට පැටවෙන බවයි. ඇඹිලිපිටියේ ඒස් පවර් සමාගම සම්බන්ධ විදුලිබල මණ්ඩලයේ ගනුදෙනුවලට අදාළ ජාතික විගණන කාර්යාලයේ වාර්තාව ඊට කදිම සාක්ෂියකි.
බැර ඉන්ධන තෙල් වලින් ධාවනය වන ඒස් පවර් තාප බලාගාරය ආරම්භ වූයේ 2005 වසරේ ය. මෙ.වො. 103ක ධාරිතාවෙන් යුතු මෙම බලාගාරය ඉදි වූයේ ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙසයි. ඇමරිකානු ඩොලර් මිලියන 60ක වියදමින් ඉදිකළ එහි සියයට 70 ක මූල ධනය යොදවන ලද්දේ ලබාගත් ණය මුදලකිනි. සමාගම යෙදූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 18 කි. රජයෙන් ඍජුව මූල ධනය යෙදවීමක් සිදුවූයේ නැත.
2005 සිට 2015 දක්වා දස වර්ෂයක් පුරා උත්පාදනය වන විදුලි ධාරිතාව මිලට ගැනීම සඳහා ලංවිම එම සමාගම සමග ගිවිසුම් ගත විය. එම ගිවිසුම් කාලය නිම වූ පසු තාපබලාගාරය මිලදී ගැනීමේ කැබිනට් අනුමැතිය 2016දී ලංවිමට ලැබිණි. එහෙත් තාප බලාගාරය මිලදී ගැනීම වෙනුවට සිදුවූයේ 2016 අප්‍රේල් සිට 2022 සැප්තැම්බර් දක්වා ගිවිසුම දීර්ඝ කිරීමයි. බලාගාරය මිලට ගැනීම සඳහා 2016 රජයේ තක්සේරුව රුපියල් බිලියන 2.37 වනවිට සමාගමේ තක්සේරුව රුපියල් බිලියන 2.4 ක් වූයේය. ජාතික විගණන කාර්යාලය පවසන්නේ ඒ වන විට එහි සැබෑ වටිනාකම රුපියල් බිලියන 4.17ක් වූ බවයි.
2005 සිට 2015 දක්වා ගනුදෙනුවෙන් සමාගම ලැබූ ශුද්ධ ලාභය (සියලු වියදම් හැර) මූලික ප්‍රාග්ධනය වූ රුපියල් බිලියන 1.67 මෙන් සියයට 511 කි. (රුපියල් බිලියන 8.57 කි) සමාගම පළමු වසර දෙකෙන් පමණක් රුපියල් බිලියන 1.8 ක ශුද්ධ ලාභයක් ලැබුවේ යයි විගණන වාර්තාව කියයි.
සමාගම මේ සා විශාල ලාභයක් ලැබුවේ කෙසේද යන්න කෙරෙහි පාරිභෝගිකයන් වූ අපගේ අවධානය දැඩි ලෙස යොමු විය යුතුය. ගිවිසුම අනුව විදුලිය මිලදී ගැනීමේදී සියලුම වියදම් පියවා ගත හැකි ගාස්තුවක් ලංවිම විසින් සමාගම වෙත ගිවිසුමෙන් පිරිනමා ඇත. ණය වාරිකය, ණය වියදම්, ප්‍රාග්ධන වියදම්, රක්ෂණ වියදම්, පරිපාලන වියදම්, ස්ථාවර ගාස්තු නඩත්තු හා මෙහෙයුම් වියදම්, සියලු පිරිවැය ලංවිම විදුලිය මිලදී ගැනීමේදී ගෙවූ මුදලින් සමාගමට පියවා ගත හැකි විය. ඊට අමතරව ඒස් පවර් ආයතනය විසින් ගෙවිය යුතු බදුද ගෙවීම ලංවිමට භාරවිය. පෞද්ගලික සමාගමක් ගෙවිය යුතු බද්ද රජය විසින් ගෙවන්නට සිදුවීම අපූර්ව කාර්යයක් බව පාරිභෝගිකයකුට නොසිතේද?
කෙසේවුවද ගනුදෙනුව අවසානයේ බලාගාරය හිමි සමාගම මූල ධනය මෙන් සියයට 500 ගුණයක ලාභයක් ලබද්දී පාඩුව සිදුව ඇත්තේ රජයට හෙවත් අපටය. විදුලි ගාස්තුව ලෙස අප ඉදිරි කාලයේ දී ගෙවිය යුතු මිලට රජය ලැබූ පාඩු ඇතුළත් නොවේ යැයි කාට නම් සහතිකයක් දිය හැකිද?
රජයට සිදුවන පාඩුවේ හිලව්වට ලාබ ලබා ඇත්තේ කවුරුන් දැයි මෙම විගණන වාර්තාවෙන් පැහැදිලිව හෙළි කර තිබේ. විදුලිබල මණ්ඩලය, රජයේ ප්‍රතිපත්තිවලට කැබිනට් තීරණවලට හා පොදුජන සුබසිද්ධියට අනුකූල නොවන අයුරින් ක්‍රියා කිරීම පිළිබඳ අවස්ථා ගණනාවක දී දෝෂදර්ශනයට ලක්වූ රාජ්‍ය ආයතනයකි.
රජයේ ප්‍රතිපත්තිවලට කැබිනට් මණ්ඩල තීරණවලට අනුකූලව ලංවිම කටයුතු නොකරන කල්හි, එවැනි අවස්ථාවල රජයට හෙවත් පාරිභෝගිකයාට සිදුවන පාඩුව වෙනුවෙන් වගකියන්නෝ කවරහු ද? ඊට වගකිව යුත්තන් නීතිය ඉදිරියට ගෙන ආ යුතුමය.
(***)