විදුලිබල මණ්ඩලය වෙනස් විය යුත්තේ ඇයි?


විදුලි බිල වැඩි කිරීම හැර මණ්ඩලය රැක ගැනීමට ගතහැකි වෙනත් ක්‍රියා මාර්ගයක් නොතිබූ බව විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබිණි. මහජනතාවට එය විශාල බරක් වුව ද එම බර දරා ගත යුතු වන බව ද අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සඳහන් විය.

නාස්තිකාරී විදුලි බලාගාර, නුසුදුසු දේශපාලන ප්‍රතිපත්ති සහ කාලානුරූපව කළ යුතුව තිබූ ගාස්තු වැඩි කිරීම් සිදු නොවීමත් මෙවර විශාල ලෙස බිල වැඩිවීමට හේතු වූ බවත් ඔහු පෙන්වා දී තිබිණි.

වැඩි වූ ගාස්තු ඇතුළත් විදුලි බිල අතැතිව සිටින ජනතාවට මේ කරුණු දැක්වීම්වලින් පලක් නැත. නාස්තිකාර බලාගාර ආරම්භ කළේ ජනතාව නොවේ. ඔවුන් කළ ලොකුම වරද දැන හෝ නොදැන නුසුදුසු පුද්ගලයන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවීමය. ඔවුන් පසුගිය දශක කිහිපය තිස්සෙම ජනතාවට අවශ්‍ය පරිදි තීන්දු ගත් බවක් පෙනෙන්නට නැත.

බලයට පත් බොහොමයක් ආණ්ඩු කර ඇත්තේ විදුලිබල මණ්ඩලය ඇතුළේ ක්‍රියාත්මකව පවතින වෘත්තීය සමිති මාෆියාව සමග එක් වෙමින් ඔවුන් සතුටු කිරීමට අවශ්‍ය තීන්දු ගැනීමය. මේ සතුටු කිරීම්වලින් ඇමතිවරුන්ගේ සාක්කු පිරෙන අතර මණ්ඩලය වසරින් වසර ලබන පාඩුව වැඩි වී ඇති බව පැහැදිලිය. මේ පාඩුව පොලියත් සමඟ අද වැටී තිබෙන්නේ මිලියන 7.8ක් වන පාරිභෝගිකයාගේ කර මතටය.

මණ්ඩලය මේ වනවිට පෞද්ගලික බලාගාරවලට බිලියන 76.8ක් ද, පුනර්ජනනීය බලශක්ති සඳහා බිලියන 29ක් ද තෙල් සංස්ථාවට බිලියන 31ක් ද ගෙවීමට තිබෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි. මේ ණය මෙතරම් ගොඩගැසෙන තුරු හිටපු ආණ්ඩු මොන කෙන්ගෙඩියක් කළා ද යන්න ජනතාවට තිබෙන ගැටලු‍වය. කාංචන විජේසේකර අමාත්‍යවරයා ද එම ආණ්ඩුවල සාමාජිකයෙක්ව සිටි බව ද මෙහිදී සිහිපත් කර දිය යුතුය.

මේ තරම් ණය කාන්දරාවක් ගෙවීමට තිබුණත් මණ්ඩලයේ වැටුප්  වැඩිවීම්, බෝනස් ගෙවීම්, සියලු‍ අමතර දීමනා ගෙවීම් අඩුවක් වී නැත. රටේ ජනතාව විසින් මේ සියලු‍ බර දරා සිටින බව යථාර්ථයයි. විදුලිබල මණ්ඩලයේ සේවක සංඛ්‍යාව ද වෙනත් බොහොමයක් පාඩු ලබන රාජ්‍ය ආයතනවල මෙන්ම අතිරික්තයකින් යුතු බව ද සඳහන් විය.

මෙවැනි ආයතනවල සේවක සංඛ්‍යාවෙන් අඩක් පමණ සිටීම ප්‍රමාණවත් වුවද බලයේ සිටින ආණ්ඩු තම හෙන්චයියන් සහ ආධාරකරුවන්ට රැකියා සපයන මධ්‍යස්ථාන බවට මේවා පත් කරගෙන තිබීම ද ඒවා විනාශ මුඛයට ඇද දැමීමට හේතුවකි.

විදුලි බල මණ්ඩලයේ කොතරම් සේවකයන් සිටියත් එහි ඇතැම් සේවා සැපයීම බාහිර කොන්ත්‍රාත්කරුවන්ට පවරා තිබීම ද මහජන මුදල් නාස්ති කිරීමකි.

විදුලි බල මණ්ඩලයට විදුලිය සපයන පෞද්ගලික බලාගාර සහ බාහිර සේවා සපයන ආයතනවල සැබෑ අයිතිකරුවන් පසුපස සිටින ඉතා බලවත් දේශපාලන චරිත සහ මණ්ඩලයේ හිටපු සහ සිටින නිලධාරීන් පිරිසක් විසින් මෙහෙය වන විදුලි මාෆියාව විසින් විදුලි පාරිභෝගිකයන් අද කර මුලටම තද කරනු ලැබ තිබෙන බව යථාර්ථයයි. වත්මන් විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර මහතාට සටන් කිරීමට සිදුව ඇත්තේ එම මාෆියාව සමඟිනි. ඔහු පාර් ලිමේන්තුවේ දී කළ කතාවෙන් පැහැදිලි වූයේ එම අභියෝගය ජය ගැනීමට ඔහු තුළ සබෑ වුවමනාවක් තිබෙන බවය.

ඒ සඳහා ඇත්තේ එකම මාර්ගයක් පමණි. එනම් විදුලි බල මණ්ඩලය පූර්ණ ප්‍රති ව්‍යුහකරණයකට ලක්කර එය ලාබ ලබන රාජ්‍ය නොවන ආයතනයක් බවට පත් කිරීමය. එසේම ලොවේ බොහොමයක් රටවල් කරන පරිදි තරගකාරීත්වයකට ඉඩ සලසමින් තවත් විදුලි සමාගම්වලට ඉඩ දීමය.

එවිට පාරිභෝගිකයන්ට තමන් කැමති මිලකට විදුලිය මිල දී ගැනීමට ඉඩ සැලසෙනු ඇත. එවැනි රටවල පාරිභෝගිකයන්ට විදුලිය සපයනු ලබන්නේ එකම පද්ධතියක් තුළ වුවද තමන් මිල දී ගත යුත්තේ කුමන සමාගමකින් ද යන තීරණය ගත යුත්තේ පාරිභෝගිකයා විසිනි. තරගකාරී පදනමකින් විදුලිය උත්පාදනය කර බෙදාහරින බැවින් විදුලිබිල කැමති පරිදි ඉහළ දැමීමට කිසිදු සමාගමකට හැකියාවක් නැත. ඔවුන් කරන්නේ ලාබ ලබන ව්‍යාපාරයක් බැවිනි.

එහෙත් ලංකාවේ තත්ත්වය එසේ නොවේ. විදුලිබල මණ්ඩලය රජයේ ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යයි. දේශපාලන වාසි අවාසි මත බොහෝ තීරණ ගන්නා බැවින් හැකි තරම් කාලයක් විදුලි බිල ඉහළ නොදමා සිටීම රජයේ ප්‍රතිපත්තිය වී තිබේ.

එහෙත් මණ්ඩලයේ සේවක වැටුප් වාර්ෂිකව වැඩි වෙයි. ඒ අනුව බෝනස් ඇතුළු දීමනා ද වැඩි කෙරේ. පාඩු ලැබීම වැඩි වී මණ්ඩලය තවදුරටත් ගෙන යා නොහැකි මට්ටමට පැමිණි පසු මණ්ඩලය යෝජනා කළේ සියයට 229කින් බිල වැඩි කළ යුතු බවය. එය දැන් සියයට 79කට සීමා වී තිබේ. 

මෙතෙක් කල් සිටි ආණ්ඩුත් විදුලිබල මණ්ඩලයත් සිදුකළ වැරැදිවලට අද වන්දි ගෙවීමට සිදුවී ඇත්තේ පාරිභෝගිකයන්ටය. මණ්ඩලය ප්‍රතිව්‍යුහකරණයට ලක් කිරීම හැර මේ පීඩනයෙන් ජනතාව මුදාගැනීමට වෙනත් ක්‍රමවේදයක් නැත.

(***)