ජලාශවලට ප්‍රමාණවත් වැසි ලැබී ඇති නිසා විදුලි බලය කපා හැරීම සීමා කළ හැකිය යන පුවත අගෝ. 15 වැනි දින පුවත්පත්වල පළ වුවද එදිනම නොරොච්චෝලේ කඩාවැටුණු නිසා විදුලි බලය කපා හැරීම පැය තුනකට දීර්ඝ කරන බව 16 වැනිදා පුවත්පත්වල පළ විය.
සාමාන්‍යයෙන් නවීන තාක්‍ෂණයට වඩා කාලගුණය අවිනිශ්චිතය. එහෙත් කාලගුණයටත් වඩා අප යොදා ගන්නා තාක්‍ෂණය අවිනිශ්චිත වී තිබේ. තාක්‍ෂණයටත් වඩා අපගේ විදුලි අර්බුදයට හේතු වී ඇත්තේ විදුලිබල උත්පාදනයට යොදා ගන්නේ ෆොසිල ඉන්ධන ද නැතහොත් ස්වාභාවික බලශක්ති මූලාශ්‍ර ද යන ප්‍රශ්නයයි. විදේශ සංචිත හිඟවීම හේතුවෙන් ෆොසිල ඉන්ධන කලට වේලාවට සපයා ගැනීමට නොහැකි වූ නිසා මේ වසරේ මුලින්ම විදුලිය කැපීම ඇරඹිණි. ඒ ජලාශවලට ප්‍රමාණවත් වැසි නොලැබුණු මාසවලදීය.
ෆොසිල ඉන්ධන දහනයෙන් විදුලි බලය උත්පාදනය කිරීමේදී වැයවන මුදලට වඩා ජලය, සුළං හා හිරු එළිය භාවිතයෙන් විදුලිය නිපදවීමේදී වැයවන වියදම ඉතා අඩුය. ඒ සඳහා විදේශ විනිමය වැය වන්නේ යොදා ගන්නා තාක්‍ෂණයට මිස ශක්ති මූලාශ්‍රයට නොවේ. මහා පරිමාණයෙන් ජල විදුලිය උත්පාදනයේදී විදුලි ඒකකයකට වැයවෙන මුදල සාමාන්‍යයෙන් රුපියල් 6කි.
දැනට පවතින තත්ත්වය අනුව සුළං බලයෙන් නිපදවන විදුලි ඒකකයට රුපියල් 16ක් වැයවන බවත් සූර්ය විදුලි ඒකකයට රුපියල් 24 බැගින් වැය වන බවත් ඒ පිළිබඳ විශේෂඥ දැනුම ඇත්තෝ වාර්තා කළහ. ඊට සාපේක්‍ෂව ගල්අඟුරුවලින් නිපදවන විදුලි ඒකකයකට රුපියල් 40ක් බැගින් වැයවන අතර ඩීසල් මගින් විදුලිය නිපදවීමේදී ඒකකයකට යන වියදම රුපියල් 60 සිට 120 දක්වා වැඩි වේ.
වැයවන මිල ගණන් සසඳා බැලූ විට විදුලි අර්බුදයට කළ යුතු පිළියම ඉතා පැහැදිලිය. එහෙත් 2018 පටන්, සුළං, සූර්ය බල හා කුඩා පරිමාණ ජල විදුලි ව්‍යාපෘති උදෙසා ඉදිරිපත් වූ ආයෝජකයන්ට අවසර නොලැබුණේය. එසේ සිදු වූයේ අප ෆොසිල ඉන්ධන දහනය මගින් බලශක්තිය නිපදවීම මීළඟ දශකය තුළ අවම කරන්නට ලෝකයාට පොරොන්දු වී තිබියදීය. අපගේ ජාතික ප්‍රතිපත්තිවල එම ඉලක්කය අන්තර්ගත විය.
ගල්අඟුරු සඳහා වැය කරන වියදම්, ලෝක වෙළඳපොළේ ගල් අඟුරු මිල දෙගුණයකින් පමණ ඉහළ යාම නිසා පසුගිය දෙවසර තුළ දෙගුණ වී තිබේ. රුසියා - යුක්රේන යුද්ධය නිසා වෙනත් ඉන්ධන මිලද ඉහළ ගියේය. රටේ අභ්‍යන්තර පරිපාලනයේ දුර්වලතා නිසා විදේශ සංචිත පතුලටම සිඳී ගියේ ඒ අව් අස්සේය. සියලු අනුවණකම්වල ප්‍රතිඵලවලට දැන් මුහුණ දෙන්නට සිදුව තිබේ. රටේ ජනතාව දිනකට පැය කිහිපයක් අඳුරේ ගිලෙමින් අඳුරටත්, අඳුරේ ඉන්නට සැලැස්වූ උදවියටත් ශාප කරති.
අඳුරට ශාප නොකර එක පහනක් හෝ දැල්විය යුතු බැවින් දැන් මීට පෙර කළ අනුවණකම්වලින් මිදෙන්නට කාලය පැමිණ තිබේ. ඒ සඳහා දැනටමත් රජය පියවර කිහිපයක් ගෙන තිබීම සතුටට කරුණකි. සුළං හා සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා අවසර දීමට රජය පියවර ගෙන තිබේ.
එසේම විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ මූලික පියවර ගැනීම් උදෙසා යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කර තිබේ. විදුලි බල මණ්ඩලය හේතු කිහිපයක් නිසා විදුලි ගාස්තු ඔස්සේ ජනතාව පිට පටවන බර වැඩි වුවද ඒ සඳහා ප්‍රධානම හේතුව වී ඇත්තේ ෆොසිල ඉන්ධන සඳහා වැය කරන පිරිවැය වැඩි වීමය. එම නිසා බලශක්ති මූලාශ්‍රය වෙනස් කිරීමට වැඩි බර යෙදිය යුතුය.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම, ආසාධාරණ ලෙස මහජනතාවට පිරිවැය, බර පැටවීමට ඉඩ නොදිය යුතුය. ෆොසිල ඉන්ධන සපයා ගැනීමේදී යම් අක්‍රමිකතා සිදුවී ඇත්නම් එහි මිල පාරිභෝගිකයන් දැරීමද සාධාරණ නොවේ. එසේම විදුලි බල මණ්ඩලයේ අකාර්යක්‍ෂම කළමනාකරණය නිසා වැයවෙන අමතර පිරිවැය ජනතාව පිට පැටවීමද අසාධාරණය. ඒවා ඉදිරියේදී නිවැරැදි විය යුතුය.
විදුලි බලය නිපදවීම උදෙසා ඉන්ධන ආනයනයට අප දිගින් දිගටම විදේශ විනිමය වැය කිරීම මෙහි ඇති පළමු අනුවණකමයි. අපේ රටට ප්‍රමාණවත් ඉර එළිය (විශේෂයෙන් වියළි කලාපයේ) වසර පුරා ලැබේ. ඉන්දියාවේ දක්‍ෂිණ කඳු සහ අපගේ මධ්‍යම කඳුකරය අතරින් හමා යන සුළං ධාරාවේ ආශිර්වාදය අපට හිමිව තිබේ.
ඒවා උපයෝගි කර ගන්නට අප සතුව තාක්‍ෂණ සහ මූල ධනය නැත්නම් කළ යුත්තේ තාක්‍ෂණය සහ ප්‍රාග්ධනය ඇති රටකින් ඒවා ලබාගෙන එම ස්වාභාවික සම්පත් උපයෝගි කර ගැනීමයි. ඒ සඳහා (දැනට අඳුරට ශාප කරමින් සිටිනා) රටේ ජනතාවගේ ආකල්පමය වෙනසක් ද ඇති විය යුතුය.
ඉන්දියානු සමාගමක් හා එක්ව රජය සුළං බලය ඔස්සේ, මෙගාවොට් 500ක විදුලි බල උත්පාදනයකට අවසර දී ඇති බව අසන්නට ලැබිණි. අප රටට අවශ්‍ය විදුලි බලය මෙන් සිය වාරයක් විදුලිය නිපදවීමේ විභවතාව ඉන්දියාවත්, ශ්‍රී ලංකාවත් අතරින් හමා යන සුළං ධාරාවේ පවතින බව විශේෂඥයෝ කියති. එය මෙරට ඉදිරි සංවර්ධන සැලසුම්වලට ද උපරිම අයුරින් ඉවහල් කරගත යුතුය.
(***)