විදුලිය නාස්ති බර ජනතාව පිට


විදුලි බල මණ්ඩලයේ ශේෂ පත්‍රයට අනුව 2022 දෙසැම්බර් 21 වැනිදා වනවිට විදුලි පාරිභෝගිකයන් අවුරුද්දක් තිස්සේ නොගෙවන මුදල රුපියල් මිලියන 46,350 කි. ඉන් රුපියල් මිලියන 21,611 ක් අය විය යුතුව තිබෙන්නේ තොග ගැනුම්කරුවන්ගෙනි. සිල්ලර ගැනුම්කරුවන්ගෙන්, එනම් ට්‍රාන්ස්පෝමරයක් නැතිව විදුලිය සපයා ගන්නා පාරිභෝගිකයන්ගෙන් අය විය යුතුව තිබෙන මුදල රුපියල් මිලියන 24,739 කි.

බිල් නොගෙවීම නිසා මණ්ඩලය සතු දේපළ එනම් මීටර් යනාදිය ඉවත්කරගත් විදුලි පාරිභෝගිකයන් මණ්ඩලයට තබා තිබෙන පොලුවල එකතුව රුපියල් මිලියන 2,281 කි.

ඒ අතරින් සිල්ලර ගැනුම්කරුවන් තබා තිබෙන පොලුවල එකතුව රුපියල් මිලියන 1,792 කි. තොග ගැනුම්කරුවන්  මණ්ඩලයට තබා තිබෙන පොලුවල වටිනාකමේ එකතුව රුපියල් මිලියන 489 කි.

අවුරුද්දක් තිස්සේ නොගෙවන මුදල වන රුපියල් මිලියන 46,350 න් යම් ප්‍රමාණයක් අය විය හැකිය. නැතහොත් යම් පාරිභෝගිකයන් පිරිසක් යම් මුදල් ප්‍රමාණයක් ගෙවීමට ඉඩ තිබේ. ඒ තමන්ට අඛණ්ඩව විදුලිය සපයා ගැනීමේ අවශ්‍යතාව තිබෙන නිසාය.

එහෙත් බිල් නොගෙවීම නිසා මීටර් යනාදිය ඉවත් කරගත් විදුලි පාරිභෝගිකයන් ගෙවිය යුතුව තිබෙන රුපියල් මිලියන 2,281 න් ශතයක් වත් අයවේදැයි ඇත්තේ බරපතළ සැකයකි. ඒ රුපියල් මිලියන 2,281 අය කරගැනීමට මණ්ඩලය පැත්තෙන් යම් සාධණීය පියවරක් ගන්නා බවක් ද අපට නොපෙනෙයි.

අවුරුද්දක් තිස්සේ නොගෙවන මුදල සහ පොලු ලෙස තබා ඇති මුදල යන දෙකෙහි එකතුව රුපියල් මිලියන48,631 කි. නිසි කාලයේ දී නිසි ලෙස ඒ මුදල් අය කර නෙගැනීමේ වගකීම පළමුව පැවැරෙන්නේ රට පුරා සිටින ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවන් 65 දෙනා වෙතය. අනතුරුව ඔවුන් මාර්ගයෙන් ඒ මුදල එකතු කර ගැනීමට අවශ්‍ය පියවර නොගැනීමේ වගකීම රට පුරා තිබෙන බෙදා හැරීමේ කලාප හතර භාරවර සිටින නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් 15 දෙනා සහ අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් හතර දෙනා මත පැවරෙයි.

විදුලිය සැපයීම වෙනුවෙන් මණ්ඩලයට අය විය යුතු ඒ විශාල මුදල අයකර ගැනීමට ඒ ප්‍රාදේශීය ඉංජිනේරුවන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් සහ අතිරේක සාමාන්‍යධිකාරිවරුන් ලෙස කටයුතු කරන ඉංජිනේරුවන් 84 දෙනාගේ වගකීමකි. එය ඔවුන්ට පැවරී තිබෙන රාජකාරීමය වගකීමකි. එය අත්හළ නොහැකිය. එහෙත් ඔවුහු ඒ රාජකාරිය වගකීම ඉටු නොකරති. ඒ වගකීම් ඉටු නොකළාය කියා ඔවුන්ට කිසිදු දඬුවමක් නොලැබෙයි. වැටුප් වර්ධක, උසස්වීම සහ වෙනත් වරප්‍රසාද සියල්ල බාධාවකින් තොරව ලැබෙයි.

මණ්ඩලයට අනිවාර්යයෙන්ම ලැබිය යුතු රුපියල් මිලියන 48,631 ක් හෙවත් රුපියල් කෝටි 4,863 ක් අය කර ගැනීමට කිසිදු පියවරක් නොගෙන අසාධාරණ ලෙස විදුලි ගාස්තු යළිත් වැඩි කිරීමට සැරසෙයි. තමන්ට ලැබිය යුතු හිමිවිය යුතු රුපියල් කෝටි 4,863 ක් අය කර ගැනීමට පියවර නොගැනීමෙන් මණ්ඩලයේ කළමනාකරණයේ සහ පරිපාලනයේ පවතින කාර්යක්ෂමතාව රටට මැනවින් ප්‍රදර්ශනය වෙයි.

ලංවීම කළමනාකරණයේ සහ පරිපාලනයේ ව්‍යුහාත්මක වෙනසක් ඉතා ඉක්මනින් අනිවාර්යයෙන්ම  වියයුතු බවට අප දිගු කාලයක සිට හඬ නගන්නේ මේ නිසාය. අප අපේක්ෂා කරන වෙනස නිසි පරිදි සිදු වුවහොත් මණ්ඩලයේ දැට පවතින අකාර්යක්ෂමතා සේම දූෂණය හා නාස්තිය ද අවම කරගත හැකි බව අපේ විශ්වාසයයි.

මණ්ඩලයේ පවතින ඒ අකාර්යක්ෂමතා සේම දූෂණය හා නාස්තිය අවම කරගැනීමට නිසි පියවරක් ගන්නා බවත් අපට නොපෙනෙයි. කළ යුතු කිසිවක් නොකර ශේෂ පත්‍රය තුලනය කරගන්න කියමින් දූෂණයේ නාස්තියේ සහ අකාර්යක්ෂමතාවේ බර විදුලි ගාස්තු වැඩිකිරීම මගින් විදුලි පාරිභෝගිකයන් මත පැටවීමට දඟලයි.

අප කියන්නේ ලංවිම කළමනාකරණයේ සහ පරිපාලනයේ පවතින ප්‍රශ්නවලට වහා විසඳුම් දිය යුතු බවය, පිළියම් කළ යුතු බවය. එය ආරම්භ කළ  හැක්කේ ලංවිම කටයුතු සම්බන්ධයෙන් පූර්ණ විගණනයක් කිරීමෙනි. පූර්ණ විගණනයක දී ප්‍රශ්න පවතින්නේ ජනනයේද, සම්ප්‍රේෂණයේද, බෙදාහැරීමේද කියා මැනවින් අවබෝධකර ගත හැකිය. එසේම සේවකයන්ගේ සහ නිලධාරින්ගේ කාර්යක්ෂමතාව හා ඵලදායිතාවද එමගින් රටට හෙළිවෙයි. එසේම මණ්ඩලය සතු මානව හා භෞතික සම්පත් නිසිලෙස උපයෝජනය කරගන්නවාද? යනාදී තොරතුරුද පූර්ණ විගණනයකින් හෙළිකර ගැනීමට හැකිවෙයි.

අප මේ කියන විගණනය ඉල්ලා සිටින්නේ අප පමණක් නොවේ. එය මණ්‍ඩලයේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට පත්කළ විශේෂඥ කමිටු කිහිපයකම නිර්දේශයක් ද වෙයි. ඒ කමිටු පත් කළේ රට පුරා විදුලි බිඳ වැටීම් සිදුවීමෙන් අනතුරුවය. වසර 2015 අවස්ථා දෙකකදීත් 2016 දීසේම 2020 දී සහ 2021 දෙසැම්බරයේ දීත් රට පුරා විදුලිය බිඳ වැටුණු හැටි අපට මතකය. ඒ සෑම අවස්ථාවකදීම පත් කළ සෑම විශේෂඥ කමිටුවක්ම නිර්දේශ කළේ විදුලිය ලබාගන්නා ප්‍රමුඛතා පිළිවෙළ හෙවත් මෙරිට් ඕඩර් (Merit Order) පිළිබඳව විගණනයක් කළ යුතු බවය.

විදුලිය නිෂ්පාදනය සඳහා ප්‍රමුඛතාව දිය යුත්තේ අඩුම වියදම් බලාගාරවලටය. පළමුවෙන්ම අඩුම වියදමක් යන්නේ ජලයෙන් විදුලිය නිපදවීමටය. ජලවිදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපයල් 2.76 කි. සුළං හා සූර්ය විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 18.96 කි. ගල් අඟුරුවලින් විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 47.91 ක් වැය වෙයි. තෙල්වලින් විදුලි ඒකකයක් නිපදවිමට රුපියල් 87.80 ක් පිච්චෙයි. ප්‍රමුඛතා පිළිවෙළ අනුව වතුර තියෙද්දී ගල් අඟුරු සහ තෙල්වලින් විදුලිය නිෂ්පාදනය කිරීම් අපරාධයකි.

2015 සිට 2021 දක්වා පත් කළ ඉහත කී විශේෂඥ කමිටු සියල්ල විදුලිය ලබාගන්නා ප්‍රමුඛතා පිළිවෙළ පිළිබඳව ස්වාධීන විගණනයක් කරන්නැයි නිර්දේශ කළත් 2015 සිට අද වනතුරුත් ඒ නිර්දේශය ක්‍රියාත්මක නොකරයි. ඒ විගණනය නොකරන්නේ කුණු වසාගෙන සිටීමට තිබෙන බරපතළ අවශ්‍යතාව මත නොවේද? ඒ විගණනය නොකිරීම නිසා විදුලි ඉංජිනේරුවන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඕනෑම කෙනකුට ඇතිවන්නේ සාධාරණ සැකයකි.

වතුර තියෙද්දී ගල්අඟුරු සහ ඩීසල්වලින් විදුලිය නිෂ්පාදනය කළා ද කියා දැනගත හැක්කේ ඒ මෙරිට් ඕඩර් (Merit Order) විගණනය කළහොත් පමණකි. විශේෂඥ කමිටු ඒ විගණනය කරන්නැයි කියන්නේ 2015 සිටය. අද අප රටේ සිටින්නේ 2023 ය. එහෙත් ඒ විගණනය අදටත් නොකරයි. ඒ විගණනය නොකර වසා ගන්න හදන කුණු හා රහස් මොනවාද? ඒවා රටේ ජනතාව දැනගත යුතු නැද්ද? ඒ රහස් හෙළිවෙනවාට බය කව්ද? ඔවුන් එසේ බිය වන්නේ ඇයි? අපට තිබෙන ප්‍රශ්න ඒවාය.

මා ඉහතකී විශේෂඥකමිටු කළ තවත් යෝජනාවක් වන්නේ විදුලිය සපයා ගන්නා ක්‍රමය හා පිළිවෙළද විගණනය කළ යුතු බවය. එය ඩිස්පැඩ් ඔඩිට් (Dispatch Audit) නමින් හඳුන්වයි. කොළඹින් පිට තිබෙන පෞද්ගලික ඩීසල් බලාගාරයකින් විදුලිය ලබාගැනීමේ ගිවිසුම 2004 සිට 2014 දක්වාම ක්‍රියාත්මක වෙයි. ඒ බලාගාරයෙන් නිපදවන විදුලිය පද්ධතියට ගන්නේ මාස හයකට පමණක් බව මුලින් කී කතාවයි. එහෙත් එය අදටත් පද්ධතියේ පවතියි.

ඒවා තාක්ෂණයට මුවාවී කරන හොරකම්ය. ඩිස්පැච් ඕඩිට් කරන්නැයි කිව්වේ ඒ හොරකම් නැවැත්වීමටය. 2015 සිට ඒ විගණනය ද නොකරයි. රජය සතු බලාගාරවලින් විදුලිය ගැනීමට හැකියාව තිබිය දී පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදීගෙන තිබේද? සහ මිලිදී ගන්නේද? යන සැකය තහවුරු කරගත හැක්කේ විදුලිය සපාය ගන්න ක්‍රමය සහ පිළිවෙළ විගණනය කිරීමෙනි. එහෙත් ලංවීම සහ විදුලි අමාත්‍යාංශ ඉහළ කළමනාකරණය සහ පරිපාලනය ඒ විගණනයට ද දක්වන්නේ මාරාන්තික බියකි. ඒ බිය නිසා ඔවුන් දෙසටම ඇඟිල්ල දික් වෙයි.

ලංවීම හා අමාත්‍යාංශ ඉහළ කළමනාකරණයේ පවතින මාෆියා කල්ලි ගැන අප කතා කරන්නේ සහේතුකවය. ඒ කල්ලිවල සිටින්නෝ දේශපාලකයෝ සහ වෘත්තිකයෝය. 2019 විදුලි බල ඇමැති ලෙස සිටියේ රවි කරුණානායක මහත්මාය. 2019 ජනවාරි මුලදී විදුලි හිඟයක් ගැන ලොකු කතාවක් පැතිරෙයි. ජනවාරි 08 හෝ 09 වැනිදා කියන්නේ හිඟය මෙගාවොට් 100 ක් බවය. තුර්කි නැවක මෙගා වොට් 200 ක් නිෂ්පාදනය කළ හැක ජෙනරේටර්  තිබෙන බවට ලංකාවේ තුර්කි තානාපති කාර්යාලයෙන් ලියුමක් එළියට එයි. ඊට දවස් හතරකට පසුව පුවත්පත්වල පළවන දැන්වීම්වල සඳහන් වන්නේ මෙගාවොට් 200 ක් අවශ්‍ය බවය.

අනතුරුව තම රටේ සමාගමකින් එසේ විදුලිය මිලදී ගත හැකි බවට තුර්කි තානාපති කාර්යාලයෙන් තවත් ලියුමක් එළියට එයි. ඉන් අනතුරුව ලංකාවේ පත්තරවල පළවන දැන්වීම්වල සඳහන් වන්නේ සති දෙකක් ඇතුළත බලාගාර සහිත නැවක් සැපයිය යුතු බවය. ඒ දැන්වීමෙන් අනාවරණය වූයේ නැව එළියට දැම්මටත් පසුව ලංකාවේ පත්තරවල අර දැන්වීම පළවූ බවය. බලාගාර සහිත නැවක් සති දෙකක් ඇතුළත සැපයිය නොහැකි බව නොදන්නෝ කවරහු ද?

ටික දවසක් ගතවෙද්දී තුර්කි තානාපති කාර්යාලය තවත් කතාවක් කියයි. එය නම් තම රටේ සමාගමක් සතුව එවැනි නැව් දෙකක් තිබෙන බවය.

ඉන් පස්සේ අපේ විදුලිබල අමාත්‍යාංශය කියන්නේ හිඟය මෙගාවොට් 400 ක් බවය. ඒ මෙහෙයුමට එරෙහිව හරහට හිටියේ වාත්තිය සමිති සහ මහජන උපයෝගිතා කොමිසමය. මෙගාවොට් 400 ක් අවශ්‍ය වන්නේ කෙසේදැයි උපයෝගිතා කොමිසම ප්‍රශ්න කරයි. නැව වරායට පැමිණි පසු ඉන් නිපදවන විදුලිය ජාතික පද්ධතියට සම්බන්ධ කරන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් ද මතුවෙයි. පැවැති තත්ත්වය අනුව කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය යන වරාය තුනෙන්ම එය කළ නොහැකි බව හෙළිවෙයි.

මෙගාවොට් 200 ක් පද්ධතියට සම්බන්ධ කිරීම සාමාන්‍ය වයර් ඇදලා කළ නොහැකිය. කිලෝ මීටර් තුන හතරක් දිගට විශාල රැහැන් පද්ධතියක් ඉදිකිරීමට කාලයක් ගතවන බැවින් තුර්කි නැව්වලින් විදුලිය  මිලදී ගැනීමේ මෙහෙයුම ඇණ හිටියි. ඒ නැව්වලින් විදුලිය ගැනීමට නොහැකි වුවාට විදුලිය කැපිල්ලක්ද සිදු වෙයි. එපමණක් නොව අද වනතුරුත් ඒ තුර්කි නැව් පැමිණියේද නැත.

අප කියන්නේ දේශපාලකයන්ට තනියෙන් අත්පුඩි ගැසිය නොහැකි බවය. ජාවාරම්වලට අවශ්‍ය පරිසරය හා නීතිමය රැකවරණය වෘත්තිකයන් විසින් සකසා දෙනු ලබන බවය. ඔවුන් අතර අශුද්ධ සන්ධාන පවතින බවය. ජාවාරම්කාර ව්‍යාපාරිකයන් ඒ දෙපිරිස අතරට රිංගන බවය. ව්‍යාපාරිකයා අර දෙන්නාට සන්තෝසම් දී තම කූට අරමුණු ඉටු කරගන්නා බවය. රට අගාධයට යන්නේ මේ අශුද්ධ සන්ධානවල මගඩිවල මහිමයෙනි.

අසාධාරණ ලෙස යලිත් විදුලි ගාස්තු නැංවීමට කෙරෙන මෙහෙයුම් පිටුපස ද එවැනි අශුද්ධ සන්ධාන පැවැතිය හැකිය. රටේ ආර්ථිකයේ ඇතිවී තිබෙන හැකිළිම සහ 2022 අගෝස්තු 10 වැනිදා සිට ක්‍රියාත්මක වන ගාස්තු වැඩිවිම මත ගාහස්ත විදුලි පරිභෝජනය සියයට 10 කින් සහ කර්මාන්ත සහ ව්‍යාපාරවල විදුලි පරිභෝජනය සියයට. 16 කින් අඩුවී තිබේ. මේ 2023 දී විදුලි පරිභෝජනය තවත් අඩුවෙයි. එසේ වන්නේ ආර්ථිකයේ සිදුවන හැකිළීම සහ රටේ ජනතාව අතර දුප්පත්කම ඉහළ යන නිසාය. ගාස්තු වැඩි කළ යුත්තේ සාධාරණව හා යුක්ති සහගතවය. ලංවිම අකාර්යක්ෂමතාවේ දූෂණයේ හා නාස්තියේ බර ජනතාව මත පැටවීම අපරාධයකි.

සටහන - ගුණසිංහ හේරත්

විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ.ජී.යු. නිශාන්ත