විදුලියේ අඳුරු පැත්ත


බලශක්තිය ලෙස හැඳින්වෙන්නේ විදුලිය, පෙට්‍රෝලියම් ඉන්ධන සහ දැව ඉන්ධන යන ඒවා ය. විදුලිය අර්බුදයක් යන්න අර්ථ දැක්විය හැක්කේ ඉල්ලුමේ ප්‍රමාණයට සරිලන පරිදි සැපයුම සහතික කළ නොහැකි තත්ත්වයකට ය. සැපයුම ප්‍රමාණාත්මකව කළ හැකි වුවද විදුලිය සපයන ආයතනවල මුල්‍ය ගැටලු තිබෙන්නේ නම් එවැනි තත්ත්වයක්ද මම විදුලි අර්බුදයක් ලෙස හඳුන්වමි. අපේ විදුලි සැපයුමෙහි මේ අර්බුද දෙකම 1992 වසරේ සිට අඩුවැඩි වශයෙන් දක්නට ලැබිණි.

දිගුකාලීන විදුලි සැපයුම සඳහා සකස් කරන ජනන සැලැසුම් නිසි පරිදි ක්‍රියාත්මක නොකරන සන්දර්භයක විදුලි අර්බුදයෙහි පළමු පැතිකඩ එනම් ඉල්ලුමට සරිලන සැපයුම සහතික කළ නොහැකිවීමේ ප්‍රශ්නය පැන නගියි. ඉදිරි වසර විස්සක කාලය සඳහා විදුලිය ජනනය කළ යුත්තේ කෙසේද හා එසේ නිපදවන විදුලිය සම්ප්‍රේෂණය කිරීමට කවර සම්ප්‍රේෂණ මාර්ග යොදා ගත යුතුද යනාදී දේවල් ගැන විස්තර ජනන සැලැස්මෙහි හා ඊට අදාළ සම්ප්‍රේෂණ සැලැස්මෙහි අන්තර්ගතය.

මා දන්නා ආකාරයට මෙරටේ කිසිදු රාජ්‍ය ආයතනයකට එවැනි විසි අවුරුදු සැලැසුම් නොමැත.  මුල්ම විදුලි ජනන සැලැස්ම හඳුන්වා දුන්නේ 1984 වර්ෂයේ දී ය. එම පළමුවැනි සැලැස්ම ප්‍රකාරව 1987 වෙන විට ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත වූ ගල් අඟුරු බලාගාරයේ (පසුව සාම්පූර් බලාගාරය) අධ්‍යයන කටයුතු නිම කර 1992 වෙන විට එහි ඉදිකිරීම් අවසන් කර ක්‍රියාත්මක විය යුතුව තිබිණි. එහෙත් එය සිදු නොවිණි.

එනිසා විදුලි අර්බුදයේ ආරම්භය 1992 වසර වශයෙන් හැඳින්වීමෙහි වරදක් නැත. එම වසරේ විදුලිය කප්පාදුවකට ආසන්න තත්ත්වයක් තිබියදී ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් එවැන්නක් සිදු නොවිණි. 

ඉන්පසුව 1996 හා 2000/01 කාලපරිච්ඡේදවලදී දැඩි විදුලිය කප්පාදු කිරීම් සිදු විය. එහෙත් එම අවස්ථාවේදී වුව අඩු වියදම් සහිත ගල් අඟුරු බලාගාර ඉදිනොවුණි. ඒ වෙනුවට වැඩි පිරිවැයක් සහිත තෙල් බලාගාර ඉදිකෙරිණි. හදිසි මිලදී ගැනීම් හරහා බොහෝ අයට ආර්ථික වාසි අත් වෙන බව ප්‍රසිද්ධය.

රටේ මෙන්ම විදුලි බල මණ්ඩලයේ ආර්ථික පරිහානියට ඉවහල් වෙන ප්‍රධාන හේතුවක් වන්නේ මෙම හදිසි මිලදී ගැනීම් ය. ජනන සැලැසුම් මගින් යෝජනා වූ අඩු පිරිවැය සහිත බලාගාර ඉදිකිරීම කඩාකප්පල් කළෝ මේ රටේ දේශපාලනඥයෝය. එයින් සිදු වූයේ ඉතා ඉහළ වියදමක් දරා තෙල්වලින් විදුලිය නිෂ්පාදනය කිරීමය. මගේ ගණනය කිරීම් අනුව 1992 සිට විදුලි බල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දේශපාලනඥයන් ගත් අමනෝඥ තීන්දු හා තෙල්වලින් විදුලිය නිපදවීම හේතුවෙන් රටට ඇමෙරිකානු ඩොලර් බිලියන 13 ක පමණ මුදලක් අහිමි වී තිබේ. සමස්ත විදුලිය නිෂ්පාදනයෙන් සියයට 65 ක් පමණ ඉන්ධනවලින් නිපදවූ අවුරුදු තිබිණි. තෙල් නිපදවන මැදපෙරදිග රාජ්‍යයක වුව ඒ සා ප්‍රමාණයකින් තෙල්වලින් විදුලිය නිෂ්පාදනය කෙරෙන්නේ නැත. 2020 වසරේ මුළු විදුලිය නිෂ්පාදනයෙන් සියයට 27 ක් නිපදවූයේ පෙට්‍රෝලියම් ඉන්ධනවලිනි.

විදුලි බලාගාරයකට ආයෝජනයක් මෙන්ම ක්‍රියාත්මක කිරීමේ වියදමක් ද ඇත. ආයෝජනය ණය හා පොලිය හෝ මාසිකව ගෙවන කුලියක් හැටියට හෝ විදුලි ගිණුම්වල පිළිබිඹු වෙයි. කුඩා ජල විදුලි බලාගාර, සුළං බලාගාර සහ සූර්ය පැනල බලාගාරවලින් සමන්විත පුනර්ජනනීය බලශක්තියේ දී පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නා විදුලිය සඳහා ගෙවන්නේ ඒකකවලට පමණි. ආයෝජනය සඳහා ගෙවීමක් සිදු වෙන්නේ නැත. විදුලි බල මණ්ඩලයේ 2020 වසරට අදාළ සංඛ්‍යා ලේඛනවලට අනුව තාප බලශක්ති ප්‍රභව අතරින් ලාභදායීම බලශක්තිය වන ගල් අඟුරුවලින් නිපදවන විදුලිය ඒකකයක් සඳහා රුපියල් 6 ශත 78 ක මුදලක් වැය වී ඇත.

තෙල් බලාගාර අතුරින් අඩුම පිරිවැයකින් විදුලිය ඒකකයක් නිපදවා තිබෙන්නේ වරාය අභ්‍යන්තරයේ ඇති පාවෙන බලාගාරයෙනි. එයින් නිපදවා ඇති විදුලිය ඒකකයක් වෙනුවෙන් වැය වී තිබෙන්නේ රුපියල් 16 ශත 70 කි.

වැඩිම මුදලක් වැය කර තිබෙන්නේ හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගත් විදුලිය සඳහාය. ඒ අනුව එක් ඒකකයකට රුපියල් 28 ශත 40 ක් වැය වී තිබේ. පෞද්ගලික අංශය මගින් ක්‍රියාත්මක කරන කුඩා පුනර්ජනනීය බලශක්ති බලාගාරවලින් 2020 සමස්ත විදුලිය සැපයුමෙන් සියයට 12 ක් ආවරණය කෙරිණි. එම බලාගාර සමූහයේ විදුලිය ඒකකයක් ඔවුන් විදුලි බල මණ්ඩලයට අලෙවි කරන සාමාන්‍ය මිල සටහන් වන්නේ රුපියල් 17 ක් ලෙසය.  පුනර්ජනනීය බලශක්තිය කියන තරමටම ලාභදායක නොවන බව එයින් පෙනේ.

ඊට හේතුව විදුලිය ඒකකයක් සඳහා කරන ගෙවීම් වැඩි කර ගන්නා ආකාරය පෞද්ගලික අංශය හොඳින් දන්නා නිසාය. 2020 වසරේදී පෞද්ගලික අංශයේ කුඩා සුළං විදුලි බලාගාරවලින් විදුලිය ඒකකයක් මිලට ගෙන තිබෙන්නේ රුපියල් 23 කටය. නිවෙස්වල පියසි මත සවි කරන සූර්ය පැනලවලින් නිපදවන විදුලිය ඒකකයක් මිලට ගෙන ඇත්තේ රුපියල් 22 කටය.

විදුලි බල මණ්ඩලය සතු ඇතැම් මහා පරිමාණ ජල විදුලි බලාගාර ඉදි කිරීමට ගත් ණය තවම ගෙවීම සිදු වෙයි. එසේම ඒවායෙහි නඩත්තු වියදම් ද ඇත. ඊට අමතරව මණ්ඩලය සතු තාප බලාගාර වෙනුවෙන්ද නඩත්තු වියදම් දැරීමට සිදු වෙයි. එම සියලු බලාගාරවලින් නිපදවන විදුලිය ඒකකයක් සඳහා වැය වෙන වියදම සාමාන්‍යයක් හැටියට රුපියල් 3 ශත 50 කි. මේ වියදම ද පෙර කී විදුලි ඒකක මිල ගණන්වලට එකතු විය යුතුය. මෙහි දැක්වූයේ විදුලිය නිෂ්පාදන වියදම්ය.

දෙවනුව නිපදවන විදුලිය බෙදා හැරීම් පද්ධති වෙත සම්ප්‍රේෂණය කළ යුතුය. එහි දී ද ආයෝජනයක් හා නඩත්තු වියදමක් අන්තර්ගතය. එම අගය සාමාන්‍යයක් ලෙස ගතහොත් එක් විදුලිය ඒකකයකට ශත 85 ක් වැනි සුළු මුදලකි. විදුලිය බෙදාහැරීම් පද්ධති ඔස්සේ පාරිභෝගිකයා වෙත ගෙන යෑමට ද වියදමක් වැය වෙයි. ඊට අවශ්‍ය යාන වාහන ඇතුළු භෞතික සම්පත්වලට මෙන්ම මානව සම්පතට ද මුදල් වැය කළ යුතු වෙයි. බෙදාහැරීම සඳහා එක් ඒකකයක් වෙනුවෙන් රුපියල් 3 ශත 50 ක් දැරීමට සිදු වෙයි.

මේ සියලු වියදම් එකතු කළ විට 2020 දී විදුලිය ඒකකයක් නිෂ්පාදනය කර පාරිභෝගිකයා වෙත ළඟාවීමට රුපියල් 22 ක පමණ මුදලක් වැය වී තිබේ. එහෙත් එම වසරේදී විදුලිය ඒකකයක් අලෙවි කර තිබෙන්නේ රුපියල් 17 කටය. විදුලි බල පනත ප්‍රකාරව විදුලිය ඒකකයක් නිපදවීමට වැය වූ මිල ගණන් විමසා අලෙවි කළ යුතු මිල තීරණය කරන්නේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවය. කෙසේ වෙතත් ලංකාවේ එම මිල ගණන් තීරණය කරන්නේ දේශපාලනඥයා ය.

පනත අනුව විදුලිය ඒකකයක් අලෙවි කරන මිල සම්බන්ධයෙන් මැදිහත්වීමට දේශපාලනඥයන්ට හැකියාවක් නැත. ප්‍රශ්නය තිබෙන්නේ නිපදවීමට වැය වූ මුදලට වඩා අඩු මුදලකට විදුලිය අලෙවි කිරීමෙහි ය. විදුලි බල මණ්ඩලය පාඩු ලැබූවද එහි සේවකයන්ගේ වැටුප් වැඩි වීම් සිදු වෙයි. අනෙක් කාරණය නම් රාජ්‍ය ආයතනයක් පාඩු පිට දුවන විට එහි සේවකයන් සොරකම් කිරීමට බිය නොවීම ය.

සෑම මනුෂ්‍ය ක්‍රියාකාරකමකින්ම පරිසරයට බලපෑමක් ඇති වෙන පරිද්දෙන් ගල් අඟුරු බලාගාරවලින්ද පරිසරයට යම් ආකාරයක බලපෑමක් මතු වෙයි. එම බලපෑම හානියක් වෙන තැනට වර්ධනයවීම වැළැක්වීමට වග බලා ගැනීම අපගේ වගකීමයි. ලෝකයේ විදුලිය නිෂ්පාදනයෙන් සියයට 60 ක් නිපදවෙන්නේ ගල් අඟුරුවලිනි. එහෙත් ලෝකය උත්කර්ෂයට නගන්නේ වැඩියෙන් පුනර්ජනනීය බලාගාර ඉදිකිරීම යහපත් බවටය.

ඉන්දියාව ද එසේය. කෙසේ වෙතත් ඉන්දියාව මේ අවස්ථාව වෙන විටත් තුත්තුකුඩිය ප්‍රදේශයේ නොරොච්චෝල බලාගාරය මෙන් තුන් ගුණයක් විශාල ගල් අඟුරු බලාගාරයක් ඉදි කරමින් සිටියි.

හේතුව ඉතා අඩු පිරිවැයකින් විදුලිය නිපවීමට ඇති හොඳම බලශක්ති ප්‍රභවය ගල් අඟුරු නිසා ය. විදුලිය නිෂ්පාදනය සිදු විය යුත්තේ සෑම බලශක්ති ප්‍රභවයකම සංකලනයකිනි. මේ තත්ත්වය මතු පිටින් පමණක් විමසන අපේ දේශපාලනඥයන් සිතන්නේ ද පුනර්ජනනීය බලශක්ති බලාගාර පමණක් ඉදි කළ යුතුය කියාය. ඉන්දියාවේ මතු නොව චීනය බංග්ලාදේශය යන රටවල ද මේ වෙන විට ගල් අඟුරු බලාගාර ඉදි වෙමින් පවතියි. එහෙත් බටහිර රටවල් දැන් ගල් අඟුරුවලින් ඈත් වෙමින් ස්වාභාවික වායු මගින් විදුලිය උත්පාදනය සඳහා යොමු වී තිබේ. එහෙත් එම රටවල් ඉතා අධික වශයෙන් ගල් අඟුරු භාවිත කරමින් විදුලිය නිපදවූ අතර එයින් සිය ආර්ථිකයන් ද ශක්තිමත් කර ගත්තේය.

අධික ගල් අඟුරු භාවිතය හේතුවෙන් වායුගෝලයට අධික පරිමාවකින් කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක්ද නිකුත් කර ඇත. කෙසේ වෙතත් එම රටවල් සෙසු රටවලට උපදෙස් දෙන්නේ ගල් අඟුරු බලාගාර ඉදි නොකරන ලෙසත් එයින් විශාල පාරිසරික හානියක් සිදු වෙන බවත්ය. එය කිසිසේත්ම පිළිගත හැකි කාරණයක් නොවේ.

ලංකාවේ ඒක පුද්ගල කාබන්ඩයොක්සයිඩ් විමෝචනය ඇමෙරිකාවේ ප්‍රමාණයෙන් දහයෙන් පංගුවකි. එසේම ලංකාවේ වාර්ෂික ඒකපුද්ගල විදුලි පරිභෝජනය ඒකක 700 කි. නොර්වේ රාජ්‍යයේ ඒකපුද්ගල විදුලි පරිභෝජනය ඒකක 25000 කි. කැනඩාවේ 20000 කි. ඇමෙරිකාවේ 14000 කි. මැදපෙරදිග රටවල 10000 ක් පමණ වෙයි. ඉන්දියාව 1100 කි.

විදුලි පරිභෝජනය සංරක්ෂණය හා විදුලිය නිෂ්පාදනයේදී සිදුවෙන පාරිසරික හානි අවම කිරීමට පියවර ගත යුත්තේ ලංකාව ද එසේත් නැත්නම් ලංකාව මෙන් විසි තිස් ගුණයක් වැඩියෙන් විදුලිය පරිභෝජනය කරන හා නාස්ති කරන රටවල් ද යන්න ඉහත සංඛ්‍යා දත්තවලින් පැහැදිලි වෙයි.
සාම්පූර් බලාගාරය ඉදි නොවීම ද අද අප මුහුණදෙමින් සිටින විදුලි අර්බුදයේ එක් නිමිත්තකි. වර්ෂ 2010 පමණ වෙන විට ඉන්දියාවෙන් ලැබුණු යෝජනාවකින් කියැවුණේ ත්‍රිකුණාමලය සාම්පූර් ප්‍රදේශයේ බලාගාරයක් ඉදි කරන්නේ නම් ඊට ආයෝජනය කිරීමට ඔවුන් සූදානම් බවය. අදාළ යෝජනාවට එවක බලයේ සිටි ආණ්ඩුව කැමති වූයේය.

ඒ භූ දේශපාලනික යථාර්ථයක් උඩය. එනම් එවකදී චීනයේ ආයෝජනයක් මත නොරොච්චෝල බලාගාරය ඉදිවෙමින් පැවති නිසා සාම්පූර්හි ඉන්දියානු ආයෝජනයකට ඉඩදීම වැදගත් වූ බැවිනි. මම ඒ පිළිබඳව එවක පැවති ආණ්ඩුවට දොස් නොකියමි. 2013 වසර වෙන විට ඊට අදාළව ඒකාබද්ධ සමාගමක් ද පිහිටු වූ අතර එහි සියයට 51 ක කොටස් ලංකා විදුලි බල මණ්ඩලයටත් සෙසු කොටස් සියයට 49 ඉන්දියානු විදුලි බල මණ්ඩලයටත් පැවරෙන පරිදි ගිවිසුම්ගත විය. 

2015 වසරේ දී ඊට අදාළ ටෙන්ඩර් කැඳවීමට නියමිතව තිබුණු අතර ඊට පෙර දිනයේ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ව්‍යාපෘතිය අවලංගු කළේය.

එම බලාගාරය ඉදිකිරීමට අවසර ලබාදුන්නේ නම් එහි ඉදිකිරීම් 2020 දී අවසන් කර දිනකට මෙගාවොට් 500 ක විදුලිය නිපදවීමට හැකියාව තිබිණි. එදා එය සිදු වූයේ නම් අද ඔබත් මමත් මේ විදුලි අර්බුදය ගැන කතා නොකරන්නෙමු.

සාම්පූර් බලාගාරය ඉදි නොකිරීම නිසා රටට සිදු වෙන පාඩුව වසරකට රුපියල් බිලියන 80 කි. එනම් ඩොලර් මිලියන 400 කි. එහෙත් ජනතාව මේ ඇත්ත දන්නේ නැත. බහුතරයක් දෙනා සිතන්නේ පරිසරය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයා එම ව්‍යාපෘතිය අවලංගු කළ බවය.

සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ

ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු ප්‍රධාන සැලසුම් ඉංජිනේරු ආචාර්ය තිලක් සියඹලාපිටිය