විදේශ පුහුණුවට නිවාඩු අරන් ගෙදර ඉඳගෙන දීමනා ගැනීම


කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරියක ලෙස සේවය කළ වෛද්‍යවරියක 2019 වසරේ දී සිංගප්පූරුවේ විදේශ පුහුණුවක් සඳහා නිවාඩු අනුමත කරගෙන ඇතත් මාස අටක කාලයක් මෙරට රැඳී සිටිමින් එම විදේශ පුහුණු දීමනාව ලබාගෙන ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මගින් පත්කෙරුණු අනුකාරක සභාවේ දී තොරතුරු අනාවරණය වූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය.

විගණන නිලධාරීන් අනු කමිටුවට දැනුම් දී ඇත්තේ සෞඛ්‍ය ලේකම්වරයා අමාත්‍යංශයේ විමර්ශන අංශයෙන් නිර්දේශයක් නොගෙන රාජ්‍ය සේවා කොමිෂන් සභාවට දී ඇති නිර්දේශයක් මත මෙම නිලධාරිණිය සියලු චෝදනාවලින් නිදහස් කර ඇති බවය. ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් වහාම දෙන ලෙස කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් දුන් බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

අතිශයින්ම ප්‍රශස්ත මට්ටමින් සෞඛ්‍ය සේවාව තිබිය යුතු වුවද සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍යය ඉතා බරපතළ ලෙස පිරිහීමට ලක්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයට අදාළව එකක් පසුපස එකක් වශයෙන් වාර්තාවන ප්‍රවෘත්තිවලින් පැහැදිලිය. විභාග උසස් ලෙස සමත්ව නියමිත සුදුසුකම් සපුරා ඉහළ නිලතලවලට පත්වන වගකිවයුතු නිලධාරීන්ගෙන් බලාපොරොත්තු විය නොහැකි තරමේ සාපරාධී ක්‍රියා, වංචා, දූෂණ, සොරකම් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වාර්තා වෙමින් තිබේ.

ජන ජීවිතයට ඍජුවම බලපාන ජන ජීවිතයේ ඉරණම දරා සිටින සෞඛ්‍ය අමාත්‍යංශය එම වගකීමට කිසි ලෙසකින් හෝ උචිත නැති හැසිරීමක නියැලෙමින් සිටින බව පැහැදිලිය. ඒ සම්බන්ධයෙන් එම නිලධාරීන් නොනැවතී ලජ්ජාවට පත්විය යුතුය.

මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් ඉතිහාසයේ අන් කවරදාටත් වඩා වැඩියනේ අවධානයක් රටේ යොමු වී තිබේ. 2015 ආණ්ඩු පෙරැළියත් සමග මහජන මුදල් අවභාවිතයට එරෙහි ජනමතය මහෝඝයක් සේ රළ ගැසුවේය. මැති ඇමැතිවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට එකා පසුපස එකෙක් වශයෙන් බන්ධනාගාරගතවීමට සිදුවිය. ඒ සම්බන්ධයෙන් අත්දැකීම් ඇති කිසිවකු මහජන මුදල් අවභාවිත කිරීම හෝ ඒ පිළිබඳව සිතුවිල්ලක් හෝ ඇතිකර නොගනු ඇත. එහෙත් ලජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකු යැයි කියන්නනා සේ ලොකු ලොක්කන්ගේ අවර කෙළි අනාවරණය වීමට පටන්ගෙන තිබේ.

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරියක ලෙස සේවය කළ වෛද්‍යවරියක සිංගප්පූරුවේ විදේශ පුහුණුවක් සඳහා නිවාඩු අනුමත කරවාගෙන මාස 8ක කාලයක් මෙරට රැඳී සිටිමින් එම විදේශ පුහුණු දීමනාව ලබාගෙන ඇත්නම් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් කළ යුතුය. එමෙන්ම එම වරද සිදුවන්නට ඉඩ හැර බලාසිටි ඉහළ නිලධාරීන් හා එම නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරිය අයථා ලෙස චෝදනාවලින් නිදහස් කළ බව කියන සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට ද මේ සම්බන්ධයෙන් ගැලවීමක් නැත.

ඉහත කාරණා දෙස බැලීමේ දී පැහැදිලි වන්නේ මෙතැන සිදුවී තිබෙන්නේ සාමූහික අපරාධයක් බවය. එමෙන්ම මෙබඳු වැරැදි වාර්තාවන්නේ අට පහ සමත් නොවුණු පුද්ගලයන්ගෙන් නොව දැන උගත් වගකීම් සහගත නිලධාරීන්ගෙනි. ඒ අනුව මේවා හැඳින්විය යුත්තේ ‘‘සුදු කරපටි අපරාධ’’ ලෙසය.

නඩු නැති රටකනම් මෙබඳු සිදුවීම් බලාපොරොත්තු විය හැකිය. එහෙත් අප රට යනු විධිමත් නෛතික රාමුවක් සහිත රටකි. එහෙත්, එය විධිමත් ලෙස ක්‍රියාත්මක වන්නේද යන ප්‍රශ්නය බැහැර කළ නොහැකිය. එහෙයින් මෙබඳු සාමූහික අපරාධ වැළැක්විය හැකිවන්නේ නෛතික රාමුව විධිමත් ලෙස පණ ගැන්වීමෙන් පමණි.

(***)