විමල්ට පෙනෙන රනිල්


 

හිටපු අමාත්‍ය විමල් වීරවංශයන් විසින් රචිත ගෝල්ෆෙස් අරගලය පිළිබඳව  ග්‍රන්ථයක් නොබෝදා ප්‍රකාශයට පත්කරනු ලැබීය. තවත් කිහිප දෙනකු අරගලය පිළිබඳ කෘති රචනා කර ඇති බව කියවෙන නමුදු තවමත් ඒවා ප්‍රකාශයට පත් වී නැත. 

වීරවංශ මහතාගේ කෘතිය ප්‍රකාශයට පත් වී දින කිහිපයකට පසු ඒ පිළිබඳව විවිධාකාරයේ ප්‍රතිචාර ඉදිරිපත් වූ අතර, ඒ තුළින් පැහැදිලි වන්නේ මේ වන විටත් මෙම කෘතිය බොහෝ දෙනකුගේ අවාධානයට ලක් වී ඇති බවයි. මුලින්ම පොත සඳහා ප්‍රතිචාර ලැබුණේ ආරක්ෂක අමාත්‍යාංශයෙනි.

ජුලි 9වැනි දින අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුල්වන අවස්ථාවේ එවකට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඉන්දියාවට ගොස් සිටීම සැක සහිත යැයි වීරවංශයන් කර ඇති ප්‍රකාශය වැරදි බවත් ඔහු ජනාධිපතිවරයාගේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ සම්මන්ත්‍රණයකට සහභාගී වූ බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රතිචාරය විය.

මේ අතරම  ශ්‍රී ලංකාවේ අමෙරිකා තනාපති ජුලි චන්ග් මහත්මිය තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් වීරවංශගේ කෘතිය ප්‍රබන්ධයක් බව සඳහන් කර ඇත. සරත් ‍ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරමින් ‘අපේ සපත්තු ලෙව කෑ කැහැටුවංශ හමුදාපතිවරුන්ට මෙම පොත මගින් මඩ ගසන බව‘ ප්‍රකාශ කළේය.

තවත් සති අන්ත පුවත්පතක් සඳහන් කර තිබු‍ණේ ‘චීනය ඉදිරියේ තබා ගෙන අමෙරිකාවට බනින වීරවංශගෙන් තවත් පච පොතක්’ වශයෙනි. එම ප්‍රතිචාර දැක්වූ  පුද්ගලයන් සහ ඔවුන් දරන තනතුරු මෙන්ම ප්‍රතිචාර පළ වූ පුවත්පත් දෙස ද බලන විට පැහැදිලි වන්නේ පොත පිළිබඳව දැනටමත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන බවය. 

මෙම කෘතියේ අඩංගු වන කරුණුවල සත්‍ය අසත්‍යතාව පිළිබඳව මම කිසිවක් ප්‍රකාශ නොකරමි. ඊට හේතුව ඒවා කොතෙක් දුරට ඔප්පු කර හැකි සාක්ෂි මත ගොඩ නැගී තිබේ ද යන්න මා නොදන්නා බැවිනි. 

එසේ වුවද රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සැලකිය යුතු පිරිසකට නායකත්වය ලබා දෙන පක්ෂයක නායකයා වශයෙන් ද රටේ ඇමති ධුර ඇතුළු විවිධ තනතුරු හොබවා ඇති අත්දැකීම් සහිත නායකයකු ද වන වීරවංශයන් හෙළි කර ඇති තොරතුරුවලින් එම තීරණාත්මක මොහොතේ දී අද ජනාධිපති ධුරය දරන රනිල් වික්‍රමසිංහ මහතාගේ භූමිකාව හඳුනා ගැනීමට ලැබෙන බැවින් ඒ සඳහා වීරවංශයන් විසින් ආධාර කර ගෙන ඇති තොරතුරු පිළිබඳව  විශ්ලේෂණාත්මක විග්‍රහයකට යාමට ඇති හැකියාව පිළිබඳව මම උනන්දු වූයෙමි.  මේ හුදෙක් මෙම කෘතියේ පළ කර ඇති  සිදුවීම්, අදහස් හා මතවාද  පිළිබඳව විමසුමක් පමණි. 

වීරවංශයන් අරගලයේ විකාශය පිළිබඳව කර ඇති විස්තරය මේ ආකාරයට ලු‍හු කර දැක්විය හැකිය.  අරගලය බටහිර රටවල විශේෂයෙන්ම අමෙරිකාවේ වුවමනාව මත  ක්‍රියාත්මක වූවකි. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලි චන්ග් එහිදී විශේෂ භූමිකාවක් ඉටු කළාය.

ගෝඨාභය මහතා  ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වීමට සුදානම් වන විට  ඉන්දියාව අගමැති රනිල් වික්‍රමසිංහ ධුරයෙන් පහ කරන ලෙස ද  ඉල්ලීමක් කළ නමුදු ගෝඨාභය එය නොපිළිගත් නිසා ඔහු සමග අමනාප විය. මුලින් ගෝඨාභයට රටින් පිට වීමට ගුවන් යානයක් ලබා දෙන බවට ඉන්දියාව පොරොන්දු වූ නමුදු එම සිදු වීමෙන් පසු ගුවන්යානයක් ලබා නොදුන්නේය. ගෝඨාභය රාජපක්ෂයන්ට ජනාධිපති ධුරයෙන් ඉවත් වීමේ ලිපිය සමග රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ද අත්සන් තබන ලෙස බලපෑම් එල්ල වූ නමුත් ගෝඨාභය මහතා ඊට එකඟ වූයේ නැත.

ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතා අස්වීමේ ලිපිය සහ අගමැති පහ කිරීමේ ලිපියත් ගෝඨාභයට යැවුව ද අත්සන් කරන ලද්දේ අස්වීමේ ලිපිය පමණි. ගෝඨාභය අස්වීමෙන් පසු රාජ්‍ය නායකත්වයේ වගකීම භාර  ගන්නා ලෙස ජුලි වන්ග් ඉන්පසු කථානායකවරයාගෙන් ඉල්ලා සිටි නමුදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඒ සඳහා කිසිදු ඉඩක් නොමැති බව කථානායකවරයා ජුලි චන්ග්ට දන්වා ඇත. 

අනපේක්ෂිතව තම නිල නිවසට පැමිණි ජුලි චන්ග් පිටව යාමෙන් පසු නිල නිවසේ රැඳී සිටීම අනතුරු දායක බව අවබෝධ කර ගත් කථානායකවරයා රනිල් වික්‍රමසිංහට කතා කර එම තත්ත්වය  දැනුම් දීමෙන් පසු අගමැතිවරයා සිටි හමුදා කඳවුරට පැමිණෙන ලෙස දන්වා ඇත. ඔහු එහි යන විට අගමැතිවරයා විඩියෝ දර්ශන මගින් තමන්ගේ නිවස ගිනි ගන්නා අයුරු බලා සිටියේය.

එය නවත්වන ලෙස  ඊට පෙර හමුදා නිලධාරීන්ට දුන් නියෝග නොපිළිගෙන ඇති බව දැනගෙන අගමැතිවරයා එම ස්ථානයෙන්  පිට වී ගියේය. කථානායකවරයාට තවත් හමුදා කඳවුරක නවාතැන් ලැබුණු අතර, එහිදී හමුදාපතිවරයා රනිල් වික්‍රමසිංහට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස දැනුම් දෙන මෙන්  කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.  කථානායක එය ප්‍රතික්ෂේප කළේය.

රනිල්  වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තුව වැටලීමට  ජනතා විමුක්ති පෙරමුණ සහ සමහර අරගලකරුවන්  උත්සාහ කළ ද රනිල් එය මර්දනය කළේය. ඉන්පසු ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය ද මුදා ගනු  ලැබීය. ජුලි චන්ග් මේ සෑම අවස්ථාවක දීම ඒවාට එරෙහි විය. ප්‍රකාශ නිකුත් කළේය. එහෙත් රනිල් අගමැති ධුරයෙන් පහ කිරීමට හෝ ජනාධිපති ධුරයට පත්වීම වැළැක්වීමට ඇයට නොහැකි විය. 

ඒ තුළින් Plan A අසාර්ථක වූ අතර ශ්‍රී ලංකාව අසරණ සහ අස්ථාවර රටක් බවට පත් කිරීමේ බලාපොරොත්තුව රනිල් වික්‍රමසිංහ විසින් අක්‍රීය කරනු ලැබීය. ඉන්පසු  IMF  ආධාර ලබා දීමේ පොරොන්දුව මත රනිල් ඇමෙරිකානු ග්‍රහණයට නතු කර ගෙන විවිධ  පොරොන්දු  ඔහු ලවා ලබා ගනිමින් රට තමන්ට අවශ්‍ය ලෙස  පාලනය කිරීමට ඇමෙරිකාව කටයුතු කරමින් සිටි.  

ලිබියාව සහ ඉරාකය මෙන් හෝ මයිදාන් මෙහෙයුම ඔස්සේ යුක්‍රේනයේ ඇති කළ ආකාරයට අරගලය ඔස්සේ ශ්‍රී ලංකාව  විනාශ කිරීමට නොහැකි වූයේ පුද්ගලයන් තිදෙනකුගේ ක්‍රියාකලාපය හේතුවෙනි. ගෝඨාභය, රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට කිසිසේත්ම එකඟ වුයේ නැත. මහින්ද යාපා  ක්‍රමන්ත්‍රණකරුවන් විසින් බිහි කිරීමට බලාපොරොත්තු වූ රජයක ප්‍රධානියා වීම ප්‍රතික්ෂේප කළේය.

රනිල් අරගලකරුවන්ගේ සහ ජුලි චන්ග්ගේ විරෝධතා නොතකා වැඩබලන ජනාධිපති ධුරයත්, ජනාධිපති ධුරයත් භාර ගත්තේය. පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට ඉඩ නොදී ඒ වන විට අල්ලා ගෙන සිටි ස්ථානවලින් අරගලකරුවන් ඉවත් කළේය. එසේ නොවන්නට අද ශ්‍රී ලංකාව ලෙබනනය හෝ යුක්‍රේනය මෙන් විනාශයට පත් වනු ඇත. වීරවංශයන් විසින් තම කෘතිය තුළින් හෙළි කර ඇති තොරතුරුවල සාරාංශය එය වේ.

කෙසේ වුවද වීරවංශ සමහර දේවල් තම කෘතියට ඇතුළත් කර නැත. ඇමෙරිකන් තානාපතිනිය දිගින් දිගටම අරගලයට පක්ෂපාති වන අයුරින් සහ එය මර්දනය කිරීමට එරෙහිව ප්‍රකාශ නිකුත් කරද්දී රනිල් වික්‍රමසිංහ ඉතා තද ප්‍රකාශයක් නිකුත් කළ බව ඉන් එකකි. ඔහු තනාපතිවරුන් ද සිටින රැස්වීමක දී ප්‍රකාශ කළේ ඇමෙරිකානු රජයේ කැපිටල් ගොඩනැගිල්ල විරෝධතාකරුවන් විසින් අල්ලා ගෙන සිටිය දී ඔවුන් බැහැර කිරීමට ඇමෙරිකන් රජය කටයුතු කළ ආකාරයෙන්ම තමන් ද රජයේ ගොඩනැගිලි වලින් අරගලකරුවන් ඉවත් කිරීමට කටයුතු කළ බවයි.

සාහසිකයන් විසින් තමන්ගේ නිවස ගිනි තබද්දී ඒ පිළිබඳ නිවේදන කිසිවක් නිකුත් නොකළ ඇමෙරිකන් තානාපතිවරිය අරගලකරුවන්ට එරෙහිව කුඩා පියවරක් ගැනීමේ දී  පවා නිවේදන නිකුත් කිරීම පිළිබඳ ඔහු විමතිය ප්‍රකාශ කළේය. ඉතිහාසය පරීක්ෂා කරන විට රනිල්ගේ එම තද ප්‍රකාශයෙන් පසු ජුලි චන්ග් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වැළැකී සිටි ආකාරය පැහැදිලි වනු ඇත. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොටස්කරුවා ඇමෙරිකාව බව සැබෑවකි. එහෙත් එහි දෙවැනි සහ තුන්වැනි ප්‍රධාන කොටස්කරුවන් වන්නේ ජපානය සහ චීනයයි. සාමාජික රටවල් සෑම එකකටම IMF  කොටස් හිමිකම ලැබී තිබේ. එබැවින් ඇමෙරිකාවට අවශ්‍ය  ආකාරයට එය දේශපාලනය සඳහා භාවිත කළ නොහැකිය.

2010 යුද්ධයෙන් පසු මහින්ද රාජපක්ෂ රජය IMF ණය ඉල්ලා සිටි විට ඇමෙරිකාව එය වැළැක්වීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. ශ්‍රී ලංකාව මීට පෙර 16 වතාවක් IMF  වලින් ණය ලබාගෙන ඇත. ඒ එකදු අවස්ථාවකවත් ඇමෙරිකාවට යටත්කර ගැනීමට හැකි වූයේ නැත.

IMF ණය ගිවිසුමේ ශ්‍රී ලංකාවේ දේශපාලනය සම්බන්ධ කිසිදු කොන්දේසියක් නැත. මැතිවරණ පැවැත්වීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම, යුද අපරාධ පරීක්ෂා කිරීම ආදිය සම්බන්ධ කොන්දේසි ඇතුළත් කිරීමක් සිදුව නැත. ඇමෙරිකාව IMF හරහා ශ්‍රී ලංකාව තමන්ට ඕනෑ කරන ආකාරයට පාලනය කිරීමට කටයුතු කළේ නම් එවැනි කොන්දේසි බොහොමයක් ඊට ඇතුළත් කරනු ඇත. 

වීරවංශ තම කෘතියෙන් ඉදිරිපත් කර ඇති කරුණු තහවුරු කිරීමට තවත් සාක්ෂි ඉදිරිපත් කිරීමට සිදු වනු ඇත. හමුදාපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන හිටපු ආරක්ෂක ප්‍රධානියකු කටයුතු කළ ආකාරය පරීක්ෂා කිරීමට බලතල ඇති කොමිසමක් පත් කරන ලෙස ඔහු එම කෘතියේ ඉල්ලා ඇත.

එසේම  කථානායකවරයා පිළිබඳව ඔහු සඳහන් කර ඇති කරුණු එසේ නොවන බවට කථානායකවරයාගෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බව ද වීරවංශයන් සඳහන් කර ඇතත් මේ වන තුරු කථානායකවරයාගෙන් එවැනි නිවේදනයක් නිකුත් වී නැත. එවැනි තත්ත්වයක් තුළ පැහැදිලි වන්නේ වීරවංශ විසින් ප්‍රකාශ කර ඇති අරගලය පිළිබඳ විකාශය සහ එහි අවසානය වීරවංශ විසින් පවසා ඇති ආකාරයටම සිදු නොවුණ ද ඒ අනුසාරයෙන් සිදු වන්නට ඇතැයි යන්නයි. 

මෙම කෘතිය විමර්ශනාත්මකව කියවන කෙනකුට පැහැදිලි වන්නේ ගෝඨාභය නික්ම යෑමෙන් පසු රනිල් වික්‍රමසිංහ අනුගමනය කළ පිළිවෙත නොවන්නට ශ්‍රී ලංකාව ද ඉරාකය, ලිබියාව වැනි අරාබි වසන්තයට අසු වූ රටක් බවට පත් වීමට ඉඩ තිබුණු බවය. විමල් සමහර තොරතුරු ඇතුළත් නොකිරීමෙන් ද සමහර ක්‍රියාකාරකම් හෙළි නොකිරීමෙන්ද රනිල්ගේ එම භූමිකාව අඩු තක්සේරුවකට ලක් කිරීමට උත්සාහ කර ඇතත් ඔහුගේ කෘතිය තුළින් ඔහුටත් නොදැනීම එය ඉහළින්ම ඇගයීමට ලත් වී ඇතැයි සිතමි.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

(***)