(බිඟුන් මේනක ගමගේ සහ තරිඳු ජයවර්ධන)
‘චටාස්’ කොමාන්ඩෝ සෙබලා හානියක් නොවන සේ තම බෙල්ලටම එල්ල කළ මුෂ්ටි ප‍්‍රහාරය පරීක්ෂාකාරීය. හොඳ මිත‍්‍රත්වයකින් හා අවබෝධයකින් යුතුව මෙතෙක් ආ ගමනේදී නිමේෂයකින් සිදු වූ වෙනස ගැන ෂෙහාන්ට හිතාගන්නටවත් බැරිවිය.
බෝට්ටුව ඇතුළට වැටෙන මොහොතේ පවා ෂෙහාන් උත්සාහ කළේ තමන්ට පහර ගැසූවන් කැමරා කාචයට හසුකරගැනීමට ය. එහෙත් දුටු දසුනින් ඔහු තමාට වූ දෙයට වඩා ත‍්‍රස්ත විය. බෝට්ටුවෙන් අහසට ගුවන් කරණමක් ගැසූ කොමාන්ඩෝ සෙබළු දෙදෙනාම මොහොතකින් ගං දියේ නොපෙනී ගියහ.
ප්‍රංශ පුවත් සේවයේ ඡායාරූප මාධ්‍යවේදී ලක්රුවන් වන්නිආරච්චි ද කරකියාගන්නට දෙයක් නැතිව මෙන් දෑස් අයා බලා හිඳී. ඔවුන් සැබැවින්ම බයබිරාන්ත වන්නේ ඊළඟ තප්පරයේදීය. කුකුලේ ගඟ දිගේ වේගයෙන් පහළට ගසා ගෙන යන සැඩ ගං දියෙන් මතු වූ යෝධ ගස් කඳේ ඉලක්කය වූයේ ඬේලි එෆ්.ටී පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදී ෂෙහාන්ය. කොමාන්ඩෝ සෙබලාගේ උකුසු ඇසත් විදුලි වේගයත් නොවන්නට සිදුවන්නට ගියේ තවත් විපතකි. මේ ඔබ කියවූයේ ක‍්‍රියාදාම චිත‍්‍රපටියක තවත් ජවනිකාවක් නොවේ. පසුගියදා මුළු රටම හඬවමින් ඇද හැළුණු මහ වැස්සෙන් විපතට පත් ජනතාව බේරාගැනීම උදෙසා ආරක්ෂක හමුදා දියත් කළ සුවිශේෂී ජීවිතාරක්ෂක මෙහෙයුමක ඇත්ත කතාවය.
මෙහෙයුමට දායකත්වය දැක්වූවෝ නම් හතර වැනි කොමොන්ඩෝ රෙජිමේන්තුවේ භටයෝය. ස්ථානය කළුතර දිස්ත‍්‍රික්කයේ මෝල්කාවයි. ඔවුන්ට ලැබුණු මුල්ම අභියෝගය වූයේ ඒ වනවිටත් ඉතිරී යමින් තිබූ කුකුලේ ගං දියට හසුව කොටු වී සිටි ජනතාව සොයාගැනීම හා ඔවුන්ට ආහාර සැපයීමයි. ගඟ දිගට බෝට්ටුවට යා හැකි වුවද ගම්මාන යටකරගෙන නැගී සිටි ජල දහර මතින් ගමන් කිරීම පහසු නැත. වලවල්, ගැටි, බැමි, දැව කඳන් හා කටු අකුල් බාධකව රැුඳි ඒ දිය පහර සැබැවින්ම අනතුරුදායකය. ඒ නිසා බෝට්ටුවෙන් දියට බසින්නට සිදුවන්නේම ගිනි අවිය වෙනුවට අවදානම අත දරාය. අට දෙනෙකුගෙන්් යුත් කොමාන්ඩෝ කණ්ඩායම මැයි 26 වැනිදා සිය ගමන ආරම්භ කළේ ලත්පඳුර මාරගහදෙනිය පන්සල අසළිනි. ඉලක්කය දුෂ්කරය. ලත්පඳුර දෙසින් මෝල්කාවට යන බී 584 මාර්ගය ඒ වනවිට වාරිමාර්ගයක් වී හමාරය.
සැඩ දිය කඳට යට වූ නිවාසවලින් යාන්තමට හෝ පෙනෙන්නේ වහල පමණි. ඇතැම් තැනක එවැනි සළකුණක්වත් නැත. අඩි දහය පහළොව වලවල් ඇති තැන් ජී.පී.එස් යන්ත‍්‍රයට පෙනෙන්නේ ද නැත. කොමාන්ඩෝ කණ්ඩායමට ගලවාගැනීමේ මෙහෙයුමේ දුෂ්කරම දින වූයේ මුල් දින කීපයයි. ඊට ප‍්‍රධාන හේතුව නම් පාරක් තොටක් සොයාගත නොහැකි පරිද්දෙන් ගම්මාන එකම ජලාශයක් බවට පත්ව තිබීමයි. විශේෂයෙන්ම කැලෑබද පෙදෙස්වල වැවුණු පාම් ගස් අතරින් යාත‍්‍රා කිරීම ඉතා දුෂ්කර විය. බොහෝ මිනිසුන් දිවි රැුකගැනීම පිණිස ගස් අතු මත ද සිටි බැවින් කෙතරම් දුෂ්කර වුව ද ඔවුහු ඉදිරියටම යාත‍්‍රා කළහ. බොහෝවිට මිනිසුන් සිටින තුරු හිස් මතට යාත‍්‍රා කරන්නට සිදුවුණේ බෝට්ටුවට බාධා වන ගස්වල අතු ද කපමිනි. දැව කඳන් ඉවත් කරමිනි. මිනිසුන් ඇතැයි සැක ඇති තැනකදී බෝට්ටුවෙන් කෑ ගැසීම්, විමසීම් ඉක්බිති හූ තැබීම්ය. ඇතැම් තැනක උත්සාහය සාර්ථකය. පෙරලා ලැබෙන පිළිතුර හෝ හූ හඩ විසින් බෝට්ටුවේ ගමනාන්තය වෙනස් කරනු ලැබේ. මේ මෙහෙයුමට දිවා ? වෙනසක් තිබුණේ නැත. මුළු රැුයම වෙන්වුණේ සීතලෙන් ගැහෙමින් සිටි සහෝදර ජනතාව සොයන්නටය. විදුලිය මුළුමනින්ම බිඳ වැටී තිබීම විසින් එය තවත් අපහසු කරනු ලැබිණ. කට්ට කළුවරේ ගං වතුරේ යෑම සෙල්ලමක් නොවේ.
‘‘එක තැනකදි වතුර පාර හතර පැත්තෙන්ම ඇවිත් එකට සෙට් වෙනවා. ඒක තනිකරම දිය සුළියක් මචං. බෝට්ටුව ටික ටික ඒ පැත්තට යනවා. වතුර පාර ඒ තරමට සැරයි. සුළියට අහුවුණොත් ඉවරයි. හැබැයි ටීම් එක කලබල නෑ. ඒ ෂුවර් එක දැක්කාම අපේ බයත් නැතිවෙනවා ඇත්තටම. කොහොම හරි බෝට්ටුව එතැනින් බේරගෙන ඉස්සරහටම ගියා...’’ ඡුායාරූප මාධ්‍යවේදී ෂෙහාන් ගුණසේකර අනතුරුදායක අවස්ථාවක් විස්තර කළේ එසේය.
ගං වතුර නිසා අතිශය අසරණ වූ ගම්මානයක් වූයේ මෝල්කාව පාලමෙන් ඔබ්බෙහි පිහිටි පහළ වෙල්ගම ගම්මානයයි. සැඩ දිය පහර නිසා ඒ පෙදෙසට යන්නට කිසිදු වගකිවයුත්තෙක්ට එතෙක් හැකිවුණේ නැත. කොමාන්ඩෝ කණ්ඩායම පහල වෙල්ගම හා පරගොඩ යන ගම්මානවලට ළඟාවෙද්දී ඒ ජනතාව සිටියේ වෙනම ලෝකයක යැයි කිවහොත් නිවැරැුදිය. ගැලවුම්කරුවන් ළඟා වන තෙක් ඒ මිනිසුන් පාලනය කරනු ලැබුවේ වැස්සත්, සීතලත්, කුසගින්නත් හා මුසු වූ චිත්ත වේගයන් විසිනි. විශේෂයෙන්ම පහළ වෙල්ගම ජනතාව ගං වතුර නිසා දැඩිව හුදෙකලාව සිටියේ සහෝදර ගම්මාන සමඟවත් කිසිදු සම්බන්ධයක් ගොඩනගා ගත නොහැකි පරිද්දෙනි. ඇඳි වත පමණක් ඉතිරිව කුසට අහරක් නැතිව සිටි ඒ මිනිසුන්ට කොමාන්ඩෝ කණ්ඩායම පැමිණිය ද එක්වරම අදහස් ප‍්‍රකාශ කරගැනීමට පවා නොහැකි විය. ඇතැමෙකුට මේ ගලවාගැනීම ද සිහිනයක් ගානය.
හුදෙකලා වූ ගම්මානවලට කොමාන්ඩෝ බෝට්ටුව ඇදෙන්නේ ආහාර හා පානීය ජලය රැුගෙනය. ආහාර හා පානීය ජලය ලබා දී හිස් වන බෝට්ටුව ගම්වැසියන් පස් හය දෙනෙකුට ප‍්‍රවාහනය සලසයි. බෝට්ටුවේ යා හැකි උපරිම පුද්ගලයන් ගණන අටකි. සමූහයක් සිටින තැනකින් එසේ ගලවාගැනීමේදී ප‍්‍රමුඛතාව ලැබෙන්නේ වයෝවෘද්ධ මව්පියවරුන්, රෝගීන්, ගැබිනි මව්වරුන්, කුඩා දරුවන්, කාන්තාවන් ආදී වශයෙනි. කුකුලේ ගඟ පාසල අසළින් කොමාන්ඩෝ කණ්ඩායම මෙහෙයුම අවසන් කළේ ජුනි 1 වැනිදාය. ඒ වනවිට මෙහෙයුමට දින හයකි. කොමාන්ඩෝ කණ්ඩායම ඒ අයුරින් දින ගණනක් පුරා ගලවා ගත් ජීවිත එකසිය අසූවකට අධිකය.
කමාන්ඩෝ බලසේනාධිපති බි‍්‍රගේඩියර් උදිත බණ්ඩාර මහතාගේ නියෝගයෙන් 4 වැනි කොමාන්ඩෝ රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරි ලූතිනන් කර්නල් උදේශ් රත්නායක මහතාගේ අධීක්ෂණය යටතේ මෙහෙයුම් කණ්ඩායම් යොමුකෙරුණු අතර පාහියංගල හා කලවානට ද තවත් අට දෙනාගේ කොමාන්ඩෝ කණ්ඩායම් දෙකක් පිටත් කර හැරිණි. එම කණ්ඩායම් අදාළ අපදාපන්න ස්ථානවලට රැුගෙන යනු ලැබුවේ ගුවන් හමුදාවට අයත් ගුවන් යානා මගිනි. කුකුලේ ගඟ අවට මෙහෙයුම් මෙහෙයවනු ලැබුවේ බි‍්‍රගේඩියර් ආබෲ මහතා විසිනි. කපිතාන් ආර්.එම් තුසිත කුමාරගේ නායකත්වයෙන් යුතුව ලත්පඳුරෙන් ආරම්භ කළ දිවි ගලවාගැනීමේ මෙහෙයුමට සාජන් රාජපක්ෂ, සාජන් අරන්පත්, කෝප‍්‍රල් තිලකරත්න, කෝප‍්‍රල් අධිකාරි, කෝප‍්‍රල් ගාල්ලගේ, ලාන්ස් කෝප‍්‍රල් රත්නායක, ලාන්ස් කෝප‍්‍රල් ඉමේන්ද්‍ර හා ලාන්ස් කෝප‍්‍රල් කුමාර සම්බන්ධ වූහ.