ශ්‍රී ලංකාවේ සේවා නියුක්තිය (රැකියාවල නියුතු පිරිස), සේවා වියුක්තිය (රැකියාවල නිරත නොවන පිරිස) සහ ශ්‍රම බලකාය එනම්, රැකියා කිරීම සඳහා ඉදිරිපත් වීම පිළිබඳ නිල දත්ත සපයන්නේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවයි. එම දෙපාර්තමේන්තුව සෑම කාර්තුවක් පාසාම ශ්‍රම බලකාය පිළිබඳ සමීක්ෂණ පවත්වයි.
වසරාවසානයේදී ද ඒ ගැන සම්පූර්ණ සමීක්ෂණයක් කර එහි දත්ත ප්‍රසිද්ධ කරයි. එකී සමීක්ෂණ සඳහා යොදා ගන්නා නිර්ණායක පටු ඒවා බව පෙනී යයි. විකල්ප නිර්ණායක භාවිත කරමින් එවැනි සමීක්ෂණවල දත්ත ප්‍රසිද්ධ කිරීම ද සිදු වේ.
මෙරට සේවා නියුක්තිය පිළිබඳව කරන සමීක්ෂණ සඳහා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව භාවිත කරන නිර්ණායකයේදී සලකා බලන කාලසීමාවේදී වැටුප් සහිත සේවකයන්, සේවා යෝජකයන්, ස්වයං රැකියාලාභීන් හෝ වැටුප් නොලබන පවුල් සේවකයන් යනාදී සියලු කාණ්ඩ සේවා නියුක්ත කාණ්ඩයට අයත් වේ. එම නිර්ණායකය අනුව, කිසියම් පුද්ගලයකු වැටුප් නොලබා සිටියද සේවා නියුක්ත පුද්ගලයකු ලෙස සැලකීම සිදු වේ.
මෙම නිර්ණායකවල පවතින දුර්වලතා හේතුවෙන් සේවා නියුක්තිකයන් හා සේවා වියුක්තිකයන් අතර වෙනසක් ඉකුත් කාලයේදී පෙන්නුම් නොකෙරිණි. රටේ පවතින ආර්ථික අර්බුදය, ඉහළ පෙලී අනුපාතිකය සහ අධිඋද්ධමනය හේතුවෙන් පසුගිය කාලයේදී විශාල පිරිසකට රැකියා අහිමි විණි. එහෙත් ඒවා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන වාර්තාවල දැක්වෙන්නේ නැත.
එම දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, 2022 වසර වන විට මෙරට අාර්ථික වශයෙන් සක්‍රීය ජනගහනය අසූ පන් ලක්ෂ හතළිස් හත්දහස් හැට දෙකකි (8,547,062). එයින් පනස් පන් ලක්ෂ අසූදහස් හත්සියය අසූ හයක් (5,580,786) පිරිමි අයයි. ගැහැනු අය විසි නව ලක්ෂ හැට හය දහස් දෙසිය හැත්තෑ හයක් (2,966,276) සිටිති. ශ්‍රම බලකායෙහි සහභාගීත්ව අනුපාතිකය සියයට 50 ට අඩු අගයක පවතියි.
ඒ අතර පිරිමි සහ කාන්තා අනුපාතිකය පිළිවෙළින් දැක්වෙන්නේ සියයට 70.5 ක් හා 32.1 ක්ද වශයෙනි. එයින් පැහැදිලි වන්නේ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය අඩු මට්ටමක පවතින බවයි. ඒහි අනෙක් අර්ථය නම්, විශාල ශ්‍රම බලකායක් තිබුණද සැලකිය යුතු පිරිසක් වැඩ නොකරන බවය. එය යහපත් තත්ත්වයක් නොවේ.
මීළඟට විවිධ අංශවල සේවා නියුක්ත අනුපාත විමසීමේදී කෘෂිකාර්මික අංශයේ සේවා නියුක්තිකයෝ සියයට 26.5 ක් සිටිති. කාර්මික අංශයේ එම අගය වාර්තා වන්නේ ද සියයට 26.5 ක් වශයෙනි. සේවා අංශයේ එම අගය සියයට 47 කි. මීට අමතරව සේවා නියුක්තිය ග්‍රාමීය නාගරික සහ වතු වශයෙන් සලකා බැලීමේදී විශාල විවිධත්වයක් දක්නට ලැබේ.
යළි කිව හැක්කේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත මගින් මෙරට සේවා නියුක්තිය, සේවා වියුක්තිය යනාදියෙහි තත්‍ය තත්ත්වය නිරූපණය නොවන බවය. නිදසුනක් ලෙස, එම දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, මෙරට සේවා වියුක්ත ප්‍රමාණය ලක්ෂ හතරකට ආසන්න ගණනති.
ඒ අතර වැඩි පිරිසක් සිටින්නේ උසස් පෙළ සමත් හෝ ඊට ඉහළ අධ්‍යාපනයක් ලැබූවන්ය. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2022 සඳහා නිකුත් කර ඇති දත්තවලට අනුව, සේවා වියුක්ත පිරිස 399332 කි. එයින් 169931 ක පිරිසක් උසස් පෙළ සමත් හෝ ඊට ඉහළ අධ්‍යාපනයක් ලැබූවෝ වෙති.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලින් නිරූපණය වන තත්ත්වය එයාකාර වුවත් සැබෑ තත්ත්වය ඊට වඩා වෙනස්ය. 2019 වන විට ආර්ථිකයේ උද්ගත වූ අර්බුදය 2022 වන විට දරුණු විය. කෘෂිකාර්මික අංශය සියයට 4.6කින් ද කර්මාන්ත අංශය සියයට 16 කින්ද සේවා අංශය සියයට 2 කින්ද කඩා වැටුණේ එම අර්බුදය මධ්‍යයේය. ඒත් සමගම විශාල පිරිසකට රැකියා අහිමි වූ බව අපි දනිමු.
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මෙරට ආර්ථිකය සඳහා ඉහළ දායකත්වයක් සැපයීය. 2018 සහ 2019 වසරවලදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට සියයට 52 ක පමණ දායකත්වයක් ඒවායෙන් ලැබිණි. මෙරට ජනහනයෙන් සියයට 45 කට පමණ රැකියා සපයනු ලැබුවේද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත විසිනි. ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මිලියනයකට මඳක් වැඩි ගණනක් රටේ පැවතිණි. ඒහෙත් උද්ගත වූ ආර්ථික අර්බුදය හමුවේ ඒවායෙන් යම් ප්‍රමාණයක් වැසී ගියේය. ඒහි ප්‍රතිඵලයක් ලෙස විශාල පිරිසකට රැකියා අහිමි විය.
උද්ධමනාකරී තත්ත්වයක් පවතින අවස්ථාවක කර්මාන්තකරුවන්ට තමන්ගේ ව්‍යාපාර පවත්වා ගෙන යෑම අසීරු වේ. එහිදී මහා පරිමාණ කර්මාන්තකරුවෝ සිය කර්මාන්තශාලා වසා දමා වෙනත් රටවලට යොමු වීමට වැඩි නැඹුරුවක් දක්වති. එය ඉතාමත් නරක තත්ත්වයකි.
මන්ද, එමගින් රටට ලැබෙන අපනයන ආදායම් පහළ යෑමත් විශාල පිරිසකට රැකියා අහිමි වීමත් සිදු විය හැකි බැවිනි. ඇඟලුම් ක්ෂේත්‍රය ගතහොත් පසුගිය වසරේදී විශාල පසුබෑමකට ලක් වූ අතර 2023 වසරේ පළමු කාර්තුවේදී එම ක්ෂේත්‍රයේ ඉපැයීම් සියයට 14 කින් පහළ ගොස් තිබේ. එයින් ගම්‍ය වන්නේ ඇඟලුම් කර්මාන්තවලින් ලැබෙන අපනයන ආදායම් අඩු වන බවත් ක්‍රමයෙන් ඒවා වසා දමන තත්ත්වයක් උදා වන බවත්ය.
කර්මාන්ත ක්ෂේත්‍රය ආශ්‍රිතව ආර්ථික කටයුතු විශාල වශයෙන් සිදු වේ. ඒ අනුව, ඇඟලුම් කර්මාන්තශාලා සේවකයන් සඳහා නවාතැන්, ආහාරපාන පහසුකම් සපයන පිරිසක් සිටිති. කර්මාන්ත වැසී යෑම නිසා ඒවායෙහි සේවය කරන්නන්ට සෘජුව රැකියා අහිමි වීමට අමතරව සේවා සපයන තවත් විශාල පිරිසකට රැකියා හා ආදායම් අහිමි වේ. මහ පරිමාණ ඇඟලුම් කර්මාන්තශාලා වැසී යෑමේ අවදානමක් මතුව තිබේ.
නිෂ්පාදන පිරිවැය, පොලි අනුපාතික සහ උද්ධමනය ඉහළ යෑම, ආනයන සීමා ක්‍රියාත්මක වීම ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇත. ප්‍රතිපත්ති සම්පාදන ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන අවිනිශ්චිතතාව ද එක් හේතුවකි. මේ සියලු දේවල ප්‍රතිඵලයක් හැටියට රටේ දැඩි අවදානම් තත්ත්වයක් හට ගෙන ඇති අතර ඒ පසුබිමේ මහ පරිමාණ ව්‍යාපාරිකයන් ඔවුන්ගේ ආයෝජන අඩු පිරිවැයක් සහ අඩු අවදානමක් සහිත වෙනත් රටවලට ගෙන යෑමට පිළිවන. මෙවැනි තත්ත්වයක් ඇති වීම ආර්ථිකයට දිගුකාලීනව යහපත් නැත.
ලංකාවේ වතු ආශ්‍රිත රැකියා කරන කම්කරු පවුල් ප්‍රමාණය ලක්ෂ 4 කට ආසන්නය. පසුගිය කාලයේදී ඔවුන්ට මාසිකව වැඩ කිරීමට ලැබෙන දින ගණනෙහි අඩු වීමක් දැකගන්නට ලැබිණි. නිදසුනක් ලෙස 2022 වසරේදී මසකට වැඩ කරන දින ගණන දින 20 සිට 8 ක් 9 ක් දක්වා අඩු විය. එහි ප්‍රතිඵලයක් ලෙස වතු කම්කරුවන්ගේ ආදායම් ද පහළ ගොස් තිබේ.
දේශීය කර්මාන්තශාලාවල අනාගතය තීරණය වන්නේ ජනතාව අත මුදල් තිබෙන්නේ නම් පමණි. ආර්ථිකය මෙහෙයවන ප්‍රතිපත්ති සම්පාදකයන් සිතාමතාම ආර්ථිකය සංකෝචනය වන්නට ඉඩ හැර තිබේ. එමගින් ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව දුර්වල වෙමින් තිබේ. එනිසා දේශීය භාණ්ඩ හා සේවාවලට තිබෙන ඉල්ලුම පහළ යෑමට ඉඩ ඇත. එක් පැත්තකින් කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන පිරිවැය ඉහළ යන අතරේ ඔවුන්ගේ භාණ්ඩ හා සේවා සඳහා පවතින ඉල්ලුම අඩු වේ. එවිට සිදු වන්නේ ඔවුන්ට තවදුරටත් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ රැඳී සිටීමට නොහැකි වීමය.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, විශාල පිරිසක් කෘෂිකාර්මික අංශයේ රැකියා කරති. කෘෂිකර්මයට අවැසි ප්‍රධාන අමුද්‍රව්‍ය නොමැති වීමෙන් ඔවුහු පසුගිය වසර දෙකේදී දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන්හ. පුරෝකථනවලට අනුව, 2023 වසරේදී ආර්ථිකය සෘණ සියයට 3 ක වර්ධනයක් වාර්තා කරනු ඇත. එහෙත් ඇතැම් අන්තර්ජාතික ආයතන පුරෝකථනය කරන්නේ මෙම වසරේ ආර්ථික වර්ධනය සෘණ සියයට 4.5 ක් විය හැකි බවය.
එවැනි සන්දර්භයක ආර්ථිකය සුබදායී වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. ශ්‍රම බලකායේ සහභාගීත්වය ක්‍රමයෙන් අඩු වීමට පිළිවන. 2015 දී මෙරට ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය පැවැතියේ සියයට 53.8 ක් ලෙසය. එම අගය 2022 වන විට 49.8 දක්වා අඩු වී තිබේ. පිරිමි ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය 2015 දී සියයට 74.7 සිට 2022 දී සියයට 70.5 දක්වා පල්ලම් බැස ඇත. සාමාන්තර කාලයේදී කාන්තා ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතිකය සියයට 35.9 සිට 32.1 දක්වා අඩු වී තිබේ.
විවිධ අංශ පිළිබඳ සලකා බැලුව හොත් 2022 වසර වන විට කෘෂිකාර්මික අංශයේ විසි එක් ලක්ෂ පනස් අට දහසකට ආසන්න පිරිසක් රැකියාවල නියුක්ත සිටියහ. කර්මාන්ත අංශයේ ද ඊට සමාන පිරිසක් රැකියාවල නියුක්තව සිට ඇති අතර සේවා අංශයේ රැකියාවල නියුක්තව සිට ඇති පිරිස තිස් අට ලක්ෂ තිස් එක් දහසකට ආසන්නය. මේ අංශවල සිදුවන කඩාවැටීම නිසා ඒවායෙහි සේවා නියුක්තිය තවදුරටත් අඩු විය හැකිය. විශේෂයෙන්ම කාර්මික අංශය පසුගිය වසරේදී විශාල වශයෙන් කඩා වැටීමකට ලක් වූ අතර රැකියා අහිමි වූ සංඛ්‍යාව ද ඉහළ අගයක් ගත්තේය. එහෙත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන දත්ත මගින් ඒ බව නිරූපණය වන්නේ නැත.
එබැවින් පසුගිය කාලයේදී කොපමණ පිරිසකට සැබෑ ලෙසම රැකියා අහිමි වී තිබෙන්නේද යන්න දැන ගැනීමට නොහැකිය. කෙසේ වෙතත් විවිධ පිරිස් ඉදිරිපත් කරන දත්තවලට අනුව, පසුගිය කාලයේදී මිලියනයකට ආසන්න පිරිසකගේ රැකියා අහිමි වී ඇත. එය නිවැරැදිව තක්සේරු කිරීමට අවශ්‍ය දත්ත අප සතුව නැත.
ඇඟලුම් කාර්මාන්තශාලාවල වැඩි වශයෙන් රැකියා කරන්නේ ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන්ය. ඔවුන්ගේ ආදායම් කඩා වැටීම මගින් ග්‍රාමීය ආර්ථිකය පසුබෑමකට ලක් විය හැකිය. එසේම ග්‍රාමීය මට්ටමින් දරිද්‍රතාව හා මන්දපෝෂණය වැඩි වීමට ද එය හේතුවක් විය හැකිය. ලංකාවේ සමස්ත පවුල් සංඛ්‍යාව ලක්ෂ 57 කට ආසන්නය. එයින් පවුල් ලක්ෂ 37 ක් (සියයට 64 ක්) පමණ රජයේ සහනාධාර ඉල්ලුම් කර ඇතැයි ප්‍රකාශ වේ. එහි යටි පෙළ නම්, මේ වන විට රටේ ජනගහනයෙන් සියයට 64 කට ජීවත් වීමට අපහසු තත්ත්වයක් උද්ගතව තිබෙන බවය.
සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ