‘‘පල ගත් අතු නසා
පල කන්නවුන් විලසා
දන ගැනුමක් නිසා
දහම් නො නසති දනන් වනසා’’
‘‘ගසක ගෙඩි හට ගත් අතු කපා දමා ගෙඩි කඩා කන නොමිනිසුන් මෙන් ධනය රැස් කර ගැනීම පිණිස පාලකයෝ මහජනයාට පීඩා පමුණුවමින් රාජ ධර්ම විනාශ නොකරති’’ යි බුදු ගුණ අලංකාරයෙහි සඳහන් වෙයි. ඔවුහු රජ කළෝ විශාලා මහනුවරය. නමින් ඒ පාලකයෝ ලිච්ඡවීහු වූහ. ඔවුන් ජනතාවගෙන් බදු අය කළේ මල්වලින් පරිස්සමෙන් පැණි ලබා ගන්නා මී මැස්සන් මෙන් ජනයාට හිරිහැරයක් නොවන පරිද්දෙනි.
බුදුගුණ අලංකාරයෙහි සඳහන් ඒ ලිච්ඡවී පාලනයේ ස්වභාවය සිහිපත් කරමින් මේ ලිපියට මුල පුරන්නේ බදු බරට එරෙහිව රාජ්‍ය සේවකයන් වෙතින් පැන නැඟ තිබෙන දැවැන්ත විරෝධය හේතුවෙනි. තම හඬට සවන් නොදෙන්නේ නම් මාර්තු 01 වැනිදා සිට සමස්ත රාජ්‍ය අංශයම අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවට ඔවුහු දැන් සිටම අනතුරු අඟවති.
බදු ගෙවන්නට අකැමැත්තක් නැති බව කියන ඔවුන් පෙන්වා දෙන්නේ සාධාරණ බද්දක් නම් තමන් කැමැත්තෙන්ම ගෙවන බවය. පැනවූ බදු අසාධාරණ වන්නේ රට සේම තමන්ද ආර්ථික වශයෙන් බංකොලොත්ව සිටින හෙයින් බව ඔවුහු පෙන්වා දෙති.
බංකොලොත්වීමට පෙර බැංකු ණය පොලිය සියයට අටක් පමණ වුවත් දැන් එය සියයට 18ක් පමණ වන බැවින් අතට ලැබෙන වැටුප වාෂ්ප වන බව ඔවුන්ගේ දුක්ගැනවිල්ලයි. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල තුන් ගුණයකින් හෝ ඊටත් වැඩි මට්ටමකින් ඉහළ ගොස් තිබීම වැටුප වාෂ්ප වන අනෙක් ක්‍රමයයි.
2021 දී රුපියලක නියම වටිනාකම ශත 100 ක් වුවත් 2022 දී එය ශත 33 ක් දක්වා අවප්‍රමාණ වී තිබෙන බව ආර්ථික විශ්ලේෂකයන්ගේ තක්සේරුවයි. රුපියලේ වටිනාකම එසේ අවප්‍රමාණය වී උද්ධමනයද ඉහළ ගියත් රාජ්‍ය සේම පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුප් හා දීමනා අවුරුදු ගණනාවක් තිස්සේ පවතින්නේ ඉතා පහළ මට්ටමකය.
බරපතළ අනෙක් කාරණය වන්නේ රටේ දුප්පතුන් සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ යාමය. ලෝක බැංකු නිර්ණායක අනුව දුප්පතුන් ලෙස සැලකෙන්නේ දවසකට ඇමෙරිකානු ඩොලර් 3.65 කට වඩා අඩු එනම් දවසකට රුපියල් 1,332 කට අඩු ආදායමක් ලබන්නෝය.
ලෝක බැංකු දත්ත අනුව 2021 දී ඒ පිරිස රටේ ජනගහනයෙන් සියයට 13.1 කි. එහෙත් 2022 දී එය සියයට 25.6 ක් දක්වා ඉහළ ගොසිනි. ඒ අනුව රටේ සිටින දුප්පතුන් සංඛ්‍යාව එක අවුරුද්දක් ඇතුළතදී 28,34,959 සිට 55,40,073 ක් දක්වා ඉහළ ගොස් සිටින බව අනාවරණය වෙයි. දුප්පතුන් ගොඩට එසේ වැටුණෝ මධ්‍යම පාන්තිකයෝය. එසේම දුප්පතුන්ව සිටියෝ දැන් අන්ත දිළින්දෝය. ඒ සියල්ලන් මත අධික ඍජු හා වක්‍ර බදු පැටවීම ‘‘කොරේ පිටට මරේ’’ වැනි තත්ත්වයක් උදාකිරීමකි.
රටේ ජනතාව අත්විඳින මේ දුක්ඛිත තත්ත්වයට මූලික හේතුව වී තිබෙන්නේ රාජ්‍ය ආදායම පල්ලම් බැසීමය. Publicfinance.lk වෙබ් අඩවියට අනුව 2021 දී වාර්තා වූ රාජ්‍ය ආදායම 1959 සිට ගෙවුණු අවුරුදු 62 දී ලංකාව වර්තා කළ අඩුම ආදායමයි. 1959 මුළු රාජ්‍ය ආදායම දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 22 කි.
1959 බදු ආදායම දල ජාතික නිෂ්පාදතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 17 කි. 2021 දී වාර්තා වූ මුළු රාජ්‍ය ආදායම දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 09 කි. 2021 රජයේ බදු ආදායම දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 08 කි. 1959 සිට 2021 අතර කාලයේදී ඉහළම රාජ්‍ය ආදායමක් හා ඉහළම බදු ආදායමක් වාර්තා කර තිබෙන්නේ 1979 දීය. 1979 මුළු රාජ්‍ය ආදායම දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 28 කි.
1979 රජයේ බදු ආදායම දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 25 කි. 2021 දී ලංකාව ඇදවැටුණේ කෙතරම් භයානක තත්ත්වයකටද යන්න ඒ තොරතුරුවලින් අනාවරණය වෙයි. සියල්ල එසේ වන්නේ දේශපාලන තීන්දු තීරණ මත බව නොරහසකි. 2020 රජයේ බදු ආදායම 2019 රජයේ බදු ආදායම සමඟ සැසඳීමේදී ඒ බව මැනවින් තහවුරු වෙයි.
2019 රජයේ බදු ආදායම රුපියල් බිලියන 1,025 කි. එහෙත් 2019 ජනාධිපතිවරණයෙන් පසුව ක්‍රියාත්මක කළ බදු සංශෝධන නිසා ඒ රාජ්‍ය බදු ආදායම රුපියල් බිලියන 524 ක් දක්වා පහළ බසියි. රටට එසේ වූයේ අමනෝඥ දේශපාලන තීන්දු තීරණ නිසා බව දැන් කවුරුත් පිළිගනිති.
ජාත්‍යන්තර ආර්ථීක පර් යේෂකයන් සහ විශ්ලේෂකයන් නිතර උපුටා දක්වන ලැෆර් කර්ව් (The Laffer Curve) අනුව රටක් දියුණු වන්නේ රාජ්‍ය ආදායම දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 15 සිට 20 අතර මට්ටමක පවතින අවධිවලදීය. එහෙත් අපේ රටේ ඛේදවාදකය වන්නේ රජයේ වියදම් අඩු නොකර බදු අනුපාත ඉහළ නැංවීමය.
රජයේ වියදම් එලෙසම තබා ගනිමින් ඒ වියදම් පියවා ගැනීමට බදු ඉහළ දමයි. එසේ කරන්නේ අංක ගණිතය මත පදනම්වය. මාස හයක් ගතවීමටත් පෙර අපේක්‍ෂිත ඉලක්කය ඉටුකරගත හැකිවේදැයි සැක සංකා මතු කරන්නේ එහෙයිනි. ආදායම් ඉහළ නොදමා වියදම්වලට සාපේක්‍ෂ නොවන අයුරින් අයුක්තිසහගත ලෙස බදු අනුපාත ඉහළ දැමීම රත්තරන් බිජු දමන කිකිළිය මරාගෙන කෑමකි.
ඛේදවාචකය වන්නේ දූෂිත, අකාර්යක්‍ෂම සහ පලදායිතාවක් නැති දේශපාලන සහ රාජ්‍ය යාන්ත්‍රණ නඩත්තු කිරීම සඳහා ඒ කිකිළිය මරා දැමීමය. කිකිළියට ද ඒ සම්බන්ධයෙන් ඇත්තේ වේදනාවකි, පිළිකුලකි, ජුගුප්සාවකි. ඒ හමුවේ බදු ප්‍රතිපත්ති සම්පාදකයන් හැසිරෙන්නේ හදවත්වලට ළාදුරු හැදුණු පුද්ගලයන් පරිද්දෙනි. ඒ හැසිරීම් දකින, අත්විඳින බදු ගෙවන්නන් යක්‍ෂාවේෂවීම අරුමයක් නොවේ.
ඒ ප්‍රතිපත්ති සම්පාදකයන් දැන් හැසිරෙන්නේ වතුර උණුවන තුරු නටන කකුළුවන් පරිද්දෙනි. තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, භූමිතෙල් පෝලිම් නැති බව කියන්නේ උජාරුවෙනි. ඒ පෝලිම් නැති වූයේ තමන්ගේ කළමනාකරණ හාස්කම් නිසා බවට ඔවුහු උදම්වෙති.
පෝලිම් නැතිවූයේ 2022 අප්‍රේල් මාසයේ සිට ලංකාව තම ණය වාරික හෝ පොලිය නොගෙවන නිසා බව රටට රහසක් නොවේ. රට බංකොලොත් නිසා ගත් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව ලංකාව ප්‍රකාශ කළේ 2022 අප්‍රේල් 12 වැනිදාය. ඒ ණය හිමියන් සමග සාකච්ඡාවකින් හෝ එකඟතාවකින් තොරව ඒකපාර්ශ්විකවය. ණය වාරික හෝ පොලිය නොගෙවන නිසා රටට ලැබෙන ඩොලර්වලින් තෙල් හා ගෑස් ගෙන්වයි. එය කාටත් කළ හැකි දෙයක් මිස කළමනාකරණ හාස්කමක් නොවේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දෙන බව කියන්නේ ඇමෙරිකන් ඩොලර් මිලියන 2.900 කි. ඒ ටික දෙන්නේද අවුරුදු හතරක් ඇතුළත වරින්වරය. ඒ අනුව අවුරුද්දකට ලැබෙන්නේ ඩොලර් මිලියන 725 කි. 2022 සැප්තැම්බර් වනවිට ලංකාව ලෝකයට වී තිබෙන ණය ප්‍රමාණය ඩොලර් මිලියන 36,422 කි. ඉන් සියයට 35 ක් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මගින් ගත් ණයයි.
ණය ගැනීමට තිබෙන සහ තිබුණු ලෙසම සහ සාපේක්‍ෂව වියදම් වැඩිම ක්‍රමය එයයි. එහෙත් දැන් නම් ලංකාවට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මගින් කිසි ලෙසකින්වත් ණය ගත නොහැකිය. ඩොලර් මිලියන 36,422 ක් වන ලංකාවේ මුළු විදේශ ණයවලින් සියයට 19ක් ගෙන තිබෙන්නේ චීනයෙනි.
ආසියානු සංවර්ධන බැංකුවෙන් සියයට 16 ක් සහ ලෝක බැංකුවෙන් සියයට 10 කි. අපේ මුළු විදේශ ණය වලින් සියයට 07ක් ජපානයෙන්ද තවත් සියයට 05 ක් ඉන්දියාවෙන්ද ගෙන තිබේ. වෙනත් මූලාශ්‍රවලින් ගෙන තිබෙන ණය ප්‍රමාණය සියයට 08 කි.
අවුරුදු හතරක් ඇතුළත මූල්‍ය අරමුදලෙන් දෙනවාය කියන ඩොලර් මිලියන 2,900 ක් කියන්නේ දැනට ලංකාව සතු සමස්ත ණය ප්‍රමාණයෙන් සියයට 7.96 කි. ලෝක බැංකුවෙන් දෙන ඒ ණය මුදලෙන් අප සතු ණය ගෙවීම සපුරා තහනම්ය. ඒ ණය මුදල් භාවිත කළ හැකි වන්නේ අපේ විදේශ සංචිත ඉහළ නංවා ගැනීමටය.
ලංකාවේ ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය ඛනිජ තෙල් ආනයනය කිරීමට මාසයකට වැයවන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 400 කි. ඒ අනුව මූල්‍ය අරමුදලෙන් අවුරුද්දකට ලැබෙනවාය කියන ඩොලර් මිලියන 725 කින් රටට මාස දෙකකට අවශ්‍ය ඛනිජ තෙල් ටිකවත් ආනයනය කරගත නොහැකිය.
ඉන් අප කියන්නේ මූල්‍ය අරමුදල සමග ගනුදෙනු නොකළ යුතු බවක් නොවේ. ඒ සාකච්ඡා ඉදිරියටම යා යුතුය. රට සතු විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමට මූල්‍ය අරමුදල මහෝපකාරී වෙයි. මක් නිසාද යත් ඒ සාකච්ඡාවලට මූල්‍ය අරමුදලද සහභාගී වන හෙයිනි.
ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ ලෝක බැංකුවෙන් දැනට ලංකාවට දීමට අනුමත වී තිබෙන ණය ලබා ගැනීමට ද මූල්‍ය අරමුදලේ සහතිකය මහෝපකාරී වෙයි. ඒ නිසා මූල්‍ය අරමුදල සමග සාකච්ඡා හැකි තරම් කල් අදිමින් ඒ කාලයේදී වටිනාකම එකතු කළ අපනයන ඉහළ නංවා විදෙස් විනිමය ඉපයීම් ඉහළ නංවාගත යුතු බව ආර්ථීක විශ්ලේෂකයන්ගේ නිර්දේශයයි. එහෙත් ආණ්ඩුව ඒ කිසිවක් නොකර පීඩිතව සිටින ජනයා මත ඉසිලිය නොහැකි බදු බර පටවමින් ඒ ජනයා පරිපීඩනයට ලක් කරන බව අසාධාරණ බදුවලට එරෙහිව වෘත්තිකයෝ පෙන්වා දෙති.
ඉහළ ආදායමක් ඉපයිය හැකි වටිනාකම එකතු කළ අපනයන ඉහළ නැංවීමට නම් ඒ නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය ඇතැම් අමුද්‍රව්‍ය හා උපාංග ආනයනය කිරීමට සිදු වෙයි. එහෙත් ඇතැම් රාජ්‍ය ප්‍රතිපත්ති ඊට හරස් වෙයි. දළ දේශීය නිෂ්පාදිතය පහළ යාමටද ඒ ප්‍රතිපත්ති හේතුවෙයි.
ජනාධිපතිවරයා 2022 නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2023 වර්ෂය සඳහා වන අයවැය ලේඛනයේ සඳහන් පරිදි 2023 දී රජයේ මුළු ආදායම රුපියල් බිලියන 3,408 කි. ඉන් බිලියන 3,130 ක්ම උපයා ගැනීමට සැරසෙන්නේ බදු මගිනි. ඒ අනුව බදු මගින් පමණක් උපයා ගැනීමට අපේක්‍ෂා කරන ආදායම් ප්‍රතිශතය සියයට 91.84 කි.
රජය බදු මත යැපීමට සැරසෙන තරම හා ප්‍රමාණය ඉන් හෙළි වෙයි. ආසන්න වශයෙන් රජයේ මුළු ආදායමෙන් සියයට 92 ක්ම උපයා ගැනීමට සැරසෙන්නේ බදු මගින් නම් මෙතරම් විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් සහ දේශපාලකයන් පිරිසක් රටට අවශ්‍ය වන්නේ කුමකටදැයි රට වැසියෝ ප්‍රශ්න නොකළ යුත්තෝද? ජනතාව මේ බර ඉවසිය යුත්තේ සහ ඉසිලිය යුත්තේ ඇයිදැයි පාලකයන්ට කිව හැකිද? ජනතාවගේ ඒ ප්‍රශ්නවලට පාලකයන් දෙන පිළිතුරු මොනවාද?
2023 අය වැයට අනුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා වේතන ගෙවීමට පමණක් 2023 දී වැය වන මුදල රුපියල් බිලියන 1,002 කි. එය 2023 දී අපේක්‍ෂිත රජයේ බදු ආදායමෙන් සියයට 32 කි. ජනතාව බදු ලෙස ගෙවන මුදලෙන් තුනෙන් එකකට අත්‍යාසන්න ප්‍රමාණයක් බිලි දී නඩත්තු කරන රාජ්‍ය පරිපාලන හා දේශපාලන යාන්ත්‍රණ තම වගකීම් හා යුතුකම් නිසිලෙස ඉටු කළා නම් රට බංකොලොත් වන්නේ කෙසේද? 2023 රජයේ මුළු ආදායම රුපියල් බිලියන 3,408 ක් වුවත් රජයේ මුළු වියදම රුපියල් බිලියන 5,819 කි.
ආදායම සහ වියදම අතර පරතරය රුපියල් බිලියන 2,411 කි. රටේ පවතින රාජ්‍ය පරිපාලන හා දේශපාලන යාන්ත්‍රණ කෙතරම් කාර්යක්‍ෂම හා ඵලදායකද යන්න ඉන් හෙළිවෙයි. මේ අකාර්යක්‍ෂම, දූෂිත සහ ඵලදායිතාවක් නැති ඒ යාන්ත්‍රණ නඩත්තු කිරීමට ජනතාව වැඩි වැඩියෙන් බදු ගෙවිය යුත්තේ ඇයි දැයි දැක්විය හැකි හේතු මොනවාද? ඒ හේතු දක්වන්නෝ කවරහුද?
සටහන - ගුණසිංහ හේරත්