අසල්වැසි ඉන්දියාව මේ වන විට ලොව වැඩිම ජනගහනයක් ඇති රට ද භූමි ප්‍රමාණය අනුව ලොව විශාලතම රටක් ද ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් ද සහිත රටක් බවට පරිවර්තනය වී තිබේ. බොහෝ රටවල් ඉන්දියාව සමග ආර්ථික සම්බන්ධතා පුළුල් කර ගැනීමට දැඩි උනන්දුවක් දක්වයි. එයට හේතුව ඉන්දියාව සතුව පවත්නා ලොව විශාලම ජනගහනයෙන් යුතු වෙළෙඳපොළයි.
වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් සහිත රටක් බැවින් මිලදී ගැනීමේ හැකියාව දිනෙන් දිනම වර්ධනය වන වෙළෙඳපොළක් ඉන්දියාව සතුව පවතී. ලොව බොහෝ රටවල් උනන්දුවක් දක්වන මෙම වෙළෙඳපොළ පිළිබඳ ඉන්දියාවේ අසල්වැසි රට වන ශ්‍රී ලංකාව දක්වා ඇත්තේ අවම උනන්දුවකි. 2019 දී ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ඩොලර් මිලියන 3899ක් වටිනා භාණ්ඩ ආනයනය කරද්දී අප එරටට අපනයනය කළේ ඩොලර් මිලියන 767 ක් වටිනා භාණ්ඩ පමණි.
2020 දී අපේ ආනයන ඩොලර් මිලියන 3079ක් වෙද්දී අපනයන ප්‍රමාණය ඩොලර් මිලියන 606ක් ද 2021 දී ආනයන ඩොලර් මිලියන 4625ක් ද අපනයන ඩොලර් මිලියන 829 ක් ද විය. 2021 දී අපේ මුළු ආනයන වලින් සියයට 22.4ක් ඉන්දියාවෙන් ලබාගත් අතර අපේ මුළු අපනයනවලින් ඉන්දියාව ලබා ගත්තේ සියයට 6.6ක් පමණි. අපේ මුළු ආනයනවලින් පහෙන් එකකට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන් ලැබුණ ද අපේ අපනයන ප්‍රමාණය ඉතා පහළ මට්ටමක පවතින බව පෙනේ.
ඉන්දියාව සඳහා වූ අපේ අපනයන ප්‍රමාණය මෙතරම් පහළ මට්ටමක පවතින්නේ 1987දී අත්සන් කළ ඉන්දු-ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමත් දශක කිහිපයකට පෙර අත්සන් කළ සාක් වෙළෙඳ ගිවිසුමත් ක්‍රියාත්මකව පවතිද්දීය. දෙරට අතර ආර්ථික සහයෝගීතාව සම්බන්ධයෙන් වෙනස්කම් ඇති කර ගැනීමේ අවශ්‍යතාව කෙතෙක් දුරට පවතින්නේ ද යන්න මෙම සංඛ්‍යා ලේඛන වලින් පැහැදිලි වේ.
ඉන්දියාව ශ්‍රී ලංකාව කෙරෙහි වැදගත් වන්නේ ආර්ථික සහයෝගීතාව සම්බන්ධයෙන් පමණක් නොවේ. දේශපාලන සම්බන්ධතා සම්බන්ධයෙන් ද දෙරට අතර සහයෝගීතාව ඉහළ මට්ටමකට ගෙන ඒමේ අවශ්‍යතාව පවතී. නැගී එන ලෝක බලවතෙකු වන ඉන්දියාව ජාත්‍යන්තර මට්ටමින් ආරක්ෂාව පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන විදේශ ප්‍රතිපත්තියක් වෙත නැඹුරුව සිටී. එබැවින් අසල්වැසි රටවල විදේශ සම්බන්ධතාවලින් තම රටට තර්ජනයක් එල්ල නොවනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා කරයි.
ලෝකයේ නැගී එන ආර්ථික බලවතුන් වන චීනය සහ ඉන්දියාව අතර ආරක්ෂාව සම්බන්ධයෙන් යම් යම් ගැටලු පැන නැගී තිබේ. එවැනි තත්ත්වයක් තුළ මෙම දෙරට අතර සම්බන්ධතාවල දී මෙන්ම සෙසු රටවල් සමග සම්බන්ධතාවල දී ද මැදිහත් ප්‍රතිපත්තියකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාව පැන නගී.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්දැකීම් සහිත රාජ්‍ය නායකයකු ලෙස ඉන්දියාව සමග මෙන්ම චීනය සමග සම්බන්ධතාවලදී ද ශ්‍රී ලංකාව විසින් රාජ්‍ය තාන්ත්‍රික උපාය මාර්ග ඔස්සේ මෙම සම්බන්ධතා පවත්වාගෙන යා යුතුව ඇති බව හඳුනාගෙන තිබේ. ජනාධිපති ධුරයට පත්ව වසරක් පිරෙන දිනයේ ඔහුගේ ඉන්දියානු සංචාරය ඉතා වැදගත් වන්නේ ශ්‍රී ලංකාවේ විදෙස් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මෙන්ම ද්වීපාර්ශ්වීය ආර්ථික සහයෝගීතාව සම්බන්ධයෙන් ද වෙනස් වූ පිළිවෙතකට අවතීර්ණය වීමට ඉන් ඉඩ ලැබෙන නිසාය.
රනිල් වික්‍රමසිංහ මහතා 2023 මැයි 25 දින ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත් වූ ‘ආසියාවේ අනාගතය පිළිබඳ 28 වැනි ජාත්‍යන්තර සමුළුව (Nikkei Forum)’ අමතා කළ දේශනයේ දී එක්සත් ජනපද-චීන එදිරිවාදිකම් සම්බන්ධයෙන් අවධාරණය කළේ මේ බලවත් රාජ්‍ය දෙකෙන් එකක් තෝරා ගැනීමට ආසියාතික රටවලට බල කිරීමට අවශ්‍ය නොවන බවයි.
එසේම ආසියාතික රටවල් සහ චීනය අතර ආර්ථික අන්තර් රඳා පැවැත්ම ඉස්මතු කළ ජනාධිපතිවරයා ආසියාව දෙකඩ කිරීමට විරුද්ධත්වය ද එහිදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව සහ චීනය සමග ද්වීපාර්ශ්වීය සම්බන්ධතා පවත්වාගෙන යෑමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා අනුගමනය කරන්නේ එවැනි දැක්මකි.
එබැවින් වඩා වැදගත් වන්නේ ද්වීපාර්ශ්වීය වශයෙන් සම්බන්ධතා පවත්වා ගැනීමේ දී පාර්ශ්ව දෙකටම වාසි සහගත ලෙස ප්‍රතිලාභ ලැබෙන අයුරින් එම සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේ දී පවත්වන ලද සාකච්ඡා, ඇති කර ගන්නා ලද ගිවිසුම් සහ එකඟතා ආදිය නිරීක්ෂණය කරන විට මෙම තත්ත්වය පැහැදිලි වේ.
වික්‍රමසිංහයන්ගේ ඉන්දියාව සම්බන්ධ ප්‍රතිපත්තීන්හි දක්නට ලැබෙන කැපී පෙනෙන වෙනසක් වන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වන දුර කෙටි කිරීම සඳහා ඔහු දක්වන උනන්දුවයි. අපට සංචාරකයන් ආකර්ෂණය කර ගත යුතු වඩාත්ම ළඟ රට වන්නේ ඉන්දියාවයි. අඩු කාලයකින් සහ අපහසුවකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ලැබෙන්නේ නම් ඉන්දියානු සංචාරකයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇත. ගොඩ, මුහු ද සහ ගුවන් යන මාර්ග සියල්ල තුළින්ම ඉක්මන් සහ පහසු ගමනාගමනයකට ඉඩ සලසා දීම ජනාධිපතිවරයාගේ අදහස වී ඇත.
මේ වන විට පලාලි ගුවන්තොටුපොළ හරහා ඉන්දියාවේ සිට ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණේ. රටවල් දෙක අතර බොහෝ කලකට පෙර පැවති ෆෙරි සේවා (Ferry service) නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. ඉන්දියානු අගමැති මෝදි මහතා දෙරට අතර ගමනාගමනය සඳහා පාලමක් ඉදි කළ යුතු බව ප්‍රකාශ කළේය. පාලමක් යන්නෙන් අදහස් වන්නේ දෙරට අතර මහජනතාවට පහසුවෙන් ගමන් කළ හැකි වන ආකාරයේ සම්බන්ධතාවක් ඇති කිරීමය.
එම සේවා ගොඩබිම ඔස්සේ මෙන්ම නැව් මගින් ද සිදු කෙරෙන ආකාරයේ ගුවන් පාලමක් විය හැකිය. කෙසේ වුවද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සේතු සමුද්‍ර තීරය හරහා පාලමක් ඉදි කළොත් ඉන්දියාව විසින් එම තීරයේ වරායක් ඇති කිරීම වැළැක්වෙනු ඇත. කොළඹ වරායට තරඟකාරීත්වයක් ඇතිවන ආකාරයට ඉන්දියාවේ වරාය කටයුතු සංවර්ධනය වීම වැළකෙන තත්ත්වයක් එමගින් ඇති වේ.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පාලමක් ගොඩනැගීම පිළිබඳ විවිධ ආකාරයේ මත ප්‍රකාශ වී තිබේ. ඒ නිසා ඉන්දියානු බලපෑම වර්ධනය වනු ඇතැයි සමහරු ප්‍රකාශ කරති. එසේ වුව ද බොහෝ දෙනකු අමතක කරන කරුණ වන්නේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව හැර අනෙකුත් සියලුම සාක් රටවල් ඉන්දියාව සමග ගොඩබිමෙන් සම්බන්ධ බවය.
ජනාධිපතිවරයා සහ ඉන්දියා අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවල දී එළැඹුණු නිගමන සම්බන්ධයෙන් විස්තරාත්මක ප්‍රකාශනයක් නිකුත් කර තිබුණි. ඒ අනුව ද්වී පාර්ශ්වීය සම්බන්ධතා නිශ්චිත සැලැස්මකට අනුව ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව ඒ සම්බන්ධ දෙරටේ ප්‍රකාශන තුළින් පැහැදිලි වේ. සමුද්‍රීය කටයුතු, ගුවන් සම්බන්ධතා, බලශක්ති සහ විදුලි බල සම්බන්ධතා වෙළෙඳ ආර්ථික සහ මූල්‍ය සම්බන්ධතා, පුද්ගල - පුද්ගල සම්බන්ධතා යන විෂය පථ පහක් යටතේ යෝජනා 19කට අදාල එකඟතා ඇති කර ගෙන තිබෙන බව පැහැදිලි වේ.
ජනාධිපතිවරයා ඉන්දියාවේ ගත කළේ ඉතා කෙටි කාලයකි. 20 වැනිදා සවස් වරුවේ ඉන්දියාවට ගිය ජනාධිපතිවරයා සියලු සාකච්ඡා නිම කර, ඇති කරගත් එකඟතා පිළිබඳ ඉන්දීය අගමැති මෝදි මහතා සමග මාධ්‍ය සාකච්ඡාවක් ද පවත්වා 21 වැනි දින සවස ශ්‍රී ලංකාවට පැමිණියේය. පැහැදිලි වන කරුණු දෙකකි. විදේශ සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට රජය විශේෂ සැලකිල්ලක් දක්වයි. එහෙත් සැමරුම් උත්සව ආදී කිසිවකින් තොරව සහයෝගීතාව ඉහළම මට්ටමකට පත් කර ගැනීම අරමුණු කරගෙන දෙරටෙහිම නායකයන්ගේ කාලය ඉතා ප්‍රයෝජනවත් ආකාරයකින් යෙදවීමට කටයුතු කර ඇත. බලාපොරොත්තු වන්නේ ප්‍රතිඵල මත සහයෝගීතාව ඉහළ නැංවීමටය.
ඉන්දියාව, ශ්‍රී ලංකාවේ ආසන්නතම අසල්වැසියා වීම නිසාත් ජනවාර්ගික අර්බුදය වැනි කරුණුවල දී ඉන්දියාවේ මැදිත්වීම නිසාත්, ශ්‍රී ලංකා-ඉන්දියා සම්බන්ධතා පිළිබඳව විවිධ අර්ථ නිරූපණ ඉදිරිපත් කිරීමට ඕනෑම අයකුට හැකියාවක් ලැබේ. ඉන්දියානු සංචාරයට පෙර ජනාධිපතිවරයා ජනවාර්ගික අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දමිළ දේශපාලන පක්ෂවල රැස්වීමක් කැඳවා තිබුණි.
රැස්වීමෙන් පසු ඊට සහභාගී වූ සමහර පක්ෂ නායකයන් ප්‍රකාශ කර තිබුණේ එම අර්බුදය විසඳීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට නිශ්චිත සැලැස්මක් ඇති බවයි. එහෙත් අනෙකුත් දේශපාලන පක්ෂවල සමහරෙක් ප්‍රකාශ කර තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතා එම රැස්වීම කැඳවීම මගින් ඉන්දියා ගමනට පෙර නාටකයක් රඟ දක්වා ඇති බවයි.
රනිල් වික්‍රමසිංහ මහතා මෙම ප්‍රශ්නය නිමාවකට පත් කර ජනවාර්ගික සාමය ඇති කිරීම සඳහා කවදත් නොපැකිලව ඉදිරිපත් වූයේය. කවුරු විරුද්ධ වුවත් පෙර සේම ඔහු ඒ සඳහා ක්‍රියාත්මක වනු ඇත. විවේචනය කිරීමට වඩා විසඳුම් සෙවීම ඉතා වැදගත්ය. ඉන්දියාව ද මේ ප්‍රශ්නය පිළිබඳව අවධානයෙන් සිටින බව නොරහසකි. ප්‍රශ්නයට විසඳුම් ලබාදීම මගින් ඉන්දියාවට අපට බලපෑම් කිරීමට ඇති ඉඩ වළක්වා ගැනීමට ද හැකි වේ.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නායක හමුව සම්බන්ධයෙන් හොඳම විග්‍රහය ඉදිරිපත් කරන ලද්දේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා යැයි සිතමි. අද ලෝකයේ කිසිදු රටකට තනිව ඉදිරියට යා නොහැකිය. ලොව දියුණු හැම රටක්ම එම ප්‍රගතිය උදා කරගෙන ඇත්තේ කලාප හවුල්කාරීත්වය තුළින් දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ ලැබෙන අයුරින් සහ තර්ජනයක් නොවන අයුරින්. ඉන්දු-ලංකා සබඳතා වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන අපේක්ෂා ඉටු කර ගැනීම ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ යයි’’ අලි සබ්‍රි මහතා ප්‍රකාශ කර කළේය.
එක් කලෙක ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියානු භාණ්ඩ වර්ජනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණි. ඒ ඉන්දියානු හමුදා ශ්‍රී ලංකාවට පැමිණීමට විරෝධතා දැක්වීම සඳහාය. එවැනි ළඳරු ක්‍රියාවලින් ශ්‍රී ලංකාවට කිසිදු ප්‍රතිඵලයක් අත් වූයේ නැත. අද ද ඉන්දියානු විරෝධයක් දැල්වීමට උත්සාහ කරන අය ක්‍රියා කරන්නේ ඉන්දියානු බඩු වර්ජනය කිරීමේ විරෝධතාවට සමාන පිළිවෙතකි. එබැවින් අද අප අවධානය යොමු කළ යුත්තේ එවැනි ළඳරු ක්‍රියා නැවත ඇති නොවන ආකාරයට දෙරටටම ප්‍රයෝජනවත් ලෙස දෙරට අතර සම්බන්ධතා තහවුරු කර ගැනීමයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර