ශ්‍රී ලංකා ආර්ථිකයේ හෙට දවස


ශ්‍රී ලංකාව මූල්‍යමය අර්බුදවලට මුහුණ දුන් විට එයින් ගොඩ යෑම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගිය පළමු අවස්ථාව මෙය නොවේ. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගත් 17 වැනි වතාවයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබා ගන්නේ 1950 වසරේදීය.

ලංකාව 2009 වර්ෂයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 2.5ක මුදලක් ණය ලබාගත් අතර එය  ලංකාව මෙතෙක්  ලබාගත් වැඩිම ණය මුදල ලෙස  සටහන් වේ.

ඉන්පසු ලංකාව වැඩිම ණය ප්‍රමාණයක් ලබා ගන්නේ 2023 දීය. එම මුදල ඩොලර් බිලියන 2.9 කි. ලංකාව දීර්ඝ කාලීන සාකච්ඡා වට කිහිපයකින් පසු ඇතිකර ගන්නා ලද එකඟතා අනුව ණය ලබා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවට එළඹිණි.

එහෙත් ඇ.ඩො. බිලියන 2.9ක මුදල ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය ජය ගැනීමට එකම විසඳුම යැයි සිතීම විහිළුවකි.

කෙසේ වෙතත් දෙවැනි ණය වාරිකය ලබාදීම සඳහා වූ සාකච්ඡාව නිම කර තිබේ. මෙම සමාලෝචන ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මෙරටට පැමිණි එහි ප්‍රධාන නියෝජිත පීටර් බෲවර් මහතා ප්‍රකාශ කර සිටියේ, ලංකාව මුහුණ දෙන ගැඹුරු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ සැලසුම් පවතින නමුත් තවමත් එය ස්ථිර සාර පදනමකට පැමිණ නොමැති බවයි.

මෙයින් හැඟී යන්නේ තවමත් ලංකාවේ ආර්ථිකය තුළ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ සාධනීය ලෙස සිදු වී නොමැති බවය. ලංකාවේ ආර්ථිකය ස්ථායි වීමේ  හැරවුම් ලක්ෂණ දක්නට ලැබුණත් එම ලක්ෂණ තාවකාලික බවය. කෙසේ නමුත් රජය අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීම නිසා ප්‍රශංසනීය තත්ත්වයක් ද පවතින බවත් පෙන්වා දී තිබුණි. කෙසේ නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා දීමට තවම නිසි කාලවකවානුවක් ප්‍රකාශ වී නැත.

ප්‍රධාන ඉලක්ක සපුරාගෙන නොතිබීම

මෙහිදී විශේෂයෙන් ප්‍රධාන ඉලක්ක දෙකක් සපුරා නොතිබීම ගැටලුවක් වී ඇති බව පෙන්වා දී තිබුණි. ආදායම් බදු ඉලක්ක සපුරා නොතිබීම එහිදී ප්‍රධානය. ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ රාජ්‍ය බදු ආදායම රුපියල් බිලියන 3100 ක් විය යුතු බවය. රජය තවම එකතුකර ඇති බදු ආදායම රුපියල් බිලියන 1643 කි. කෙසේ වෙතත් ඉදිරියේ දී රුපියල් බිලියන 637 ක ඉලක්ක ගත බදු ආදායමක් උපයා ගත යුතුව තිබේ. මෙය එතරම් පහසු කාර්යයක් නොවන බව නම් කිව යුතුය.

දෙවැනි කරුණ වන්නේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීමයි. දේශීය ණය හිමියන් විශේෂයෙන් සේවක භාරකාර අරමුදලෙන් ලබාගත් ණය ප්‍රතිව්‍යූහගත  කිරීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සමග එකඟතාවලට එළඹීමට නොහැකි වී ගැටලු පැන නැගී තිබේ. කෙසේ නමුත් ඉදිරියේ දී මහ බැංකුව කාටත් සාධාරණය ඉටුවන ලෙස මෙම ක්‍රියාවලිය ඉතා කඩිනමින් නිමකරනු ඇති බව විශ්වාස කළ හැකිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනෙකුත් කොන්දේසි

පෙර පරිදිම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ණය පහසුකම් ලබා දෙමින් විවිධ කොන්දේසි ඉදිරිපත් කර ඇති අතර මෙම කොන්දේසි එකිනෙක ඉටුවන්නේ ද යන බව මුදල් කොටස් වශයෙන් ලබා දීමේ දී සාකච්ඡාවට හා සැලකිල්ලට ගනු ලබන බව පෙනේ. වෙරිටේ රීසච් ආයතනය මෙම කොන්දේසී පාදක කරගනිමින් IMF Tracker විශ්ලේෂණයක් සකස් කර ඇති අතර ඔවුන්ගේ විශ්ලේෂණවලට අනුව මේ වන විට රජය ඇති කර ගත් එකඟතාව වලින් සියයට 35ක් ඉටුකර ඇති අතර සියයට 7ක් තවමත් ඉටුකර නොමැත.

ඒ අතර සියයට 43ක් දැනට ඉටු කරමින් පවතී. සියයට 15ක් නොදන්නා බව පෙන්වා දෙයි. මෙහිදී වැදගත් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ඊළඟ ණය වාරිකය ලැබීමට පෙර සිදුකරන සමාලෝචනයේ දී රජය තම පාර්ශවයෙන් පොරොන්දු වූ පරිදි ඉටුනොකර ඇති කාර්යයන් හා ඉටු කරමින් පවතින කාර්යය පිළිබඳව එකඟතාවකට පැමිණිය හැකිවේද යන්න යි. ඉටු කළ යුතු එකඟතා කෙසේ ඉටු කරන්නේ ද යන්නයි.

ඉටු නොකළ කැපවීම්

රජය මේ වන විටත් ඉටු නොකළ කාර්ය 7ක් පෙන්වා දෙයි. මූල්‍ය විනිවිදභාවය ඇති කිරීම සඳහා පද්ධතියක් සකස් නොකිරීම මෙහිදී පෙන්නාදී ඇති ප්‍රධාන කරුණකි. රජයේ මූල්‍ය විනය ආරක්ෂා කිරීම සඳහා ඉතා සුදුසු මෙම කොන්දේසිය ක්‍රියාත්මක කළ යුතුය. ඒ තුළින් රජයේ ආනයන සියල්ලේම මූල්‍යමය පාලනය සිදුකළ හැකිය. ඉටුනොකළ තවත් කරුණක් වී ඇත්තේ තෝරාගත් බැංකු කිහිපයක සම්පූර්ණ වත්කම් සමාලෝචනය කිරීමයි. මෙම කරුණු සෘජුවම මහබැංකුව මගින් කළ හැකි වුවත් එය තවම ඉටු නොවීම ගැටලු සහගතය.

ආදායම් බදු වැඩි කළත් ඔට්ටු ඇල්ලීම හා විනෝද ගාස්තු අය කිරීමේ පනත පාර්ලිමේන්තු මගින් සම්මත නොකරන්නේ මන්ද යන්න ගැටලු සහගතය. රජය මෙය ඉතා ඉක්මනින් අවධානය යොමු කළ යුතු කරුණකි. වෙරිටේ අධ්‍යයන ආයතනය පෙන්වා දෙන ඉටු නොවූ තවත් කරුණක් වන්නේ රාජ්‍ය සංස්ථා ප්‍රතිව්‍යුහගත කිරීමේ සැළැස්ම සඳහා කැබිනට් අනුමැතිය තවමත් ලබා නොගැනීමයි. රාජ්‍ය සංස්ථා ප්‍රතිව්‍යුහගත කිරීමේ සැළැස්ම සකස් කිරීමේ දී මේ සියලු සංස්ථා ස්වාධීන ආයතන කිහිපයක සහාය ඇතිව නැවත වතාවක් සම්පූර්ණයෙන්ම සමාලෝචනය කළ යුතුය. ඉන්පසු එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කාලවකවානු සහිතව සැළැස්මක් සකස් කොට ප්‍රතිව්‍යුහගත කළ යුතු හා නොකළ යුතු ආයතන සාකච්ඡාවට හා සමාලෝචනයට බඳුන් කළ යුතුය.

එමෙන්ම, රජය ඉටු නොකළ තවත් වැදගත් යෝජනාවක් වන්නේ රාජ්‍යය ව්‍යවසාය 22ක වාර්ෂික වාර්තා ප්‍රකාශයට පත් කර ඇති බව සහතික කර නොගැනීමයි. මෙම වාර්ෂික වාර්තා ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වන ප්‍රධාන ගැටලුවක් වී ඇත්තේ එම ආයතනවල ව්‍යුහයේ පවතින ප්‍රමාදයයි. ඒ සඳහා රජය ක්‍රියා පටිපාටි සම්මතයක් සකස් කර ලබාදීම  වැදගත් වේ.

නොදන්නා කැපවීම්

රජය ඉටුකළ යුතු නමුත් නොදන්නා යන වර්ග කිරීම යටතේ කැපවීම් වලින් සියයට 15ක් එනම් කරුණු 15 පෙන්වා දී තිබේ. මෙම කරුණු සලකා බැලීමේ දී සමහර කරුණු ඉතා ඉක්මනින් රජයට ඉටුකළ හැකිය. සමහර කරුණු දැනටමත් ඉටුකර ඇති බව පෙනේ. ඒ අතර ශුද්ධ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇ.ඩො. බිලියන 3.1 දක්වා ඉහළ නැංවීම යන කරුණ සලකා බැලිය හැකිය. මහබැංකු දත්ත අනුව 2023 ජූලි මාසය වන විට රජයයේ නිල සංචිත ප්‍රමාණය ඇ.ඩො. බිලියන 3.8 දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙයි. ඒ අනුව එම කොන්දේසිය ඉටුකර ඇති බව පෙනේ. 2023 වන විට සමාජ ආරක්ෂණ වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.2ක් (රු. බිලියන 70) ලෙස පවත්වාගෙන යෑම තවත් කොන්දේසියකි.

මේ තුළින් පෙන්වා දෙන්නේ රජයේ සුබ සාධන වියදම් කපා හැර රජයේ වියදම් පාලනය කළ යුතු බවයි. එසේ නම් සමාජ ආරක්ෂණය ලැබිය යුතු ඒ සඳහා සුදුසුකම් ඇති විශේෂ කණ්ඩායම් හඳුනාගත යුතුය. තවත් කරුණක් වන්නේ මෙම වැඩ සටහන් කාල සීමාව තුළ ආනයන සීමා ක්‍රමයෙන් ඉවත් කළ යුතු බවයි. මේ වන විට බොහෝ ආනයන සීමා ඉවත් කර ඇති අතර තවත් තෝරාගත් භාණ්ඩ ආනයන  සීමා පවති. තවමත් රුපියල ශක්තිමත් නොවී පවතින තත්ත්වයක් යටතේ ආනයන සීමා තවදුරටත් සමාලෝචනය කර පවත්වාගෙන යා යුතු බව පෙනේ. ලංකාවේ බැංකු පද්ධතිය තවදුරටත් ශක්තිමත් කළ යුතු බව නොරහසකි.

විශ්වාසය ගොඩනැගීම

කෙසේ වෙතත් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ණය ලබා ගැනීම රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීමකි. මෙම ක්‍රියාවලියෙන් විශේෂයෙන් අපේක්ෂා කරනු ලබන්නේ ආණ්ඩුව ලංකාවේ ආර්ථීක ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට අවතීර්ණ වී ඇති බව තහවුරු කිරීමකි. අනෙක් අතට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි සහය ලැබීම වැටී ඇති ආර්ථීකය පුළුල් ප්‍රතිසංස්කරණ සමග නැවත වතාවත් ප්‍රකෘතිමත් කිරීමකි.

ඒ අනුව විදේශ ආයෝජන සඳහා යහපත් පරිසරයක් නැවත ගොඩ නැගෙමින් පවතින බවත් තහවුරු කිරීමකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබීමෙන් අනෙකුත් ණය ලබාදෙන ආයතන විශේෂයෙන් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකු වැනි ආයතන නැවත වතාවක් ලංකාවට ලබාදෙන ණය හා ආධාර ලබාදීම ආරම්භ කර තිබේ. JICA ආයතනය නැවත වතාවක් තම ව්‍යාපෘතිවලට ආධාර ලබාදීම ආරම්භ කර ඇත.

මේ වන විට ලෝක බැංකුව ලංකාවට ඇ.ඩො. මිලියන 700ක් ලබා දීමට පොරොන්දු වී ඇති අතර ආසියානු සංවර්ධන බැංකුවේ නවතම වාර්තාවලට අනුව 2023 වර්ෂයේ දී පමණක් ව්‍යාපෘතී 23ක් ආරම්භ කිරීමට යෝජනා වී තිබේ. විදේශ ණය ආධාර ලබාදීම, කොටස් වෙළඳපොළ සක්‍රීය වීම, ලංකාවේ බැඳුම්කර සඳහා විදේශ  ආයෝජකයන් ආකර්ෂණය වීම, ලංකාවේ ව්‍යාපෘතී සඳහා විදේශ ආයෝජන ආකර්ශනය වීම, වැනි සාධක ලංකාවේ ආර්ථීකය හෙට දවසේ ශක්තිමත්ව ගමන් කරයි යන විශ්වාසය තහවුරු වීමකි.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා පෙන්වා දුන් ප්‍රතිසංස්රකණවලට අමතරව  අනාවරණය නොවූණ යෝජනා ද තිබෙනවා විය හැකිය. සිදු වන  සාකච්ඡා හා එකගඟතාවලදී ඒවායේ රටට අහිතකර යෝජනා හිතකර යෝජනා ලෙස පරිවර්තනය කර ගැනීම ඒ සඳහා සහභාගී වන නිලධාරීන්ගේ වගකීමකි. තමන්ගේ පෞද්ගලික ප්‍රමුඛතාවලට  වඩා මේ අවස්ථාවේ රටට ප්‍රමුඛතාව දැක්විය යුතු බව අවසාන වශයෙන් අවධාරණය කළ යුතුය.

ආර්ථික විශ්ලේෂක / ශ්‍රී ලංකා කෘෂිකාර්මික ප්‍රතිපත්ති සභාවේ සාමාජික චිත්‍රාල් ජයවර්ණ