හෝමාගම පිටිපන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය දෙස රටේම අවධානය යොමුවී තිබේ. මීට පෙර අවධානය යොමුවී තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය දෙසටය. ඒ මැර සිසු පිරිසකගේ ප්‍රහාරයට එම විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා හා ඔහුගේ පුත්‍රයා ලක්වීමත් සමගය.
හිටපු උපකුලපතිවරයා පවසන්නේ එසේ ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු ශිෂ්‍යයන් මත්ද්‍රව්‍ය රැගෙන සිටි බවට තමන්ට සැක සිතෙන බවය. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් ද ඇසෙන්නේ ඒ හා සමාන හා එයටත් වැඩි කාරණය. බෞද්ධයන් පමණක් නොව ඕනෑම ආගමක් අදහන මිනිසකු එම තොරතුරුවලින් අපමණ ලෙස කම්පාවට පත්වනු නියතය.
ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර කාරණා සමාජය ඉදිරිපිටට නිරාවරණය වන්නේ නවකවද සිදුවීමත් සමගය. නවකවදයට ලක්වූ බව කියන පළමු වසර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පවසන්නේ තමන් ඉතා නිර්දය ලෙසත් තිරශ්චීන ලෙසත් නවක වදයට ලක්වන බවය. අවම මනුෂ්‍ය ගරුත්වය හෝ රැකගෙන ජීවත්විය හැකි වටපිටාවක් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ නොතිබෙන බවය. ඒවා කරුණෙන් කරුණ ලිවීම ගිහියන්වන අපට ද පිළිකුල් කටයුතුය.
මෙම විශ්වවිද්‍යාලයේ පැවිදි ශිෂ්‍යයෝ මෙන්ම ගිහි ශිෂ්‍යයෝ ද උගෙනුම ලබති. මෙම විශ්වවිද්‍යාලයට විවිධ මත්පැන් මෙන්ම විවිධ මත්ද්‍රව්‍ය පහසුවෙන් ලැබෙන බවටද ඇතැම් ශිෂ්‍යයෝ කියති. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ විශ්වවිද්‍යාලයෙන් පිටතට එන අධික සංගීත රාව නිසා තමන්ගේ දරුවන්ට පාඩම් කිරීමට පවා නොහැකිවී ඇති බවය.
එම විශ්වවිද්‍යාලයේ උප නේවාසිකාගාර පාලක නක්කලගොඩ යෝගානන්ද හිමියන් එම විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන්ට ලිඛිතව දන්වා තිබෙන්නේ ‘මේක බුදුන් වඳින්න පන්සලක්ද?’ මේක විශ්වවිද්‍යාලයක් කියලා තොපි දන්නේ නැද්ද? බුදුන් වඳින්න ආවොත් බාවනවා, යැයි පොලු මුගුරු රැගත් සිසුන් කිහිප දෙනකු ප්‍රකාශ කළ බවය. මෙම විශ්වවිද්‍යාලයේ පවතින නවකවද සිද්ධිය හා ශිෂ්‍ය ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති බවත් නැගෙන චෝදනා සත්‍ය බවත් එය හෙළිකළ යුතු බවත් එම විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් ප්‍රකාශ කළ බවත් මාධ්‍ය වාර්තාවල සඳහන්ය.
විශ්වවිද්‍යාලයක් යනු පන්සලක් නොවන බව සත්‍යයකි. එහෙත් එය හැඳින්වෙන්නේ පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය ලෙස හෙයින් සෙසු විශ්වවිද්‍යාල ආකෘතියෙන් මෙම විශ්වවිද්‍යාල වෙනස්විය යුතුය. මෙම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය එනමින් හඳුන්වනු ලැබුව ද ක්ෂිතිජයට ඔබ්බෙන් ලොව දකින විසල් හා පළල් මනසක් නිර්මාණය කර ගත හැකි අධ්‍යයන පරිසරයක් ද සංස්කෘතික පරිසරයක් ද තිබිය යුතුය. දේශපාලන නිදහස ඇතුළු අනෙකුත් මානව හිමිකම් සඳහා නිර්බාධක පරිසරයක් සහිත විය යුතුය. රට ඉල්ලන ගුණවත් නැණවත් නිර්මාණශීලී මිනිසුන් බිහිවන්නේ එබඳු පරිසරයකින්ය. එහෙත් ඒ සියල්ලම භික්ෂු විනයට හා මනුෂ්‍යත්වයට යටත් විය යුතුය.
පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය ආරම්භ කරනු ලැබුවේ ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලා බිහි කිරීම සඳහාය. ඒ සඳහාම වූ විෂය නිර්දේශයක්ද හඳුන්වා දුනි. වෙනත් විශ්වවිද්‍යාලයක මෙන් කැමති විෂයන් හැදෑරීමේ වරමක් මෙම ශිෂ්‍යයන්ට නැත. ඒ එම විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමේ පරමාර්ථය ඉටු කරගනු පිණිසය.
භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ඇරැඹුණු මෙම විශ්වවිද්‍යාලයට පසු කාලයේදී ගිහි පිරිමි ශිෂ්‍යයන්ට ද විවර විය. එය නරකක් නොවේ. දැහැමි බවින් පිරිපුන් තරුණ පරපුරක් එමගින් බිහි කිරීමට අවශ්‍ය පරිසරය සකස් කළ හැකිය. එහෙත් දැන් වාර්තාවන කරුණු වලින් පැහැදිලි වන්නේ මෙම විශ්වවිද්‍යාලය ආරම්භක අරමුණු වලින් පිට පැන ඇති බවය. ඒ සම්බන්ධ වගකීමක් පාලනාධිකාරිය සතුව ද ඇත. ප්‍රශ්න පුපුරා යාමට පෙර ඒවා කළමනාකරණය කිරීමට පාලනාධිකාරිය සමත් වූයේ නම් එම විශ්වවිද්‍යාලයේ කීර්තිනාමය මෙසේ සමාජය ඉදිරිපිට අභියෝගයකට ලක් වන්නේ නැත.
මෙම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයක් තිබේ. එහි සභාපති ස්වාමීන් වහන්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවය. එමෙන්ම ශිෂ්‍ය මර්දනය කිරීමේ කුමන්ත්‍රණයක් ද තිබෙන බවය. එම විශ්වවිද්‍යාලයට එරෙහිව මෙතරම් අපවාදයක් එල්ල වන ආකාරයට කටයුතු සිද්ධවීම සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමයද වගකිව යුතුය.
අපට අවසාන වශයෙන් ලිවීමට තිබෙන්නේ බුදු වදනකි. බුදුරාජණන් වහන්සේ දේශනය කළේ ‘විනයෝ නාම සාසනස්ස ආයු’ යනුවෙනි. එනම් සසුන රැකෙන්නේ විනය තිබෙන තාක් කල් පමණක් බවය. සියල්ලටම ඉහළින් විනය බව එමගින් අවධාරණය කෙරේ.
(***)