ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවනු ලැබුවේ 1949 දී පාර්ලිමේන්තුව මගින් සම්මත කළ මුදල් නීති පනත අනුවය. ඒ පනත යටතේ මහ බැංකුව දැනට අවුරුදු 72 ක් පමණ කාලයක් ක්‍රියාත්මක වෙමින් පවතියි. ඒ මුදල් නීති පනත සම්පාදනය කිරීමට දායක වූයේ එවකට හිටපු මුදල් අමාත්‍යවරයා වූ ජේ.ආර්. ජයවර්ධනය.
ඒ සඳහා සේවය ලබාගත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ෆෙඩරල් රිසව් බැංකුවේ’ නිලධාරියකු වශයෙන් සේවය කළ ජෝන් එක්ස්ටර් නමැති අර්ථ ශාස්ත්‍රඥයාගෙනි. අපේ මුදල් නීති පනත සම්පාදනය කළේ ඒ අර්ථ ශාස්ත්‍රඥයාය. ඒ පනත අනුව මහ බැංකුව පිහිටු වූයේ 1950 දීය.
1949 දී සම්මත කරගත් ඒ පනතේ පවතින අඩුපාඩු නිසා රජයට මහබැංකුවේ කටයුතුවලට ඇඟිලි ගැසිය හැකිය. එසේම මහ බැංකුව හරහා තම වියදම් පියවා ගැනීම සඳහා මුදල් නෝට්ටු මුද්‍රණය කර එමගින් අය - වැය හිඟය පියවා ගැනීමට ද රජයට හැකියාව තිබේ. ඒ නිසා මහ බැංකුවේ කටයුතු සම්බන්ධයෙන් අලුත් පනතක් ඉදිරිපත් කළ යුතුය යන අදහස 1990 ගණන්වල සිටම මහ බැංකුවේ නිලධාරීන් අතර පැවැතිණි.
ඒ අනුව 2002 වසරේ දී ආරම්භ කළ මහ බැංකු නවිකරණ වැඩ පිළිවෙළ යටතේ එවකට හිටපු අධිපති ඒ.එස්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහායත් ලබාගෙන මහබැංකුව සඳහා අලුත් පනත් කෙටුම්පතක් කෙටුම්පත් කෙරිණි. එමගින් 1949 පනතේ තිබූ අඩු පාඩු බොහොමයක් ඉවත් කර මහ බැංකුවට ස්වාධීනතාව ලබා ගැනීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් විය.
මහ බැංකුවේ මැදිහත්වීමෙන් සකස් කළ ඒ පනත් කෙටුම්පත සම්මත කළ යුතු බව 2004 දී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද පිළිගත්තේය. එහෙත් 2004 දීම ආණ්ඩුව වෙනස් විය. 2005 දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති විය. ඉන් පසුව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් වූ ආචාර්ය පී.බී. ජයසුන්දර මෙවැනි පනතක් අනවශ්‍ය බව කියමින් එය විසිකර දැම්මේය. ඒ අනුව මහ බැංකුව ස්වාධින කිරීමට පැවැති පළමු අවස්ථාව ලංකාවට අහිමි විය.
මහ බැංකුව ස්වාධින කිරීම සඳහා වූ දෙවැනි අවස්ථාව උදා වූයේ 2017 දීය. එවකට අධිපතිව සිටියේ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිය. කුමාරස්වාමි පත් කළ කමිටුවේ ප්‍රධානියා වූයේ දැනට මහ බැංකු අධිපති වශයෙන් කටයුතු කරන ආචාර්ය නන්දලාල් වීරසිංහය. ආචාර්ය නන්දලාල් එවකට රාජකාරි කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා වශයෙනි.
ඒ පිරිස ද අලුත් පනත් කෙටුම්පතක් කෙටුම්පත් කළහ. එවකට මුදල් ඇමැති ලෙස සිටි මංගල සමවීර සේම හර්ෂ ද සිල්වා හා ඉරාන් වික්‍රමරත්න වැනි අමාත්‍යවරුන්ගේ යෝජනාව මත රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඒ පනත් කෙටුම්පත ද ක්‍රියාත්මක කළ යුතු බව පිළිගත්තේය. අනතුරුව එය ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කෙරිණි. ඒ 2019 මුල් භාගයේදීය.
එහෙත් 2019 නොවැම්බර් මාසයේදී යළිත් ආණ්ඩුව වෙනස් වෙයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වෙයි. අනතුරුව ජනාධිපති ලේකම් ලෙස පත් වූ ආචාර්ය පී.බී. ජයසුන්දර යළිත් මෙම පනත් කෙටුම්පත විසිකර දැම්මේය. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත් වූ පසුව අලුත් තත්ත්වයක් ඇතිවෙයි.
ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබා ගැනීමට අයදුම් කිරීමේ දී මූල්‍ය අරමුදලෙන් පැන වු එක් පූර්ව කොන්දේසියක් වන්නේ මහ බැංකුව ස්වාධීන කළ යුතු බවය. ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ විදේශ සබඳතා උප කමිටුව මගිනුත් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලංකාව ඉල්ලා සිටින ණය අනුමත කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයක් කිරීමටත් ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමටත් ලංකාව එකඟ වුවහොත් පමණක් බවය.
ඒ නිසා දැන් ලංකාව තීරණාත්මක අවධියකට මුහුණ දී සිටියි. මූල්‍ය අරමුදලෙන් අපේක්ෂිත ණය මුදල ලබා ගැනීමට නම් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව මහ බැංකුව ස්වාධීන කිරීම සඳහා වූ පනත් කෙටුම්පත අනිවාර්යයෙන්ම සම්මත කළ යුතුමය. ඇමෙරිකාවෙන් හා මූල්‍ය අරමුදලෙන් පනවා තිබෙන පූර්ව කෝදේසි අනුව මේ පනත් කෙටුම්පත සම්මත නොකළහොත් මුල්‍ය අරමුදලෙන් ණය නොලැබෙයි. ඒ නිසා ඒ පනත් කෙටුම්පත දැන් යළිත් ගැසට් කර තිබේ. රජයේ මුද්‍රණලයාධිපතිගේ වෙබ් අඩවියෙන් එය අවශ්‍ය ඕනෑම අයකුට බාගත කළ හැකිය.
යෝජිත පනත් කෙටුම්පතෙහි සාධනීය දේවල් සේම අඩු පාඩු ද පවතී. අපි පළමුව සාධනීය යෝජනා දෙසට හැරෙමු. දැනට පවතින පනත යටතේ සංස්ථාපිත ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන්නේ මහ බැංකුව නොව මුදල් මණ්ඩලයයි. ඒ නිසා යමකු නඩු දමන්නේ නම් දැමිය යුත්තේ මුදල් මණ්ඩලයට එරෙහිව මිස මහ බැංකුවට විරුද්ධව නොවේ.
බොහෝ කටයුතු සම්බන්ධයෙන් දැන් බොහෝ දෙනා මහ බැංකුවට චෝදනා කළත් ඒ චෝදනා සම්බන්ධයෙන් වගකිව යුත්තේ මුදල් මණ්ඩලය මිස මහ බැංකුව නොවේ. නව යෝජනා යටතේ සංස්ථාපනය කෙරෙන්නේ මහ බැංකුවයි. ඒ නිසා මින් ඉදිරියට නීතිය ඉදිරියේ පුද්ගලයකු වන්නේ මහ බැංකුවයි. එබැවින්ම මහ බැංකුවට එරෙහිව නඩු පැවරිය හැකි වෙයි. නව යෝජනාවල පළමු සාධනීය ලක්ෂණය එයයි. එනම් මහ බැංකුව නෛතික පුද්ගලයකු කිරීමය.
නව යෝජනාවල දෙවැනි සාධනීය ලක්ෂණය වන්නේ දැනට පවතින පනතින් භාණ්ඩාගාර ලේකම්ට පිරිනමා තිබෙන තත්ත්වය ඉවත් කිරීමය. පවතින පනත යටතේ භාණ්ඩාගාර ලේකම් මුදල් මණ්ඩලයේ ඡන්ද බලය සතු සමාජිකයෙකි. එහෙත් යෝජිත පනතෙන් ඒ තත්ත්වය ඉවත් කර තිබේ. එපමණක් ද නොව නව යෝජනාවලින් මුදල් මණ්ඩලය ද අහෝසි වෙයි. ඒ වෙනුවට නව මණ්ඩල දෙකක් පත් කරයි. එකක් ‘ගවනින් කවුන්සිල්’ හෙවත් මහ බැංකුවේ පාලක සභාවය.
ඉහළින් ඒ සභාව පවතින අතර මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ‘මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය’ නමින් වෙනත් මණ්ඩලයක් ද පත් කිරීමට යෝජිතය. භාණ්ඩාගාර ලේකම් ඒ මණ්ඩල දෙකෙහිම සාමාජිකයකු නොවන නිසා ඔහුට මහ බැංකුවට බලපෑම් කිරීමට තිබෙන හැකියාව අහෝසි වෙයි. එය නව යෝජනාවල දෙවැනි සාධනීය ලක්ෂණයයි.
මහ බැංකුවක මූලික කර්තව්‍යය වන්නේ මිල ස්ථායිතාවයයි. දැනට පවතින පනත යටතේ මිල ස්ථාවරතාව සහ මුල්‍ය පද්ධති ස්ථාවරතාව යන දෙකම එක සමාන වැදගත්කමකින් සලකයි. නව යෝජනා යටතේ ඉහත කී දෙවැනි කාරණය පළමු කාරණය මුදුන් පමුණුවා ගත් පසුව ඉටු කරගත යුතු ද්විතීක කාරණයක් බවට පත්කර තිබේ.
මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මගින් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරයි. ඒ මුල්‍ය ස්ථාවරතාව ලබා ගැනීම සඳහායි. ඊට අමතරව මහ බැංකුවේ පොදු පාලනය සඳහා පාලක සභාව කටයුතු කරයි. මුල්‍ය පද්ධතිවල ස්ථායිතාව රැක ගැනීම පාලක සභාවේ වගකීමක් වෙයි. යෝජිත මේ සංශෝධන ක්‍රියාත්මක වුවහොත් මහ බැංකු පරිපාලනයේ විශාල වෙනසක් ඇති වෙයි. නව යෝජනාවල තෙවැනි සාධනීය ලක්ෂණය එයයි.
යෝජිත සංශෝධන යටතේ මහ බැංකු අධිපතිවරයා ඉහත කී මණ්ඩල දෙකේම සභාපති ලෙස කටයුතු කරයි. පාලක සභාවට මහ බැංකු අධිපතිට අමතරව තවත් හය දෙනකු පත් කරයි. ඒ මුදල් ඇමැතිගේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසිනි. ජනාධිපතිට ඔවුන් පත් කළ හැක්කේ මුදල් ඇමැතිගේ නිර්දේශ සඳහා ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගත් පසුවය.
මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයට මහ බැංකු අධිපති සමග පාලක සභාවේ සාමාජිකයෝත් පත් වෙති. ඊට අමතරව මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති භාර නියෝජ්‍ය අධිපතිත් මූල්‍ය පද්ධති ස්ථාවරත්වය භාර නියෝජ්‍ය අධිපතිත් පත් කරයි. මහ බැංකුව පාලනය කරන්නේ ඒ සභා දෙක මගිනි. නීතියෙන් සංස්ථාපිත ආයතනය වන්නේ මහ බැංකුවයි.
දැනට ක්‍රියාත්මක මුදල් නීති පනත යටතේ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය මගින් ආණ්ඩුවට ණය දීමට මහ බැංකුවට හැකියාව පවතී. යෝජිත සංශෝධන මගින් ඒ බලය ඉවත් කර තිබේ. මහ බැංකුවට ප්‍රාථමික වෙළෙඳ පොළෙන් මිලදී ගත නොහැකිය. ද්විතීක වෙළෙඳ පොළෙන් මිලදී ගත යුතු බවට යෝජනා කරයි.
ඍජුව හෝ වක්‍රව රජයට ණය දීමට මහ බැංකුවට තිබූ බලය හා හැකියාව යෝජිත සංශෝධන මගින් අහෝසි කර තිබේ. එය ඉතාමත් සාධනීය තත්ත්වයකි. එමගින් මුදල් ඇමැතිවරයාට අය වැය හිඟය පියවා ගැනීමට මහ බැංකුව හරහා මුදල් මුද්‍රණයකර ගැනීමට තිබූ හැකියාව ද අහෝසි වෙයි.
මහ බැංකුව ඇතුළු ඕනෑම බැංකුකරුවකු තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් සේවා තුනක් සැපයිය යුතුය. ගනු දෙනුකරුගේ ගිණුම් පවත්වාගෙනයාම ඉන් එක සේවාවකි. ගනුදෙනුකරුට ගෙවීම් වශයෙන් ලැබෙන චෙක්පත්, අණකර, මුදල් ඇණවුම්, තැපැල් ඇණවුම් යනාදිය නිශ්කාෂණය කර ගනුදෙනුකරුවාගේ ගිණුමට බැර කිරීම දෙවැනි සේවාවයි. ගනුදෙනුකරුට ද්‍රවශීලතා ප්‍රශ්නයක් එනම් මුදල් හිඟයක් ඇතිවුවහොත් අයිරා පහසුකම් සැපයීම මගින් ගනුදෙනුකරුවා රැක ගැනීම බැංකු සතු තෙවැනි වගකීම හෙවත් සැපයිය යුතු තෙවැනි සේවාවයි.
පවතින මුදල් නීති පනත යටතේ තිබෙන විධිවිධානය වන්නේ මහ බැංකුව රජයේ ඉදිරි වර්ෂයේ ආදායමෙන් සියයට 10 කට සමාන අයිරා පහසුකමක් රජයට ලබා දීමය. එය තාවකාලික අත්තිකාරම් නමින් හැඳින්වෙයි. සෑම මුදල් ඇමැතිවරයෙක්ම ඒ තාවකාලික අත්තිකාරම් අවභාවිත කළ බව අපි දනිමු. එයට හේතුව ඒ සියයට දහය ලබාගැනීම සඳහා ඉදිරි වර්ෂයේ ආදායම අධිතක්සේරු කිරීමය. එසේ කර ඉන් සියයට 10 ක් ලබා ගනියි. ඒ සඳහා පොලියක් නොගෙවයි. යෝජිත කෙටුම්පතින් එසේ කිරීමට තිබෙන හැකියාව ඉවත් කරයි.
ඒ වෙනුවට ද්‍රවශීලතාව එනම් මුදල් සපයා ගැනීමට අවශ්‍ය නම් පළමුවැනි මාසය ඇතුළත දී රජයට මහ බැංකුවෙන් ණයක් ලබාගත හැකිය. පසුගිය වසරේ පළමුවැනි මාස හතරේ දී පැවැති ආදායමෙන් සියයට 10 ක් එසේ ණයක් ලෙස ලබාගත හැකිය. එය ද ඉතාමත් වැදගත් විධි විධානයකි. හේතුව එමගින් රජයට නොමිලේ ණය දීමට තිබූ හැකියාව මහ බැංකුවෙන් ඉවත් කර තිබීමය.
මහ බැංකුව උද්ධමනය ඉලක්ක කරගත් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බව යෝජිත සංශෝධනවල සඳහන් වෙයි. ඒ සඳහා මහ බැංකුව වර්ෂය මුලදී මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කළ යුතුය. එහිදී උද්ධමන වේගය ගැන තීන්දුවක් ගත යුතුය. අනතුරුව ඒ උද්ධමන වේගය පවත්වාගෙන යාමට අවශ්‍ය මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මහ බැංකුවේ වගකීමකි.
ඒ අනුව මුදල් ප්‍රතිපත්තිවලත් විශාල වෙනසක් ඇතිවෙයි. ඇමැති සමග එකඟ වූ උද්ධමන වේගය පවත්වාගෙන යාමට නොහැකි වුවහොත් මහ බැංකුව වර්ෂය මැද දී හෝ අගදී පාර්ලිමේන්තුවට වගකිව යුතුය. ඉන් සිදු වන්නේ මහබැංකුව වගවීමකට යටත් කිරීමකි. එය ද යෝජිත සංශෝධනවල සාධනීය පියවරකි.
නව යෝජනාවල දකින දුර්වලතා ද කිහිපයකි. යෝජිත සංශෝධන අනුව අධිපති කව්දැයි නිර්දේශ කරන්නේ මුදල් ඇමැතිය. ඒ නිර්දේශයට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ගත යුතුය. අනතුරුව පත්වීම කරන්නේ ජනාධිපතිය. පාලක සභාවට පත් කරන සාමාජිකයන් හයදෙනා නිර්දේශ කරන්නෙත් මුදල් ඇමැතිය.
ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන් පසු ජනාධිපති විසින් ඒ හයදෙනා පත් කරනු ලබයි. මෙහි පවතින දුර්වලතාව වන්නේ නිර්දේශ කිරීමේ බලය මුදල් ඇමැතිට ලබා ගැනීමය. ඒ බලය මුදල් ඇමැති සතු නිසා ඔහු තමන්ට ලැදි පුද්ගලයන් පත්කරවා ගැනීම මගින් යළිත් දේශපාලන ඇඟිලි ගැසීම් කළ හැකිය. එමගින් මහ බැංකුවේ ස්වාධීනතාවට යළිත් ගැටලු ඇතිවෙයි.
ලෝකයේ වෙනත් රටවල මහ බැංකු පරිපාලනය සඳහා පුද්ගලයන් නිර්දේශ කරන්නේ තෝරා ගැනීමේ මණ්ඩල මගිනි. මහ බැංකු අධිපති ඇතුළු වෙනත් මණ්ඩලවල සාමාජිකයන් ලෙස පත් කළ යුතු පුද්ගලයන්ගේ නම් නිර්දේශ කරන්නේද ඒ තෝරා ගැනීමේ මණ්ඩල මගිනි. එසේ තෝරාගන්නා පුද්ගලයන් ව්‍යවස්ථා සභාවේ අනුමැතිය යටතේ පත්කිරීම සුදුසු බව මගේ යෝජනාවයි. ව්‍යවස්ථා සභාව අනුමත කරන තිදෙනකු අතරින් කෙනකු අධිපති ලෙස පත් කළ යුතු බව මගේ යෝජනාවයි.
එසේම ව්‍යවස්ථා සභාව අනුමත කරන නම් හයකට වැඩි ප්‍රමාණයක් අතරින් හය දෙනකු තෝරාගෙන පාලක මණ්ඩලයට පත් කළ යුතු බව මගේ යෝජනාවයි. එසේ කළහොත් පමණක් මහ බැංකු පරිපාලනය ස්වාධීන වෙයි. එසේ නොවුණොත් වන්නේ මුදල් ඇමැතිගේ රූකඩ යළිත් කරළියට පිවිසීමයි.
සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන