මේ රට සංස්කෘතික කාන්තාරයක්, මිනී කන්නන්ගේ දේශයක් යනුවෙන් නිමක් නැති අවමන් විඳි රටකි. එසේ අවමන් විඳීමට සිදු වූයේ අහේතු නොවන බව ද ඒකාන්ත සත්‍යයකි. එබඳු පරිසරයක් තුළ පුරවැසියන්ගේ කාර්යභාරය විය යුතුව තිබුණේ එම අවමන් අකාමකා දමමින් තමන් උපන් රට ගෞරවණීය තලයකට ඔසොවා තැබීමට හැකි සෑම ආකාරයකින්ම යහමින් සම්මාදන් වීමය. එහෙත් බොහෝ සිදුවීම්වලින් පැහැදිලි වන්නේ අප පුරවැසියා තවමත් එහෙම වැටී නැති බවය. ඒ බව ඔප්පු කරන පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.
අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියේ සිරස්තලය වූයේ ‘කෑම පාර්සලය බිම තැබුවැයි සිවිල් ආරක්ෂකට බිම පෙරළාගෙන නෙළලා’ එස්. අයි. අල්ලන්න සොයයි’ යනුවෙනි. මෙම සිරස් තලයට අදාළ සිදුවීම වාර්තාවන්නේ වාන් ඇළ පොලිසියෙනි.
රාත්‍රී ආහාරයට ගෙනා කෑම පාර්සලය බිම තැබුවේ යැයි කියමින් සිවිල් ආරක්ෂක බළකායේ භටයකුට බිම දමාගෙන අතින් පයින් පහර දුන්නේ යැයි කියන සිද්ධිය මේ සම්බන්ධයෙන් වාන් ඇළ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගැනීමට වාන් ඇළ පොලිසිය පරීක්ෂණ කරන බවද එම ප්‍රවෘත්තියේ සඳහන්ය.
සිවිල් ආරක්ෂක භටයා පොලිසියේ ප්‍රධාන දොරටුවේ ඉකුත් 19 වැනිදා රාත්‍රියේ රාජකාරියේ සිටිය දී කිසියම් පුද්ගලයකු උප පොලිස් පරීක්ෂකවරයාට දෙන ලෙස පවසා කෑම පාර්සලයක් ලබාදී ඇත. සිවිල් ආරක්ෂක භටයා කෑම පාර්සලය රැගෙන උප පොලිස් පරීක්ෂකවරයාගේ නිල නිවෙසට පැමිණි අවස්ථාවේ එහි දොර වසා තිබී ඇත.
දොර විවෘත කරන ලෙස කිහිපවරක්ම පවසා ඇතත් දොර විවෘත නොකළ බැවින් කෑම පාර්සලය දොර ළඟ බිම තබා යන බව සිවිල් ආරක්ෂක භටයා පවසා ඇතැයි පොලිසිය පවසන බව අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය. එම අවස්ථාවේ දොර විවෘත කරගෙන පැමිණි උප පොලිස් පරීක්ෂකවරයා සිවිල් ආරක්ෂක භටයාට බිම පෙරළාගෙන අතින් පයින් පහරදී ඇත.
පහර කෑමට ලක්වූ සිවිල් ආරක්ෂක භටයා ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කරනු ලැබූ බවත් සිද්ධියෙන් පසුව නිල නිවෙසින් පලාගොස් ඇති උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට වාන් ඇළ පොලිසිය පරීක්ෂණ කරන බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය.
අප ජන ජීවිතයට සම්බන්ධ ඉතා සමීප ඉගැන්වීමක් බුදු දහමේ සඳහන්ය. ‘අත්තානං උපමං කත්වා - නහනෙය්‍ය නඝාතයේ’ යන්න එම බුදු වදන වේ. එමගින් කියැවෙන්නේ ‘තමන් උපමාවට ගෙන අනුන් නොනසන්න’ යන්නය. මෙම බුදු වදන ජීවන දර්ශනය බවට පත්කර ගන්නේ නම් පෞද්ගලික ජීවිතය මෙන්ම සමාජයීය ජීවිතය වඩාත් අර්ථාන්විතව ගත කළ හැකිය යන්න සදාතනික සත්‍යයකි.
තමන්ගේ කෑම පත යමකු බිම තමන්නේ නම් තමන් එයට එකඟ නොවන බවත් එම සිදුවීම තමන් තුළ කෝපය අවුළුවාලීමට හේතුවන බවත් වටහා ගැනීමට අමුතු නුවණක් අවැසි නොවේ.
මිනිස් සමාජයේ ශිෂ්ටත්වය මනින එක් ප්‍රධාන නිර්ණායකයක්වන්නේ එම සමාජයේ ජීවත් වන මිනිසාගේ ආහාර පුරුදුය. ‘‘සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා’’ යනුවෙන් දක්වා ඇති පරිදි සියලු සත්වයන් ජීවත් වන්නේ ආහාරයෙනි. එහෙයින් ආහාරයට ගරු කිරීම එක් දියුණු මානවීය ලක්ෂණයකි. එම මානවීය ගුණය එයට හිමි ගැඹුරින්ම හඳුනාගෙන තිබුණේ නම් උප පොලිස් පරීක්ෂකවරයාගේ රාත්‍රී ආහාරය බිම තබා යාමට සිවිල් ආරක්ෂක භටයා නොපෙළඹෙනු ඇත. ජීවත්වීම සඳහා ‘සාමාන්‍ය දැනීම’ අවශ්‍ය වන්නේ එහෙයිනි.
උප පොලිස් පරීක්ෂකවරයකු යනු ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරී ධුරාවලියේ පළමු පියවර වේ. උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්වූ නිලධාරියකුට පොලිස්පති ධුරය දක්වා දිගු දුර ගමනක් යෑමට අවස්ථාව තිබේ. එමෙන්ම පොලිස් නිලධාරියා යනු සමාන්‍ය ජනතාවට බොහෝ සෙයින් සමීප, එමෙන්ම එම ජනයා සමග ගැටීමට සිදුවන සුවිශේෂී චරිතයක් ලෙස ද හැඳින්වේ. එහෙයින් සාමාන්‍ය පොදු මහජනයාට ඉහළින් බලවත් ආදර්ශ පොලිස් නිලධාරියාගෙන් සමාජය නිරතුරුවම අපේක්ෂා කරයි.
පොලිස් නිලධාරියා ඒ බව මනාව තේරුම් ගනිමින් කටයුතු කළ යුතුය. එසේ නොමැතිව කට ගොන්නක් කසිප්පු බීගෙන මදාවියකු මෙන් හැසිරීමට පොලිස් නිලධාරියකුට අයිතියක් නැත. එහෙත් වාන් ඇළ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා හැසිරී ඇත්තේ එසේ මදාවියකු ලෙස බව ඉතා පැහැදිලිය.
තමන් උපමාවට ගෙන සමාජයේ ජීවත් වන්නේ නම් බොහෝ ගැටලු නිරාකරණය කරගත හැකි බව වටහා ගැනීම වැදගත් වන්නේ මෙම පරිසරය තුළය.
(***)