''කන්දේ හැපුන මහ වනන්තරේ
ඩි.සි 8 ගුවන් යන්තරේ
මරුවා ආ කල මිතුරේ
බේරෙන්න බෑ සසරේ
කාගෙද මට වරද නොතේරේ''
මෙම ගීතය දශක හතරකට ඉහත දී මෙරට ගීත ක්ෂේත්රයට එක් වුවත් අදටත්ද නොනැසුන ජනප්‍රියත්වයකට හිමිකම් කියනු ඇත. මෙම ගීතය නිර්මාණය වීමට හේතු පාදක වූ සිදු වීමට අදට (4) ට වසර 45 ක් සපිරෙනු ඇත. 1974 දෙසැම්බර් 4 වැනිදා සිදුවූ එය ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවූ බරපතලම ගුවන් අනතුර ලෙස වාර්තා වේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ, අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නොටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඒ සුන්දර පරිසරය වෙත අපි පිය නැගුවෙමු. මෙරට ප්‍රථම ජලවිදුලි බලාගාරය වන විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය පිහිටි නොර්ටන් බ්‍රිජ් නගරය පසුකර “බිංදුව” (0) කණුව පිහිටි ඩබල් කටින් නම් මංසන්ධියෙන් වමට හැරී ඉදිරියට ගමන් කරන විට අලංකාර ලක්ෂපාන දිය ඇල්ල හමුවේ.
එම මාර්ගයේ ඉදිරියට ඇදෙන විට දකුණු පසින් අපට ඒ මනරම්, සිත් ගන්නා සුළු කඳුවැටිය දිස්වේ. සහෝදරියන් ලෙස එක පෙළට පිහිටා තිබුණ කඳු හතක් නිසා ඕ “සප්ත කන්‍යා”ලෙසින් නම් ලැබුවාය.
ලක්ෂපාන ජලවිදුලි බලාගාරය ඉස්මත්තේ පිහිටි සප්ත කන්‍යා කඳු පන්තිය දවසේ වැඩි කාලයක් මිහිදුම් සළුවක සැඟවී සිටින පරිසරයක සුන්දරත්වයෙන් හෙබි සුන්දර කඳුවැටියකි. එසේම කඳු තරණය කරන්නන්ගේ පාරාදිසයක් වූ සප්ත කන්‍යා කඳු වැටිය එදවස ලොවම කම්පා කළ හා බහුතරයකගේ නෙතට කඳුලක් එක් කළ මතකයකට හේතු පාදක වන්නට විය.
ඒ 1974 දෙසැම්බර් 4 වෙනිදාය, එදින බදාදා දිනයකි. වේලාව රාත්‍රි 10.10 ට පමණ ඇත. ප්‍රදේශයම ගිනියම් කරමින් දෙදරුම් හඬ නගමින් ගිනිජාලාවක් සප්ත කන්‍යා කඳු වැටියේ සිව් වන කන්දේ ගල් පර්වතයක ගැටිණි. ඉන්දුසිනීයාවේ ජකර්තා නුවර සිට මක්කම බලා බැතිමතුන් රැගෙන යමින් සිටි මාර්ටින් එයාර් ගුවන් සමාගමට අයත් (DC-8) ගුවන් යානය මෙසේ අනතුරට පත්විණි. එහි ගමන් ගනිමින් සිටි ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඇතුළු පුද්ගලයින් 191 ගේ ජීවිත මරු තුරුලට ගිය අතර ඔවුන්ගේ මළ සිරුරු කොටස් ලෙසට ගස් ගල් උඩ විසිරී තිබිණි.
පසු දින සිට මෙරට මෙන්ම විදේශීක ජනයාගෙන් හා ආරක්ෂක අංශ වලින් එම ප්‍රදේශයම පිරී ඉතිරී ගියේය. අනතුරින් මිය ගිය අයගේ ඥාතින්, මිතුරන් පැමිණ හැඩු කඳුළින් සිය මව,පියා සහෝදරයා සෙවූ මුත් කිසිවෙකු හඳුනා ගැනීමට නොහැකි විණි. එම පිරිස අතර කාන්තාවන් 59 දෙනෙකු සිටි බව පසුව අනාවරණය වූ අතර මියගිය පිරිසගේ ශරිර කොටස් එකතු කර කඳුවැටිය පාමුලම මිහිදන් කළ අතර එය සිහි ගැන්වීම ස්මාරකයක් ද ඉදිකර තිබේ.
ගුවන් යානය පිපිරී යාමත් සමඟ විසිරී ගිය ගුවන් යානයේ කොටස් හා රන් ආභරණ , මුදල් ඇතුළු නොයකුත් ද්‍රව්‍ය එම ස්ථානය නැරඹීමට පැමිණි පිරිස් විසින් අහුලාගෙන ගිය බව පැවසෙන අතර එලෙස රැගෙන ගිය ගුවන් යානයේ කොටස් තවමත් ඇතැම් පුද්ගලයන් සන්තකයේ සුරක්ෂිතව තබාගෙන සිටියදී අපට දකින්නට හැකි විය.
ඒ අතර ගුවන් යානයේ ටයරයක් නොර්ටන් බ්‍රිජ් පොලිසිය ඉදිරිපිට පොලිස් රථගාල පසෙක ස්ථාපිත කර තිබේ. එමෙන්ම ගුවන් යානයේ දොර පියනක කොටසක් හා තවත් කොටස් කිපයක් ප්‍රදේශවාසීන් සන්තකයේ තිබියදී දක්නට හැකි විය.
එහිදි හමුවූ ගම්ලත් රාළලාගේ පුංචිසිඤ්ඤෝ මහතා සිය අත්දැකීම මෙසේ පැහැදිලි කළේය.
ගම්ලත් රාළලාගේ පුංචිසිඤ්ඤෝ නෝටන්බ්‍රිජ්, කෙතේතැල්ලෙන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කර විශ්‍රාම ලබා වෙළඳසැලක් පවත්වාගෙන යමින් සිටී.
මේ ඔහු අප සමඟ පැරණි අත්දැකීම මෙලෙස විස්තර කළ කළේය.
මම 1941 වසරේ ඉපදුණේ. ලංකා විදුලිබල මණ්ඩලයේ, ලක්ෂපාන විදුලි බලාගාරයේ වැඩ කරමින් සිටියේය. එදින රෑ 10.15 ට පමණ පොළවත් එක්ක හෙල්ලුණා. මම රෑ ආවේ නෑ. පහුවදා උදේ මම එනකොට හමුදාවේ කට්ටියක් හම්බ වුණා. ඒ අයත් එක්කම සප්ත කන්‍යා ගල යටට ගියා.
ඒ යනකොට දැක්කේ මස් කඩයක වගේ මිනිස්සුන්ගේ කෑලි ගස්වල එල්ලෙනවා. මට ඒක බලන්න බෑ. මම ගෙදර ගියා. දවස් දෙක තුනකට පස්සේ ආයේ ආවා. එතකොටත් හොයන්නේ ගුවන් යානයේ “කළු පෙට්ටිය.”මමත් හමුදාවේ කට්ටියත් එක්ක ගල මුදුනට ගියා. ඒ ගිය වෙලාවේ ගලක් යට තියෙන කොටසක් පෙන්නුවා. පස්සේ කඹයක් දාලා හමුදාවේ අය මාව එතනට බැස්සුවා.
ඒක කලු පෙට්ටියේ කෑල්ලක්. එතනදී මාව ලිස්සලා ගිහින් ගහක රැදුනේ. මම තමයි කලු පෙට්ටියේ ඉතිරි වුණ රෝල් කොටස හොයලා දුන්නේ. ඔය ගලට එහා පැත්තෙන් තමයි ගුවන් යානා යන්නේ. මේ ගුවන් යානය මේ පැත්තෙන් වැරදිලා ඇවිල්ලා. ඒක නිසා තමයි ගලේ හැපිලා තියෙන්නේ.
සප්ත කන්‍යා කඳුවැටිය පාමුල පිහිටි, කොත්තැල්ලෙන, මුරුත්තැන්න ගම්මානයේ පදිංචිකරුවකු වන සුමනදාස මහතා සිය අත්දැකීම් අපට මෙසේ විස්තර කළේය.
එම කාලය වන විට ඔහුගේ වයස අවුරුදු 21 ක් පමණ වු අතර එදින රාත්‍රියේ එම ප්‍රදේශයේ නිවසක පැවති ප්‍රිය සාදයක් සදහා සහභාගී වී එමින් සිටියදී මෙම අනතුර දැක ඇත. මේ ඔහු කියූ කතාවයි.
මට නිවස ආසන්නයේදීම ශබ්දයක් ඇහුණා. ගිනි පත්තු වෙමින් ආව ගුවන් යානයක් මේ කන්දේ හැපුණා. ඒ කන්දේ තියෙන්නේ බට පදුරු. ඒවා ගිනි ගන්න ගත්තා. පසුදා අපි බලන්න ගියා. යනකොට ගුවන් යානයේ සුන්බුන් විසිරිලා තිබුණා.
මිනිස්සු ඔක්කොම මැරිලා. කෑළි කෑළි වෙලා හැම තැනම මළ කඳන්. ඒවා ටිකක් ගෙනත් කඳු පාමුල භූමදානය කළා. අනික් ඒවා එහෙම්මම තිබුණා. අපි යනකොටම හෙළිකොප්ටරයක් ආවා. ඒක මුරුත්තැන්නේ දළු මඩුව ළඟ තමයි ගොඩ බෑවේ.එ තන මමයි රාමසාමියි, සත්තිවේලුයි හිටියේ. සත්තිවේල් කොළඹ රත්මලාන පැත්තේ ගෙදරක වැඩ කරලා තිබුණේ. සත්තිවේල් අත් දෙකෙන් සංඥා කළා. එතකොට හෙලිකොප්ටරය දළු මඩුව ළඟ පිට්ටනියේ ගොඩ බෑවා. ඒ වුනාට එක ආයේ උඩ නග්ගන්න බැරි වුණා.
ඊට පස්සේ බලන කොට එකේ කාර්මික දෝෂයක්. සුදු මහත්තයෙක් ඇවිල්ලා දවස් ගානක් එතන තියාගෙන ඒක හැදුවා. අපි උදව් කළා එකේ වැඩ වලට. ඒ වෙනුවෙන් අපිට ලාම්පුතෙල් බෝතල් තුන ගානේ දුන්නා. අපිට ලොකු දෙයක් ඉතිං ඒක. අපේ ගෙවල් වලත් පාචිච්චි කලේ ලාම්පු නිසා.
පහු වෙනකොට ඉතිං ගමේ මිනිස්සු විතරක් නෙමෙයි. පිට පළාත්වල මිනිස්සුත් ඇවිත් හැම තැනම ඇවිද්දා. ඒ අතරෙදී ඉතිං ගුවන් යානයෙන් කඩා වැටුණ කොටස් ,වගේ දේවල් මිනිස්සු අහුලගෙන ගියා. මේක මේ පළාතට කවදාවත් අමතක නොවන අත්දැකිමක්.
ලංකාවේ හමුදාවෙන් ඇවිත් හිටියා. ඒ ආපු හමුදාවේ අය කොත්තැල්ලෙන ඉස්කොලේ තමයි නැවතිලා හිටියේ. එගෝල්ලෝ හෙව්වේ කලු පෙට්ටිය. එකේ ටේප් කෑලි වගයක් තමයි හම්බවෙලා තිබුණේ. ඒ ගොල්ලෝ එක අරගෙන ගියා. එතනදී අම්බෙඩ්කාර් කියලා මේ ළග තේ වත්තේ හිටිය මනුස්සයෙක් ජැක් එකකට යටවෙලා මැරිලා තිබුණා.
එම අනතුරට 45 වසරක් ගෙවෙන මුත් තවමත් එම ප්‍රදේශයේ පැරණි පුද්ගලයන්ට එය අද ඊයේ සිදුවුවා සේ මතකය. එමෙන්ම ගුවන් යානයෙන් විසිරුණ කොටස් මතක සටහන් ලෙස බොහෝ නිවෙස්වල තබාගෙන සිටිති.
ඇතැම් වර්ෂවලදී මිය ගිය පුද්ගලයින්ගේ පවුල්වල ඥාතීන් විදේශයේ සිට පැමිණ එම මෘත දේහයන් මිහිදන් කළ ස්ථානයේ දී ඔවුන් සිහිකර ආගමික වතාවත් කරන බවද ප්‍රදේශවාසීහූ පැවසූහ.