ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා මත ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක විස්තීරණ ණය පහසුකම යටතේ වන පළමු ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක් ඉතා ඉක්මනින් ලංකාවට ලැබීමට නියමිතය. මූල්‍ය අරමුදල සමග යන මේ ගමනේ අනාගතය පිළිබඳව කොළඹ නැව්ගත කරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ මහතා මෙසේ කියයි.
මූල්‍ය අරමුදල සමග එකඟතාවකට පැමිණීමට හැකිවීම අපේ රටට සුබ ලකුණකි. එමගින් ජාත්‍යන්තර පූජාවට ලැබෙන පණිවිඩය ප්‍රබලය. මීට පෙරත් ලංකාව 16 වතාවත් මූල්‍ය අරමුදල සමග එකඟතා ඇති කරගෙන තිබේ. එහෙත් ඒ කිසිදු අවස්ථාවක ලංකාව රටක් ලෙස බංකොලොත්ව සිටියේ නැත. මෙවර විශේෂත්වය වන්නේ බංකොලොත් වූ පසු මූල්‍ය අරමුදලට යාමය.
මූල්‍ය අරමුදල සමග මීට පෙර ඇති කරගත් එකඟතා ක්‍රියාත්මක කළා නම් රට බලංකොලොත් නොවෙයි. ලංකාව බංකොලොත් භාවය කරා යන ගමන ආරම්භ කළේ මීට අවුරුදු විස්සකට පමණ පෙරය. රට යන්නේ කොහාටදැයි වළට වැටෙන තුරුම ජනතාවට තේරුණේ නැත. උදලුතල, ටකරන්, මග්, බිත්ති ඔරලෝසු, ප්ලාස්ටික් පුටු, මහන මැසින්, සිල් රෙදි, නෙලුම් කුලුනු යනාදියෙන් දෑස් නිලංකාර කර ගෙන සිටි ජනතාවට ආණ්ඩු කරන අය විසින් තමන් සහ රට දක්කනු ලබන්නේ වළට බව තේරුණේ නැත.
රටක් වළට වැටුණු පසු ගොඩ ගන්නට උදව් කරන්නේ මූල්‍ය අරමුදල පමණකි. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන වෙනත් ආයතනයක් ජාත්‍යන්තරයේ නැත. බංකොලොත් වෙන්නට පෙර මූල්‍ය අරමුදලට ගියා නම් රට බංකොලොත් වීමෙන් ගලවා ගත හැකිව තිබිණි. රට බංකොලොත් වේගෙන එන බව දුටු ව්‍යාපාරික ප්‍රජාව හා විද්වතුන් වහා මූල්‍ය අරමුදලට යන්නැයි එකල ආණ්ඩු කළ අයගෙන් ඉල්ලා සිටියත් ඒ පඬිවරු නෑසුකන්ව සිටියහ. රට බංකොලොත් නොවන බවට පුරාජේරු කීහ. ඔවුන්ගේ නොදන්නා කමෙන් ඇතිවූ උද්ධච්ඡභාවයේ ප්‍රතිඵලය වූයේ රට බංකොලොත්වීමය.
මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා ක්‍රියාත්මක කළහොත් දූෂණ හා නාස්ති අවම වී රට යළිත් සංවර්ධන මාවතට පිවිසෙයි. මූල්‍ය අරමුදල කළේ වල්වැදී සිටි ලංකාව සංවර්ධන මාවතට ඔසවා තැබීමය. මේ මාවතේ යාම ආණ්ඩු කරන්නන්ගේ හා රටේ ජනතාවගේ වගකීමකි. වැරැදි පාරේ යන ආණ්ඩු කරන්නන් බලපෑම් මගින් නිවැරදි පාරට යොමු කරවා ගැනීම ජනතාවගේ වගකීමකි. එහෙත් ලංකාවේ ජනතාව කරන්නේ වැරැදි කරන දේශපාලකයන්ට යළි යළිත් වරම් දීමය. එහෙයින් රට බංකොලොත්වීමට ජනතාව ද වගකිව යුතුය.
මූල්‍ය අරමුදල සමග ඇති කරගත් මේ එකඟතාව නිසා ඉදිරියේ දී ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජපන් සහයෝගිතා අරමුදල (ජයිකා) වැනි ජාත්‍යන්තර ආයතනවලින් අපට දිගුකාලීන ණය ලබාගත හැකිය. අද රටේ පවතින්නේ සෘණ ආර්ථිකයකි. 2022 දී එය සෘණ 7.8කි. 2023 දීද එය සෘණම වන බව ආර්ථික විශ්ලේෂකයන්ගේ පුරෝකතනයයි.
ඔවුන් කියන හැටියට 2023 දී එය සෘණ 3.0ක් වෙයි. එහෙත් 2024 දී 1.5කින්ද 2025 දී 2.6කින්ද 2026දී 3.0කින්ද රටේ ආර්ථිකය වර්ධනය වනු ඇතැයි මූල්‍ය අරමුදල විශ්වාස කරයි. ඒ විශ්වාසය යථාර්ථයක් කරගත හැක්කේ මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා ක්‍රියාත්මක කළහොත් පමණකි. ඒ එකඟතා ක්‍රියාත්මක කළහොත් යහපතක් වන්නේ අපට හා රටට මිස මූල්‍ය අරමුදලට නොවේ.
මූල්‍ය අරමුදලේ කොන්දේසි අතර ප්‍රමුඛ වන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුකූල දූෂණ විරෝධි නීතියක් සම්මත කර ගැනීමය. එසේ කරන බවට ලංකා ආණ්ඩුව ගිවිසගෙන සිටියි. එවැනි නීතියක් සම්මත වුවහොත් එහි වාසිය රටට හා ජනතාවට මිස මූල්‍ය අරමුදලට නොවේ. අනෙක් එකඟතාව රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට පියවර ගැනීමය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව කළේ තිබූ රාජ්‍ය ආදායම් නැතිකර ගැනීමය.
රට බංකොලොත් වීමට එය ද හේතුවක් විය. එසේ නම් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමෙන් ගොඩ යන්නේ රට හා ජනතාව මිස මූල්‍ය අරමුදල නොවේ. ඉහළ ආදායම් ලබන්නන්ගෙන් වැඩි දායකත්වයක් ලැබෙන ධන බද්දක් අය කිරීම මූල්‍ය අරමුදලේ තවත් කොන්දේසියකි. ලංකාව දැනට ඉහළ ආදායමක් උපයා ගන්නේ වක්‍ර බදු වලිනි. වක්‍ර බදුවලින් දැඩිව පීඩා විඳින්නේ සාමාන්‍ය ජනතාවය. ඒ ජනතාවගේ බදු බර සැහැල්ලු කර ධනපතියන්ගෙන් වැඩි බද්දක් අය කරන්නැයි කීම ප්‍රගතිශීලි නිර්දේශයක් නොවේ ද?
මේ 2023 වසර අවසන් වනවිට උද්ධමනය සියයට 12 සිට 18 අතර මට්ටමකට ගෙන ඒම, ශක්තිමත් සමාජ ආරක්ෂණ දැලක් හඳුන්වාදීම හෙවත් නැති බැරි මිනිසුන්ට නියම සහනාධාර සැපයෙන ක්‍රමයක් හඳුන්වාදීම සහ මහ බැංකුව ස්වාධීන කිරීම වැනි නිර්දේශ ද මූල්‍ය අරමුදලේ කොන්දේසි අතර වෙයි. ඒ කොන්දේසි ඉටු කිරීමෙන් සහන සැලැසෙන්නේ හා සැනසුම් සුසුම් ගත හැක්කේ රටේ ජනතාවයි. එසේ නම් මූල්‍ය අරමුදලේ මේ කොන්දේසි ප්‍රගතිශීලි නොවේ යැයි කිව හැක්කේ කාට ද? ඒ ප්‍රශ්න අද රටේ තිබෙන බරපතළ අර්බුදය. ඒ ප්‍රශ්නවලට පිළියම් ලැබීමෙන් අපටත් රටටත් අර්බුදයෙන් ගොඩ ඒමට හැකිවෙයි. රටට බරක් වූ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කළ යුතු බව මූල්‍ය අරමුදලේ තවත් නිර්දේශයකි.
ශ්‍රී ලන්කන් එයාර් ලයින්, තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය වැනි ආයතනවල දූෂණ ඉහ වහා ගොසිනි. ඒ ආයතනවල පවතින ආකාර්යක්ෂම පාලනය නිසා ඒවා දිගින් දිගටම පාඩු ලබයි. අවසානයේ ඒ පාඩුවල බරට කරදිය යුත්තේ රටේ සමස්ත ජනතාවය. මේ පීඩිත ජනතාව ඒ බරෙන් නිදහස් කළ යුත්තේ මුල්‍ය අරමුදල කියන නිසාද? ජනතාව ඒ බරෙන් නිදහස් කිරීමට මූල්‍ය අරමුදල කියන තුරු බලා සිටිය යුතුද? එලෙස සලකා බලන විට මූල්‍ය අරමුදලේ නිර්දේශ වලින් රටට යහපතක් මිස අයහපතක් අවාසියක් සිදු නොවෙයි.
මූල්‍ය අරමුදලෙන් දෙන බව කියන්නේ ඩොලර් බිලියන තුනක ණයකි. ඉතා ඉක්මනින් ලැබෙන්නේ ඉන් මිලියන 333කි. ඉතිරි මුදල් ලැබෙන්නේ එකඟතා ක්‍රියාත්මක කරන පිළිවෙළ මතය. ඒ එකඟතා ක්‍රියාත්මක නොකළොත් මූල්‍ය අරමුදල පොරොන්දු වූ මුදල් නොදෙයි. එසේ වුවහොත් රට යළිත් බංකොලොත් වෙයි. එහෙත් මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා මත දිගටම කටයුතු කළහොත් ඉදිරි අවුරුදු දෙකේ දී ඇමෙරිකන් ඩොලර් බිලියන 4 සිට 7 අතර ගණනක් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලැබීමට තිබෙන අවකාශ ඉතා ඉහළය. එසේ වූ විට මහ බැංකුවේ සංචිත වැඩි කර ගැනීමට හැකිවෙයි.
මහ බැංකුවේ අවශ්‍ය තරම් ඩොලර් තිබුණොත් අපේ රුපියල ද ශක්තිමත් වෙයි. රුපියල අවප්‍රමාණයවීම නවතියි. එහෙත් මේ 2023 වසරේ දී නම් ඇමෙරිකන් ඩොලරයක වටිනාකම රුපියල් 300 සිට 350 අතර දෝලනය වනු ඇතැයි යන්න මගේ උපකල්පනයයි.
උදාවී තිබෙන මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන විවිධ ක්ෂේත්‍රවල ආයෝජන සඳහා දොර ඇරීම වහා කළ යුත්තකි. රටට ඩොලර් වැඩි වැඩියෙන් ඉපයිය හැක්කේ ස්ථිර ආයෝජන මගිනි. ඒ ආයෝජන කළ යුත්තේ අපනයන ක්ෂේත්‍රයෙහිය. හේතුව ප්‍රශ්නයක් ඇති වුණත් අපනයන කර්මාන්ත ශාලා වහා වසා දමන්නේ නැති නිසාය. බොහෝ දෙනා ජප කරන සංචාරක කර්මාන්තය අද තිබී හෙට නැතිවිය හැකි දෙයකි. යුද්ධය, පාස්කු බෝම්බ ප්‍රහාරය, කොරෝනා වසංගතය වැනි හේතු මත සංචාරක කර්මාන්තය වහා නැතිවිය.
එහෙත් අපනයන කර්මාන්ත ඒ සියල්ල මැද රට ඇතුළේ ක්‍රියාත්මක වෙයි. ඒවායේ නිෂ්පාදන අපනයන කෙරෙයි. එමගින් රටට ඩොලර් ලැබෙයි. ඒ ක්‍රියාවලිය නිසා රැකියා නියුක්තිය ඉහළ යයි. ජනතාවගේ ආදායම ඉහළ යයි. අනුබද්ධ හා අතුරු නිෂ්පාදන කර්මාන්ත ද ක්‍රියාත්මක වන නිසා දල ජාතික නිෂ්පාදිතය ද ඉහළ යයි.
ජනතාවගේ ජීවන වියදම අඩුවෙයි. රටේ බදු ආදායම ඉහළ යයි. ඒ නිසා රටට අත්‍යවශ්‍ය වන්නේ අපනයන අරමුණු කරගත් කර්මාන්තය. ඒ සඳහා අත්‍යවශ්‍ය වන්නේ විදේශ ආයෝජනය. ඒවා ලබාගත හැකි මාවතකට රට තල්ලු කිරීම ආණ්ඩු කරන අයගේ වගකීමකි.
චීනයේ තිබු ටෙලිකොම්, ඉලෙක්ට්‍රොනික් වැනි නිෂ්පාදන කළ කර්මාන්ත ශාලා චීනය හැරදමා දැන් ඉන්දියාවට එයි. චීනයෙන් පමණක් භාණ්ඩ මිලදී ගත් බොහෝ රටවලට කොරෝනා වසංගත සමයේ බොහෝ ප්‍රශ්න ඇතිවිය. ඒ නිසා ඒ රටවල් දැන් තම නිෂ්පාදන කර්මාන්ත ශාලා ලොව වෙනත් රටවලට රැගෙන යයි. ඇපල් සමාගමේ ඇතැම් අංශ චීනය හැර දමා ඉන්දියාවට පැමිණීම එක් උදාහරණයකි.
කොරෝනා වසංගතයෙන් පසු ඇති වූ තත්ත්වය මත ඇමෙරිකන්, ජපන් සහ යුරෝපීය බොහෝ සමාගම් දැන් එක රටක නොසිට තවත් රටවලට යයි. ආයෝජනයට සුදුසු රටවල් මොනවාදැයි දැන් ඔවුහු සොයති. බලති. ඒ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගන්නට දැන් අපට උදාවී තිබෙන්නේ බෙහෙවින් ස්වර්ණමය අවස්ථාවකි.
එළඹී තිබෙන මේ ස්වර්ණමය අවස්ථාවෙන් දකුණු ආසියාවේ රටවල් අතරින් වැඩි ප්‍රයෝජන ගන්නේ ඉන්දියාව සහ බංග්ලාදේශයයි. පසුගිය මාස 12දී ඒ රටවල් දෙකට ගොස් තිබෙන විදේශ ආයෝජන ඉතා ඉහළය. දකුණු ඇමෙරිකාවේ මෙක්සිකෝව ද විදේශ ආයෝජන ඉහළින් ලබා ගන්නා රටකි. එහෙත් පසුගිය කාලයේ ලංකාවට කිසිදු විදේශ ආයෝජනයක් ලැබී නැත. ඒ නිසා මූල්‍ය අරමුදල සමග ඇති කරගත් මේ එකඟතාව මත ලංකාවේ ආර්ථිකයේ ඇතිවන පිබිදීම ප්‍රයෝජනයට ගනිමින් විදේශ ආයෝජන දිනා ගැනීමට ලංකා ආණ්ඩුව වහ වහා ක්‍රියාත්මක විය යුතුය. ඒ සඳහා කළ යුතු ප්‍රතිසංස්කරණ වහා කළ යුතුය.
ව්‍යාපාර කිරීමේ පහසුව මනින දර්ශකය (Ease of doing business) අතින් ලෝකයේ රටවල් 196ක් අතරින් ලංකාව සිටින්නේ 99 වැනි ස්ථානයේය. ඉන් හෙළිවන්නේ ව්‍යාපාර කිරීමට ලංකාවේ බොහෝ බාධක තිබෙන බවය. ඒ බාධක ඉවත් කිරීම ආණ්ඩුවේ වගකීමකි. ඒ බාධක ඉවත්කිරීමට මූල්‍ය අරමුදල කියනතුරු බලා සිටීම ලජ්ජා විය යුතු කරුණකි.
ලංකාව මීට පෙර 16 වතාවක් මූල්‍ය අරමුදලට ගොස් තිබේ. ඇති කරගත් ඒ එකඟතා 16න් සම්පූර්ණ කර තිබෙන්නේ හයක් (06) පමණකි. මූල්‍ය අරමුදල සමග ගිවිසගත් වැඩ සටහන් හෙවත් එකඟතා 10ක් ලංකා ආණ්ඩු විසින් කඩකර තිබෙන බව ඉතිහාසයේ සඳහන් වෙයි. මෙවරත් එසේ වෙයිද, එසේ කරයිද කියන සැකය දැනුවත් බොහෝ දෙනා අතර පවතී.
මීට පෙර අවස්ථා 10කදී කළ සේම යළිත් මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා කඩ කළහොත් නැතිනම් ගිවිසගත් වැඩසටහන ක්‍රියාත්මක නොකළහොත් ලංකාව යළි බංකොලොත් වන්නේ සිම්බාබ්වේටත් වඩා ඉහළ මට්ටමකිනි. දශක ගණනක් යනතුරු නැගිටින්නට නොහැකි වෙයි. බංකොලොත්ව වනගතව තිබූ ලංකාව දැන් හරි නිවැරදි මාවතකට පිවිස සිටියි.
මේ මාවතේ වේගයෙන් ඉදිරියට යාම ආණ්ඩු කරන අයගේ පමණක් නොව රටේ ජනතාවගේත් වගකීමකි. මේ මාවතෙන් පිට පැන්නොත් වැටෙන්නේ වළකට නොව මහා අගාධයකටය.
සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත් කොළඹ නැව්ගත කරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාසකෝරාළ
සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්
(***)