ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු පමණක් නොව ප්‍රකට පරිවර්තයකුද වන රෝහණ වෙත්තසිංහ මහතා විවිධ ක්ෂේත්‍ර නියෝජනය වන කෘති කිහිපයක්ම මෙරට සාහිත්‍යයට එක් කළ අයෙකි. ඔහු අප අතර වඩාත්ම ජනප්‍රිය වී සිටින්නේ පරිවර්තකයකු ලෙසය. ඒරන්ගේ ලෝකය, ගිනිගත් සඳ, ජීවිතය යළි ලදිමි, අවුෂ්විට්ස්හි නිවුන් සොයුරියෝ, …සයුරු තෙර සහන් බිම ඔහුගේ පරිවර්තන අතර වඩාත් කැපී පෙනේ.
ඔහුගේ නවතම පරිවර්තන කෘතිය ‘මතු ජීවිත’ නමින් එළි දුටුවේ සරසවි ප්‍රකාශනයක් ලෙසිනි. මතුජීවිත ලෙස පරිවර්තනය වී ඇත්තේ අබ්දුල් රසාක් ගුර්නා ගේ Afterlives නමැති කෘතියයි.
විශේෂත්වය නම් එය 2021 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනු කෘතිය වීමය. මතු දැක්වෙන්නේ රෝහණ සමඟ ඒ සම්බන්ධයෙන් අප කළ සංවාදයක සටහනකි.
• මතු ජීවිත නමින් ඔබ පරිවර්තනය කරන Afterlives කෘතිය 2021 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලබනවා. ගැඹුරු දේශපාලන සංස්කෘතික - සමාජ කියැවීමෙන් මතු කරන මෙම කෘතිය තුළ ඔබ දුටු විශේෂත්වය කුමක්ද?
‘මතු ජීවිත’ නමින් පරිවර්තනය වන මේ නවකතාව හුදු ප්‍රබන්ධයක් පමණක් නොව ඓතිහාසික හා දේශපාලනික සංසිද්ධි කලතාලමින් ගලායන ප්‍රවාහයක් ලෙසයි සැලකිය හැක්කේ. නැගෙනහිර අප්‍රිකාවේ ටැන්සානියාව කේන්ද්‍ර කොටගෙන ලියැවුණු මේ නවකතාවට විසිවැනි සියවසේ ආරම්භක දශකය ගෙවී යත්ම පැන නඟින පළමු ලෝක යුද්ධය හා තුන්වැනි දශකය අගභාගයේ ඇවිලෙන දෙවැනි ලෝක යුsද්ධය පසුබිම් වී තිබෙනවා.
මෙය යටත් විජිත යුගයේ පැවති ක්‍රෑරත්වය හා සමාජ අසාධාරණය හමුවේ සාමාන්‍ය ජනයා හා පීඩිත පන්තිය ජීවන අරගලයට මුහුණ දෙන අයුරු මෙහි කියැවෙsනවා. ඒ සමගම නැඟී සිටින වෙළෙඳ ප්‍රජාව ඔවුන් සූරා කෑමට පෙළඹෙනවා. කලිෆා, හම්සා, අෆියා ඉල්යායි වැනි ප්‍රධාන චරිත තුළින් නිරූපනය කෙරෙන්නේ අප්‍රිකා මහාද්වීපයේ ටැන්සානියානු ජන ජීවිතයේ ප්‍රබල පැතිකඩක්. මුස්ලිම් පල්ලියේ හා ක්‍රිස්තියානු මීසමේ බලපෑමද ඔවුන්ගේ ජීවිත හැඩගස්වන අයුරුද මින් පෙන්වා දෙනවා. හම්සා හා …අෆියා චරිත තුළින් ඔවුන් කිසිදු ඉලක්කයකින් තොර යුද ඉත්තන් බවට පත්ව ඇති සැටියක් දැකිය හැකියි.
අප වැනි යටත්විජිත පාලනයෙන් බැට කෑ රටකට මෙහි එන නොදියුණු සමාජය බෙහෙවින් සමීපයි. කළු ජාතික සාහිත්‍යකරුවකුට නොබෙල් ත්‍යාග හිමිවුණේ අවුරුදු 28කට පසුව වීමත් මා මේ පොත කෙරෙහි ඇදී ගිය සාධකයක්. අබ්දුල් රසාක් ගුර්නාට පෙර ත්‍යාග දිනාගත් අවසන් කළු ජාතික නවකතාකාරිනිය වන්නේ ටෝනි මොරිසන් (1993).
• අබ්දුල්රාසාක් ගුර්නාගේ බොහෝ නවකතාවලට විෂය වන්නේ නැගෙනහිර අප්‍රිකාවේ මුහුදුකරයේ ජන ජීවිතය බව පෙනෙනවා. ලේඛකයකු හැටියට ඔහු පොදු සමාජය ඉදිරියේ ගොඩනඟන පුළුල් මතවාදය ඔබ දකින්නේ කොහොමද?
ගුර්නා මීට පෙර නවකතා 9ක් ලියා තිබෙනවා. ඔහු මුලින්ම සිය දර්ශනශූරි විභාගයට ලියූ Memory of Departure (1987) නවකතාවටත් පසුබිම්වී තිබුණේ යටත්විජිතවාදය, අවතැන්වීම හා යුද්ධයයි.
ගුර්නා, සැන්සිබාරය අතහැර එක්සත් රාජධානියට සංක්‍රමණය වූයේ ඔහුට අවුරුදු 18 දී. ඒ සැන්සිබාරයේ ජනවාර්ගික ගැටුම් උත්සන්න වී ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් අරාබි සුල්තාන්වරයා බලයෙන් පහ කිරීමත් සමගයි. ඔහු පසුකාලෙක කෙන්ට් විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි මහාචාර්යවරයකු ලෙස කටයුතු කළත් මවුබිමට මුළු හදින්ම බැඳී සිටියා. ඔහුගේ ජනප්‍රිය නවකතා වූ Paradise (1994) By the sea (2001) යන නිර්මාණවලත් ඒ බලපෑම දකින්න පුළුවන්.
එපමණක් නොවේ ගුර්නා සිය මවු බසවූ ‘ස්වාහිලි’ බසත් ඉංග්‍රිසිය සමග මුසු කිරීමේ වෑයමක යෙදෙනවා.
ඔහු පොදු සමාජය හමුවේ ගොඩනැඟීමට උත්සාහ කරන මතවාදය පිළිබඳ පැහැදිලි හැඟීමක් නොබෙල් ත්‍යාගය පිරිනමමින් සඳහන් කරන ලද හේතු පාඨයෙන් සැකෙවින් දැක්වෙනවා.
‘‘යටත් විජිතවාදයේ මහාද්වීපික හා සංස්කෘතික යෝද පරතරය හමුවේ සරණාගත ජීවිතවලට ඇතිවෙන බලපෑම හා ඉන් අත්වෙන ඉරණම පිළිබඳ නිර්දය හා සානුකම්පිත තියුණු විමසා බැලීම උදෙසා....’’ යන්න එහි සඳහන්.
• ලේඛකයා ලිවිය යුත්තේ ඇයි? කා වෙනුවෙන්ද සමාජය ඉදිරියේ ඔහුගේ වගකීම කුමක්ද යන්නට ගුර්නාගේ නිර්මාණවලින් අපට ගත හැකි ආදර්ශය කුමක්ද?
රටක්, ජනතාවක් අවදි කිරීමේ, දැනුවත් කිරීමේ කාර්යය පුවත්පත් ලේඛකයා සතු වගකීමක්. නිර්මාණකරුවකු ලෙසින් නවකතාකරුවා ලියන්නෙත් පොත්පත් කියවන පාඨක පිරිසක් ඉලක්ක කරගෙනයි. එහෙත් එහිදී ඔවුන්ගේ මතිමතාන්තර විවිධාකාර විය හැකියි. හැම නවකතාකරුවෙකුම ලිවීමට ආවේශය ලබන්නේ තමාට විඳීමට ලැබෙන තෘප්තිය දනවන වස්තු බීජයක් හිතට ඇතුළු වූ විටයි.
ෆ්‍රාන්ස් කෆ්කා කියන්නේ තමාගේ හිතට තදින් කාවදින දෙය ඇල් නොමරා අනුකම්පා විරහිතව දැක්විය යුතු බවයි.
ගුර්නාට නිර්මාණ තෝතැන්නක් සාදා දෙන්නේ දේශීය චින්තනයයි. ඔහු යුරෝපීය පසුබිමක කයින් සිටියත් හිතින් ගත කරන්නේ නොමැකෙන අතීත අත්දැකීම් සමගයි.
යටත් විජිත සමයේ සිට තිස් අවුරුදු ත්‍රස්තවාදී අරගලයකට මැදිවූ ලාංකික ජනයාට විඳින්නට සිදුවූ ගැහැට සමාජ විපරිනාමය ගැන අප කොතෙක් දුරට අපේ නවකතා තුළින් කතාකර ඇත්ද යන්න ගුර්නාගේ කතා තේමා දෙස බලන විට මතුවන පැනයක්.
• මේ කියන අරමුණු අපේ රටේ සාහිත්‍යයට ගළපාගතහොත් සාහිත්‍යකරුවාගේ වගකීම සම්බන්ධයෙන් අද අප සිටින්නේ කෙබඳු තැනකද?
● මනෝ ලෝකවල හිරවෙලා සීමා මායිම් කරපින්නාගෙන සමාජයක යථාර්ථය නිර්භයව හෙළි කරන්නේ කොහොමද? අපගේ මනෝ ලෝකවලින් ඈත්ව සමාජ සත්තාව දැකීමට පෙළඹෙන නවකතාකරුවන් සිටින්නේ අතළොස්සයි. සංකීර්ණ වස්තු විෂයයන් භූගෝලීය පරිසරය සිසාරා යාම වෙනුවට කොටු වූ සමාජ රාමුවක් තුළ සීමා බන්ධන පනවාගත් පිරිසකට හද කම්පා කරවන අලුත් අත්දැකීමක් සමාජය වෙනුවෙන් ලබාදෙන්න බෑ. ලේඛකයාගේ වගකීම බවට පත්වන්නේ සමාජ යථාර්ථය පෙන්වා දීමයි.
• නවකතාවේ නිර්මාණාත්මක හා කලාත්මක අගය සම්බන්ධයෙන්ද අපට ආදර්ශ ගත හැකි බොහෝ කාරණා මේ කෘතියෙන් මතු කෙරෙනවා. නූතන ලෝක නවකතාවේ වර්ධනය පිළිබඳ නිරන්තර අධ්‍යයන අපගේ නවකතාවේ පෝෂණයට බලපාන්නේ කොහොමද?
ලෝක නවකතාවේ කලින් කලට එන විවිධ ප්‍රවණතා අපේ නවකතාවලටත් බලපා තිබෙනවා. විඥානධාරා සන්දර්භයේ සිට මායා යථාර්ථවාදය දක්වාත් ප්‍රේම කතා අභිරහස් කතා විද්‍යා ප්‍රබන්ධ ඓතිහාසික නවකතා වැනි විවිධ ශානර නියෝජනය කෙරෙන කතා දක්වාත් අපේ ප්‍රබන්ධකරණය විහිදී තිබෙනවා. මෙවැනි ප්‍රවණතා ඇතිවන්නේ ලේඛකයන් සුපුරුදු රාමුවෙන් පිට පැන සිතන නිසයි.
අද අපට බෙහෙවින් බලපාන ප්‍රශ්නයක් හැටියට සංක්‍රමණ ජීවිත ගැන කතා කරන්න පුළුවන්. ඒවායේ සමාජ බලපෑම වැනි දෙයක් අපේ නවකතාකරුවන්ට ඉතාම හොඳ වස්තුබීජයක්. ආකෘතික අත්හදා බැලීම් ගැන සිතුවත් අන්තර්ගතයේ වෙනස්වීම් ගැන වස්තු විෂයේ අපූර්වත්වය ගැන උනන්දු වෙනවා අඩු බවයි පෙනෙන්නේ.
• මීට දශක කිහිපයකට පෙර පැවැති පරිවර්තන කලාවෙන් අපේ රටේ යම් සමාජ ප්‍රගමනයක් ඇතිවූ බවත් ප්‍රබුුද්ධ පාඨක සමාජයක් බිහිවූ බවත් පොදුවේ පිළිගන්නා කරුණක්. දැන් තත්ත්වය කෙබඳුද?
අපේ සිංහල නවකතාවේ වැඩීම බාලවුණ නිසා පරිවර්තන කෘති කෙරෙහි නැඹුරු වූ විශාල පාඨක පිරිසක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම වැඩිහිටි ප්‍රජාව වැඩි කැමැත්තක් දක්වන්නේ පරිවර්තන පොත්වලට බවයි පෙනෙන්නේ.
එදා බෙහෙවින් ජනප්‍රියවී තිබුණේ රුසියානු පරිවර්තන. එහෙත් අද වනවිට පාවුලෝ කොයියෝ, ගාර්ෂියා මාර්කේස්, ඉසබෙල් අයියන්දේ පමණක් නොවේ වෙනත් ලතින් ඇමෙරිකානු පෝලන්ත, චීන, ඉන්දිය ජාතික කතාකරුවන්ගේ කතා සිංහලට නැඟෙනවා. පිටරට පළවන අලුත් නවකතා ගැන අපේ පරිවර්තකයන් අවදියෙන් සිටින්නෙ.
The Boy in The Striped Pyjamas ලියා මෙරට ජනප්‍රිය වූ James Boyhe එහි අවසන් කොටස වශයෙන් එළිදැක්වූ All The Broken Places ඉතාම අලුත් කෘතියක්. එය ‘බිඳුණු පියාපත්’ නමින් සාහිත්‍ය මාසයේදි එළිදක්වන්නට මම අපේක්ෂා කරනවා. ඒ නිසා ලෝකයේ පළවන හොඳ මට්ටමේ අලුත් කෘති ගැන සොයා බලා ඒවා සිංහලට පරිවර්තනය කිරීමේ ඇති හැකියාව සොයා බැලීම වැදගත්. එය මෙරට පරිවර්තන කලාවේ දියුණුවට පමණක් නොව ස්වතන්ත්‍ර නවකතා කලාවේ දියුණුවටත් ඉතාම වටිනවා.
සංවාද සටහන ගාමිණි කන්දේපොළ
ප්‍රවීණ පරිවර්තක රෝහණ වෙත්තසිංහ