සමෘද්ධියෙන් දුප්පත්කම නැතිවේද?


මනුෂ්‍යයකුට නොමැරී ජීවත් වීමට අවශ්‍ය ආහාර, බෙහෙත්හේත්, ඇඳුම් පැලඳුම් ආදී  මූලික දේවල් නොලැබෙන තත්ත්වයක් දරිද්‍රතාව ලෙස හැඳින්විය හැකිය. එකී මූලික අවශ්‍යතා සපුරා ගැනීම අරබයා අවශ්‍ය අවම වියදම දරිද්‍රතා රේඛාව යන්නෙන් අදහස් වේ. එම අගය ලංකාවේ පවතින්නේ රුපියල් 13130 ක් වශයෙනි. එනම්, එක් පුද්ගලයකුට මාසිකව ජීවත් වීම පිණිස අවැසි අවම මුදලයි. මාසිකව එම මුදල උපයා ගත නොහැකි පුද්ගලයන් දුප්පතුන් ලෙස සැලකේ.

උද්ගත වූ ආර්ථික අර්බුදය හමුවේ පෙර සඳහන් කළ රුපියල් 13000 ක මුදල වියදම් කර මිලදී ගත හැකි භාණ්ඩ ප්‍රමාණය අඩු විය. ඊට හේතු වූයේ උද්ධමනයයි. උද්ධමනය යනු භාණ්ඩ හා සේවාවල මිල ගණන් ශීඝ්‍ර ලෙස වැඩි වීමය. උද්ධමනය ඉහළ යෑමෙන් සිදු වන්නේ දිළිඳුකම තවත් ඉහළ යෑමකි. එබැවින් උද්ධමනය පාලනය කිරීම ඉතා වැදගත් වේ.

ලෝක බැංකුවේ දත්තවලට අනුව, ලංකාවේ දිළිඳුකම 2022 වසර වන විට සියයට 25 කි. එය ඉතා ඉහළ අගයකි. සියයට 13 ක අගයක පැවති දුප්පත්කම වසරක් ඇතුළත දෙගුණ වීම සුළුකොට තැකිය හැක්කක් නොවේ. එය භයානක තත්ත්වයකි.

දුප්පත්කම තුරන් කිරීම වෙනුවෙන් සමෘද්ධිය වැනි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි ණය වැඩසටහන අනුමත කිරීමේදී අවධාරණය කළ කාරණයක් වූයේ, ලංකාවේ දිළිඳු සහ අවදානම්සහගත පාර්ශ්ව ආරක්ෂා කිරීම අරබයා ආණ්ඩුව පියවර ගත යුතු බවය.

දුප්පත්කම පිටුදැකීම අරබයා මෙරට ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ පිළිබඳ සෑහීමකට පත් විය නොහැකිය. දිළිඳුකමට එරෙහිව ඇති වැඩපිළිවෙළ කුමක්ද යන්න ප්‍රශ්නය මතු කිරීම වැදගත්ය. සමෘද්ධි සහනාධාරය වැඩි කළ පමණින් දිළිඳුකම අඩු වෙතැයි අපේක්ෂා කළ ද මහපොළොවේ එවැන්නක් සිදු නොවිණි. දිළිඳු ජනතාව පමණක් නොව දුප්පත්කමට ඇද වැටී තිබෙන අප රට ද ඉන් මුදාගත හැකි තිරසර වැඩසටහනක් ක්‍රියාවට නැංවිය යුතුය. 

ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රාජ්‍යයකි. මේ වන විට රටේ ඒකපුද්ගල ආදායම ඩොලර් 3300 ක අගයක පවතියි. මීට පෙර එය පැවතියේ ඩොලර් 3800 ක අගයකය. ඒත් සමගම දකුණු ආසියාවේ අඩුම ඒක පුද්ගල ආදායම් වාර්තා කරන රට බවට ලංකාව පත්ව තිබේ. ඉකුත්දාක ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්කි මහතා විසින් එළිදක්වනු ලැබූ ලොව දුක්ඛිතම රටවල් අතර දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානයේ ලංකාව පසුවන බව හෙළිදරව් විය. අපට ඊට එකඟ විය හැකිය. මන්ද, ඔහු එය දත්ත මත පදනම්ව පවසන්නක් මිස හිතලු‍ මත පදනම්ව නොවන බැවිනි. ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ දුප්පත්කම තවත් වැඩි විය. දිළිඳුකම පිටුදැකීමේදී ජනතාවගේ ආදායම් තත්ත්වයද වැඩි කළ යුතුය.

අපේ රට තවදුරටත් දුප්පත් වෙමින් තිබේ. එය වැළැක්වීම  පමණක් ප්‍රමාණවත් නැත. මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්නේ කෙසේද කියා අපි කල්පනා කළ යුතු වෙමු. මෙම ආර්ථික අර්බුදයෙන් අපට ඒ අරබයා මහඟු‍ අවස්ථාවක් නිර්මාණය කර දී ඇත. එහිදී අප ප්‍රශ්න කළ යුත්තේ දිළිඳුකම තුරන් කිරීම සඳහා පවතින ප්‍රතිපත්තිය කුමක්ද යන්නය. ඒ සඳහා පවතින මොඩල් එක කුමක්ද යන්නය. ලෝකයේ සංවර්ධන ආකෘති තිබේ. ඒවායෙන් මූලික වශයෙන් ආමන්ත්‍රණය කරන්නේ දිළිඳුකමටය. චීන සංවර්ධන ආකෘතිය එකකි. සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව සහ ඉන්දියාව යන රටවල් ඔවුන්ගේම වූ සංවර්ධන ආකෘති මත පදනම්ව කටයුතු කරයි.  ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් නම්, තමන්ගේම වූ ආර්ථික මොඩලයක් නොමැති වීමයි. ලෝකයේ වෙනත් රටවල මොඩල් අපේ රටේ ක්‍රියාත්මක කිරීම නිෂ්ඵලය.

එබැවින් අපේම වූ සංවර්ධන ආකෘතියක් පළමුව ගොඩනගා ගත යුතුය. දෙවනුව, දිළිඳුකම තුරන් කරන්නේ කෙසේද යන්න ගැන අවධානය යොමු කළ යුතුය. ඒ යටතේ වසර 5 ක් ඇතුළත ඒකපුද්ගල ආදායම ඩොලර් දස දහස දක්වා වැඩි කරන්නේ කෙසේද යන්න පිළිබඳව සැලසුම් කළ යුතුය. ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව වසර 2048 වන විට සංවර්ධිත රටක තත්ත්වයට පත් කරන බවය. ඒ සඳහා අපට ඇති වැඩපිළිවෙළ කුමක්ද? 2019 වන විට පැවති සියයට 13 ක මට්ටමට දිළිඳුකම අඩු කරගන්නේ කෙසේද? ඒ සඳහා සහනාධාර වැඩසටහන් පමණක් ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත්ද?

අප සතුව ශක්තීන් තිබේ. කුඩා රටක් වුවත් සම්පත් බහුලය. ජලය, ඛනිජ සම්පත් මෙන්ම විශාල සාගර කලාපයක් තිබේ. අප මේ දක්වා අපගේ මුහුදු සීමාව මැන ගෙන නැත. ලෝක මානව සංවර්ධන දර්ශකයේ ඉහළ තැනෙක ශ්‍රී ලංකාව පසුවේ. මානව සංවර්ධන දර්ශකය අනුව කිසියම් රටක් දශම 8 ක හෝ ඊට ඉහළ අගයක සිටින්නේ නම් එම රට සැලකෙනේනේ දියුණු රටක් වශයෙනි. ශ්‍රී ලංකාව 2021 වන විට එම දර්ශකයේ 0.782 ක ඉහළ අගයක් ලබා ගෙන සිටියේය. ඒකපුද්ගල ආදායම ඩොලර් දස දහසේ සීමාවට පැමිණි විට ශ්‍රී ලංකාව දියුණු රටක තත්ත්වයට පත් වේ. එනිසා අපට කරන්නට තිබෙන්නේ සුළු වැඩ කොටසකි. ඒකපුද්ගල ආදායම දෙගුණයක් දක්වා වැඩි කර ගැනීම ප්‍රමාණවත්ය. ඒ සඳහා වසර පහක කාලයක් ප්‍රමාණවත්ය.

එය කරන්නට නම් අපේම වූ සංවර්ධන ආකෘතියක් ගොඩනගා ගත යුතුය. ඊට බලපාන සාධක බොහෝ ප්‍රමාණයක් තිබේ. පළමුව, ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් ලෙස හඳුනා ගත යුතුය. කිසිවකු කතා නොකරන ගැටලු‍වක් මෙරට කෘෂිකර්මයෙහි තිබේ. රටේ සමස්ත වගා කළ හැකි  බිම් ප්‍රමාණය වතුකරය ද ඇතුළුව හෙක්ටයාර් 284000 කි. මෙරට ගොවීහු ලක්ෂ 28 ක් සිටිති. ඒ අනුව, එක් හෙක්ටයාරයකට ගෙවියෝ නව දෙනෙක් සිටිති. අක්කරයකට සිටින ගොවීන් ගණන හතරකි. මේ අනුව, එක් ගොවියකුට හිමි වන වගා බිම් ප්‍රමාණය අක්කර කාලකි. අක්කර කාලක වැඩ කිරීමෙන් පවුලක් නඩත්තු කළ හැකිද යන ප්‍රශ්නය මම නගමි. 

කෘෂිකර්මාන්තයෙහි අතිරික්ත ශ්‍රමයක් තිබේ. එම අතිරික්ත ශ්‍රමය ඵලදායී ලෙස වෙනත් අංශයකට යොමු නොකළ හොත් කෘෂිකර්මාන්තය දියුණු කළ නොහැකිය. ලංකාව තවත් දුප්පත් වීමට එය හේතුවක් වනු ඇත. ඔවුන් කෘෂිකර්මය මත පදනම් වූ කර්මාන්ත වෙත යොමු කළ යුතුය.

නිදසුනක් ලෙස තක්කාලි වැවෙන ප්‍රදේශවල තක්කාලි සෝස් නිෂ්පාදන කර්මාන්තශාලා බිහි කළ හැකිය. මේ ආකාරයට දෙහි, අර්තාපල් ආදී තවත් කෘෂි භෝගවලින් විවිධ නිෂ්පාදන කිරීමට පිළිවන. කෘෂිකර්මය මත පදනම් වූ කර්මාන්තකරණයක් ඇති නොකර කෘෂිකර්මයට ඉහළ තාක්ෂණය හඳුන්වා දීම ප්‍රතිඵල රහිතය. මන්ද, ඒවාට ගොවීන් අනුගත කළ නොහැකි හෙයිනි. පළමුව අප රටේ බිම් මට්ටම තේරුම් ගත යුතුය.

රට දියුණු කිරීමේදී ආනයන මත පමණක් රඳා පැවතීම සුදුසු නොවේ. රටට අවශ්‍ය ඇතැම් ආනයන වෙනුවට ආදේශක නිෂ්පාදනය කළ හැකිය. ආනයනයේදී ගනුදෙනු පිරිවැය ඉතා ඉහළ අගයක පවතී. එනම්, පිටරටින් කොළඹට ගෙනෙන භාණ්ඩ රට පුරා බෙදා හැරීමට ඉහළ මුදලක් වියදම් වේ. එබැවින් රටට අවැසි අමුද්‍රව්‍ය ග්‍රාමීය මට්ටමින් නිෂ්පාදනය කිරීම සඳහා යොමු වීම වැදගත්ය. ඒවා කර්මාන්ත හැටියට දියුණු කළ හැකිය. ඒ වෙනුවෙන් අවශ්‍ය ණය පහසුකම් ආදිය ලබා දෙමින් පුද්ගලයන් උනන්දු කළ යුතුය. ශ්‍රම අතිරික්ත ආකෘතිය අප රටට ගැළපේ.

දිළින්දන් ඇති හැකි අය බවට පත් කරන බව කාලයක් තිස්සේ ප්‍රකාශ වන්නකි. එහෙත් එය කරන්නේ කෙසේද යන්න ගැන අවංක වැඩපිළිවෙළක් අප සතුව නැත. අප කරන්නේ ආධාර බෙදීම පමණි. එබැවින් මේ තත්ත්වය වෙනස් කළ හැකි ක්‍රමයක් ගැන සිතිය යුතුය. සමෘද්ධි සහනාධාරය සඳහා 2022 වසරේදී පමණක් රුපියල් මිලියන 52000 ක මුදලක් වැය කර තිබේ.

විය යුත්තේ එම මුදල ආයෝජනයක් වශයෙන් වැය කිරීමය. ඒසා විශාල මුදලක් වැය කළද දුප්පතුන් ඇති හැකි අය බවට පත්ව නැත. ඒ වෙනුවට දිළිඳුකම තවත් ප්‍රසාරණය වී තිබේ. කළ යුත්තේ වසර දෙක තුනක් ඇතුළත දුප්පතුන්ගේ ආදායම් වැඩි කර සහනාධාර ලබා දීම නතර කිරීමය. පසුව ඔවුන් බදු ගෙවීමට යටත් කිරීමට ද පිළිවන. මේ අරබයා වන වැඩපිළිවෙළ හැටියට මා යෝජනා කරන්නේ සමූපකාර පදනමින් නිෂ්පාදනය ඉහළ නංවා දුප්පතුන් ආදායම් ලබන පිරිසක් බවට පත් කිරීමය.

රටේ හොඳ ආයෝජන වාතාවරණයක් තිබිය යුතුය. ආයෝජන සඳහා සුදුසු පරිසරයක් සකස් කිරීම මධ්‍යම ආණ්ඩුවේ වගකීමකි. අද වන විට රටේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ඒ සඳහා එක ස්ථානයකින් අවසර ලබා ගැනීමේ ක්‍රමවේදයක් නැත. ඒවා වෙනස් විය යුතුය.

සංචාරක කර්මාන්තයේදීද මේ තත්ත්වය දැකිය හැකිය. එබැවින් රටේ ආර්ථිකය දියුණු කිරීමේදී රාජ්‍ය ආයතන අතර මනා ඒකාබද්ධතාවක් තිබිය යුතුය. එක් ආයතනයක ක්‍රියාකාරීත්වය නිසා අනිත් ඒවාට බාධා නොවිය යුතුය. රට සංවර්ධනය කිරීමේදී අපේ සංස්කෘතියත් ඊට බාධාවකි. එබැවින් සංස්කෘතිය වෙනස් කළ හැකි කළමනාකරණ ක්‍රමවේදයක් අවශ්‍ය වේ.

සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය එච්.එම්.එස්. ප්‍රියනාත්