සරච්චන්ද්‍ර–සාහිත්‍යය සහ ගුවන් විදුලිය


මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සාහිත්‍ය කලා නිර්මාණ විමසීමේදී ගුවන් විදුලිය සමඟ අැති සබඳතාව ඉතා වැදගත් වෙයි. සංගීතය පිළිබඳව ශ්‍රාවක ප්‍රජාව දැනුවත් කිරීම සහ ඔවුන් තුළ ඒ පිළිබඳ රසාස්වාදන ශක්තිය වර්ධනය කරන්නට ඉවහල් වන වැඩසටහන් බොහොමයක් 1940 දශකය මැද භාගයේ සිට ලංකා ගුවන්විදුලියේ ප්‍රචාරය විය. 

මෙම වැඩසටහන්වලට අමතරව ශ්‍රාවක ප්‍රජාවගේ උසස් රසවින්දනය සඳහා ශාස්ත්‍රීය වැඩසටහන් මාලාවක්ද ලංකා ගුවන්විදුලියේ ප්‍රචාරය කිරීම 1950 දශකය මුල් භාගයේ සිට ආරම්භ වූයේය. ඒ අනුව,  1951 ජුනි මස 25 වෙනිදා සිට ශාස්ත්‍රීය සංග්‍රහය’ ත්, 1952 ජනවාරි 31 වෙනිදා ‘ද්විතීය සංග්‍රහය’ ත් ආරම්භ කෙරිණි” (නානායක්කාර, 2008, පි-186). මේවා එදිරිවීර සරච්චන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද වැඩසටහන්ය.

මීට පූර්වයෙන් එදිරිවීර සරච්චන්ද්‍රගේ මඟපෙන්වීමෙන් 1950 අගෝස්තු මාසයේ  “යෞවන සමාජය” නමින් වැඩසටහනක්ද ආරම්භ වී තිබේ. ශාස්ත්‍රීය ගායන, වාදන, නාට්‍යය, විශ්ව සාහිත්‍යය කතා හා සාකච්ජා මේවායේ ප්‍රධාන විශේෂාංගයෝ වූහ. කලාව හා රසවින්දනාත්මක තොරතුරු විවේචනාත්මක විශ්ලේෂණ, විමර්ශන හා ශාස්ත්‍රීය විග්‍රහයන් මඟින් මෙම වැඩසටහන්හි අන්තර්ගතය පෝෂණය විය. 

මහාචාර්ය සරච්චන්ද්‍රගේ ශාස්ත්‍රීය සංග්‍රහය වැඩසටහන විශාල ශ්‍රාවක ප්‍රජාවකගේ ආකර්ෂණය දිනාගත් වැඩසටහනකි. ඔහු විසින් තරුණ තරුණියන් වෙනුවෙන් ආරම්භ කරන ලද යෞවන සමාජය වැඩසටහන තරුණ නිර්මාණකරුවන්ගේ කෙටිකතා, නාට්‍ය ආදී  නිර්මාණ සඳහා අවස්ථාව ලබාදුන් වැඩසටහනකි. පසු කලෙක සාහිත්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය ලේඛකයන් වූ බොහෝ දෙනෙකුට සිය නිර්මාණ සඳහා යෞවන සමාජය වේදිකාවක් නිර්මාණය කර තිබුණේය.

මහා බ්‍රිතාන්‍යයේ බී.බී.සී. ආයතනයේ ප්‍රචාරය වූ ගුවන්විදුලි නාට්‍යවලට සවන්දීමේ මහත් ආස්වාදයක් ලද සරච්චන්ද්‍ර එසමයෙහි ලංකා ගුවන්විදුලියේ ප්‍රචාරය වූ ගුවන්විදුලි නාට්‍ය පිළිබඳව සිලෝන් ඔබ්සවර් පුවත්පතට විවේචනාත්මක ලිපි පෙළක් ලිව්වේය. ඔහු එම ලිපි මාලාවේ පෙන්වා දී ඇත්තේ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවයේ ගුවන්විදුලි නාට්‍යවලට සාපේක්ෂව ලංකා ගුවන්විදුලියේ නාට්‍ය ගුණාත්මක ඒවා නොවුණ බවයි.

මෙම ලිපි මාලාව පළවීමෙන් අනතුරුව එවකට ගුවන්විදුලි අධ්‍යක්ෂවරයා සරච්චන්ද්‍රට මහතාට ලිපියක් යොමුකරමින් අලුත් වැඩසටහනක් ආරම්භ කිරීමට ආරාධනය කළ බව එදිරිවීර සරච්චන්ද්‍ර මහතා සිය “පිං ඇති සරසවි වරමක් දෙන්නේ” කෘතියේ සටහන් කර ඇත.

එදිරිවීර සරච්චන්ද්‍ර සමකාලීන සිංහල සාහිත්‍යයේ, නවකතාවේ සහ නාට්‍යයේ පුනර්ජීවය උදෙසා විශාල දායකත්වයක් ලබාදුන්නේය. ඔහු සන්නිවේදන මාධ්‍යයක් ලෙස ලංකා ගුවන්විදුලිය හරහා තවදුරටත් සිංහල සාහිත්‍යයේ ප්‍රබෝධය උදෙසා වෙසෙස් කාර්යභාරයක් කළේය. 1950 දශකය ආරම්භයේ ලංකා ගුවන්විදුලියේ වැඩසටහන් සඳහා සම්පත්දායකයෙකු ලෙස සම්බන්ධ වන ඔහු ගුවන්විදුලි නාට්‍ය මෙන්ම තවත් සාහිත්‍යමය වැඩසටහන් කිහිපයකට දායකත්වය ලබාදී තිබේ. 

ඔහු සම්බන්ධ වූ ප්‍රථම ගුවන්විදුලි වැඩසටහන් මාලාව වන්නේ  “යෞවන සමාජය” යි. ශාස්ත්‍රීය සාකච්ඡා, ගායන, වාදන, නාට්‍ය හා කතා මෙහි ප්‍රධාන විශේෂාංග විය. කලාව සහ රසවින්දනය, විචාරය හා විමර්ශනය මගින් මෙම වැඩසටහන්හි අන්තර්ගතය පෝෂණය වූයේය. එදිරිවීර සරච්චන්ද්‍ර  ‘ද්වීතීය සංග්‍රහය” නම් වැඩසටහන ආරම්භ කරන්නේ 1951 ජනවාරි 31 වෙනිදාය. එම වැඩසටහනද විවිධ සාහිත්‍යමය නිර්මාණවලින් අන්තර්ගත වූවකි. 

ලංකා ගුවන්විදුලිය තුළ ගුවන්විදුලි නාට්‍ය පිළිබඳ සාධනීය ප්‍රවණතාවක් නොමැති අවදියක ඔහු නාට්‍ය වේදිකාවට හඳුන්වා දීමට ප්‍රථම ලංකා ගුවන්විදුලිය සඳහා ගුවන්විදුලි නාට්‍ය රචනා කර ඇත. “නොරත රථ” යනු සරච්චන්ද්‍ර ගුවන්විදුලියට රචනා කළ නාට්‍යයකි. වේදිකාවෙන් දෘශ්‍ය කාව්‍ය ඉදිරිපත් කිරීමට පෙර සරච්චන්ද්‍ර ගුවන්විදුලියෙන් ශ්‍රව්‍ය කාව්‍ය හෙවත් ගුවන්විදුලි නාට්‍යකරණයට පිටපත් සම්පාදනය කර ඇත්තේය. “රත්තරන්”, “සත්ව කරුණාව”, “තරුණ ලේඛකයා”, “වළ ඉහගෙන කෑම” යනු සරච්චන්ද්‍ර ගුවන්විදුලියට ඔහු රචනා කළ නාට්‍ය අතුරින් කිහිපයකි. 

නවකතාව, කෙටිකතාව හා දෘශ්‍ය කාව්‍යයේදී භාෂාව පිළිබඳ සරච්චන්ද්‍ර විශේෂ අවධානයක් යොමුකළේ යම් සේද, ගුවන්විදුලි නාට්‍ය පිටපත් රචනයේදී ද ඔහු ඒ පිළිබඳ උනන්දුවක් දැක්වූවේය. 1954-55 වසරේදී ඔහු ගුවන්විදුලියට රචනා කළ  “පෙමතො ජායති සොකො” නාට්‍යය පසුකලෙක ඒ නමින්ම වේදිකා නාට්‍යයක් ලෙස සකස් කළේය. ගුවන්විදුලි නාට්‍ය හා වේදිකා නාට්‍ය අතර ඇති සමානතා මෙන්ම විසමතා පිළිබඳවද මනා අවබෝධයෙන් යුතුව අදාළ ප්‍රේක්ෂකාගාරයට ගැළපෙන ලෙස වචන උපයෝගී කරගනිමින් නාට්‍ය නිෂ්පාදනයට සරච්චන්ද්‍ර දැක්වූයේ සුවිශේෂී දක්ෂතාවකි.

ගැමි කලාව ගුවන්විදුලියට ගෙන ඒමට මූලික වූ එදිරිවීර සරච්චන්ද්‍ර පසු කලෙක  “සිංහල ගැමි නාටකය” (1968) යනුවෙන් ශාස්ත්‍රීය ග්‍රන්ථයක්ද සම්පාදනය කළේය. සරච්චන්ද්‍ර ගැමි කලාවන්, ජන කලාවන් ගුවන්විදුලි නිර්මාණ සඳහා උපයෝගී කරගත්තා සේම, එම කලාවන් ඇසුරින් ගුවන්විදුලි නිර්මාණයන්ද කළේය. 1956 වේදිකා ගතකරන ලද මනමේ නාටකය 1961 වේදිකා ගතකරන ලද සිංහබාහු වැනි දෘශ්‍ය කලා නිර්මාණ සඳහා නාඩගම් ශෛලිය අන්තර්ගත වී තිබේ.

චාල්ස් ද සිල්වා, ගුණසිංහ ගුරුන්නාන්සේ ප්‍රමුඛ ඔහුගේ පවුලේ බොහෝ දෙනෙකු ගුවන්විදුලියට සම්බන්ධ වන්නේ එදිරිවීර සරච්චන්ද්‍ර සහ ඔවුන් අතර පැවති සම්බන්ධතාවයේ ප්‍රතිඵල වශයෙනි. චාල්ස් ද සිල්වා ගුණසිංහ සාම්ප්‍රදායික වාද්‍ය ශිල්පියෙකු වූ අතර, ඔහුගේ පාරම්පරික ඥානය සරච්චන්ද්‍ර සිය දෘශ්‍යකලා නිර්මාණ සඳහා උපයෝගී කරගත්තේය. ඔවුන් සතු ශිල්පීය දැනුම, පාරම්පරික ඥානය ගුවන්විදුලි නිර්මාණ හරහා රටට දායාද කිරීමට සරච්චන්ද්‍ර කටයුතු කළේය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ලංකා ගුවන්විදුලියේ වැඩසටහන් සඳහා සම්බන්ධ වන්නේ 1950 දශකයේය. 1970 දශකය අගභාගය දක්වා ඔහු ගුවන්විදුලියේ උසස් රසවින්දනාත්මක වැඩසටහන් නිර්මාණකරණය සඳහා ඍජුවම සම්බන්ධ වී තිබේ. ලංකා ගුවන්විදුලියට උසස් රසවින්දනය පිළිබඳව අලුත් වැඩසටහන් ආකෘති සමුදායක් හඳුන්වාදීමට පුරෝගාමීවූවන් අතුරින් ප්‍රමුඛස්ථානයක් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රට මහතාට හිමි වේ. ශ්‍රාවකයා නව දැනුමින් පෝෂණය කිරීමට සහ ඔහුට උසස් රසවින්දනය සඳහා සමීප අත්දැකීමක් ලබාදීමට සරච්චන්ද්‍ර හඳුන්වා දුන් වැඩසටහන් තවමත් පුරෝගාමී මෙහෙවරක් කරන බව පැහැදිලිව නිරීක්ෂණය වේ.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සේවා අධ්‍යක්ෂ ඉන්දික ජයරත්න