(මහාචාර්ය - ලක්ෂ්මන් ආර්. වටවල)
සුදුසුකම් ලත් උ/පෙළ 150,000 ක් පමණ වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් 25,000 ක් විශ්ව විද්‍යාලවලට ඇතුළත් වෙති. තවත් 125,000 ක් ඉතිරිවෙති. මින් පෙනී යනුයේ සමත්වන්නන් අතරින් 17% ක් පමණක් විශ්ව විද්‍යාලවලට ඇතුළු වුවද 83% ක් මගහැරී යන බව ය.
ඕනෑම රජයක මුලික අරමුණ විය යුතු, ශ‍්‍රී ලංකාවෙහි උසස් අධ්‍යාපනය සඳහා ඇති අවස්ථා උපරිමකරණය කිරීම අප විසින් කළ යුතු ය. ආර්ථිකයේ සංවර්ධනය සඳහා, තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, විද්‍යාව සහ තාක්ෂණය, ව්‍යාපාර කළමනාකරණය සහ සේවා අංශවල අවශ්‍යතා සම්පූර්ණ කිරීමට නව හැකියා සහ අමතර සංඛ්‍යාවක් උත්පාදනය කරමින්, ඉල්ලූම පවත්නා උපාධි වැඩසටහන් සලසාදීමේ ඒකාන්ත අවශ්‍යතාවක් ඇත.
ව්‍යක්තව ඉංග‍්‍රීසි භාෂාවෙන් කථා කළහැකි තොරතුරු තාක්ෂණ සහ ඉංජිනේරු උපාධිධාරීන් විශාල සංඛ්‍යාවක් සිටින ඉන්දියාව ඔවුනට සේවා නියුක්තිය සහ හොඳ වැටුප්ද ලබා දෙමින්, රටට අගනා විදේශ විනිමය උපයා ගන්නා ලෝකයේ බහිර්සේවාර්ථන කර්මාන්තයේ ගමනාන්තයක් වී ඇත. එසේවී ඇත්තේ, අවශ්‍ය නිපුණතා, සුදුසුකම් සහ සංඛ්‍යාවන්ගෙන් උපාධිධාරීන් බිහි කිරීමට ඔවුන්ගේ ඇති හැකියාව නිසාය.
තමන්ට සිය මවු බිමෙහිදී ලබාගැනීම අහිමිකරන උපාධියක් ලබා ගැනීම සඳහා, අපගේ තරුණ පිරිස්, වටිනා විදේශ විනිමය ද යොදා ගනිමින්, දහස් ගණනින් පිට රටට ඇදෙති. මෙම බලගතු ගැටලූ ජනතාවට විසඳුම් අවශ්‍යව ඇත.
විශ්ව විද්‍යාල අධ්‍යාපනඥයන්, වෘත්තිකයන් සහ රටේ ව්‍යාපාරික ප‍්‍රජාවගේද සහාය ඇතිව මෙයට විසඳුමක් සපයාගෙන තරුණයන්ට විශ්ව විද්‍යාල අවස්ථා සපයා දීම රජයේ ප‍්‍රමුඛතාවක් විය යුතුය. ඔවුන් අප රටෙහි අනාගතය වන අතර ශ‍්‍රී ලංකාවෙහි ආර්ථික වර්ධනයට ඔවුනට දායකවීමට හැකිවනු ඇත.
ශ‍්‍රී ලංකාව දැනුම් කේන්ද්‍රයක් බවට පත්කිරීමට නම්, අප වඩා විශාල සංඛ්‍යාවකට, විශේෂයෙන් සුදුසුකම් ලත් තරුණයන්හට, උසස් අධ්‍යාපනය සැපයීමේ විකල්ප ක‍්‍රම දෙස යොමුවිය යුතුය.
විශ්ව විද්‍යාලයට ඇතුල්වන ශිෂ්‍යයින්ගේ දැනට පවතින 16% සිට 20% දක්වා වූ ප‍්‍රතිශතය, 50% ඉක්මවන ප‍්‍රමාණයකට වැඩි කළ යුතුය. හැකියාව, දැනුම, භාෂා ව්‍යක්තතාව, විශේෂයෙන් ඉංග‍්‍රීසි භාෂාව, පර්යේෂණ කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම සහ තරුණයන්ට, විදේශයන්හි ඉඩ ප‍්‍රස්ථා සොයා යාම වෙනුවට, සිය මවුබිමෙහිම අනාගතයක් සැපයෙන ශික්ෂණයන්හි පුහුණුව ලැබීමට අප අවස්ථාව සපයා දිය යුතුය.
වර්තමානයේ බොහෝ විදේශ විශ්ව විද්‍යාල, කිසියම් හෝ රාජ්‍ය අධ්‍යාපන අධිකාරියක පාලනයකින් තොරව, පෞද්ගලික ආයතන ඔස්සේ උපාධි පිරිනැමීමේ වැඩ සටහන් පවත්වාගෙන යයි. මෙම උපාධි වැඩසටහන් ඉදිරිපත් කරනුයේ ඉතා ඉහළ පිරිවැයකට වන අතර ඒවා දේශීය වශයෙන් පාලනයකට ද යටත් නොවේ. තවද, බොහෝ සිසුහු බැංකු ණය ලබාගැනීම සඳහා සිය මවුපියන්ගේ නිවාස සහ දේපළ උගසට තබා විදේශ විශ්ව විද්‍යාලවලට ඇතුළත්වෙති.
එහෙයින්, සිය මවුබිමෙහි විශ්වවිද්‍යාල අධ්‍යාපනය අහිමිවන විශාල සංඛ්‍යාවකට, දරා සිටිය හැකි පිරිවැයක් යටතේ ගුණාත්මක භාවයෙන් යුතු විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් සැපයීම සඳහා අප විසඳුමක් සැපයිය යුතු අතර, අනෙකුත් රටවල් මගින් ඒ සම්බන්ධයෙන් සපයා ඇති විසඳුම් සැලකිල්ලට ගත යුතුය.
ශ‍්‍රී ලංකාවට ඇති ඉතාමත් විශිෂ්ට අවස්ථාවලින් එකක් වනුයේ, ඉතාමත් සාර්ථක වී ඇති විවිධ විශේෂායන යටතේ විශ්වවිද්‍යාල උපාධිධාරීන් විශාල සංඛ්‍යාවක් බිහිකර ඇති විශ්වවිද්‍යාලවලට අනුබද්ධ විද්‍යාල පවතින ඉන්දියානු ආකෘතිය පිළිබඳව සැලකිල්ල යොමු කිරීමයි.
මෙම ක‍්‍රමය යටතේ විද්‍යාල පද්ධතිය ඔස්සේ විශ්වවිද්‍යාල උපාධි පාඨමාලා සඳහා ඇතුළත්කර ගන්නා සංඛ්‍යාව ක්ෂණිකව ඉහළ නංවනු ඇත. එහිදී, ඇතුළුවීම විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම විසින් හසුරවනු ඇති අතර, සියලූවිෂය මාලා සැපයීම හා විභාග පැවැත්වීමද විශ්වවිද්‍යාල මගින් සිදුකෙරේ.
සියලූසිසුන්ට දරාගත හැකි පිරිවැයක් යටතේ අධ්‍යාපනය ලබාදීම විද්‍යාල මගින් සිදුකරනු ඇත. අරමුදල් අවශ්‍යවන ශිෂ්‍යයන් සඳහා රජය මගින් හෝ මහපොළ භාරකාර අරමුදලින් ශිෂ්‍යත්ව ලබාදීම හෝ පසුගිය අයවැය මගින් කරනලද පරිදි බැංකුවලින් සැපයෙන ණය පහසුකම් ලබාදීම මගින් සිදු කළ හැකිය.
අනුබද්ධ විද්‍යාල ක‍්‍රමය අපගේ ආසන්නතම අසල්වැසියා වන ඉන්දියාව විසින් මනාව අත්හදා බලා පරීක්ෂාකරන ලද ක‍්‍රමයක් වන අතර, එමගින් උසස් අධ්‍යාපනය ලබාගැනීම සඳහා උනන්දුවන විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකට ප‍්‍රතිලාභ ලබාදීමත්, ජාතික ආර්ථිකය සංවර්ධනය සඳහා විශාල ලෙස දායක වීමත්, සිදුකර ඇත.
ඉන්දියාවෙහි, එක් විශේෂ ප‍්‍රදේශයක් තුළ ප‍්‍රාදේශික පාලනය ඇති විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම් පනත යටතේ පිහිටුවන ලද විශ්ව විද්‍යාල ඇත.
විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙහි අලූත්ම දත්තවලට අනුව විශාලතම විද්‍යාල සංඛ්‍යාවක් සහිත ප‍්‍රථම විශ්වවිද්‍යාල පහ පහත සඳහන් වේ.
1. අනුබද්ධ විද්‍යාල 901 ක් සහිත හයිදරාබාද් ඔස්මානියා විශ්ව විද්‍යාලය
2. අනුබද්ධ විද්‍යාල 735 ක් සහිත පුනේ විශ්ව විද්‍යාලය
3. විද්‍යාල 800 ක් සහිත නාග්පුර් විශ්වවිද්‍යාලය
4. විද්‍යාල 735 ක් සහිත රාජස්ථාන් විශ්වවිද්‍යාලය
5. විද්‍යාල 711 ක් සහිත මුම්බායි විශ්වවිද්‍යාලය
උදාහරණයක් ලෙස, පුනේ හි, පුනේ, අහමඞ්නගර් සහ නාසික් යන දිස්ත‍්‍රික්ක තුන කෙරෙහි පාලනය ඇති පුනේ විශ්ව විද්‍යාලය ඇත. ඒ හා සමානව, මහාරාෂ්ට‍්‍ර ජනපදයෙහි අවුරන්ග්බාඞ්, කොල්හාපුර්, අමරාවතී, නන්ඬේඞ් සහ සොලාපුර් යන දිස්ත‍්‍රික්ක සහිත මුම්බායි විශ්ව විද්‍යාලය ඇත. මේ සියල්ල පළාත් රාජ්‍ය විසින් පිහිටුවන ලද පළාත් රාජ්‍ය විශ්ව විද්‍යාල වන නමුත් ඒවා සමස්ත ඉන්දියාවෙහිම සහ ලෝකය පුරාද පිළිගනු ලැබේ. මේ සියලූ විශ්වවිද්‍යාලවලට ඔවුන්ගේ පාලනය යටතේ වූ අනුබද්ධ විද්‍යාල ඇත. වසර පහකට පෙර පුනේ විශ්ව විද්‍යාලයට 550,000 ක ශිෂ්‍ය සංඛ්‍යාවක් සහිත අනුබද්ධ විද්‍යාල 474 ක් පැවතී අතර මුම්බායි විශ්ව විද්‍යාලයට ශිෂ්‍යයන් 650,000 ක් සහිත අනුබද්ධ විද්‍යාල 531 ක් වීය. විෂය මාලාව සහ විභාග පරිපාටිය විශ්ව විද්‍යාලය මගින් තීරණය කරනු ලබන අතර විභාග පැවැත්වීම සිදු කරනු ලබන්නේද විශ්වවිද්‍යාලය මගිනි. අවසාන උපාධිය විශ්ව විද්‍යාලය මගින් පිරිනමනු ලැබේ. අනුබද්ධ විද්‍යාල රටෙහි උසස් අධ්‍යාපන පද්ධතියෙහි මුඛ්‍ය ප‍්‍රතිෂ්ඨාව වන අතර ඒවා උපාධි අපේක්ෂක ශිෂ්‍යයින් 89.3% ක් ද පශ්චාත් උපාධි අපේක්ෂක සිසුන් 72.2% ක්ද බඳවා ගැනේ.
දිල්ලි විශ්ව විද්‍යාලය ඉන්දියාවේ විශාලතම විශ්ව විද්‍යාල අතරින් එකක් ලෙස සැලකේ. දැනට, උපාධි අපේක්ෂකයන් 114,494 ක් සහ පශ්චාත් උපාධි අපේක්ෂකයන් 17,941 කගෙන් සමන්විත නිත්‍ය සිසුන් 132,435 ක් සහිතව නගරය පුරා විහිදුණු පීඨ 16 ක්, අධ්‍යයන දෙපාර්තමේන්තු 86ක්, විද්‍යාල 77 ක් සහ අනෙකුත් පිළිගත් ආයතන 5 ක් ද පවතී. අවිධිමත් අධ්‍යාපන වැඩ සටහනෙහි ද සිසුන් 261,169 දෙනෙක් සිටින අතර ඔවුන්ගෙන් 258,831 දෙනෙක් උපාධි අපේක්ෂක සිසුහු ද, 2,238 දෙනෙක් පශ්චාත් උපාධි අපේක්ෂක සිසුහු ද වෙති.
දිල්ලි විශ්ව විද්‍යාලය යටතෙහි වර්ග තුනක විද්‍යාල පවතී. ඉන් සමහරක් මුළුමනින්ම රජයෙන් අරමුදල් සැපයෙන ඒවාය. පෞද්ගලික විද්‍යාල ද ඇත. අරමුදල් සැපයුම සහ කළමනාකරණය මත පදනම්ව ඒවා පහත දැක්වෙන ලෙස වර්ගීකරණය කර ඇත.
විශ්ව විද්‍යාලය මගින් පවත්වාගනු ලබන විද්‍යාල, භාරකාර මණ්ඩල විද්‍යාල, දිල්ලි රාජ්‍ය විද්‍යාල ඒවා වෙයි.
මදුරාසි විශ්ව විද්‍යාලයට අනුබද්ධ විද්‍යාල 115 කි. ඒවායෙහි, රැුකියාවෙහි නියුතු වැඩිහිටියන්ගේ ඉල්ලීම් ඉටුකිරීම සඳහා සන්ධ්‍යා පන්ති පැවැත්වීමද සිදු කෙරේ. අනුබද්ධ විද්‍යාලවල ලියා පදිංචිවූ සිසුන් සංඛ්‍යාව 150,000 ක් පමණ වේ.
ක‍්‍රමවත්ව පන්ති පැවැත්වීමේ වගකීම ඇත්තේ විද්‍යාල වෙතය. විද්‍යාල, උපාධි සහ පශ්චාත් උපාධි පන්ති පවත්වන අතර විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙහි සම්මතවලට අනුව ආචාර්ය සහ අනෙකුත් කාර්ය මණ්ඩල පවත්වා ගැනේ. පරිපාලනමය සහ අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වගකිව යුතුවේ.
විද්‍යාලයකට, අනුබද්ධතාව ලබාගැනීම සඳහා විශ්ව විද්‍යාලය මගින් නියම කරන ලද සම්මත පවතින අතර ඒවා සම්පූර්ණ කිරීමෙන් පසුව අනුබද්ධතාව ප‍්‍රදානය කෙරේ.
ප‍්‍රදාන දිය හැකි සහ ප‍්‍රදාන දිය නොහැකි යනුවෙන් විද්‍යාල කාණ්ඩ දෙකක් ඇත. ප‍්‍රදාන දියහැකි යන්නෙන් අදහස් වනුයේ ඒවාට රජයෙන් ප‍්‍රදානයන් දෙනු ලබන බව වන අතර එහෙයින් ඒවායේ ගාස්තුද සැලකිය යුතු ලෙස අඩුය. මෙම විද්‍යාල සඳහා ගාස්තු නියාමනය කිරීමට රජය මගින් ස්ථාපිත කරන ලද ගාස්තු කමිටුවක් ද වේ.
විභාග, විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන අතර විද්‍යාල විශ්වවිද්‍යාලයට අනුබද්ධව ඇති හෙයින් විද්‍යාලවල සිසුහු මෙම විභාගවලට පෙනී සිටිති.
විශ්වවිද්‍යාල විදුහල්වල ඉඩම්, ගොඩනැගිලි, ආචාර්ය සහ ආචාර්ය නොවන කාර්යමණ්ඩල, පුස්තකාල, රසායනාගාර යනාදිය සඳහා අනුබද්ධ කිරීමේ නියාමන පවතී.
ඉන්දියාවෙහි බොහෝ විද්‍යාල සහ පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවනු ලැබ ඇත්තේ භාරකාර මණ්ඩල ආඥා පනත යටතේ වන අතර ඒවා ලාභ නොලබන සංවිධාන වන අතර, ස්වයං අරමුදලින් සම්පාදනය වේ. විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම යටතේ ඇති රාජ්‍ය විශ්ව විද්‍යාල සහ ස්වයං අරමුදල් සම්පාදනය කරගනු ලබන වෙළඳ සහ වාණිජ අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරන ලද සහ දැනට කර්මාන්ත සහ වාණිජ අමාත්‍යාංශය යටතේ පවතින ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකරුවන්ගේ ආයතනය සහ සහතික ලත් කළමනාකරණ ගනකාධිකරුවන්ගේ ආයතනයවලට සමානව, ශ‍්‍රී ලංකාවෙහි අධ්‍යාපන අංශය සඳහා යොදා ගතහැකි ඉතාමත් හොඳ සංකල්පයක් වනු ඇත.
විශ්වවිද්‍යාල විද්‍යායතන පිහිටුවීමට සහ අදාළ රෙගුලාසි සම්පාදනය සඳහා විශ්වවිද්‍යාල පනත සංශෝධනය කළ යුතුය.
මෙම වැඩ පිළිවෙළ සාර්ථක භාවයට පත්කිරීම් වස්, පැරණි සහ ප‍්‍රකට විශ්වවිද්‍යාල ප‍්‍රධාන භූමිකාවක් ඉටු කරමින්, විශ්වවිද්‍යාල විද්‍යායතන අනුමත කිරීම සඳහා සියලූවිශ්ව විද්‍යාලවලට අධිකාරීබලය ලබාදිය යුතුය.
(අ) දැනට ක‍්‍රියාත්මකව පවතින පෞද්ගලික අධ්‍යාපන ආයතන අනුබද්ධ විද්‍යාල පිහිටුවීම සඳහා ධෛර්යමත්කළයුතු අතර බැංකු විසින්, මේවා අරමුදල් සැපයීම සඳහා ප‍්‍රමුඛත්වයෙන් යුතු ව්‍යාපෘති ලෙස සැලකිය යුතුය. යම් යම් පෞද්ගලික විශ්වවිද්‍යාල සහ විදේශ සම්බන්ධතාව සහිත විශ්වවිද්‍යාල සම්බන්ධ දැනට කරනු ලබන අන්දමට, සුදුසුකම් ලැබූ නමුත් විශ්ව විද්‍යාලවලට ඇතුළු වීමට නොහැකිවන ළමයිනට සපයන ණය ක‍්‍රමය මීට සම්බන්ධ කිරීමට රජයට හැකිය.
(අ) සියලූ අනුබද්ධ විද්‍යාල ලාභය සඳහා වූ සංවිධාන නොවිය යුතු අතර, භාරකාර මණ්ඩල ආඥා පනත හෝ සීමාසහිත වගකීම්වලින් යුක්ත සීමිත සමාගම් ලෙස පිහිටුවීම වඩා සුදුසුය. මෙම සංවිධාන ස්වයං අරමුදල් සලසා ගන්නා ආයතන වනු ඇති අතර කිසියම් හෝ අතිරික්තයක් වේ නම් ඒවා ආයතනයේ සංවර්ධනය සඳහා යොදා ගනු ඇත.
ආරම්භක අදියරයන්හිදී ග‍්‍රාමීය සහ අනෙකුත් දිස්ත‍්‍රික්කවල විශ්වවිද්‍යාල විද්‍යායතන සඳහා රජයේ ගොඩනැගිලි සහ පාසල් පරිශ‍්‍ර පස්වරු සැසි සඳහා ලබාදෙනු ඇත.
අවශ්‍යතා සහිත සිසුන් සඳහා රජය මගින් ශිෂ්‍යත්ව අරමුදලක් ස්ථාපනය කිරීම කළ යුතුය.
විද්‍යාලවලට ඇතුළත් කරගැනීම්, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම මගින්, අනෙකුත් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගැනීම් හා සමානව, උසස් පෙළ ප‍්‍රතිඵල මත පදනම්ව සිදු කරනු ඇත.
උපාධි සහතිකය, විශ්වවිද්‍යාල මගින් අනුබද්ධ විද්‍යාලයේ නම සහිතව නිකුත්කරනු ඇත. විෂය මාලාව, විශ්වවිද්‍යාල මගින් සපයනු ඇති අතර විභාග ද විශ්ව විද්‍යාල මගින් පවත්වනු ඇත.
වඩා වැඩි සිසුන් සංඛ්‍යාවකට උපාධි සුදුසුකම් ලබා ගතහැකිවනු ඇති අතර රට තුළ වඩා වැඩි උගත් තරුණයන් සංඛ්‍යාවක් සහ වඩා ඉහල පුහුණුවක් සහිත පුද්ගලයන් සංඛ්‍යාවක් බිහිවනු ඇත. උසස් අධ්‍යාපනය සඳහා යන ශිෂ්‍යයන්ගේ ප‍්‍රතිශතය අප‍්‍රමාදව 50% ක් දක්වා වැඩිවීමත් ඉන්පසුව වාර්ෂිකව ඉහළ යාමත් සිදුවනු ඇත.
දේශීය ශිෂ්‍යයන්හට පාඨමාලාවන් දැරියහැකි වියදමකට සැපයෙනු ඇති අතර රටින් බැහැරට යැවෙන වටිනා විදේශ විනිමය ඉතිරිවනු ඇත.
දේශන පැවැත්වීම සිදු කරන විශ්වවිද්‍යාලවල දේශීය මහාචාර්යවරුන් සහ කථිකාචාර්යවරුන්ට ඔවුන් කරන දුෂ්කර කර්තව්‍යය සඳහා ප‍්‍රමාණවත් ලෙස ප‍්‍රදාන ලබාදෙනු ඇති අතර, එමගින් රටට බරපතළ ගැටලූවී ඇති බුද්ධි ගලනයේ නැවතුමක් සිදුවනු ඇත.
විදේශ විශ්වවිද්‍යාලවල සිටින්නන්හට ආපසු ශ‍්‍රී ලංකාවට පැමිණීමට සහ ඔවුන්ගේම විද්‍යාල ආරම්භ කිරීමට අනුබල දීමක් කරනු ඇති අතර එමගින් විදේශවල සිටින ශ‍්‍රී ලාංකිකයන් ආපසු සිය රටට ආකර්ෂණය කරගනු ඇත.
දැනට අඩු සැපයුමක් ඇති, පුහුණු තරුණයන් ප‍්‍රමාණවත් සංඛ්‍යාවක් සිටීම නිසා විදේශ වෙළඳපොළ සඳහා දැනුම පාදක කරගත් ව්‍යාපෘති ආරම්භ කිරීම පිණිස, වඩා වැඩි ඍජු විදේශ ආයෝජන ප‍්‍රමාණයක් ආකර්ෂණය වනු ඇත.
රජය, පහසුකම් සපයන්නකු වියහැකි අතර, විශ්ව විද්‍යාල සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම මගින් මෙම විද්‍යාලවල ගුණාත්මක භාවය සහ ගාස්තු පාලනය කිරීම කළ හැකිය.
ඉල්ලූමක් ඇති කුසලතා සහ ශිල්පක‍්‍රම සඳහා වැඩි විද්‍යාල සංඛ්‍යාවක් ස්ථාපනය කළහැකි අතර එමගින්, ආර්ථික සංවර්ධනය ද, කර්මාන්ත, වාණිජ සහ සේවා අංශ, වැවිලි කර්මාන්තය සහ කෘෂිකර්මය යන අංශවල සංවර්ධනයක් ද ඇති කෙරෙනු ඇත.
මෙම රටෙහි තරුණයන්, ඔවුන්ගේ මවුබිම තුළදීම උපාධියක් ලබාගැනීම සඳහා ඇති හැකියාව දකිනු ඇති අතර, එමගින්, සිය දරුවන් උසස් අධ්‍යාපනය සඳහා විදේශවලට යැවීමට තමන් සතුව ඇති කිසියම් හෝ වත්කමක් උගස් කිරීමට සිදුවන මවුපියන්ගේ ගැටලූ ද එමගින් සහනය කෙරෙනු ඇත.
සිය ව්‍යාපාරවලහි සේවා නියුක්ත කරවීම සඳහා ප‍්‍රමාණවත් පුහුණු පුද්ගලයන් සංඛ්‍යාවක් සොයාගතහැකි වීම නිසා, සේව්‍ය පක්ෂයද සතුටට පත්වනු ඇත.
සිසුනට උසස් අධ්‍යාපනය සඳහා සහ විශ්ව විද්‍යාලවලට අනුබද්ධ විද්‍යාලවලට යාමට අවකාශ සලසමින් සහ විශ්වවිද්‍යාලවලට ඇතුළුවන සිසුන්ගේ ප‍්‍රතිශතය ඉහළ යාමෙන්, මූලික සහ ද්වීතීය අධ්‍යාපනය සඳහා ආයෝජනය කරන ලද මුදල්වලට ප‍්‍රමාණවත් ලෙස ප‍්‍රතිඵල ලැබෙනු ඇත.
අනෙකුත් විෂයවලට අතිරේකව විද්‍යාව සහ ශිල්ප ක‍්‍රම වඩා ප‍්‍රමුඛ ස්ථානයක් ගනිමින් ඉල්ලූම ඇති විෂය මාලා උගැන්වීම සඳහා පෞද්ගලික සහ රාජ්‍ය අංශය අතර ආසන්න සම්බන්ධතාවක් ගොඩනැගෙනු ඇත.
ඉන්දියානු තාක්ෂණ පිළිබඳ ආයතන සහ ඉන්දියානු කළමනාකරණ ආයතනවලට සමාන ශ‍්‍රී ලාංකික තාක්ෂණ ආයතන සහ කළමනාකරණ ආයතන පිහිටුවීම පිළිබඳව සලකා බැලිය හැකි අතර, දැනුවත්භාවය පිළිබඳ ආර්ථිකයේ සංවර්ධනය සඳහා මෙම ආයතනයන් ඍජු බලපෑමක් ඇති හෙයින් එයද දැඩිව සලකා බැලිය යුතුය.