සරසවි සිසුන්ගේ ඔලු කන දේශපාලන කල්ලි


සෑම මිනිසකුම දේශපාලන සත්වයෙකි. දේශපාලන විද්‍යාවේදී එය ඉගැන්වේ. එය වෙනම කතාවකි. දේශපාලනය යනු ප්‍රතිපත්තියක්  මත පිහිටා ක්‍රියාත්මක කරන්නකි. ප්‍රතිපත්ති සැකසෙන්නේ දර්ශනයකට අනුවය. දර්ශනය වැරැදි ද නිවැරැදි ද යන්න තේරුම් ගැනීමට පැසුණු බුද්ධියක් ඇවැසි වේ. වයසද එයට පිටිබලයකි.

1987 වසරේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව පළාත් සභා ක්‍රමය මෙරටට හඳුන්වා දුනි. පළාත් සභා ක්‍රමයට එරෙහිව දැවැන්ත ජන විරෝධයක් ගම් නියම්ගම් නගර ජනපද සිසාරා ඇවිළී ගියේය. එයට සමාන්තරව සන්නද්ධ ක්‍රියා මාර්ගද ගැනුණි. “පළමුව මව්බිම දෙවැනුව උපාධිය’’ පෙරටු කරගත් ශිෂ්‍ය ව්‍යාපාරයේ විරෝධතා මෙහි කැපී පෙනුණි.

දෙවැනි පියවරේදී එය “පළමුව මව්බිම-දෙවැනුව පාසල’’ නමින් පාසල් පද්ධතියද අක්‍රමණය කළේය. “පළාත් සභා අපට එපා’’ යනුවෙන් විරෝධතා පුවරු රැගත් පාසල් ශිෂ්‍යයන් පාසල් ඉදිරිපිට විරෝධතාවල නියැලුණාහ. කුඩා පාසල් දරුවෝද මේ විරෝධතාවලට එක් වූහ.‘ “‘පළාත් සභා අපට එපා’’ යන්න කුඩා දරුවන් ප්‍රකාශ කළේ “පලා බබා අපට එපා’’ යනුවෙනි.

රමණීය ප්‍රබන්ධයක් යැයි මෙකල සිතුණද සැබැවින්ම එය එකල මරණීය අත්දැකීමක් විය. සූරියකන්ද සමූහ මිනීවළ එයට එක් නිදසුනක් පමණි. ඉන්දු ලංකා ගිවිසුමට ඉන්දියන් හමුදාවට හා පළාත් සභා ක්‍රමයට එරෙහිව මහ මග ඇවිළී ගිය විරෝධතාවලට ආරක්ෂක අංශ ඉලක්කයකින් තොරව තැබූ වෙඩි ප්‍රහාරයන්ගෙන් පාසල් දරුවෝ අකාලයේ මරු වසඟයට ගියහ. 87-89 තරුණ කැරැල්ලෙන් මියගිය සංඛ්‍යාව හැට දහසක් පමණ වේ. එයින් සැලකිය යුතු සංඛ්‍යාවක් පාසල් දරුවෝ වෙති.

ලේ ගලන ඉතිහාසය යළි සිහි කැඳවූයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේදී ඉකුත්දා කළ ප්‍රකාශයක් හේතුවෙනි. රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ඔලු කන දේශපාලන කල්ලි පාසල්වලට රිංගමින්  සිටින බවට තොරතුරු ඇති බවය.

කොළඹ, ඇඹිලිපිටිය සහ පොළොන්නරුව පාසල්වලට දැනටමත් මෙම දේශපාලන පක්ෂ ඇතුළු වී තිබෙන බවට දැනගන්නට ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි. විශ්වවිද්‍යාලවලට එන්නේ රටේ සාරය බව කියා ඇති රාජ්‍ය ඇමතිවරයා විශ්වවිද්‍යාලවලට ඇතුළු වී සිටින විවිධ දේශපාලන පක්ෂ දරුවන්ගේ ඔලු කෑ බවත් මෙම දේශපාලන පක්ෂ පාසල්වලටත් ඇතුළුව තිබීම බරපතළ තත්ත්වයක් බවද අවධාරණය කර ඇත.

සන්සුන් සංහිඳියාවෙන් යුතුව  තේරුම් ගත යුතු තත්ත්වයකි. ගුරුවරුන්ගේ වර්ජනය මෙන්ම කොවිඩ් මාරාන්තික වසංගතය ජාතියේ දුවාදරුවන්ගේ අධ්‍යාපනයට බරපතළ බලපෑමක් එල්ල කළේය. ආර්ථික අර්බුදය හමුවේ දරුවාට පෝෂ්‍යදායි ආහාර වේල ද අහිමිව තිබේ. පාසල් උපකරණ මිල උසුලාගත නොහැකි තරමට ඉහළ ගොස් තිබේ. මත්ද්‍රව්‍ය මාෆියාකරුවන්ගේ පහසුම ඉලක්කයක් බවටද පාසල් දරුවා පත්ව තිබේ. පාසල් දරුවාගේ අත ඇති මුදලට ලිංගික සේවා සපයන වයඹ පළාතේ ස්ථානයක් සම්බන්ධ ප්‍රවෘත්තිය මෙයට ටික කලකට ඉහතදී  වාර්තා වූවකි.

ඉහත පරිසරය එක සටනකට නොව සටන් සියයකට අවශ්‍ය  තත්ත්වය නිර්මාණය කර තිබෙන බව පැහැදිලිය. එහෙත් වීදි සටන් හෝ වෙනත් විරෝධතා ක්‍රියා මාර්ගවලින් මෙවන් ගැටලුවලට සපයා ගත හැකි විසඳුම් මොනවාදැයි ගැඹුරින් අධ්‍යයනය කළ යුතුය. ‘‘විනාශකාරී ඉරණමකට යටත් වූ අයකු විසඳුම ලෙස තෝරා ගන්නේද විනාශයක්’’ බව කියනු ලැබේ. අප ඒ ඉරණම වෙනස් කරගත යුතුය. අප දරුවන්ට අහිමිවීමට තවත් දෙයක් ඉතිරි වී නැත. ඇත්තේ  අත්පත් කරගැනීමට දෑ පමණි. සටන් පාඨවලින් ඒවා අත්පත් කරගැනීමට උත්සාහ  දැරීම යල් පැනගිය මෙන්ම අත්හැර දැමූ සටන් මාදිළියකි.

සටන් කොහොමත් පාලකයන්ට අජීර්ණය - කවරකු වුවද සටන් බිමට පිවිසෙන්නේ ඒ සඳහා බලපෑ යුක්තිගරුක හා සාධාරණ හේතු පදනම් කරගෙනය. එම හේතු ඉවත් කිරීම වෙනුවට  පාලක පංතිය වැඩි වශයෙන් උත්සාහ දරා තිබෙන්නේ සටන් ඉවත් කිරීමටය.

ඒ සඳහා අවශ්‍ය පහසු මාර්ග තනා නොදීම සටන්කරුවන්ගේ වගකීමය. එමෙන්ම මාළුවාට ජලය අවශ්‍යවන්නා සේම සටන්කරුවාට ජනතා සහාය අත්‍යවශ්‍ය වේ.  ඒ සහාය අහිමි කර ගන්නේ නම් එහි ප්‍රතිඵලය යහපත් නොවනු ඇති යන්න ඉතිහාසයේ පාඩමය. ඒ ඉතිහාසය එයට හිමි නිසි බරින් හඳුනාගැනීම කා ඉදිරිපිටත් ඇති වගකීමය.