මරඳගහමුල සහල් වෙළෙඳපොළේ සහල් මිල පහත බැස ඇති බව කියැවෙන පුවත නොබෝදා අප පුවත්පතේ පළ වූයේය. රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 140 දක්වා පහත වැටීමට හේතුව, තිස්සමහාරාම හා එරාවුර් ප්‍රදේශවලින් සහල් තොග ලැබීමත්, ආධාර ක්‍රම යටතේ රතු කැකුළු සහල් ජනතාව අතර බෙදාහැරීමත් බව එම පුවතින් හැඟවේ.
උද්ධමනයෙන් පීඩාවට පත් පාරිභෝගිකයාට සහල් මිල පහත වැටීම මහත් සහනයක් වනු ඇත.
සාමාන්‍යයෙන් සහල් මිල තීරණය වන්නේ ද අනෙකුත් පාරිභෝගික භාණ්ඩ මෙන්ම වෙළෙඳපොළේ ඉල්ලුම හා සැපයුම අනුවයි. එහෙත්, රට තුළ නිෂ්පාදනය වන වී අස්වැන්න සහල් බවට පත්කොට, ඉල්ලුමට සරිලන අයුරින් වෙළෙඳපොළට ඉදිරිපත් වන්නේ ද යන්න සැකයට භාජන වන කරුණකි. 2020 අවුරුද්දේ සහල් නිෂ්පාදනයත්, ඉල්ලුමත් ඇසුරෙන් මෙම කාරණය විමසා බැලූ විට මෙය පැහැදිලි වේ. 2020 මෙරට ජනගහණය මිලියන 21.9ක් බව ඇස්තමේන්තු කර තිබිණි.
සාමාන්‍යයෙන් මෙරට ඒක පුද්ගල වාර්ෂික සහල් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 107ක් පමණ බව වාර්තා විය. ඒ අනුව බැලූ විට 2020 වසරේ මෙරට සහල් ඉල්ලුම මෙට්‍රික් ටොන් මිලියන 2.4කට ආසන්න විය. සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව ද එම සංඛ්‍යාව නිවැරැදිය.
2019/20 මාස් කන්නයේ ලැබූ අස්වැන්න වී මෙට්‍රික් ටොන් මිලියන 3.19ක් ලෙසත්, 2020 යල් කන්නයේ ලැබූ වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 1.84ක් ලෙසත් වාර්තා විය. එවිට 2020 අවුරුද්දේ ලැබූ මුළු අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 5.03කි. වී සහල් කිරීමේදී ඉවත් වෙන බරත්, බිත්තර වී සඳහා වෙන් වෙන බරත් ඉවත් කළ විට ද නිෂ්පාදිත මුළු වී ප්‍රමාණය 2020 දී මෙරට සහල් ඉල්ලුම සපුරාලන්නට සෑහෙන්නකි. 2020 අවුරුද්දේ වී නිෂ්පාදනය හොඳින් සිදු වුණ ද වෙළෙඳපොළේ ඉල්ලුමට සරිලන ප්‍රමාණයකින් සහල් සැපයීම සිදු නොවූ නිසා, සහල් මිල ඉහළ ගියේය. වෙළෙඳපොළේ පැවැතියේ සහල් හිඟයකි.
මෙම සන්තෑසිය හැම අවුරුද්දකම සිදුවන්නකි. රටේ නිෂ්පාදනය වන වී, ඉල්ලුමට සරිලන අයුරින් වෙළෙඳපොළට ඉදිරිපත් වන්නේ නැත. වී අස්වැන්නේ සෑහෙන ප්‍රමාණයක් වෙළෙඳපොළට ඉදිරිපත් නොවී සැඟවෙන බව පැහැදිලිය. වෙළෙඳපොළට සහල් ඉදිරිපත් වන්නේ, පාරිභෝගිකයාගේ ඉල්ලීමට අනුරූපව නොවේ. මෙය මහා පරිමාණ ව්‍යාපාරිකයන් අතළොස්සකගේ පාලනය අනුව සිදුවන්නකි. ඇතැම් විට ගොවියාගෙන් මිලට ගන්නා වී තොග ගොවියා ළඟම රඳවා තබා ගන්නට ඔවුහු කටයුතු යොදති.
අමතර දීමනාවක් ඒ සඳහා ගොවියාට ගෙවන බව සැලවේ. අස්වනු කපන කාලයේ ඔවුන් ගොවීන්ට ගෙවන්නේ ඉතා අඩු මිලකි. ණයගැතිභාවයේ වෙලී සිටින ගොවියෝ කරුණු කිහිපයක් නිසා මහා පරිමාණ මෝල් හිමියන්ට තම අස්වනු අලෙවි කරන්නට බැඳී සිටිති. රටේ පරිභෝජනයට ප්‍රමාණවත් වී තොග නිෂ්පාදනය වුව ද ඉහත කී ව්‍යාපාරිකයෝ අතළොස්ස වී තොග රැස්කොට, වෙළෙඳපොළේ සහල් හිඟයක් මවාපාති. එම හිඟය හේතුවෙන් සහල් මිල ඉහළ ගිය විට ක්‍රමානුකූලව ටිකෙන් ටික මිල පහත නොවැටෙන පරිදි සහල් තොග මුදාහැරීමට මහා පරිමාණ ව්‍යාපාරිකයෝ වගබලා ගනිති.
බලයට පත් සෑම ආණ්ඩුවක්ම මෙම ව්‍යාපාරිකයන්ගෙන් සහල් වෙළෙඳාම මුදා ගන්නට ගත් සෑම උත්සාහයක්ම කෙටි කලකදී ව්‍යර්ත වූයේය. මේ රටේ සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් 200ක් පමණ ඉහත කී ව්‍යාපාරිකයන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් වැසෙන තැනට කටයුතු යෙදුණු බව නොබෝදා වාර්තා විය.
සහල් වෙළෙඳාමේ දැනට පවතින තත්ත්වය වෙනස් කිරීමට මැදිහත් වීම රජයේ කාර්යයක් නොවන බව බැලූ බැල්මට පෙනී යා හැකිය. එහෙත්, රටේ සහල් වෙළෙඳාමේ ඒකාධිකාරය බිඳ දැමීමට පරම අයිතියක් සහ යුතුකමක් රජයට ඇත්තේ, එක් අතකින්, බත මේ රටේ ප්‍රධාන ආහාරය නිසාය. අනික් අතට, රටේ ජනතාවගේ පරිභෝජනයට ප්‍රමාණවත් සහල් රටේ නිෂ්පාදනය වන නිසාය. ගිජු ලාභාපේක්ෂාවෙන් වී තොග රැස්කොට, තමන්ට අවශ්‍ය පරිදි සහල් තොග වෙළෙඳපොළට ඉදිරිපත් කරන ඒකාධිකාරිය වෙනුවට ගොවියාටත්, පාරිභෝගිකයාටත් සාධාරණය ඉටු වන පූර්ණ තරගයකින් යුතු වෙළෙඳපොළක් සහල් උදෙසා සැකසිය යුතු වේ.