ස්ටොක්හෝම් සිද්ධිය පිළිකුලෙන් හෙළා දකිමු


හජ් වන්දනා සමයේ අවසන් දිනයේදී ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවර ප්‍රධාන මුස්ලිම් පල්ලිය ඉදිරිපිට තරුණයන් දෙදෙනකු ශුද්ධ වූ කුරාණයේ පිටපතක් ගිනි තැබීම ලෝකයේම අවධානය දිනාගත් පුවතක් මෙන්ම ශිෂ්ට සම්පන්න සියලු ජනයාගේ බලවත් පිළිකුලට ලක්වූ සිදුවීමක් විය. විශේෂයෙන්ම ලොව මුස්ලිම් රටවල් මෙන්ම අති උත්තම ශුද්ධෝත්තම පාප් වහන්සේද මෙම සිදුවීම හෙළාදකිමින් ප්‍රකාශ නිකුත් කර තිබේ.

ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවර ප්‍රධාන මුස්ලිම් පල්ලිය ඉදිරිපිටදී තරුණයන් දෙදෙනකු ශුද්ධ වූ කුරාණයේ පිටපතක් ගිනි තබා ඇත්තේ ඒ සඳහා අධිකරණයෙන් ලැබුණ අවසරයක් නිසා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ශුද්ධෝත්තම පාප් වහන්සේ ප්‍රකාශ කර තිබුණේ “භාෂණයේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය බව පවසමින් ශුද්ධ වූ කුරාණයේ පිටපත් පුළුස්සා දැමීමට ස්වීඩන රජය අවසර දීම කිසිසේත් අනුමත කළ නොහැකි” බවය. 

ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ අදාළ සිදුවීම හෙළාදකින බවය. එවැනි ක්‍රියා, ආගම් ඇදහීමට ඇති අයිතිය උල්ලංඝණය කිරීමක් බව ද අවධාරණය කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ගෝලීය හර පද්ධතියට ගරු කරන ලෙසත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැලඹීම් ඇතිවීමට ඉඩ නොදෙන ලෙසත් බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටින බව ද ප්‍රකාශ කර ඇත. 

නිදහස හා වගකීම යනු සමාන්තරව නොයෙදෙන වචන දෙකකි. වගකීම යන වචනය එක් වූ සැණින් නිදහස යන වචනයේ ඇති පළල් හා පොදු අර්ථය විකෘති වේ. එහෙත් නිදහස හා වගකීම යනු සමාන්තරව නොයෙදෙන වචන දෙකක් වුවද වගකීමෙන් තොර නිදහස බොහෝ අතුරු ආන්ත්‍රාවන් ඇති කරන බව ඒකාන්ත සත්‍යයකි.

භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සිද්ධාන්ත වේ. ඒවාට තහංචි දැමීම, සීමා මායිම් පැනවීම ගෝත්‍රික යුගයට අයත්ය. එහෙත් එම මූලික සිද්ධාන්ත ක්‍රියාවට නැගිය යුත්තේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී හා ගිෂ්ට සම්පන්න විලාශයෙනි. එම නිදහස භුක්ති විඳින ආකාරය අනුව එම පුද්ගලයාගේ, එම සමාජයේ අභ්‍යන්තර තත්ත්වය කදිමට නිරූපනය කරනු ලබයි.

ප්‍රජාතන්ත්‍රවාදය යනු තමන්ට කැමති දේ කිරීමේ නිදහස යැයි ඇතැමෙක් සිතති. එසේ සිතා එසේ කටයුතු කරති. අප සමාජයෙන්ද ආසන්න මෑත අතීතයෙන් එයට ඕනෑ තරම් නිදසුන් තිබේ. එහෙත් නිදහස සහ අයිතිවාසිකම් භුක්ති විඳිය යුත්තේ සාධාරණත්වයට, යුක්තියට හා සදාචාර බලයට යටත්වය.

කැමැති ආගමක් ඇදහීමේ අයිතිය මූලික මානව හිමිකමකි. ලෝකයේ ප්‍රධාන ආගම් හතරක් ද තවත් ආගම් කිහිපයක් ද වේ. මිනිසාට ආගම යනු මුළුමනින්ම පෞද්ගලික වූවක් මෙන්ම ඔහුගේ විශ්වාසයට යටත්ය. බලහත්කාරයෙන් ආගමෙන් පිටලෑම මෙන්ම බලහත්කාරයෙන් ආගම්වලට එකතු කරගැනීම ශිෂ්ට සමාජ බලවත් පිළිකුලෙන් හෙළාදකින්නේ එහෙයිනි.

කැමැති ආගමක් ඇදහීමේ අයිතිය තිබුණද අන් ආගම්වලට පරිභව කිරීමට කිසිවකුට අයිතියක් නැත. අන් ආගම්වලට නිගරු කිරීමට යාමෙන් සිදුවන්නේ ගැටුම් නිර්මාණය වීමය. එබඳු ඛේදවාචක මගින් මානව සංහතියට සිදුවූ අලාභය ගණනය කළ නොහැකිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැලඹීම් ඇතිවීමට ඉඩ නොදෙන ලෙස” කරනු ලබන ඉල්ලීම ප්‍රායෝගික යථාර්ථය මෙන්ම ඒකාන්ත වශයෙන් සිදුවිය යුතු දේ බවට අවධාරණය විය යුත්තේද එහෙයිනි. ඉහත පන්නයේ සිදුවීම් පූර්වාදර්ශ බවට පත්කර නොගැනීමේ ශික්ෂණය ශිෂ්ට මිනිසා වෙතින් නියත වශයෙන්ම පිළිබිඹු විය යුත්තකි.

(***)